බ්‍රිතාන්‍යය 2020 ජනවාරි 31 වන දා රාත්‍රී 11ට යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වුණා. මේ අනුව යුරෝපා සංගමයේ සාමාජිකයකු ව සිට ඉන් ඉවත් වූ පළමු රට බවට බ්‍රිතාන්‍යය පත් වුණා. බ්‍රෙක්සිට් ක්‍රියාවලිය පිළිබඳ ආපසු හැරී බැලීමට මෙය අවස්ථාව යයි අප තීරණය කළා.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට කලෙක පටන් බ්‍රිතාන්‍යයේ අදහසක් තිබුණා. එකල මෙය ප්‍රධාන වශයෙන්ම ප්‍රචලිත කළේ එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂය (United Kingdom Independence Party - UKIP) සහ තවත් අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් කිහිපයක් විසිනුයි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ස්වෛරීභාවයට බලපෑමක් වන බව සහ බ්‍රිතාන්‍යයට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් එරට පුරවැසියන්ට අසාධාරණයක් සිදුවන බවත් ඔවුන්ගේ මූලික තර්කය වුණා.

කොන්සර්වේටිව් පක්ෂය තුළ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ මත දෙකම නියෝජනය කරන්න සිටියා. එක් කණ්ඩායමක් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයැ යි කියා සිටිද්දී අනෙක් කණ්ඩායම ඊට විරුද්ධ වුණා.

එවකට අගමැති වූ ඩේවිඩ් කැමරන් මෙම ප්‍රශ්නය පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කළා. එය 2016 ජූනි 23 වන දා පවත්වනු ලැබුණා.

2016 ජූනි 23

බ්‍රෙක්සිට් පිළිබඳ ජනමත විචාරණය පවත්වනු ලැබුණා. මෙහි දී සියයට 52ක් දෙනා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයැ යි කියා සිටියා. ඊළඟ දිනයේ කැමරන් අගමැති ධුරයෙන් ඉල්ලා අස් වුණා. ඔහු කියා සිටියේ තමන් බ්‍රෙක්සිට්වලට විපක්ෂ වූ හෙයින්, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය නව නායකයකු යටතේ පැවැත්විය යුතු බව යි.

2016 ජූලි

කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරගයෙන් ජයගත් තෙරේසා මේ අගමැති ධුරයට පත් වුණා.

2016 ඔක්තෝබර්

කොන්සර්වේටිව් පක්ෂ සමුළුව අමතමින් තෙරේසා මේ, පළමු වරට බ්‍රෙක්සිට් පිළිබඳ තමන්ගේ යෝජනා සහ සීමාවන් විස්තර කළා.

තෙරේසා මේ (AFP)

2016 නොවැම්බර්

යුරෝපා සංගමයෙහි නීතිය අනුව යම් රටක් එයින් ඉවත් වන්නේ නම් ලිස්බන් ගිවිසුමෙහි 50 වන වගන්තිය ක්‍රියාත්මක කළ යුතු වනවා. ඉන්පසු එම රට සහ යුරෝපා සංගමය අතර ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතර, වෙන් වීම පිළිබඳ එකඟතා කරා එළඹීම අපේක්ෂා කෙරෙනවා. මේ සඳහා, 50 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමෙන් අවුරුදු දෙකක කාලයක් නියම කර තිබෙනවා.

තෙරේසා මේ තර්ක කර තිබුණේ, ජනමත විචාරණයෙන් බ්‍රෙක්සිට් සඳහා කැමැත්ත පළ කර තිබුණ හෙයින් 50 වන වගන්තිය ක්‍රියාවට නැගීමට පාර්ලිමේන්තු අනුමැතිය අනවශ්‍ය බව යි. එහෙත්, එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය එම මතය ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් ලබා දුන්නා.

