ඉරානය වටලන ඇමරිකන් කඳවුරු

පසුගිය දිනවල සිදු වූ සිදුවීම් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය​, සෞදි අරාබිය සහ කලාපීය මිත්‍රයින්, ඉරානය සමග බරපතල ආරවුලක් ඇති කරගන්නා අවදානමක් මතුව තිබෙනවා. ඇමරිකාව ගුවන් යානා ගෙනයන නෞකාවක් සහ B-52 බෝම්බ හෙලන ගුවන් යානා කිහිපයක් මෙම ප්‍රදේශයට යැවීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔබ්බෙන් සෞදි නෞකා දෙකක් ඇතුළු නෞකා හතරකට එල්ල වූ ප්‍රහාරය මෙන්ම සෞදි තෙල් නලවලට යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කළ බව කියන ඩ්‍රෝන ප්‍රහාරය ආදී මෑත කාලීන සිදුවීම් මෙම අවදානම පිළිබඳ සාධක වනවා.

ඉරානය සතුව තිබෙන යුධ ශක්තිය කොයි වගේද සහ ඔවුන් අනුගමනය කරන උපක්‍රම කිනම් ආකාර වේ ද යන්න පිළිබඳ අපි මීට කලින් සාකච්ඡා කර තිබෙනවා. ඔබට පහත සබැඳියෙන් ඒ ගැන කියවන්න පුළුවන්.

කියවන්න​: ඉරාන හමුදා කෙතරම් ප්‍රබල ද​?

ඇමරිකා එක්සත් ජනපදය සඳහන් කරන්නේ ඉරානය විසින් පසුගිය සමයේ කරන ලද විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙසේ හමුදා ශක්තිය ඉහළ නැංවූ බව යි. එමෙන්ම ඇමරිකාව පුන පුනා සඳහන් කරන කරුණක් වන්නේ පවතින ඉරාන න්‍යෂ්ටික ගිවිසුම වෙනුවට නව ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව යි. 2015 දී ඇමරිකාව සහ ඉරානය ඇතුළු පාර්ශවයන් කිහිපයක් විසින් ඇතිකරගත් ගිවිසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයා ඉවත් වූයේ එය ඇමරිකාවට අවාසිදායක බව සඳහන් කරමින්. මෙම ගිවිසුම අත්සන් කෙරුණේ බරාක් ඔබාමා පාලන සමයේ දී යි.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (AFP)

ඉරාන රජය ඇමරිකානු යුධ තර්ජනය හමුවේ නොසැලී සිටින බවක් පෙන්වා සිටිනවා. යුධ බලය පෙන්වා බිය වැද්දීමෙන් ඉරානය සාකච්ඡා සඳහා පොළඹවා ගැනීමට නොහැකි බව එරටෙහි ස්ථාවරය යි.

කලාපීය තත්ත්වය

සෞදි අරාබිය සහ ඉරානය පර්සියානු බොක්ක කලාපයේ ප්‍රබලයා වීම සඳහා තරගයක නියැලෙන බව ප්‍රකට කරුණක්. මීට දශක කිහිපයකට පෙර ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය පිහිටුවා ගනු ලැබුණේ සෞදිය සහ මිත්‍ර රටවල් අතර සහයෝගය වර්ධනය කරන අදහසින්. මෙම කවුන්සිලයට සෞදි අරාබියට අමතරව බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර්, කුවේට්, ඔමාන් යන රටවල් අයත් වනවා.

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයට අයත් රටවල් (Wikimedia Commons)

2017 ජූනි 5 වන දා සෞදි අරාබිය සහ තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමග සබඳතා අත්හිටවූවා. මීට ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයෙන් එක් වූයේ එක්සත් අරාබි එමීර් සහ බහරේන් යන රාජ්‍යයන් පමණ යි. කෙසේ නමුත් මේ සමග ඉරානය සහ කටාර් අතර සබඳතා වර්ධනය වුණා.

ඇමරිකන් කඳවුරු

කෙසේ නමුත් කටාර් රාජ්‍යයේ ද ප්‍රධාන ඇමරිකන් කඳවුරක් පිහිටා තිබෙනවා. ඒ අල් උදෙයිද් ගුවන් කඳවුර යි. එහි සිටින ඇමරිකානු හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 10,000ක් පමණ වේයැ යි කියනු ලබනවා.

