Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙනෙසුවේලා අර්බුදය සහ ඇමරිකා- රුසියා ගැටුම

රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ලෝක බල තුලනය තුළ මතුව ඇති තරගයෙහි නවතම පෙරමුණ ලෙස වෙනෙසුවේලාවේ දේශපාලන අර්බුදය දකින්නට පිළිවන්. ජනාධිපති නිකුලස් මදුරෝට විරුද්ධ කණ්ඩායම්වල නායකයා වන හුවාන් ගුවයිඩෝ වෙත ඇමරිකාව සහ තවත් රටවල් සමහරක් සහාය දැක්වීමත්, මදුරෝට සහාය පළ කිරීම සඳහා රුසියාව ක්‍රියාකාරීව සම්බන්ධ වීමත් හේතුවෙන් මෙම එදිරිවාදිකම වර්ධනය වී තිබෙනවා​.

රජය පෙරළා දමන අවසන් සටන තමන් අරඹා ඇතැයි වෙනසුවේලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස තමන්ව හඳුන්වා ගන්නා හුවාන් ගුවයිදෝ විසින් ප්‍රකාශ කිරීමත් ඒ සමග ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් හේතුවෙන් මෙම අර්බුදය නැවත උග්‍ර අතට හැරුණා.

වෙනෙසුවේලා ජනාධිපති නිකුලස් මදුරෝ එරටින් පිටවීමට සැරසුන බවත් රුසියාව විසින් එය නවතා දමන ලද බවත් අප්‍රේල් 30 වන දා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ප්‍රකාශ කළා. මේ අතර පොම්පෙයෝ සහ රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලැව්රොෆ් අතර දුරකථන සංවාදයක් පැවති බවත්, එහි දී ඇමරිකානු ප්‍රතිපත්ති ලැව්රොෆ් විසින් විවේචනය කෙරුණ බවත් රුසියානු විදේශ අමාත්‍යංශය මැයි 1 වන දා සඳහන් කළා.

වෙනෙසුවේලාවෙ දී ඇමරිකාව විසින් කෙරෙන ආක්‍රමණකාරී ක්‍රියාවලට බරපතල ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැ යි රුසියානු විදේශ ඇමතිවරයා අනතුරු අඟවා තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ වෙනත් ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම සහ එරට නායකත්වයට තර්ජනය කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන බව යි.

හමුදාව මුණගැසෙන මදුරෝ (Miraflores Palace Press Unit)

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළ පරිදි වෙනෙසුවේලාවේ මදුරෝ පාලනයට සහාය දීම නවතන ලෙස පොම්පෙයෝ රුසියාවට දැනුම් දී තිබෙනවා. රුසියාවේ සහ කියුබාවේ ක්‍රියාකාරකම් ඇමරිකානු- රුසියානු සබඳතා ද පළුදු වීමට හේතු වන බව ඔහු සඳහන් කළේ යයි රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ අතර ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කියා සිටියේ වෙනෙසුවේලාව පිහිටියේ ඔවුන්ගේ අර්ධගෝලයේ බැවින් රුසියාවට එහි කිසිදු අදාලත්වයක් නොමැති බව යි. රුසියාවට එරෙහි විවිධ පියවරයන් පිළිබඳ ව සලකා බලමින් සිටින බව ද බෝල්ටන් පවසා සිටිනවා.

මේ අතර විවිධ අවස්ථාවන්හි දී වෙනෙසුවේලාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ඇමරිකානු බලධාරීන් අදහස් දක්වා තිබෙනවා. මෑතක දී ද රාජ්‍ය ලේකම් පොම්පෙයෝ සඳහන් කළේ හමුදාමය ක්‍රියාදාමයක් වුව ද ගැනීමට තමන් සූදානම් බව යි. කෙසේ නමුත්, මෙතෙක් තමන්ට එවන් හමුදා ක්‍රියාදාමයක් සඳහා සූදානම් වන ලෙස දැනුම් දීමක් නොවූ බව පෙන්ටගන් බලධාරීන් කොන්ග්‍රස් මණ්ඩලය හමුවේ සඳහන් කළා.

එක රටක්, ආණ්ඩු දෙකක්

වෙනෙසුවේලාවේ ව්‍යවස්ථාදායක සභාවෙහි සභාපති වූ හුවාන් ගුවයිදෝ ජනවාරි 23 වන දා තමන් එරට අන්තර්වාර ජනාධිපති බව ප්‍රකාශ කළා. නිකුලස් මදුරෝ නීතිවිරෝධී ලෙස බලයෙහි රැඳෙන බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ මැතිවරණයක් පවත්වන තෙක් තමන් අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන බව යි.

මදුරෝ මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කළ අතර, විපක්ෂ උද්ඝෝෂණ පාලනය කිරීමේ කටයුතු දිගටම සිදුවුණා. නමුත්, ඇමරිකා එක්සත් ජනපදය​, යුරෝපා සංගමය ආදීන් වෙනෙසුවේලාවේ නීත්‍යනුකූල ජනාධිපති ලෙස ගුවයිදෝ ව පිළිගත්තා. රුසියාව​, චීනය, සහ කියුබාව ආදී රාජ්‍යයන් මදුරෝට සහාය දැක්වූවා.

