එක්සත් රාජධානි දේශපාලනය අස්ථාවර කළ පාර්ලිමේන්තු මැතිවරණය

ජූනි 8 වනදා පවත්වන ලද පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවීමත් සමඟ එක්සත් රාජධානියේ දේශපාලනය බෙහෙවින් අස්ථාවර තත්ත්වයකට පත්ව තිබෙනවා.

මෙම මැතිවරණය පසුගිය අප්‍රේල් මාසයේදී අගමැති තෙරේසා මේ විසින් කැඳවනු ලැබුණා. ඒ හදිසි මැතිවරණයක් ලෙසයි. එක්සත් රාජධානියේ අද පවතින නීතිය අනුව හදිසි මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍යයි. කෙසේ වෙතත් තෙරේසා මේ මෙම අනුමැතිය ලබා ගැනීමට සමත් වුණා. ප්‍රධාන විපක්ෂය වූ කම්කරු පක්ෂය බොහොමත්ම කැමැත්තෙන් මෙම අභියෝගය භාර ගත්තා.

කෙසේ නමුත් පැවති තත්ත්වය යටතේ කම්කරු පක්ෂයට කිසිසේත් ම වාසිදායක තත්ත්වයක් නම් තිබුණේ නැහැ. ඇතැම් සමීක්ෂණ අනුව කොන්සර්වේටිව් පක්ෂය කම්කරු පක්ෂයට වඩා සියයට 10 කටත් වැඩි ඡන්ද ප්‍රමාණයක් ගනු ඇතැයි පෙනෙන්නට තිබුණා.

මැතිවරණයට සති දෙකකට පමණ පෙරත් මීට වඩා විශාල වශයෙන් වෙනස් තත්ත්වයක් පැවතුණේ නැහැ. කම්කරු පක්ෂය වසර 80 කින් ලද නරකම ඡන්ද ප්‍රතිඵලය ලබනු ඇති බවත්, කොන්සර්වේටිව් පක්ෂය ඓතිහාසික බහුතරයක් ලබාගනු ඇති බවත් අනාවැකි පළ වුණා.

එසේ වුණත් මහ මැතිවරණය අවසන් වුණේ බලාපොරොත්තු නොවූ අයුරින්. කොන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු වූ පරිදිම මැතිවරණයේ පෙරමුණ ගත්තත් ඔවුනට බහුතර බලයක් ලැබුණේ නැහැ. එමෙන්ම කම්කරු පක්ෂය බලාපොරොත්තු වූ අයුරින් කඩා වැටෙනවා වෙනුවට කළින් තිබුණ ආසන සංඛ්‍යාව වැඩි කරගැනීමට ද සමත් වුණා.

බහුතර බලයට අඩුවෙන්

පාලක කොන්සර්වේටිව් පක්ෂය ආසන 318 ක් දිනාගනිද්දී කම්කරු පක්ෂය ආසන 262 ක් දිනාගත්තා. මේ අනුව 2015 මහ මැතිවරණයට සාපේක්ෂව කොන්සර්වේටිව් පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 12 කින් අඩු වනවිට කම්කරු පක්ෂය ආසන 30 ක් වැඩිපුර දිනාගත්තා. මේ අතර මැතිවරණයෙන් බරපතලම පසුබෑමට ලක් වූ ස්කොට්ලන්ත ජාතික පක්ෂය ආසන 35 ක් පමණක් දිනාගත්තා. ඒ 2015 මැතිවරණයේදී දිනූ ආසන සංඛ්‍යාවට වඩා 21 ක අඩු වීමක්. ස්කොට්ලන්තයේදී කොන්සර්වේටිව් පක්ෂයට ආසන 13 ක් ලැබීම ඔවුනට විශාල වාසියක් වුණා.

