මෑත කාලයේ ලෝක දේශපාලන ක්ෂේත්‍රයෙහි බෙහෙවින් ම කතාබහට ලක් වූ සිදුවීමක් වූයේ ඇමරිකා එක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය අතර ඇති වූ සාම ගිවිසුම යි.

මෙම ගිවිසුම අනුව ඇෆ්ඝනිස්ථානයෙහි සිටින ඇමරිකන් හමුදාවන්ගෙන් කොටසක් ඉවත් කරගැනීම පිළිබඳ එකඟතාවක් ඇති වූ අතර, මාස දහහතරක් තුළ ඇෆ්ඝනිස්ථානයේ සිටින සියලු ඇමරිකන් සහ නේටෝ හමුදා ඉවත් කරගැනීම අපේක්ෂාව යි.

මෙසේ විදේශීය හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වීමෙන් පසු ඇෆ්ඝනිස්ථානයේ සටන් වැදී සිටින පාර්ශවයන් අතර සාම වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. එහෙත්, පසුගිය ඉතිහාසය මෙන්ම වත්මන් තත්ත්වයන් සැලකීමේ දී එවැනි ඉඩක් වේදැ යි සැක සහිත යි.

දීර්ඝතම යුද්ධය

ඇෆ්ඝන් යුද්ධය, ඇමරිකාව පැටලී ඇති දීර්ඝතම යුද්ධය ලෙස සැලකෙනවා. 2001 ඔක්තෝබරයේ සිට ඔවුන් එරට යුධ වදිමින් සිටිනවා.

ඇෆ්ඝන් යුද්ධවල ඉතිහාසය 1978 පමණ තරම් ඈතට දිවයන බව අප දන්නා කරුණක්. සෝවියට් දේශය විසින් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළ පසු ඇමරිකාව සෝවියට් විරෝධී සටනට යුධමය ආධාර ලබා දුන්නා. එහෙත්, එම අවස්ථාවේ දී ඇමරිකානුවන් ක්‍රියාකාරීව යුද්ධයට සහභාගී වූයේ නැහැ.

සෝවියට් දේශය පරාජය වූ පසු එතෙක් ඊට එරෙහිව සටන් කළ විවිධ කණ්ඩායම් අතර රටේ බලය අල්ලා ගැනීම සඳහා ගැටුමක් ඇති වුණා. 1996 දී තලේබාන් සංවිධානය බලයට පත් වන්නේ එම සිවිල් යුද්ධය පසුබිමේ යි.

තලේබාන් සටන්කාමීන් පිරිසක් 2016 දී (AP)

ඇමරිකාව නැවත ඇෆ්ඝනිස්ථානය දෙස අවධානය යොමු කරන්නේ 2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව යි. අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට රැකවරණය දීම හේතුවෙන් තලේබාන් සංවිධානයට එරෙහිව ඇමරිකාව ප්‍රහාරයන් ආරම්භ කළා. එම වසර අවසන් වීමට පෙර තලේබාන් බලය කඩා වැටුණා.

කෙසේ වෙතත්, ඔසාමා බින් ලාඩ්න් මෙන්ම තලේබාන් නායක මුල්ලා මොහොමඩ් ඔමාර් ද පලා ගියා. ඔවුන් සොයාගැනීමටත්, තලේබාන් සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කිරීමටත්, ඇෆ්ඝනිසථානයේ තමන්ට හිතවත් පාලනයක් පිහිටුවා ගැනීමටත් ඇමරිකාව සහ නේටෝ හමුදා එරට ස්ථානගත කෙරුණා.

තලේබාන් ක්‍රියාකාරීත්වය පකිස්ථානය වෙත පැතිර ගිය අතර, වසර කිහිපයක් ගත වෙද්දී නැවතත් ඇෆ්ඝනිස්ථානය තුළ එම සංවිධානය නැවත ස්ථාවර වීමට පටන් ගැනුණා. මෙම තත්ත්වය පාලනය කිරීමට ඇමරිකන් හා නේටෝ හමුදා ගත් උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

ඇමරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් කරගැනීම පිළිබඳ සාකච්ඡාව තදින්ම මතු වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස පත් වීමෙන් පසු යි. මේ අනුව 2018 දී ඇමරිකානු - තලේබාන් සාකච්ඡා දෝහා හි දී ක්‍රියාත්මක වුණා. තලේබාන්වරුන් ඇමරිකානු හමුදාවන්ට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ඇමරිකාව වරක් සාකච්ඡාවලින් ඉවත්ව ගියා. නමුත්, පසුව ඔවුන් නැවත සාකච්ඡා සඳහා එක් වුණා.

