එදා මෙදා තුර තුර්කියේ සිදුවූ හමුදා කුමන්ත්‍රණ

ආසියාව, අප්‍රිකාව, බටහිර මේ කිසිම වෙනසක් නැතිව මුළු ලෝකෙම බයෙන් හිරිවැටිලා ඉන්න යුගයක් මේක. රෑ නින්දට ගිහින් පහුවදා උදේ නැගිටිනකොට මොන රටේ මොන මොන විදිහේ පෙරළි වෙලා තියේවිද කියල කිසිම කෙනෙක්ට කියන්න බැරි තරමට ලෝක දේශපාලනයේ, ආර්ථිකයේ වගේම ආරක්ෂක තත්වයේත් වෙනස්වීම් මේ කාලයේදී සිද්ධ වෙනවා. හොඳම උදාහරණය තමයි මීට දවස් කීපයකට කලින් ප්‍රංශයේ සිදුවූ ISIS ත්‍රස්ත ප්‍රහාරය සහ තුර්කියේ සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය.

තුර්කි අධිරාජ්‍යයට දීර්ඝ ඉතිහාසයක් තිබුණත් නිල වශයෙන් තුර්කි සමූහාණ්ඩුව පිහිටුවලා ගතවෙලා තියෙන්නේ තවමත් වසර 93ක් පමණයි. මුස්ලිම්වරුන් බහුතරයක් ජීවත් වුණත් මේ රට තවමත් පාලනය වන්නේ රාජ්‍යය සහ ආගම වෙන්වෙන්ව දකින ව්‍යවස්ථාවක් මගින්. මේ කෙටි කාලය තුලදී තුර්කියේ සිදුවී ඇති හමුදා කුමන්ත්‍රණ සංඛ්‍යාව නම් සුළු කොට තැකිය නොහැකියි. පසුගිය සතියේ සිදුවූ කුමන්ත්‍රණයත් සමඟ එය ගණනින් පහක්. ඒ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය ගැන වගේම එතෙක් මෙතක් කාලය තුල තුර්කි සමූහාණ්ඩුව තුල සිදු වූ අනෙකුත් හමුදා කුමන්ත්‍රණයන් ගැන විස්තර ඔබ වෙත ගෙන එන්නට තමයි අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ.

2016

තුර්කි හමුදාව බොස්පරස් පාලමට පිවිසීම අවහිර කර ඇති අයුරු. (bdnews24.com)

තුර්කි හමුදාව බොස්පරස් පාලමට පිවිසීම අවහිර කර ඇති අයුරු. (bdnews24.com)

ජුලි මස 15 සිකුරාදා රාත්‍රියේ, තුර්කි වේලාවෙන් කිව්වොත් 10.30ට පමණ තුර්කි හමුදාව විසින් ආසියාව සහ යුරෝපය සම්බන්ධ කෙරෙන ඉස්තාන්බුල් නගරයේ බොස්පරස් පාලම සහ සුල්තාන් මෙහ්මත් පාලම වසා දමනු ලැබුවා. මද වේලාවකින් ප්‍රහාරක ජෙට් යානා සහ හෙල්කොප්ටර් ඉස්තාන්බුල් නගරයට ඉහල අහසේ දකින්නට ලැබුණ අතර අගනුවර වූ අන්කාරාවල වෙඩි තැබීමේ සිද්ධි ද වාර්තාවන්නට පටන් ගත්තා. අගමැති බිනාලි ඉද්රීම් රජයේ අනුදැනුමකින් තොරව කිසියම් හමුදා කටයුත්තක් සිදුවන බවත් වහාම එය මැඩ පැවැත්වීමට රජය විසින් අවශ්‍ය පියවර ගන්නා බවත් නිවේදනය කළා.

කරුණු එසේ පවතිද්දී තුර්කියේ TRT පුවත් සේවයට කඩා වැදී එය අත්පත් කරගත් හමුදා කුමන්ත්‍රණකරුවන් ඒ ඔස්සේ නිවේදනය කළේ රටේ පාලන බලය හමුදාව විසින් අත්පත් කර ගත් බවයි. තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ප්‍රතිස්ථාපනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නිදහස වෙනුවෙන් ආණ්ඩුවට එරෙහි තම කුමන්ත්‍රණය දියත් කළ බව ඔවුන් පැවසුවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන බවට ජනාධිපති රචෙප් තයිප් අර්ඩොවාන්ට චෝදනා කළ ඔවුන් රට පුරා ඇඳිරි නීතිය හා හමුදා නීතිය ක්‍රියාත්මක වන බව දැනුම් දී සිටියා.