බහරේන්, කුවේට්, එක්සත් අරාබි එමීර්, සහ ඉරාකය යන රාජ්‍යයන්වල ද ඇමරිකානු හමුදා කඳවුරු පිහිටා තිබෙනවා. ඇමරිකානු පස්වන නාවික බලකාය මේ අතරින් වැදගත් සේනාංකයක්. බහරේන්හි ප්‍රධාන මූලස්ථානය පිහිටි මෙම සේනාංකයෙහි මෙහෙයුම් කලාපයට මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව ද අයත් වනවා. බහරේන්හි පිහිටි එහි මූල කඳවුරෙහි අවම වශයෙන් 7,000ක සේනාංකයක් වේ යයි සඳහන්.

B-52 බෝම්බ හෙලන යානා මේ වනවිට පර්සියානු බොක්ක ප්‍රදේශයේ මුර සංචාරයන් අරඹා තිබෙනවා (USAF)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි අල් ධෆ්‍රා ගුවන් හමුදා කඳවුරේ ද 5,000ක පමණ හමුදා සාමාජිකයන් රැඳී සිටින බව සඳහන් වනවා. මීට අමතරව කුවේටයේ 13,000ක ඇමරිකානු යුධ හමුදා බලකායක් රඳවා තිබෙනවා.

යාබද ඉරාකයේ ද 2003 ආක්‍රමණයෙන් පසු දිගටම ඇමරිකන් හමුදා රැඳී සිටිනවා. දැනට නම් එහි සිටින්නේ 5,200ක පමණ ප්‍රමාණයක්. කෙසේ නමුත් දේශපාලනික වශයෙන් ඇමරිකාවට වඩා ඉරාකය සමීප වන්නේ ඉරානයට යි. මෙය 2003න් පසු ඇතිවූ තත්ත්වයන් හේතුවෙන් සිදු වූ දේශපාලනික වෙනසක්. සදාම් හුසේන්ගේ රජය පෙරළීමෙන් පසු ඉරාකයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පවත්වන ලද්දෙන් ෂියා ඉස්ලාමික බහුතරය විසින් පාලනය කෙරෙන රජයයන් එරටෙහි බලයට පත් වුණා. මෙය ඉරාකය තුළ ඉරාන බලපෑම වර්ධනය වීමට හේතු වුණා.

ගල්ෆ් කලාපයේ මෙසේ වන විට ඇමරිකානු සෙබළුන් ඉරානයට නැගෙනහිරින් පිහිටි ඇෆ්ඝනිස්ථානයේ ද දකින්න පිළිවන්. සෝවියට් ආක්‍රමණයට පසු ඇෆ්ඝන් ෂියා මිලීෂියා කණ්ඩායම්වලට ඉරානය සහය දුන්නත් වර්තමානයේ ඇෆ්ඝනිස්ථානයේ පවතින්නේ සුන්නි තලේබාන් තර්ජනය යි.

යුධ අවදානම​

යම් හෙයකින් ඇමරිකාව සහ ඉරානය අතර ගැටුමක් ඇති වුවහොත් එය පර්සියානු බොක්ක කලාපයටම බලපානු ඇති. ඊට හේතු වන්නේ සෑම ස්ථානයකම පාහේ ඇමරිකන් සේනා සිටීමත්, සෞදි අරාබිය ඇතුළු රටවල් ද ඉරානයට එරෙහිව ඇමරිකාවට සහය දීමට ඉඩ තිබීමත් යන කරුණු යි. එමෙන්ම යේමන සිවිල් යුද්ධයට ද එමඟින් බලපෑමක් සිදුවිය හැකියි. එහි මේ වනවිට ද ඉරාන සහය ලබන හූති කැරලිකරුවන් සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයකට එරෙහිව සටන් වදිනවා.

මීට අමතරව යුධ උණුසුම සමග ලෝක තෙල් මිල ඉහළ යාමට පටන් ගෙන තිබෙනවා. පර්සියානු බොක්ක ආශ්‍රිත කලාපයේ විශාල අවි ගැටුමක් හෝ බරපතල​ යුධ උණුසුම්කාරී තත්ත්වයක් හෝ නිර්මාණය වීම තෙල්මිල කෙරෙහි බරපතල ලෙස බලපානු ඇති.

Cover Image: කටාර් රාජ්‍යයේ අල් උදෙයිද් ගුවන් හමුදා කඳවුර​ (Public Domain)

Related Articles