එක්සත් රාජධානි මැතිවරණය 2017 – ප්‍රතිඵල සිතියම (Press Association)

අනෙකුත් පක්ෂ අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් ආසන 12 ක් ද උතුරු අයර්ලන්තයේ ක්‍රියාත්මක ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂය ආසන 10 ක් සහ සින් ෆෙන් පක්ෂය ආසන 7 ක් ද ලබාගත් අතර ප්ලේඩ් කුම්රි නොහොත් වේල්ස ජාතික පක්ෂය ආසන 4 ක් දිනාගත්තා. හරිත පක්ෂය එක් ආසනයක් දිනාගත් අතර ස්වාධීන අපේක්ෂිකාවක ද එක් ආසනයක් දිනාගත්තා. මේ අතර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීම සඳහා විශාල සටනක් දුන් එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂය නොහොත් යුකිප් (UKIP) පක්ෂය ආසන දිනාගන්නට සමත් වුණේ නැහැ. එමෙන්ම ඔවුනගේ ඡන්ද ප්‍රතිශතය ද දරුණු පසුබෑමකට ලක් වුණා.

සුලුතර රජයක්

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසු තෙරේසා මේ සඳහන් කළේ තමන් සුලුතර රජයක් පිහිටුවන බවයි. එමෙන්ම ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂය ඔවුනට සහය දීමට සූදානමින් සිටින බව ද ඇය ප්‍රකාශ කළා. මේ අනුව සුලුතර වුවද ස්ථාවර රජයක් පිහිටුවීමට තමන්ට හැකි බව ඇය කියා සිටියා.

සත්‍ය වශයෙන් ම සින් ෆෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සිය ආසනවල හිඳ නොගන්නා බැවින් කොන්සර්වේටිව් සහ ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂයට එක්ව පහසුවෙන් ම බහුතරයක් පෙන්විය හැකියි. කෙසේ වෙතත් එයින් තෙරේසා මේගේ ප්‍රශ්න කෙළවර වන්නේ නැහැ.

යුරෝපා සංගමයෙන් ඉවත් වීම

2016 ජූනි මාසයේ පවත්වන ලද ජනමත විචාරණයට අනුව එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි. මේ සඳහා සිදුවන ක්‍රියාවලිය පසුගිය මාර්තු 29 වනදා ඇරඹුණේ ලිස්බන් ගිවිසුමේ 50 වන වගන්තිය ක්‍රියාවට නැගීම මගින්. මේ අනුව 2019 මාර්තු අවසන් වනවිට එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වනු ඇති.

තෙරේසා මේ හදිසි මැතිවරණය කැඳවන අවස්ථාවේ සඳහන් කළේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ සාකච්ඡා සඳහා පැහැදිලි ජනමතයක් අවශ්‍ය හෙයින් තමන් මැතිවරණය කැඳවන බවයි. නමුත් පැහැදිලි ජනමතයක් වෙනුවට ඇයට ලැබුණේ අස්ථාවර තත්ත්වයක්.

රජයක් පිහිටුවීමට තරම් ආසන ප්‍රමාණයක් ලබාගත් නමුත් කොන්සර්වේටිව් පක්ෂය තුළ මෙන් ම ඉන් පිටතදීත් ඇයට එරෙහිව එල්ලවන විවේචන හේතුවෙන් තෙරේසා මේ දැඩි පීඩනයකට පත් ව තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන අවස්ථාවේදී ම කම්කරු පක්ෂ නායක ජෙරමි කෝර්බින් ඇයට කියා සිටියේ ඉල්ලා අස්වන ලෙසයි. එමෙන් ම ස්කොට්ලන්ත ජාතික පක්ෂ හිටපු නායක ඇලෙක්ස් සැමන්ඩ් ද ඇයට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස කියා සිටියා.

ජෙරමි කෝර්බින් (Reuters)

කෙසේ නමුත් තෙරේසා මේ ට ප්‍රශ්නයක් වනු ඇත්තේ සිය පක්ෂය තුළින් ම එල්ලවන විවේචනයන්ට මුහුණ දීමයි. මේ වනවිට ද විදේශ ලේකම් බොරිස් ජොන්සන් ඇයට එරෙහිව කටයුතු කරන බව රාවයන් පැතිරෙමින් තිබෙනවා.

නව රජයෙහි ප්‍රධාන ඇමති ධූරයන් හි කිසිදු වෙනසක් නොවන බව ද තෙරේසා මේ ප්‍රකාශ කළා. නමුත් විචාරකයන් පැවසූයේ එවන් වෙනසක් කිරීම මේ අවස්ථාවේ අවදානම් සහගත බැවින් ඇය එවැනි පියවරකට නොයනු ඇති බවයි.