ප්‍රහාර, ප්‍රතිප්‍රහාර සහ පිපිරීම් මධ්‍යයේ තුර්කි පාර්ලිමේන්තුවටද බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරුණා. ඒ මැති ඇමතිවරුන්ද  එහි රැඳී සිටින අවස්ථාවේදී. ඒ වෙනකොට නිරිතදිග තුර්කියෙ මර්මාරිස් නගරයේ නිවාඩුවක් ගත කරමින් සිටි ජනාධිපති  අර්ඩොවාන් ෆේස්ටයිම් (ඇපල් ජංගම දුරකථනවල ඇති ස්කයිප් හා සමාන app එකක්)  ඔස්සේ CNN ටර්ක් සේවයට සාකච්ඡාවක් ලබා දෙමින් තම ජීවිතයට අනතුරක් නැති බව සහ හමුදා කුමන්ත්‍රණය පරාජය කරන බවත් පවසා සිටියා. 52%ක ජන වරමක් ලබාගත් රජයකට විරුද්ධව කෙරෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී හමුදා කුමන්ත්‍රණයට එරෙහිව වීථි බසින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස රජයට පක්ෂපාතී පිරිස් ඉස්තාන්බුල් හා අන්කාරා නගර මධ්‍යයට එක් රැස් වූවා. පසුව ඔහු ඉස්තාන්බුල් ගුවන් තොටුපොළට පැමිණියා.

තුර්කි ජනපතිවරයා ෆෙස්ටයිම් ඔස්සේ ජනතාව අමතමින්. (telegraph.co.uk)

තුර්කි ජනපතිවරයා ෆෙස්ටයිම් ඔස්සේ ජනතාව අමතමින්. (telegraph.co.uk)

සෙනසුරාදා උදෑසන අන්කාරා නුවර පිහිටි ජනාධිපති මැදුර ඉදිරිපිටටත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. දැඩි මහජන විරෝධය හමුවේ සහ රජයට පක්ෂපාතී හමුදා සහ පොලිස් ප්‍රහාර මධ්‍යයේ බොස්පරක් පාලම වසා දැමූ හමුදා කණ්ඩායම යටත් වූවා.ඒ කොහොම වුණත් තමන් දිගටම සටන් කරන බව කුමන්ත්‍රණකරුවන් නිවේදනය කළා, නමුත් ඒ පැය කිහිපයකට පමණයි. අවසානයේදී තත්වය සමනය කිරීමට තුර්කි රජය සමත්වුණා.  

මෙම කුමන්ත්‍රණය නිසා  265 දෙනෙකුට පමණ ජීවිත අහිමි වූ අතර දෙදහසකට වඩා වැඩි හමුදා සෙබළුන් පිරිසක් සිර භාරයේ පසුවනවා. කුමන්ත්‍රණයට සහයෝගය දුන් බව කියන විනිසුරුවරුන් 2745ක්  ධුරවලින් පහ කරන්නටත් තුර්කි රජය කටයුතු කළා. අත්අඩංගුවට ගැනීම් අද (17) මේ වන විටත් ක්‍රියාත්මකයි. අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන්ට නම් අමානුෂික සැලකීම් ලැබෙන බවට මේ වන විට චෝදනා නැගෙමින් පවතිනවා.

හමුදා යුධ ටැංකි ඉදිරියට ඇදීම වළක්වාලීමට උත්සහ දරණ සාමාන්‍ය වැසියෙක්. (express.co.uk)

හමුදා යුධ ටැංකි ඉදිරියට ඇදීම වළක්වාලීමට උත්සහ දරණ සාමාන්‍ය වැසියෙක්. (express.co.uk)

මේ කුමන්ත්‍රණයට වගකිව යුත්තේ දැනට ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින ආගමික නායකයෙකු හා දේශපාලන ක්‍රියාධරයෙකු වන ෆෙතුල්ලා ගුලෙන් බවට තුර්කි රජය චෝදනා කළත් ගුලෙන් එය ප්‍රතික්ෂේප කරනවා. ඔහු සහ ජනපති අර්ඩොවාන් කලක් සමීප මිතුරන් වී සිටි බව ප්‍රසිද්ධ කරුණක්.