මාර්තු මස අවසාන සතියේ දී රුසියානු හමුදා ගුවන් යානා දෙකකින් සිය දෙනෙකුගෙන් සමන්විත හමුදා කණ්ඩායමක් වෙනෙසුවේලාවට යවනු ලැබීමත් සමග ඇමරිකාව, සහ රුසියාව අතර උණුසුම් තත්ත්වය අලුත් වුණා. මෙසේ හමුදා යවන ලද්දේ ඇමරිකානු නායකත්වය වෙනෙසුවේලාවට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග පිළිබඳ අනතුරු අඟවන පසුබිමක යි.

හුවාන් ගුවයිදෝ (Reuters)

රුසියානු හමුදා පිරිස විශේෂ බලකා සහ සයිබර් ආරක්ෂක විශේෂඥයින් ආදීන්ගෙන් සමන්විත වූ බව වාර්තා වුණා. ඇමරිකානුවන් චෝදනා කළේ රුසියානු හමුදා පැමිණීම කලාපයේ අස්ථාවරත්වයට හේතුවන බව යි. නමුත්, මෙම හමුදා කණ්ඩායම පැමිණියේ වෙනෙසුවේලාව සමග පැවති ආරක්ෂක ගිවිසුම් ප්‍රකාරව​, රුසියානු හමුදා උපකරණ පිළිබඳ පුහුණු සහ නඩත්තු කටයුතු සඳහා බව රුසියාව අවධාරණය කළා. කෙසේ නමුත්, රුසියානු හමුදා වෙනෙසුවේලාවෙන් ඉවත් කරවීම පිළිබඳ  ඇමරිකානු අවධානය යොමුව ඇති බව පැහැදිලි වනවා. රුසියානු හමුදා වෙනෙසුවේලාවෙන් ඉවත් කරවීමට හැකි සියලු පියවරයන් ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැයි 1 වන දා කියා සිටියා.

රුසියාව සහ වෙනෙසුවේලාව​

රුසියාවට වෙනෙසුවේලාව ඉතා වැදගත් මිත්‍ර රාජ්‍යයක් වනවා. ඊට ප්‍රධානම හේතුව වන්නේ ජෝන් බෝල්ටන් සඳහන් කරන පරිද්දෙන්ම ඇමරිකාවට ආසන්නයේම වෙනෙසුවේලාව පිහිටා තිබීම බව අමුතුවෙන් කිව යුතු නැහැ. එමෙන්ම වෙනෙසුවේලාව සහ රුසියාව අතර සමීප ආරක්ෂක සබඳතාවක් තිබෙනවා. යුධ උපකරණ විශාල ප්‍රමාණයක් රුසියාව විසින් වෙනෙසුවේලාවට සපයා ඇති අතර, එරටට​ ණය ද ලබා දී ඇතැ යි සඳහන් වනවා.

මේ අතර රුසියාවට ඉතාම වැදගත් වන අනෙක් කරුණ නම් වෙනෙසුවේලාවේ තෙල් සම්පත සහ එම අංශය කෙරෙහි රුසියානු ආයෝජන යි. රුසියාවේ රොස්නෙෆ්ට් සමාගම ඩොලර් බිලියන 9ක් වෙනෙසුවේලාවේ තෙල් සහ ස්වාභාවික වායු ව්‍යාපෘතීන් හි ආයෝජනය කර තිබෙන අතර, එම සමාගමට වෙනෙසුවේලාවෙන් ඩොලර් බිලියන 3ක් අයවීමට නියමිත යි.

රුසියානු හමුදා වෙනෙසුවේලාවට පැමිණ (AFP/Getty Images)

මෙතරම් සමීප වූ භූ දේශපාලනික සහ ආර්ථික සබඳතා තිබිය දී වෙනෙසුවේලාවට ඇමරිකානු කඳවුර කරා යාමට ඉඩ දීමේ කැමැත්තක් රුසියාවට කිසිසේත්ම නොමැති බව පැහැදිලි වනවා. එහෙයින් ඔවුන් සතු එකම විකල්පය නම් හැකි උපරිමයෙන් මදුරෝ රජය ශක්තිමත් කිරීම යි.

මේ අතර ඇතැම් විචාරකයන්ට අනුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතරම් මෙම ප්‍රශ්නය පිළිබඳ මැදිහත්ව කටයුතු කරන්නේ වෙනෙසුවේලාව ඇමරිකාව ආසන්නයේ පිහිටි රාජ්‍යයක් නිසාත්, එහි වන තෙල් සම්පත නිසාත් පමණක්ම නොවේ. සමාජවාදීන්ට සහ වාමාංශිකයන්ට එරෙහිව තම සටනෙහි ජයග්‍රහණයක් සනිටුහන් කිරීම සහ එමගින් 2020 ජනාධිපතිවරණයේ දී වාසියක් සලසා ගැනීම ඔහුගේ තවත් අභිලාශයක් බව යි සඳහන් කෙරෙන්නේ.

නමුත්, මැයි 1 වන දා රජය අල්ලා ගැනීමට විපක්ෂය කළ උත්සාහය අසාර්ථක වූයෙන් ඉදිරියේ දී වෙනෙසුවේලාවේ කුමක් වේදැ යි මේ වන විට ද නිශ්චිත නැහැ. දැනට මදුරෝ රජය සිය බලය ආරක්ෂා කරගන්නා බවක් පෙනී යනවා.

කවරය: උද්ඝෝෂණ අතරතුර ගිනිගත් හමුදා රථයක් (Reuters)

Related Articles