තෙරේසා මේ පසුබැස්සේ ඇයි?

කොන්සර්වේටිව් පක්ෂයේ පසුබෑමට ඔවුන් අනුගමනය කළ ඇතැම් මැතිවරණ උපක්‍රම මෙන් ම තෙරේසා මේ පිළිබඳ අප්‍රසාදය ගොඩ නැගීම ද හේතු වූ බව වීක්ලි ස්ටෑන්ඩර්ඩ් වෙත ලිපියක් ලියන ඩොමිනික් ග්‍රීන් ප්‍රකාශ කරනවා. ඔහුගේ මතයට අනුව, කම්කරු පක්ෂය ඉතා දුර්වල අඩියක සිටින බව අනුමාන කළ කොන්සර්වේටිව් පක්ෂය උත්සාහ කළේ ප්‍රබල කම්කරු පක්ෂ බලකොටු ඩැහැ ගැනීමටයි. මෙහිදී ඔවුන් “වැට උඩ ” සිටින ආසන අමතක කිරීම කොන්සර්වේටිව් පක්ෂය කළ බරපතල වරදක් බව ග්‍රීන් කියා සිටිනවා. එමගින් ඔවුනට තීරණාත්මක ආසන කිහිපයක් ම අහිමි වූ අතර කම්කරු පක්ෂයේ බලකොටුවලදී ද බලාපොරොත්තු වූ සාර්ථකත්වය ලැබුණේ නැහැ.

ස්කොටිෂ් ජාතික පක්ෂ නායිකා නිකොලා ස්ටර්ජන් (Press Association)

මේ අතර තෙරේසා මේ පිළිබඳ ජනතා අප්‍රසාදය වර්ධනය වීම ද පක්ෂයට ගැටලුවක් වුණා. ඇය නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කරන්නට යන බව සඳහන් වීම, රජයේ පාසල්වල නොමිලේ දෙන දිවා ආහාරය වෙනුවට නොමිලේ උදේ ආහාර ලබාදීමේ යෝජනාව වැනි කරුණු හේතුවෙන් යාන්තමින් දිවි ගැටගහගන්නා ජනතාව ඇය කෙරේ බියට පත් වුණා. එමෙන්ම මෑතදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන් අවස්ථාවේදී තෙරේසා මේ අභ්‍යන්තර කටයුතු ලේකම් ලෙස එතරම් සාර්ථක නොවූ බවත් එහෙයින් ත්‍රස්තවාදයට මුහුණ දීමට ඇයට ශක්තිය නැති බවත් චෝදනා එල්ල වුණා. එම චෝදනා උග්‍ර වීමට හේතු වුණේ ත්‍රස්තවාදය මැඩීමට මානව හිමිකම් පිළිබඳ නීති වෙනස් කිරීමට සිදු වන බවට ඇය කළ වගකීම් විරහිත ප්‍රකාශය යි. මේ අනුව ත්‍රස්තවාදී අර්බුදයට මුහුණ දීමට සූදානම වෙනුවට ඇගෙන් පෙනුණේ එම අවස්ථාවට සිතෙන සිතෙන දේ ප්‍රකාශ කරන්නකුගේ පෙනුමක්.

මේ අතර මැතිවරණ ප්‍රතිඵලය හේතුවෙන් බ්‍රිතාන්‍ය රජය ප්‍රබල වනවා වෙනුවට තවත් දුර්වල වී තිබෙනවා. මෙය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ සාකච්ඡාවලදී එරටට අවාසිදායක වනවාට කිසිදු සැකයක් නැහැ. එම නිසා එරට දේශපාලන තත්ත්වය දිගු කාලීන අවිනිශ්චිතභාවයකට මෙමගින් යොමු වන්නට හැකියාව තිබෙනවා.

මූලාශ්‍ර

  1. බීබීසී, ස්කයි නිව්ස්, ද ගාර්ඩියන්, ද ඉන්ඩිපෙන්ඩන්ට් මැතිවරණ ප්‍රතිඵල
  2. Dominic Green, How Theresa May Lost, The Weekly Standard
  3. Conrad Landin, George Osborne: Theresa May won’t survive as Tory leader, election looked like ‘power grab’, iNews

Cover Image: තෙරේසා මේ (AFP)

Related Articles