Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමරිසි පුද්ගලයින් පවා නියෝජිතයින් ලෙස පත් වූ ඇමරිකානු මධ්‍ය වාර මැතිවරණය​

ඇමරිකාවේ 2018 මධ්‍ය වාර මැතිවරණ නොවැම්බර් 6 වන දා පවත්වනු ලැබුණා. මෙම මැතිවරණය කරුණු ගණනාවක් හේතුවෙන් ඓතිහාසික වුණා. මේ අතර කාන්තා නියෝජනය​, සුළු ජාතික නියෝජනය, සහ සමරිසි පුද්ගලයින් නියෝජිතයින් ලෙස පත් වීම ආදී විවිධ කරුණු දකින්නට ලැබුණා.

මධ්‍ය වාර මැතිවරණ​

ඇමරිකාවේ මධ්‍ය වාර මැතිවරණයක් යනුවෙන් අදහස් වන්නේ ජනාධිපති මැතිවරණ පැවැත්වෙන වසර දෙකක් අතර හරි මැද වසරේ පවත්වනු ලබන මැතිවරණය යි. අවසානයට ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පවත්වන ලද්දේ 2016 දී යි. මීළඟ ජනාධිපතිවරණය 2020 දී පවත්වනු ලබනවා. මේ දෙක අතරමැද වර්ෂය වන්නේ 2018 යි.

ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය වන කොන්ග්‍රස් සභාවට මන්ත්‍රී මණ්ඩල දෙකක් තිබෙනවා. ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන්නේ සෙනට් සභාව යි. එහි මන්ත්‍රීන් 100ක් වන අතර ඔවුනගේ ධූර කාලය වසර 6 ක්. සෑම වසර දෙකකට ම වරක් ඉන් තුනෙන් එකක් පත් වෙනවා. එම නිසා මධ්‍ය වාර මැතිවරණයක දී සෙනට් සභාවේ මන්ත්‍රීන් අවම වශයෙන් 33ක් සඳහා මැතිවරණ පැවැත්වෙනවා.

කොන්ග්‍රස් සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යි. එහි මන්ත්‍රීන් 435 දෙනෙකු වනවා. මෙම 435 දෙනාගේ ධූර කාලය වසර දෙකක්. ඒ අනුව සෑම දෙවසරකට ම වරක් ඔවුන් නැවත පත් කරගත යුතු යි.

මීටත් අමතර ව ඇමරිකාවේ ප්‍රාන්ත 50ට ම සහ වෙනත් පාලන ප්‍රදේශයන් හි ආණ්ඩුකාරවරුන් සිටිනවා. ඔවුන් ද සමහරක් සඳහා මධ්‍ය වාර මැතිවරණ වාරයක දී මැතිවරණ පැවැත්වෙනවා. ඇතැම් ප්‍රාන්තයන් හි උප ආණ්ඩුකාර​, නීතිපති ආදී තවත් නිල කිහිපයකට ම නියෝජිතයන් පත් වන්නේ මහජන ඡන්දයෙන්. එවිට ඒ ඇතැම් අයත් මධ්‍ය වාර මැතිවරණ වසරක දී පත් වනවා.

මීටත් අමතර ව සෑම ප්‍රාන්තයකට ම ව්‍යවස්ථාදායකයක් වනවා. මේ බොහෝ ඒවායේ මන්ත්‍රණ සභා දෙකක් වනවා. ඒවායේ ද සභිකයන් පත් වීම මධ්‍ය වාර මැතිවරණ වසරක දී සිදු කෙරෙන්න පිළිවන්.

ඩොනල්ඩ් ට්‍රම්ප් සාධකය

සාමාන්‍යයෙන් මධ්‍ය වාර මැතිවරණ කෙරෙහි විශාල අවධානයක් යොමු වන්නේ නැහැ. නමුත් මෙවර එම තත්ත්වය වෙනසකට භාජනය වී තිබුණා. මෙවර මධ්‍ය වාර මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාව වසර හතළිහකට පසු ඉහළම අගය ගත්තා. ඊට මූලික කරුණ වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සමය යි.

