Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිරියාවේ යුද්ධය සංකීර්ණ කරන තුර්කි ක්‍රියාන්විතය​

සිරියාවේ අලෙප්පෝ ප්‍රාන්තයේ තුර්කි දේශසීමාව ආසන්නයේ පිහිටි අෆ්‍රින් ප්‍රදේශයට හමුදා යැවීමට ජනවාරි 21 වන ඉරිදා තුර්කිය විසින් පියවර ගැනීමත් සමඟ සිරියාවේ සිවිල් යුද්ධය තවත් සංකීර්ණ බවට පත් වුණා.

තුර්කිය මෙසේ හමුදා එවන ලද්දේ එම ප්‍රදේශය පාලනය කරන කුර්දි ජාතික සන්නද්ධ බලකායක් වන මහජන ආරක්ෂක ඒකක (People’s Protection Units – කුර්දි බසින් YPG) සමඟ ඇති එදිරිවාදිකම හේතුවෙනුයි. තුර්කිය විසින් YPG සංවිධානය සළකනු ලබන්නේ ත්‍රස්ත සංවිධානයක් ලෙසයි. ඔවුන් චෝදනා කරන්නේ තුර්කිය තුළ ක්‍රියාත්මක කුර්දිස්ථාන් කම්කරු පක්ෂය (PKK) ට YPG සංවිධානය සහය පළ කරන බවයි. තවද, තුර්කි – සිරියා දේශසීමාවේ කුර්දි පාලනය යටතේ පවතින ප්‍රදේශයක් බිහිවීම තුර්කිය විසින් දකින්නේ තර්ජනයක් ලෙසයි.

අෆ්‍රින් ප්‍රදේශය දැක්වෙන සිතියමක් (alarabiya.co.uk)

මෙහි වැදගත් අනෙක් කරුණ වන්නේ YPG යනු ඇමරිකානු ආධාර ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකා (Syrian Democratic Forces – SDF) සංවිධානයේ ප්‍රධාන සාමාජිකයා වීමයි. මේ හේතුව නිසා තුර්කිය විසින් YPG සංවිධානය වෙත එල්ල කරන ප්‍රහාරයන් ඇමරිකාව සහ තුර්කිය අතර ද උණුසුම් තත්ත්වයක් ඇති කිරීමට හේතු වුණා.

සිවිල් යුද්ධයේ ප්‍රධාන පාර්ශවකරුවෙක්

සිරියානු කුර්දි සංවිධාන ඒ රටේ සිවිල් යුද්ධයේ දී ප්‍රධාන පාර්ශවයක් වුණා. 2011 දි පටන් ගත් සිවිල් යුද්ධයේ දී විවිධ සංවිධාන සිරියාවේ බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව කැරළි ගැසූ අතර ඊට බටහිර රටවල් සහ තුර්කිය ආධාර කළා. නමුත් තුර්කිය කුර්දි කණ්ඩායම් වලට ආධාර කළේ නැහැ. ඔවුනගේ ආධාර මූලික වශයෙන් ලැබුණේ නිදහස් සිරියානු හමුදාව නමින් හැඳින්වූ සංවිධානයට සහ තවත් කණ්ඩායම් වලටයි.

කලක් යන විට අසාද් විරෝධී කණ්ඩායම් අතුරින් ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍ය (ISIS) සංවිධානය පෙරමුණ ගත්තා. අනෙකුත් සටන්කාමී සංවිධාන අතුරින් වඩාත්ම ප්‍රබල වූයේ කුර්දි සංවිධාන යි. ඔවුන් තුර්කි දේශසීමාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවල බලය අල්ලාගෙන සිටියා.

කුර්දි සංවිධාන එක් අතකින් අසාද් පාලනයට එරෙහි වුණා මෙන්ම අනෙක් අතින් තුර්කියටත්, ISIS සංවිධානයටත් එරෙහි වුණා. මේ අතර​, විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, ඇමරිකාව ISIS සංවිධානයට එරෙහි යුද්ධය සඳහා SDF සංවිධානයට ආධාර කළා.

පසුගිය වසරේ දී SDF බලකායන් විසින් ISIS සංවිධානය සිය “අගනුවර” ලෙස සළකන ලද රඛා නගරය මුදවා ගත්තා. මේ අතර රුසියානු හමුදා ආධාර ලැබූ සිරියානු රජයේ හමුදා ISIS සංවිධානයට අයත් තවත් ප්‍රදේශ මුදා ගත්තා. මෙකල එක් අතකින් සිරියානු හමුදා සහ SDF සංවිධානයත්, අනෙක් අතින් තුර්කිය සහ SDF සංවිධානයත් එකිනෙකා අතර තිබූ එදිරිවාදිකම් යටපත් කළ බවක් පෙනෙන්නට තිබුණා. මේ සඳහා තුර්කිය සහ රුසියාව අතර ඇති වූ අලුත් මිත්‍රත්වය ද හේතු වුණා.

