Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ ගිනි අවි භාවිතය කැමැති අයුරින් සිදු කළ හැකිද?

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් සිදු කරන වෙඩි තැබීම් මෙන් ම තනි තනි පුද්ගලයන් මැදිහත් ව සිදු කරන ඝාතන පිළිබඳ විවිධ රටවලින් මෙන් ම අප රටින් ද තොරතුරු වාර්තා වනවා. එම වෙඩිතැබීම් හේතුවෙන් ගිනි අවි භාවිතය පිළිබඳ විවිධ සීමා පැනවිය යුතු බවට ලොව විවිධ රටවලින් මෙන් ම අප රටින් ද විවිධ අවස්ථාවල දී ඉල්ලීම් ඉදිරිපත් කෙරෙනවා. බලපෑම් සිදු වනවා. 

ලොව විවිධ රටවල ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ ඒවා භාවිත කිරීම සඳහා වූ විවිධාකාරයේ රෙගුලාසි තිබෙනවා. සමහරක් රටවල ඕනෑම සිවිල් පුරවැසියකුට ඉතා පහසුවෙන්, නීත්‍යානුකූලව ගිනි අවියක් ළඟ තබාගත හැකි අතර, තවත් සමහර රටවල දී ගිනි අවියක් නීත්‍යනුකූල ව තමන් සන්තක කර ගැනීම සඳහා ඉතා විශාල ප්‍රයත්නයක් දැරිය යුතු යි. 

අනවසර ගිනි අවි ළඟ තබා ගැනීම

ශ්‍රී ලංකාව තුළ නිතර ම ඇසෙන ප්‍රවෘත්තියක් වන්නේ ‘අනවසර ගිනි අවි ළඟ තබා ගැනීම නිසා’ අසවලා පොලිස් භාරයට ගත්තා, දඬුවම් ලැබුවා යන්න යි. සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් සිදු කරන වෙඩි තැබීම් සඳහා ද මේ ‘අනවසර ගිනි අවි’ භාවිත කර ඇති බවත් වාර්තා වනවා. ලොව අනෙකුත් රටවල මෙන් ම, ශ්‍රී ලංකාව තුළ ද සාමාන්‍ය සිවිල් පුරවැසියකුට ගිනි අවියක් ළඟ තබා ගැනීම සඳහා වූ විශේෂිත නීති රෙගුලාසි බල පැවැත්වෙන අතර, එලෙස එවැන්නක් ළඟ තබා ගැනීමට නීතිමය අවසරය ලබා ගැනීමත් අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලට සාපේක්ෂව අපහසු වෙනවා.

කෙසේ නමුත් විවිධාකාරයේ සාධාරණ හේතු නිසා මෙරට පුරවැසියකුට ගිනි අවියක් ළඟ තබා ගැනීමට වුවමනා විය හැකි අතර, එවැන්නකුට, නීතිමය වශයෙන් කරදරයේ නොවැටී, සමාජමය අන්තරායයක් ඇති නොවන පරිද්දෙන් ගිනි අවියක් තමන් සන්තක කරගන්නේ කෙසේද යන්න පෙන්වා දීම මේ ලිපියෙහි අභිප්‍රායය වෙනවා.

ශ්‍රී ලංකාව තුළ ගිනි අවි භාවිතයට තදබල රෙගුලාසි තිබෙනවා- Emily Fennick / EyeEm/Getty Images/EyeEm

 

ගිනි අවි අර්ථ දක්වන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකාව තුළ ගිනි අවි මිලදී ගැනීම සහ භාවිත කිරීම පිළිබඳ ව නීති සහ රෙගුලාසි සඳහන් ආඥා පනතක් මෙරට සම්මත ව ඇති ඇති අතර එය 1916 වසරේදී ඉදිරිපත් කළ අංක 33 දරන තුවක්කු ආඥා පනත ලෙස හැඳින්වෙනවා.

පසුකාලීනව මේ පනතට සංශෝධන කිහිපයක් ම සිදු කළ අතර, වර්තමානය වන විට ක්‍රියාත්මක ව පවතින්නේ 1995 වසරේ සිදු කළ 18 වන සංශෝධනය යි. මෙයට අනුව ‘අඟල් 0.043 ක ගණකමකින් යුතු, අඟල් එකහමාර බැගින් දුරකින් පිහිටුවන සහ පළමු පුවරුව තුවක්කු කටෙහි සිට අඩි 50 ක දුරකින් වෙඩි තැබීමට රේඛීය ව පෙළට පිහිටුවා ඇති පළල පුවරු අටකට වඩා සිදුරු කිරීමට සමත් බලයක් සහිත ව මූනිස්සමක් හෝ උණ්ඩයක් පිටවන බැරල් අවියක් ‘තුවක්කුවක්’ ලෙස අර්ථ දක්වා තිබෙනවා.

ගිනි අවි බලපත්‍ර නිකුත් කරන්නේ කාට ද?

අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල මෙන් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම ශ්‍රී ලංකාව තුළ පහසුවෙන්  සිදුවන්නේ නැහැ. යමෙක් හෝ ආයතනයක් වෙනුවෙන් ගිනි අවි නිකුත් කිරීම සහ පරිහරණය උදෙසා බලපත්‍රයක් ලබා දීමට නම් එම පුද්ගලයා හෝ ආයතනය වෙත ඒ සඳහා යම් පිළිගන්නා සාධාරණ හේතුවක් තිබිය යුතු වෙනවා. මෙය මිනිස් ජීවිත, සත්ත්ව ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සහ අනවශ්‍ය බියවැද්දීම්, සොරකම් වැනි දේ සිදුවීම වලක්වා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රමවේදයක් වෙනවා.

ශ්‍රී ලංකාව තුළ යමකුට ගිනි අවියක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට නම් එය ලබා ගන්නේ කුමන පදනමකින් දැයි පෙන්වා දිය යුතු වෙනවා. මෙය ජීවිතාරක්ෂාව සඳහා, දේපළ ආරක්ෂාව සඳහා, වගා ආරක්ෂාව සහ සත්ත්ව පාලනය සඳහා, ක්‍රීඩා කටයුතු සඳහා ආයතනවල ආරක්ෂක නිලධාරීන් සඳහා යනාදී වශයෙන් නන්වැදෑරුම් වෙනවා. ජීවිතාරක්ෂාව සහ දේපළ ආරක්ෂාව සඳහා ගිනි අවි බලපත්‍ර ලබා දීමේ දී කරුණු රාශියක් සැලකිල්ලට ගැනෙනවා. විනිසුරුවරුන් වැනි රාජ්‍ය ආරක්ෂාව, නීතිය සහ වෙනත් ‘අවදානම් සහගත’ රැකියා කරන ඉහළ නිලධරයන්ට ගිනි අවි සහ ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍යයෙන් සිදු වෙනවා.

වගා ආරක්ෂාව

වගා ආරක්ෂාව කරණකොට ගෙන ගිනි අවි බලපත්‍ර මෙන් ම ගිනි අවි ද රජය මගින් ලබා දෙන අතර, වගා පාළු කරන වඳුරන් වැනි සතුන් එළවීම, වන අලින් එළවීම සඳහා වූ, ජීවිත හානි සිදු කිරීමට ඇති හැකියාව අවම, ගිනි අවි සහ බලපත්‍ර ලබා දීම මෙහිදී සිදුවෙනවා. ක්ෂේත්‍රයන් හි ආරක්ෂාව සඳහා අනුයුක්ත මුරකරුවන් සහ ආරක්ෂක නිලධාරීන්ට ද නියමිත බලවත්කමින් යුක්ත ගිනි අවි සඳහා බලපත්‍ර නිකුත් කෙරෙන අතර, විශේෂ අවසරයකින් පසු ක්‍රීඩා කටයුතු සඳහා ද ගිනි අවි බලපත්‍ර ලබා දීම සිදු වෙනවා.

 ශ්‍රී ලංකාවේ ගිනි අවි භාවිතය ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුම ඇතුව සිදු කළ යුතු වෙනවා- defence.lk 

 

ජීවිතාරක්ෂාව හෝ වගා කටයුතු සඳහා ගිනි අවියක් හෝ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

සිවිල් පුරවැසියකුට තමන් හට ජීවිතාරක්ෂක හෝ දේපළ ආරක්ෂා කර ගැනීමේ කටයුත්තක් සඳහා ගිනි අවි බලපත්‍රයක් ලබා ගැනීමට නම් යමෙක් සිය ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්යය වෙනවා. ගිනි අවිය ලබා ගන්නේ ව්‍යාපාරයක් කරණකොට ගෙන නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය ද ඉදිරිපත් කළ යුතු වෙනවා. එයට ජීවිත මෙන් ම දේපළ පිළිබඳ ව ඇති තර්ජන අන්තර්ගත පොලිස් වාර්තා මෙන් ම වසර තුනක ආදායම් බදු වාර්තා ද ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙයට අමතර ව තමන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු මෙන් ම වත්කම් විස්තරත් සැපයිය යුතු වෙනවා.

රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයන් හෝ දේශපාලනඥයන්ට ගිනි අවි බලපත්‍ර හෝ ගිනි අවි නිකුත් කිරීමට පත්වීමේ ලිපියෙහි පිටපතක්, ගැසට් නිවේදනයෙහි පිටපතක්, රාජකාරී හැඳුනුම්පත, වත්කම් පිළිබඳ විස්තර, ආයතන ප්‍රධානියාගේ නිර්දේශය හා ආදායම් බදු විස්තර එහිදී අවශ්‍ය වෙනවා.