ට්‍රම්ප් සාමාන්‍ය ජනාධිපතිවරයෙකුට වඩා ජනකාන්තවාදී, අන්ත දක්ෂිනාංශික​, ජාතිවාදී, සහ පුරුෂෝත්තමවාදී අදහස් දරන අයෙකු වන අතර, ඔහුගේ අදහස් අනුව සිය රජයෙහි ප්‍රතිපත්ති මෙහෙයවීමට විශාල වශයෙන් වෙර දරනවා. මේ අනුව ඔහුට සහාය පළ කරන ආන්තික අදහස් දරන්නන් දේශපාලන ක්ෂේත්‍රයේ දක්ෂිනාංශයෙන් මතු වෙද්දී එහි අනෙක් අන්තයෙන් ඔහුට එරෙහි අදහස් දරන්නන් මතු වනවා. ඩිමොක්‍රටික් පක්ෂය තුළ වාමාංශික කඳවුර ප්‍රබල ලෙස කැපී පෙනීම මෙහි එක් ප්‍රතිඵලයක්. එමෙන්ම කාන්තා, සුළු ජාතික​, තරුණ, සහ සමරිසි ආදී කණ්ඩායම්වල සහභාගීත්වය මෙහි දී තවත් විශාල වැදගත්කමකින් යුතු කරුණක් වනවා.

මේ ලිපියේ අරමුණ වන්නේ මෙසේ නව වාර්තා තැබූ මහජන නියෝජිතයන් පිළිබඳ සටහනක් තැබීම යි. මේ බොහෝ දෙනා කාන්තාවන් වීමත් තනිකර ම අහඹුවක් නොවේ. මෙවර මධ්‍ය වාර මැතිවරණයේ දී කාන්තා සහභාගීත්වය ඉතා ඉහළ අගයක පැවතීම ඊට එක් හේතුවක් වුණා. නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභිකයන්ගෙන් 100ක් පමණ කාන්තාවන් වනු ඇතැ යි පැවසුණා. මැතිවරණයට පෙර, 2018 මැයි මාසයේ දී, කාන්තාවන් 84 දෙනෙකු එහි මන්ත්‍රීන් ව සිටියා.

ලාබාලම කාන්තා මන්ත්‍රීවරිය

ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ, මැතිවරණ සඳහා තම අපේක්ෂකයන් තෝරාගන්නේ සාමාජිකයන්ගේ ඡන්දයෙන්. ජූනි මාසයේ දී නිව් යෝර්ක් ප්‍රාන්තයේ 14 වන කොන්ග්‍රස් දිස්ත්‍රික්කයේ දී දස වරක් එම දිස්ත්‍රික්කය නියෝජනය කළ ඩිමොක්‍රටික් පාක්ෂික නියෝජිතයා පරාජය කරමින් ඇලෙක්සැන්ඩ්‍රියා ඔකේසියෝ-කෝර්ටේස් පක්ෂයේ අපේක්ෂකත්වය දිනාගත්තා. ඩිමොක්‍රටික් සමාජවාදියෙකු වන ඇගේ ජයග්‍රහණය එකල විශාල ආන්දෝලනයක් ඇති කළා. මධ්‍ය වාර මැතිවරණයේ දී ඇය පහසුවෙන් කොන්ග්‍රස් සභාවට තේරී පත් වුණා. ඇගේ වයස අවුරුදු 29ක් වනවා.

ඔකේසියෝ-කෝර්ටේස් (Getty Images)

මීට පෙර කොන්ග්‍රස් සභාවට තේරී පත්වුණ ලාබාල ම කාන්තා මන්ත්‍රීවරිය වුණේ එලීස් ස්ටෙෆානික්. ඇය නිව් යෝර්ක් හි 21 වන කොන්ග්‍රස් සභා දිස්ත්‍රික්කය නියෝජනය කරනවා. 2014 දී ඇයගේ වයස අවුරුදු 30ක් වුණා.