2016 වසරට පෙර තුර්කියේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයන් ගැන දැන් විමසා බලමු.

1960

තුර්කි සමූහාණ්ඩුව පිහිටවූවාට පසු ඇතිවූ ප්‍රථම හමුදා කුමන්ත්‍රණය මෙයයි. මේ කාලයේදී තුර්කිය පාලනය කළේ එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ජනාධිපති ධුරය දැරුවේ චෙලාල් බයාර් විසින්. ඔවුන් බලයට පැමිණියේ 1950 වසරේදී.

මුස්තාෆා කැමල්. (ricksteves.com)

මුස්තාෆා කැමල්. (ricksteves.com)

මීට පෙර තුර්කිය හා ග්‍රීසිය අතර ඇතිවුණ යුද්ධයේදී තුර්කි හමුදාවන් සංවිධානය කොට රටට ජය ගෙන දුන් තුර්කි ජාතිකවාදී නායකයා තමයි මුස්තාපා කැමල් කියන්නේ. තුර්කි සමූහාණ්ඩුවේ පියා ලෙස සැලකෙන්නෙත් ඔහුයි. කැමල් මූලික වී සම්පාදනය කළ රාජ්‍ය පාලනය සහ ආගම වෙන් වෙන්ව ඇති පරිදි දැක්වූ ව්‍යවස්ථාවේ ආගමික වශයෙන් පනවා තිබූ ඇතැම් නීති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ රජය විසින් ලිහිල් කළා. නමුත් හමුදාවේ හිටිය බහුතරය කැමල් අනුගාමිකයන්. ඔවුන් ඒ නීති රීති ලිහිල් කරනවට වැඩි කැමැත්තක් දැක්වූවේ නැහැ. (උදා : යාඥාවන් තුර්කි බසින් පමණක්  සිදු  කරන ලෙස පනවා  තිබූ නීති ලිහිල් කිරීම, වසා තිබූ පල්ලි කිහිපයක් නැවත විවෘත කිරීම)

මාධ්‍ය මර්ධනය, ආර්ථිකය යහපත් තත්වයක නොතිබීම, දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීම වගේ කාරණා නිසා 1960 වෙන කොට ආණ්ඩුව ගැන පැහැදීමක් ජනතාවට තිබුණේ නැහැ. හමුදාව 1960 මැයි 27 වෙනිදා රටේ බලය ඇල්ලුවේ ඔන්න ඔය වගේ පසුබිමක සිටගෙනයි. අත්අඩංගුවට ගත්ත අගමැතිවරයාට නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම නියම කෙරුණා.

1971

මෙතැනදී සිද්ධ වුණේ අවි ආයුධ අරගෙන කරපු කුමන්ත්‍රණයක් නෙවෙයි.  තුර්කි හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙම්ඩුහ් තග්මච් විසින් ලියවිල්ලක් මාර්ගයෙන් අගමැති සුලේමාන් ජෙමිරෙල් වෙත රට අරාජික කිරීමේ චෝදනා එල්ල කරනවා. මේ තුර්කිය ආර්ථික වශයෙන් ඉතාම පරිහාණියට පත්ව තිබූ සහ ඒ නිසාම විපක්ෂ කණ්ඩායම් විසින් නිරතුරුවම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වූ කාලයක්. ලිපිය බාර දීලා පැය කිහිපයකට පස්සේ අගමැතිවරයා ඉල්ලා අස් වුණා.

1980

1971 සිදු වූ බල හුවමාරුවෙන් පස්සේ 1980 වන විට රටේ අගමැතිවරුන් 11 දෙනෙකු පමණ පත් වී තිබුණා. රට තවමත් පැවතුණේ අරාජික තත්වයකයි. මේ නිසා රටේ බලය අල්ලා ගන්න හමුදාව ක්‍රියා කළා. ජෙනරල් කෙනන් එව්රෙන් තුර්කි ජනාධිපතිවරයා ලෙස පත්වුණා.

මෙම කුමන්ත්‍රණය සිදුවන අතර තුරදී සහ ඉන් පසුව බොහෝ දෙනා අත්අඩංගුවට ගත් අතර තවත් පිරිසක් ‘අතුරුදහන්’ වූවා.