ගිනි අවි බලපත්‍රයක් හෝ ගිනි අවියක් ඉල්ලුම් කිරීම – www.silumina.lk 

 

ගිනි අවි බලපත්‍රයක් හෝ ගිනි අවියක් ඉල්ලුම් කිරීම

වගා කටයුත්තකට, සිවිල් පුද්ගලයෙක් ගිනි අවි බලපත්‍රයක් හෝ ගිනි අවියක් ඉල්ලුම් කිරීමේ දී ඉල්ලුම්පත සම්පූර්ණ කිරීමට අමතර ව, ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ පිටපතක්, ප්‍රාදේශීය ලේකම්වරයා නිකුත් කළ ආදායම් සහතික පිටපතක්, අයදුම් කරන්නේ වගාව සම්බන්ධව නම් වගා හානිය පිළිබඳ ව ගොවිජන සේවා සහකාර කොමසාරිස් ගේ වාර්තාවේ මුල් පිටපතක්, සත්ත්ව පාලනය සම්බන්ධයෙන් නම් සත්ත්ව ගොවිපොළ පිළිබඳ ව පශු වෛද්‍ය නිලධාරී වාර්තාවේ මුල් පිටපතක් යන ලියකියවිලි ඉදිරිපත් කළ යුතු වෙනවා.

ගිනි අවි බලපත් හෝ අවිය ලබා ගත යුතු වන්නේ  ඉඩම් ආරක්ෂණය සම්බන්ධ කර්තව්‍යයකට නම් ඉදිරිපත් කරන ඉඩම් ඔප්පුවල සහතික කළ පිටපත්, බදු ඉඩමක් නම් ගිනි අවිය ලබා දීම පිළිබඳ ව විරෝධත්වයක් නොමැති බවට ඉඩම් හිමිකරුවන්ගෙන් ලබා ගත් සහතිකයේ මුල් පිටපත, වෙනත් දිස්ත්‍රික්කයක පිහිටි ඉඩමක් නම් අදාළ දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිර්දේශය සහිත ලිපියක මුල් පිටපත මෙන් ම කලත්‍රයා සතු ඉඩම් ඉදිරිපත් කරන්නේ නම් විවාහ සහතිකයේ සහතික කළ පිටපතක් ද ඉදිරිපත් කළ යුතු වෙනවා.

 ශ්‍රී ලංකාවේ වගා හානි කරන සහ ගම් වදින වන සතුන් එළවීම සඳහා ගිණි අවි භාවිතා කිරීමට හැකි වන රෙගුලාසි තිබෙනවා- newsfirst.lk

 

බලපත්‍රය අලුත් කිරීම සහ පතරොම් ලබා ගැනීම

එලෙස නිකුත් කරන සියලු ගිනි අවි සඳහා උණ්ඩ ලබා ගැනීම ආරක්ෂක අමාත්‍යංශය අනුබද්ධ ව සිදු කළ යුතු අතර ඒ සඳහා අවියේ අයිතිකරු, ආරක්ෂක ලේකම් අමතා ලිපියක් ඉදිරිපත් කළ යුතු වෙනවා. එහි ගිනි අවියේ වර්ගය, බලපත් අංකය, තමන්ට ආසන්නත ම පොලිස් ස්ථානය මෙන් ම පොලිස් කොට්ඨාසය මෙන් ම මීට ඉහත දී ලබා ගත් පතරොම් වැය වූ ආකාරයත් දැක්විය යුතු වෙනවා. පතරොම් ලබා ගැනීමේ දී ගිනි අවියේ මුල් බලපත් පිටපත රැගෙන  ආ යුතු අතර, එහි පිටපතක් ආරක්ෂක අමාත්‍යංශය වෙත ද භාර දිය යුතු වෙනවා. අයිතිකරු ගේ ජාතික හැඳුනුම්පත් පිටපතක් සහ, ඉන් පෙර තමන් වෙත නිකුත් කළ පතරොම් මිල දී ගැනීමේ අවසරපතේ පිටපතක් ද භාර දිය යුතු වෙනවා. පතරොම් රැගෙන යාමට පෙර, එහි මුල් පිටපත ද පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු වෙනවා.

ඉහත සෑම ගිනි අවියක් සඳහා ම වූ බලපත්‍ර වසරක් පාසා අලුත් කළ යුතු වෙනවා. ඒවා සෑම වසරක ම දෙසැම්බර් මස 31 වැනිදාට පෙර අලුත් කළ යුතු අතර, එසේ කළ නොහැකි වුවහොත් අනවසර ගිනි අවියක් ළඟ තබා ගැනීමට වරදකරු විය හැකි යි. එලෙස බලපත්‍ර අලුත් නොකරන ගිනි අවි නැවත භාර දීම සඳහා සමා කාලයක් ද හිමිකරුවන්ට ලැබෙන අතර, එසේ අපොහොසත් වන්නන් කෙරෙහි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කවරයේ ඡායාරූපය - අනවසර ගිනි අවි ළඟ තබා ගැනීම - Getty Images 

මූලාශ්‍ර:

Defence.lk

Gic.gov.lk

Newsfirst.lk

silumina.lk 

Related Articles