2017 ජනවාරි

බ්‍රෙක්සිට් ක්‍රියාත්මක වූ පසු යුරෝපා සංගමය සමග ඒකාබද්ධ වෙළෙඳපොළ හෝ තීරුබදු එකමුතුව පවත්වා නොගන්නා බව තෙරේසා මේ කියා සිටියා.

2017 මාර්තු 29

ලිස්බන් ගිවිසුමේ 50 වන වගන්තිය ක්‍රියාත්මක කරනු ලැබුණා.

2017 අප්‍රේල්

තෙරේසා මේ හදිසි මහමැතිවරණයක් කැඳවීමට තීරණය කළා. එම තීරණයට කම්කරු පක්ෂයේ සහාය ද ලැබුණා. තෙරේසා මේ බලාපොරොත්තු වුණේ බ්‍රෙක්සිට් සඳහා තමන්ට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය ලබාගැනීම යි.

2017 ජූනි 8

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ දී කම්කරු පක්ෂය බලාපොරොත්තු නොවූ තරම් හොඳ ප්‍රතිඵලයක් පෙන්නුම් කළා. කොන්සර්වේටිව් පක්ෂය පළමු ස්ථානයට පැමිණි නමුත්, ඔවුන් පාර්ලිමේන්තු බහුතරය අහිමි කරගත්තා. මේ අනුව, රජයක් පිහිටුවීම සඳහා උතුරු අයර්ලන්තයේ ඩිමොක්‍රටික් සහ යූනියනිස්ට් පක්ෂය සමග එකඟතාවක් ඇති කරගැනීමට තෙරේසා මේට සිදුවුණා.

2017 දෙසැම්බර්

බ්‍රෙක්සිට් පිළිබඳ මූලික කරුණු සම්බන්ධයෙන් එකඟතාවක් කරා එළඹුණ බව තෙරේසා මේ සහ යුරෝපා කොමිසමේ සභාපති ශෝන්-ක්ලෝඩ් යුන්කර් කියා සිටියා.

2018 ජූලි

කැබිනෙට් මණ්ඩලය විසින් තෙරේසා මේගේ බ්‍රෙක්සිට් යෝජනාවලිය අනුමත කළා. මෙම යෝජනා අනුව භාණ්ඩ සඳහා එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ කලාපයක් ද යෝජනා වුණා. කෙසේ වෙතත්, විදේශ ලේකම් බොරිස් ජොන්සන් සහ බ්‍රෙක්සිට් ලේකම් ඩේවිඩ් ඩේවිස් මෙයින් පසු සිය ධුරවලින් ඉල්ලා අස් වුණා.

බොරිස් ජොන්සන් (Getty Images)

2018 නොවැම්බර්

බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර බ්‍රෙක්සිට් පිළිබඳ එකඟතා ගිවිසුමක් ඇති කරගත් බව නිවේදනය කෙරුණා. නැවතත්, නව බ්‍රෙක්සිට් ලේකම් ඩොමිනික් රාබ් සහ විශ්‍රාම වැටුප් ලේකම් එස්තර් මැක්වේ සිය තනතුරුවලින් ඉල්ලා අස් වුණා.

2018 දෙසැම්බර් 10

බ්‍රෙක්සිට් යෝජනා ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත වූ ඡන්ද විමසීමක් කල් දැමීමට තෙරේසා මේ ක්‍රියා කළා.

2018 දෙසැම්බර් 12

කොන්සර්වේටිව් පක්ෂය තුළ තෙරේසා මේගේ නායකත්වයට එරෙහිව මතු වූ විශ්වාසභංග යෝජනාවක් පරාජය කෙරුණා. කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර පවත්වන ලද මෙම යෝජනාව පිළිබඳ ඡන්දයේ දී මන්ත්‍රීන් 200ක් ඇය පිළිබඳ විශ්වාසය පළ කළා. මේ අතර 117 දෙනකු ඇයට එරෙහිව ඡන්දය පළ කර තිබුණා.