රෂීඩා ත්ලායිබ් (Reuters)

පළමු මුස්ලිම් මන්ත්‍රීවරියන්

පළමු වතාවට නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකත්වය සඳහා මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු තේරී පත් වුණා. ඒ මිචිගන් හි 13 වන කොන්ග්‍රස් සභා දිස්ත්‍රික්කයේ රෂීඩා ත්ලායිබ් සහ මිනෙසෝටා හි පස්වැනි කොන්ග්‍රස් සභා දිස්ත්‍රික්කයේ ඉල්හාන් ඔමාර් යන දෙදෙනා යි. රෂීඩා පලස්තීන සම්භවයක් ඇති 42 හැවිරිදි කාන්තාවක් වන අතර, ඉල්හාන් වයස අවුරුදු 14 දී ඇමරිකාවට සංක්‍රමණය වූ සෝමාලි-ඇමරිකානු, 37 හැවිරිදි කාන්තාවක්. ඇය කොන්ග්‍රස් සභාවට තේරී පත් වූ පළමු සෝමාලි-ඇමරිකානු පුද්ගලයා ද වනවා.

ඉල්හාන් ඔමාර් (Women Winning)

මැසෙචුසෙට්ස් හි පළමු කලු ජාතික නියෝජිත සභා මන්ත්‍රීවරිය​

අයන්නා ප්‍රෙස්ලි මැසෙචුසෙට්ස් ප්‍රාන්තයේ 7 වන කොන්ග්‍රස් සභා දිස්ත්‍රික්කයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වුණා. මීට පෙර​, බොස්ටන් නගර සභාවේ පළමු කලු ජාතික මන්ත්‍රීවරිය ලෙසත් ඇය වාර්තාවක් තබා තිබෙනවා. ඩිමොක්‍රටික් පාක්ෂික ප්‍රෙස්ලි 44 හැවිරිදි වනවා.

ප්‍රෙස්ලි (Getty Images)

කොනෙක්ටිකට් හි පළමු කලු ජාතික කොන්ග්‍රස් සභිකවරිය​

ජහනා හේස් 45 හැවිරිදි ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකාවක වනවා. ඇය කොනෙක්ටිකට් ප්‍රාන්තයේ 5 වන කොන්ග්‍රස් මණ්ඩල දිස්ත්‍රික්කයෙන් ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වුණා. මේ අනුව ඇය එම ප්‍රාන්තයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සුදුසුකම් ලද පළමු කලු ජාතික සභිකවරිය වනවා.

හේස් 2016 දී ඇමරිකාවේ හොඳම ගුරුවරිය සම්මානය බරක් ඔබාමාගෙන් ලබාගත් දින (Getty Images)

වෘත්තියෙන් පාසැල් ගුරුවරියක වන හේස් 2015 ඇමරිකාවේ හොඳම පාසැල් ගුරුවරිය සම්මානය ද ලබාගත්තා.

පළමු ස්වදේශික ඇමරිකානු කොන්ග්‍රස් සභිකවරියන්

මෙවර මධ්‍ය වාර මැතිවරණයේ දී ස්වදේශික ඇමරිකානු කාන්තාවන් දෙදෙනෙකු ඇමරිකානු කොන්ග්‍රස් සභාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වුණා.

ෂරිස් ඩේවිස් (EPA)

කැන්සස් හි තුන්වන කොන්ග්‍රස් සභා දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ෂරිස් ඩේවිස් 37 හැවිරිදි කාන්තාවක්. හෝ-චන්ක් ගෝත්‍රයට අයත් ඇය කලක් මිශ්‍ර ආත්මාරක්ෂක සටන් ක්‍රීඩිකාවක වුණා. එමෙන්ම ඇය සමරිසි කාන්තාවක ද වනවා. කැන්සාස් ප්‍රාන්තයෙන් කොන්ග්‍රස් සභාව නියෝජනය කරන පළමු සමරිසි කාන්තාව ද ඇය වනු ඇති.

ඩෙබ් හාලෑන්ඩ් (AFP/Getty Images)

මේ අතර නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පළමු කොන්ග්‍රස් සභා දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ 58 හැවිරිදි ඩෙබ් හාලෑන්ඩ් ද ස්වදේශික ඇමරිකානු කාන්තාවක වනවා. ඇය ලගූනා පුඑබ්ලෝ ගෝත්‍රයට අයත් වනවා.

