Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාවේ ජනාධිපතිවරණයේ සුපිරි අඟහරුවාදා

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය සෑම වසර හතරකටම වරක් (හතරෙන් හරියටම බෙදෙන වසරවල) නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එන අඟහරුවාදා දිනෙක පැවැත්වෙනවා.

එහෙයින් ඇමරිකානු ජනාධිපතිවරණය සම්බන්ධ වැදගත්ම දිනය වන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ අඟහරුවාදා දිනෙක යි.

නමුත්, සුපිරි අඟහරුවාදා හෙවත් “සුපර් ටියුස්ඩේ” යනු වෙනත් දිනයක්. ඇත්තෙන්ම, ජනාධිපතිවරණයේ පූර්ව කාලය පිළිබඳ සැලකීමේ දී, වැඩියෙන්ම අවධානය යොමු වන දිනය සුපර් ටියුස්ඩේ ලෙස සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙය එළඹෙන්නේ, ජනාධිපතිවරණය පවත්වන වර්ෂයෙහි මාර්තු මාසයේ මුල යි.

අපේක්ෂකයා තෝරාගැනීම

ඇමරිකාවේ මැතිවරණවල දී, මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා නියෝජිතයන් සහ නිලධාරීන් තෝරාගැනීමේ පටිපාටිය අපේ රටේ ක්‍රමයට වඩා වෙනස්. අපේ රටේ නම්, පළාත් පාලන ආයතනයේ සිට ජනාධිපති දක්වා, එක් එක් පක්ෂවල අපේක්ෂකයන් තෝරාගන්නේ ඒ ඒ පක්ෂවල නායකයින්ගේ හිතු මනාපයට යි. ජනප්‍රිය අපේක්ෂකයකු සිටියහොත් නායකත්වය අකමැති වුණත් නාමයෝජනා දීමට සිදුවෙන්න ඉඩ තියෙනවා. එහෙත්, එය නිශ්චිත කරුණක් නොවෙයි.

නමුත්, ඇමරිකාවේ ක්‍රමය ඊට හාත්පසින්ම වෙනස්. එහි නාමයෝජනා දිනාගන්නට අදාළ අපේක්ෂකයන් තරග කරන්න අවශ්‍ය යි. මෙය ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රී ධුරයන්, ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරයන්, කොන්ග්‍රස් සභාවේ මන්ත්‍රී ධුරයන් ආදී සියල්ලටම පොදුයි. ජනාධිපතිවරණය සඳහා ද එය එසේම යි.

ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් තෝරාගන්නේ ඒ පක්ෂවල ජාතික සම්මේලනවල දී. මෙම සම්මේලන ජූනි – ජූලි කාලයේ සාමාන්‍යයෙන් පවත්වනවා. මේ සඳහා එක් එක් ප්‍රාන්තයෙන් නියෝජිතයන් යම් ප්‍රමාණයක් තෝරාගන්නවා. ඒ නියෝජිතයන් කුමන අපේක්ෂකයා සඳහා ඡන්දය දෙනවා ද යන්න කලින් නිගමනය කෙරෙනවා. ඇතැම් කුඩා පක්ෂ ද මේ ක්‍රියාවලිය අනුගමනය කරනවා.

මේ වන විට ප්‍රධාන ඩිමොක්‍රටික් අපේක්ෂකයන් දෙදෙනා වන සැන්ඩර්ස් හා බයිඩන් (Getty Images)

මේ අනුව, ප්‍රධාන පක්ෂ දෙකේ මෙන්ම ඇතැම් කුඩා පක්ෂවල ද, ජනාධිපතිවරණ නාමයෝජනාව දිනාගැනීමට පක්ෂය විසින් තරගයක් පවත්වනවා. එයට සම්බන්ධව මූලික ඡන්ද විමසීම්, ජනාධිපතිවරණය පවත්වන අවුරුද්දේ මුල පටන් පැවැත්වෙනවා.

මේ ඡන්ද විමසීම් පවත්වන ආකාරය තීරණය කරන්නේ අදාළ පක්ෂයේ, අදාළ ප්‍රාන්ත ශාඛාව විසින්. එහෙයින්, ඩිමොක්‍රටික් පක්ෂයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මූලික තරගය පවත්වන ක්‍රමය සහ එහි ම අයෝවා ප්‍රාන්තයේ මූලික ඡන්ද විමසීම පවත්වන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. එමෙන්ම, රිපබ්ලිකන් පක්ෂයේ අයෝවා ප්‍රාන්ත ඡන්ද විමසීම ඒ දෙවිදියටම වෙනස් අයුරකින් පවත්වනවා වෙන්න පුළුවන්. (මේ ප්‍රාන්ත නම් කළේ උදාහරණ ලෙස පමණයි).

ජනාධිපතිවරණය පවත්වන වසරක මුල් මාස දෙක තුළ ප්‍රාන්ත කිහිපයක මෙවැනි මූලික තරග පවත්වනවා. එහෙත්, මාර්තු මුල දී, ප්‍රාන්ත ගණනාවක මූලික තරග එකම දිනයේ පවත්වනවා. සුපිරි අඟහරුවාදා ලෙස නම් කෙරෙන්නේ එම දිනය යි. මීට අමතරව, ඇමරිකාවට අයත් ප්‍රාන්ත නොවන පාලන ප්‍රදේශයන්හි ද මෙම ඡන්ද පවත්වනවා. නමුත්, එම ප්‍රදේශ ජනාධිපති තෝරාගැනීමට සහභාගී වන්නේ නැහැ. එසේ සහභාගී වන්නේ වොෂිංටන් ඩී.සී. ප්‍රදේශය පමණයි.