2019 ජනවාරි 15

බ්‍රෙක්සිට් එකඟතා ගිවිසුම පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී ඡන්ද 432ට 202ක් ලෙස පරාජය වුණා. මෙසේ ඡන්ද 230කින් යෝජනාවක් පරාජය වීම ඉතිහාසයේ බ්‍රිතාන්‍ය රජයක් ලද දරුණුම පරාජය ලෙස වාර්තා වුණා.

මේ අතර විපක්ෂ නායක ජෙරමි කෝර්බින්, තෙරේසා මේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳ ඡන්ද විමසීම ජනවාරි 16 වන දා පවත්වන ලද අතර එහි දී එම යෝජනාව පරාජය වුණා. මන්ත්‍රීන් 325ක් තෙරේසා මේ පිළිබඳ විශ්වාසය පළ කළා. විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූයේ මන්ත්‍රීන් 306ක් පමණයි.

2019 මාර්තු

බ්‍රෙක්සිට් පිළිබඳ යුරෝපා සංගමය සමග වූ එකඟතා ගිවිසුම තවත් දෙවරක් පාර්ලිමේන්තුවේ දී පරාජය වුණා. මේ අනුව බ්‍රෙක්සිට් සඳහා ජූනි 30 තෙක් කල් ඉල්ලා ගැනීමට රජයට සිදුවුණා. පසුව ඔක්තෝබර් 31 තෙක් කාලය දිගු කරන්නට යුරෝපා සංගමය අනුමැතිය දුන්නා.

2019 මැයි 24

තමන් අගමැති සහ කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය යන තනතුරු දෙකෙන්ම ළඟදීම ඉල්ලා අස් වන බව තෙරේසා මේ කියා සිටියා.

2019 ජූලි 23

කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට බොරිස් ජොන්සන් පත් වුණා. ඊළඟ දිනයේ ඔහු බ්‍රිතාන්‍ය අගමැති ලෙස පත් වුණා.

2019 සැප්තැම්බර් 

තම බ්‍රෙක්සිට් යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය නොලැබෙන බව අවබෝධ කරගත් ජොන්සන් පාර්ලිමේන්තුව කල් තබන ලෙස රැජිණට දන්වා සිටියා. පසුව එක්සත් රාජධානි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කළා.

කියවන්න​: බොරිස් ජොන්සන් සහ බ්‍රෙක්සිට් ආරවුල

2019 ඔක්තෝබර්

ජොන්සන් තම රජය හා යුරෝපා සංගමය අතර බ්‍රෙක්සිට් පිළිබඳ නව එකඟතා ගිවිසුම පිළිබඳ නිවේදනය කළා. නමුත්, බ්‍රෙක්සිට් සඳහා ජනවාරි 31 තෙක් දිගුවක් ලබාගන්නට ජොන්සන්ට සිදුවුණා.

මේ අතර දෙසැම්බර් 12 වන දා නව මහ මැතිවරණයක් සඳහා දින නියම කෙරුණා.

කියවන්න: දෙසැම්බරයේ දී බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන හදිසි මහමැතිවරණය

2019 දෙසැම්බර් 12

කොන්සර්වේටිව් පක්ෂය මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගත්තා.

2020 ජනවාරි 30

බ්‍රෙක්සිට් ගිවිසුම යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරුණා.

බ්‍රෙක්සිට් ගිවිසුම යුරෝපා පාර්ලිමේන්තුව විසින් අනුමත කරයි. (Getty Images)

2020 ජනවාරි 31

බ්‍රිතාන්‍ය වෙලාවෙන් රාත්‍රී 11ට එරට යුරෝපා සංගමයෙන් ඉවත් වුණා.

කවරයේ පින්තූරය: යුරෝපා සංගමයෙන් ඉවත්ව ගිය මුල්ම රට බවට බ්‍රිතාන්‍යය පත් වුණා. (Getty Images)