1982 දී ජනමත විචාරණයකින් තුර්කිය නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්න කටයුතු කළා.

1980 හමුදා කුමන්ත්‍රණයේදී මියගිය සහ අතුරුදහන් වුණ ජනතාව වෙනුවෙන් 2012 පැවැත්වූ සැමරුම් උළෙලකට සහභාගී වූ වාමාංශික ක්‍රියාධරයෙක්. (iol.co.za)

1980 හමුදා කුමන්ත්‍රණයේදී මියගිය සහ අතුරුදහන් වුණ ජනතාව වෙනුවෙන් 2012 පැවැත්වූ සැමරුම් උළෙලකට සහභාගී වූ වාමාංශික ක්‍රියාධරයෙක්. (iol.co.za)

1997

1995 මහ මැතිවරණයෙන් බලයට පත්වුණ ඉස්ලාමික සුබසාධන පක්ෂය පිහිටුවා ගත් රජය හඳුන්වාදුන් ඇතැම් නීති රීති පිලිබඳ හමුදාව පසු වූවේ අප්‍රසාදයෙන්.  ඒ නිසා ඔවුන් රජයට නිර්දේශ කිහිපයක් ලබා දීමට කටයුතු කළා. මෙහි අවසන් ප්‍රතිඵලය වුණේ අගමැති නෙක්මෙටින් අර්බකාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. ඔහුට එල්ල වූ චෝදනා වූවේ ඉස්ලාම් මූලධර්මවාදය ප්‍රචලිත කිරීමයි.

ජාත්‍යන්තර ටයිම් සඟරාව පවසන අන්දමට මේ වගේ හමුදා කුමන්ත්‍රණයන් කලින් කලට ඇති වෙන්නේ රාජ්‍යයේ අනාගමික (secular) බවට හානියක් සිදුවන විටකදී එය ‘පාලනය කිරීමට’ (step in) අවශ්‍ය පියවර ගැනීමට හමුදාවට හැකියාව ඇති බව තුර්කි ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති නිසයි.

වත්මන් ජනාධිපතිවරයා කලකට ඉහත සාමාජිකත්වය දැරූ ඉස්ලාමික සුබසාධන පක්ෂය කෙරෙහි හමුදාවේ වැඩි ප්‍රසාදයක් කිසිම කළෙක දකින්නට ලැබුණේ නැහැ. රාජ්‍යයේ උසස් හා ඉහල බලයක් ඇති තනතුරුවලට ඔහුගේ අනුගාමිකයන් පත් කර ඇති බවයි කියවෙන්නේ. එමෙන්ම ජනපතිවරයා විසින් විවිධ කුමන්ත්‍රණවලට හවුල් වූවා යන චෝදනා යටතේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ම ධුරවලින් පහ කර දැමීමට කටයුතු කර තිබෙන බවත් ප්‍රසිද්ධයි.

කෙසේ වෙතත් තවමත්  ස්ථාවර , එමෙන්ම සාපේක්ෂව ජනප්‍රියත්වයෙන් ඉහළ රජයකට එරෙහිව කෙරුණ පළමු හමුදා කුමන්ත්‍රණය මේ වසරේ ජුලි මස සිදු වූ කුමන්ත්‍රණය ලෙස හඳුනාගත හැකියි. එහි අවසාන ප්‍රථිපලය අසාර්ථක වුයේ තුර්කි රජයට එහි ජනතාවගේ ඇති ලැදිබව නිසා වුනත් තවත් සමහර පාර්ශව දැන් දැන් තුර්කි රජයටම චෝදනා කරන්නේ මේ මුළු සිදුවීම් දාමයම රජයට ජනතා ප්‍රසාදය තියෙන බව ලොවට පෙන්වීමට කල රංගනයක් ලෙසයි.

මේ කරුණු කෙසේ වුනත්, අවසානයේ ජිවිත හානි සහ දේපල හානි වලින් පමණක් අවසන් වුනු තුර්කියේ නවතම හමුදා කුමන්ත්‍රණය ගැන ඔබ කුමක්ද සිතන්නේ? අපිට කියන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීමේ ප්‍රීතිය සමරන තුර්කි වැසියන්/source – CNN

Related Articles