පරණ තරහා අලුත් වීම​

කෙසේ වෙතත් තමන්ගේ දේශසීමාව ආසන්නයේ කුර්දි පාලන ප්‍රදේශ නිර්මාණය වීම පිළිබඳ තුර්කිය එතරම් ප්‍රසාදයකින් පසු වූයේ නැහැ. වසර 30කට වඩා තුර්කිය සමඟ යුධ වදින PKK සංවිධානයේ ක්‍රියාකාරකම් මීට හේතු වනවා. මේ අනුව තුර්කිය මෑත කාලයේ දී කුර්දිවරුන්ට එරෙහිව නිදහස් සිරියානු හමුදාව (FSA) උසි ගැන්වූ අතර මෑතක දී කුර්දි පාලන ප්‍රදේශවලට පහර දෙන බවට තර්ජනය කිරීමට පටන් ගත්තා.

පසුගිය ජනවාරි 20 වනදා තුර්කි ගුවන් හමුදා අෆ්‍රින් ප්‍රදේශයේ කුර්දි ඉලක්ක වෙත ප්‍රහාරයන් එල්ල කළා. තුර්කිය පවසන්නේ ඔවුන් YPG ඉලක්ක 153 කට පහර දුන් බවත් එම ප්‍රහාරයන් සාර්ථක වූ බවත්. එමෙන්ම ප්‍රදේශයේ කුර්දි විරෝධී කැරලිකරුවන්ට සහය දීමට තුර්කි හමුදා 21 වනදා උදෑසන අෆ්‍රින් ප්‍රදේශයට කඩා වැදුණා. තුර්කිය විසින් මෙම මෙහෙයුම හඳුන්වන්නේ “ඔපරේෂන් ඔලිව් බ්‍රාන්ච්” (ඔලිව් අත්ත මෙහෙයුම​​) යනුවෙන්. මෙහිදී සිදු වූ සටන්වලින් තුර්කි හමුදා පසු බස්වන ලද බව YPG සංවිධානය පවසා සිටිනවා. නමුත් මෙම ප්‍රදේශයේ සටන් දිගටම ක්‍රියාත්මක යි.

අෆ්‍රින් ප්‍රදේශයේ තුර්කි යුධ ටැංකි (Ahval News)

තවද ජනවාරි 22 වනදා වනවිට පැමිණි වාර්තා අනුව තුර්කි හමුදා තවත් කුර්දි පාලනය යටතේ පවතින නගරයක් වන මන්බිජ් නගරය අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් පටන් ගැනීමට සූදානම් වනවා. YPG විරෝධී සංවිධාන විසින් මේ වනවිටත් මන්බිජ් ප්‍රදේශයේ කුර්දි විරෝධී අත්පත්‍රිකා බෙදා ඇති බවයි වාර්තා වන්නේ. මෙම අත්පත්‍රිකා මගින් ජනතාවට පවසා ඇත්තේ කුර්දි පාලනය ළඟදීම අහෝසි වන බවයි.

මෙම සිදුවීම් දෙස ඇමරිකාව දැඩි සැකයකින් යුක්තව බලා සිටින බව සහතික යි. විශේෂයෙන්ම ඇමරිකාව සහය දක්වන සන්ධානයේ ප්‍රධානම කණ්ඩායම වන සංවිධානයට මෙසේ පහර දීම පිළිබඳ ඔවුන් තුර්කිය සමඟ නොසතුටින් පසුවනවා. පසුගිය වසර කිහිපය තුළ තුර්කිය රුසියාවට වඩා සමීප වීමත් ඇමරිකාව සමඟ ප්‍රශ්න ඇති කරගැනීමත් හේතුවෙන් මේ වන විට මෙම සමස්ථ ක්‍රියාවලිය කෙරේ රුසියාවේ ප්‍රතික්‍රියාව පිළිබඳව ද අවධානය යොමුව පවතිනවා.

කෙසේ නමුත් අසාද් පාලනයේ තවත් මිත්‍රයකු වන ඉරානය තුර්කියෙන් ඉල්ලා සිටියේ මෙම යුධ මෙහෙයුම් නවතා දමන ලෙසයි.

තුර්කිය සඳහන් කරන්නේ සිය දේශසීමාවේ සිට කිලෝමීටර 30 ක් දක්වා දුරකට පැතිරුණ ආරක්ෂක කලාපයක් නිර්මාණය කරගන්නා තෙක් තමන් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

Cover Image: AAP

Related Articles