ටෙනිසි ප්‍රාන්තයේ පළමු කාන්තා සෙනට් සභික

මාෂා බ්ලැක්බර්න් (AP)

මාෂා බ්ලැක්බර්න් 66 හැවිරිදි රිපබ්ලිකන් පාක්ෂිකාවක වනවා. ඇය ඇමරිකානු සෙනට් සභාවේ ටෙනිසී ප්‍රාන්තය නියෝජනය කරන පළමු කාන්තාව ලෙස තේරී පත් වුණා. බ්ලැක්බර්න් යනු ට්‍රම්ප්ගේ මතවාදයට ආසන්න අදහස් දරන තැනැත්තියක්. එහෙයින් ඇගේ ජයග්‍රහණය ට්‍රම්ප් ජනාධිපතිවරයා ව​ සෙනට් සභාව තුළ තවත් ශක්තිමත් කරනු ඇති.

පළමු සමරිසි ආණ්ඩුකාරයා

ජරෙඩ් පොලිස් කොලොම්බියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර පදවිය සඳහා තරග කර ජයග්‍රහණය කළා. මේ අනුව ප්‍රසිද්ධියේ සමරිසි බව ප්‍රකාශ කළ අයෙකු ඇමරිකානු ප්‍රාන්තයක ආණ්ඩුකාර ලෙස ඡන්දයෙන් පත් වූ පළමු වතාව ලෙස මෙය ඉතිහාසගත වුණා.

ජරෙඩ් පොලිස් (Reuters)

වාමාංශික ප්‍රතිපත්ති මාලාවක් මත තරග කළ පොලිස් ගිනි අවි නීති තද කිරීම​, සෞඛ්‍ය ආරක්ෂණය පුළුල් කිරීම​, මරණ දඬුවම අහෝසි කිරීම, සහ පෙර පාසැල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම ආදී ප්‍රතිපත්ති සඳහා පෙනී සිටිනවා. ඔහු මරුවානා නීතිගත කිරීමට ද ප්‍රබල ලෙස පක්ෂ අයෙකු වනවා.

මෙයින් ප්‍රාන්තයේ පළමු ආණ්ඩුකාරවරිය​

ජැනට් මිල්ස් (AP)

70 හැවිරිදි ජැනට් මිල්ස් මෙයින් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස තේරී පත් වුණා. මේ අනුව ඇය එම ප්‍රාන්තයේ එම තනතුර දැරූ පළමු කාන්තාව ලෙස ඉතිහාසගත වනු ඇති. මිල්ස් ඩිමොක්‍රටික් පාක්ෂිකාවක වන අතර, 2013 සිට ප්‍රාන්තයේ නීතිපති ලෙස කටයුතු කළා.

ටෙක්සාස් ප්‍රාන්තයේ පළමු ලැටීනෝ කොන්ග්‍රස් සභිකවරියන්

ටෙක්සාස් ප්‍රාන්තයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ ස්පාඤ්ඤ සම්භවය සහිත ලැටීනෝවරුන් වන නමුත්, මෙතෙක් කිසිදු අවස්ථාවක ලැටීනෝ කාන්තාවන් එම ප්‍රාන්තයෙන් ඇමරිකානු කොන්ග්‍රස් සභාවට සුදුසුකම් ලබා තිබුණේ නැහැ. මෙවර එම තත්ත්වය වෙනස් වූයේ කාන්තාවන් දෙදෙනෙකුට ම එම වරම් හිමිකර දෙමින්. එල් පැසෝ හි වෙරෝනිකා එස්කොබාර් 49 හැවිරිදි කාන්තාවක වන අතර, හුස්ටන් හි සිල්වියා ගාර්සියා 68 හැවිරිදි වනවා. මේ දෙදෙනා ම පහසුවෙන් ඔවුනගේ ආසන ජයග්‍රහණය කළා. දෙදෙනා ම ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ද වනවා.

අයෝවා හි පළමු නියෝජිත මන්ත්‍රණ සභා මන්ත්‍රීවරිය

ඇබී ෆින්කෙනවර් (Iowa Starting Line)

ඇබී ෆින්කෙනවර්ගේ 30 වන උපන් දිනය යෙදී ඇත්තේ එළඹෙන දෙසැම්බරයේ දී යි. ඩිමොක්‍රටික් පාක්ෂිකාවක වන ඇය, 2014 සිට අයෝවා හි පළමු කොන්ග්‍රස් මණ්ඩල දිස්ත්‍රික්කය නියෝජනය කළ රොඩ් බ්ලම් පරාජය කර එම ආසනයෙන් ජයග්‍රහණය කළා.

 

Related Articles