2020 සුපිරි අඟහරුවාදා

මෙම වසරේ දී රිපබ්ලිකන් පක්ෂය මූලික වටයේ ඡන්ද විමසීමක් පවත්වන්නේ නැහැ. මෙවර ජනාධිපතිවරණය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වන්නේයැ යි ප්‍රකාශ කර තිබෙන අතර, ඔහුට පක්ෂය තුළින් අභියෝගයක් එල්ල වී නැහැ. එහෙයින්, එම පක්ෂයට මූලික තරගයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැහැ.

නමුත්, ඩිමොක්‍රටික් පක්ෂය සිය අපේක්ෂකයා තෝරාගැනීම පිණිස වූ තරගය අරඹා තිබෙනවා. මුල දී අපේක්ෂකයන් 20ක් පමණ ඊට එක් වූ නමුත් මුල් විවාදවලින් සහ මත විමසුම්වලින් ද, පවත්වන ලද මූලික ඡන්ද විමසීම් කිහිපයෙන් ද පසු එම අපේක්ෂකයන් බොහෝ දෙනෙකු සිය තරගය අත්හිටවූවා.

මෙවර සුපිරි අඟහරුවාදා තරගය පවත්වන ප්‍රාන්ත තැඹිලි පැහැයෙන් දිස් වේ (Wikimedia Commons)

පළමුවෙන්ම මූලික තරගය පවත්වන ලද ප්‍රාන්තය වූ අයෝවා හි දී පීට් බුටෙජෙජ් ඉදිරියෙන් සිටියා. ඒ අනුව ඔහු නියෝජිතයන් 9 දෙනෙකු දිනාගත්තා. දෙවන ස්ථානයට පැමිණියේ බර්නි සැන්ඩර්ස්. නිව් හැම්ප්ශයර් ප්‍රාන්තයේ දී සැන්ඩර්ස් පෙරමුණ ගත් අතර බුටෙජෙජ් දෙවන ස්ථානය දිනාගත්තා. නෙවාඩා ප්‍රාන්තයේ දී ද සැන්ඩර්ස් මුල් ස්ථානය දිනාගත් අතර, දකුණු කැරොලිනා ප්‍රාන්තයේ දී මෙතෙක් තරගයේ පසුබා සිටි හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් විශිෂ්ට ජයක් වාර්තා කළා.

ඩිමොක්‍රටික් පක්ෂ නාමයෝජනාව දිනාගැනීමට අපේක්ෂකයකු ජාතික සමුළු නියෝජිතයන් 1991 දෙනෙක් දිනාගත යුතු යි. මේ වන විට සැන්ඩර්ස් 58 දෙනෙකු ද, බයිඩන් 50 දෙනෙකු ද, බුටෙජෙජ් 26 දෙනෙකු ද දිනා සිටිනවා. කෙසේ වෙතත්, බුටෙජෙජ් තරගයෙන් ඉවත් වීමට තීරණය කළෙන් ප්‍රධාන සටන වනු ඇත්තේ සැන්ඩර්ස් හා බයිඩන් අතර යි. මේ අතර, අලුතින් තරගයට එකතු වූ මයිකල් බ්ලූම්බර්ග් කෙතරම් සාර්ථක වේ ද යන්න මුලින්ම දැකගත හැකි වන්නේ ද මෙහි දී යි.

කියවන්න​: ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්ව​ සටනට බ්ලූම්බර්ග් කඩා වැදීම

මෙවර සුපිරි අඟහරුවාදා ප්‍රාන්ත 14ක මූලික තරග පවත්වනවා. එහි දී විශාලම ජනගහනයක් සිටින කැලිෆෝර්නියා ප්‍රාන්තය ද සිය මූලික තරගය පවත්වනවා. කැලිෆෝර්නියාව ඩිමොක්‍රටික් ජාතික සමුළුවට නියෝජිතයන් 415ක් යවනු ලබන අතර, නියෝජිතයන් 228ක් තෝරාගන්නා ටෙක්සාස් ප්‍රාන්තය, නියෝජිතයන් 110ක් තෝරාගන්නා උතුරු කැරොලිනා ප්‍රාන්තය සහ නියෝජිතයන් 99ක් තෝරාගන්නා වර්ජිනියා ප්‍රාන්තය ද සුපිරි අඟහරුවාදා සිය මූලික තරග පවත්වනවා. එදින තෝරාගනු ලබන සමස්ත නියෝජිතයන් සංඛ්‍යාව 1344ක්. එය ජාතික සම්මේලනයේ සමස්ත නියෝජිත සංඛ්‍යාව වන 3,979න් තුනෙන් එකක් පමණ වනවා. එහෙයින්, ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා කවරෙකු ද යන්න ඇතැම් විට සුපිරි අඟහරුවාදා දිනයේ නිගමනය වන්නට ඉඩ තිබෙනවා.

කවරයේ ඡායාරූපය: ඩිමොක්‍රටික් පක්ෂ විවාදයක් අතරතුර (AP)

Related Articles