මේ අවස්ථාවේ දී ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකන් හමුදා ශක්තිය 14,000 සිට 8,600ට අඩු කිරීම පිළිබඳ එකඟ වී ඇති අතර, ඉතිරි ඇමරිකන් හා නේටෝ හමුදා ක්‍රමානුකූලව ඉවත් කෙරෙනු ඇති.

තලේබාන් ජයග්‍රහණයක්?

මෙම එකඟතාව තලේබාන් සංවිධානය ලැබූ ජයග්‍රහණයක් බවට මතයක් ව මේ අතර පළ වනවා. විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය තුළ ඇෆ්ඝන් රජය එතරම් සැලකිල්ලකට නොගෙන තිබීම තුළ රජය බල රහිත වී ඇතැ යි පෙනී යනවා.

තලේබාන් පාලනය බිඳවැටුණ පසු බිහි වූ ඇෆ්ඝන් රජයන් රටේ බලය තහවුරු කරගැනීමේ දී විශාල අභියෝගයන්ට මුහුණ දුන්නා. එක් කලෙක හිටපු ජනාධිපති හමිඩ් කර්සායි ව ඇතැමුන් විසින් හඳුන්වන ලද්දේ කාබුල් හි නගරාධිපති ලෙස යි. ඇෆ්ඝන් රජයේ පාලනය එතරම් ම සීමා වී තිබූ සමයක් ද තිබුණා.

වර්තමානයේ ද ජනාධිපති අෂ්රෆ් ඝානි පිළිබඳ පැහැදිලි ගැටළු තිබෙනවා. විශේෂයෙන් ඔහු දෙවන වරට ද ජනාධිපති ලෙස තේරී පත් වූ නමුත්, එම ජනාධිපතිවරණය දූෂිත වූ බව විපක්ෂ කණ්ඩායම් චෝදනා කරනවා.

අෂ්රෆ් ඝානි (AFP/Getty Images)

එමෙන්ම ඇෆ්ඝන් පාර්ශවයන් අතර සාකච්ඡා තුළින් ස්ථිරසාර සාමයක් ස්ථාපිත කරගත යුතුයැ යි ප්‍රකාශ කළ ද, එය සිදුවිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ගැටළු පවතිනවා. එක් හේතුවක් වන්නේ රජය සහ තලේබාන් සංවිධානයට අමතරව ස්වදේශික යුධ නායකයන් ද මෙය කෙරෙහි උනන්දුවක් දැක්වීම යි. එමෙන්ම තලේබාන් සංවිධානය හා රජය අතර මූලික සාකච්ඡා ඇරඹීම සඳහා වන කොන්දේසි පිළිබඳ ද වාද විවාද මතු විය හැකියි.

මේ වන විට ද ඒ පිළිබඳ ගැටළු ඇති වන බවට අඟවන කරුණු සිදු \වෙමින් පවතිනවා. ඇෆ්ඝන් අත්අඩංගුවේ සිටින තලේබාන් සිරකරුවන් 5,000ක් පිළිබඳ මතු වූ ගැටුම ඊට උදාහරණයක් වුණා. ඇමරිකන් - තලේබාන් සාකච්ඡා අනුව එම සිරකරුවන් නිදහස් කළ යුත්තේයැ යි, තලේබාන් සංවිධානය කියා සිටිනවා. නමුත් රජය ප්‍රකාශ කරන්නේ, එය තමන් සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡාවල දී විසඳාගත යුතු ගැටළුවක් මිස සාකච්ඡා සඳහා පූර්ව කොන්දේසියක් නොවන බව යි.

මේ අතර​, මාර්තු 4 වන දා ඇමරිකන් ගුවන් හමුදා විසින් ඇෆ්ඝනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ දී තලේබාන් ඉලක්කයන් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබුණා. මෙසේ ප්‍රහාරයක් එල්ල කළේ දින එකොළහකට පසුව යි. ඇමරිකාව ප්‍රකාශ කළේ තලේබාන් සංවිධානය එම ප්‍රදේශයේ ප්‍රහාර කිහිපයක් එල්ල කළ හෙයින් මෙම ප්‍රතිචාරය දැක්වූ බව යි.

මෙසේ ඉදිරි සාකච්ඡා පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති හෙයින් නැවත වරක් ඇෆ්ඝනිස්ථානයේ අභ්‍යන්තරික ගැටුම යුධ ශක්තිය මත තීරණය වේයැ යි බියක් මතුව තිබෙනවා.

කවරයේ ඡායාරූපය: ඇමරිකන් සහ තලේබාන් නියෝජිතයන් ගිවිසුමට අත්සන් කරති (AP)