Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ළමා මනස විකෘති කරන්නට වීඩියෝ ක්‍රීඩාවලට පුළුවන් ද?

දරුවකු ගෙල වැල ලා ගත් සිදු වීමක් ශ්‍රී ලංකාව ම පසුගිය දිනෙක කම්පාවට පත් කරන්නට සමත් වුණා. මෙයට හේතුව ලෙස මාධ්‍ය අනාවරණය කළේ වීඩියෝ ක්‍රීඩාවේ අධික ව යෙදෙන නිසා මව්පියන් ඔහුගේ ජංගම දුරකථනය ලබා ගැනීමයි. මේ සිදුවීමත් සමඟ ම ශ්‍රී ලංකාව පුරාම ජංගම දුරකථන සහ තාක්ෂණයට දරුවන්ගේ ඇබ්බැහිවීම පිළිබඳ ව විශාල කතා බහක් ගොඩ නැගෙන්නට පටන් ගත්තා. බොහොමයක් මාධ්‍ය මේ කතා බහ හුදෙක් ජංගම දුරකථනයට සහ ළමයින් මත පටවන්නට විශාල වෙහෙසක් දරු හැටිත් මේ දුක්බර සිදුවීමට රසාලිප්ත වචන යොදා පුවත් මැවූ හැටිත් ඔබ දකින්න ඇති.

ඔබ මවක, පියකු, වැඩිහිටියකු නම් ඔබේ දරුවා ගේ තාක්ෂණ භාවිතයට බොහෝ විට බැනුමක් හෝ තහනමක් එක් කරන්නට මේ සිදුවීමත් හේතු වන්නට ඇති. ජංගම දුරකථන සහ තාක්ෂණික භාවිතය වගේම පරිගණක ක්‍රීඩා, වීඩියෝ ක්‍රීඩාවල යෙදෙන බොහෝ දෙනකුට චෝදනා එල්ල වෙන්නට ඇති. ඇත්තට ම ළමා මනස විකෘති කරන්නට සහ එයින් ප්‍රචණ්ඩත්වයට, සිය දිවි නසා ගැනීම් සඳහා පෙලඹෙන්නට මේ වීඩියෝ ක්‍රීඩා හේතු වෙනවාද? මේ ලිපිය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳ ව ඔබට කියන්නයි. ලිපිය කියවන්නට කලින් මේ සියලු කරුණු දෙස විවෘත මනසකින් සහ බුද්ධිමත් ව බලන ලෙස අප ඔබෙන් ඉල්ලනවා.

 ළමා ප්‍රචණ්ඩත්වයට චෝදනා ලබන වීඩියෝ ක්‍රීඩා – cnet.com 

වීඩියෝ ක්‍රීඩා සහ ප්‍රචණ්ඩත්වය අතර සබඳතා 

වීඩියෝ ක්‍රීඩාවල ප්‍රචණ්ඩත්වය නම් අමුතු දෙයක් නොවන බව මේ කාලයේ ජීවත්වන ඕනෑම අයකු දන්නා කාරණයක්. යම් අරමුණක් හෝ ඉලක්කයක් වෙත යාමට සෘජු ව හෝ වක්‍ර ව හෝ ප්‍රචණ්ඩත්වය භාවිත කරන්නට වෙන අවස්ථා ජනප්‍රිය බොහොමයක් පරිගණක සහ දුරකථන ක්‍රීඩාවල දකින්නට පුළුවන්. මේ ප්‍රචණ්ඩත්වය සමඟ ක්‍රීඩා කිරීම සැබෑ ජීවිතයට බලපානවා ද නැද්ද යන්න ලෝකයේ අදටත් බහුල ව කතාබහට ගැනෙන ප්‍රකට මාතෘකාවක්. ලෝකය පුරා සිදුවන ළමයින් සම්බන්ධ ප්‍රචණ්ඩකාරී ක්‍රියා බොහොමයකට චෝදනා ලබන්නේ මේ වීඩියෝ ක්‍රීඩා බව නම් නොරහසක්.

සෑම පුද්ගලයකු තුළ ම අඩු හෝ වැඩි මට්ටම්වලින් ප්‍රචණ්ඩත්වය ගැබ් ව තිබෙන බවත්, මේ ක්‍රීඩාවල නිරන්තරයෙන් යෙදීමෙන් ඒවා වැඩිපුර ඉස්මතු වන බවටත් සමහරුන් අදහස් දක්වනවා. තාක්ෂණයේ දියුණුව සමඟ බොහොමයක් වීඩියෝ ක්‍රීඩා සැබෑ ලෝකයේ තත්වය, ස්ථාන හා පුද්ගලයන්ට අතිශය සමාන ලෙසින් නිර්මාණය වන නිසා මේවා සමඟ ක්‍රීඩාවේ යෙදීමෙන් එවැනි ක්‍රියා සැබෑ ලෝකයේදීත් සිදු කිරීමට ඇති බිය අඩු වන බවයි ඔවුන් සඳහන් කරන්නේ. නිතර ආවේගශීලී වීම, සැබෑ ලෝකය සමඟ ඇති සබඳතා අවම වීම, දැඩි ආක්‍රමණශීලී ගති පැවතුම් බිහි වීම මේවයේ අතුරු ප්‍රතිඵල බවයි ඔවුන් කියන්නේ. යම් ත්‍රස්ත ප්‍රහාර සඳහා පවා වීඩියෝ ක්‍රීඩා ආශ්‍රය ලබා ගත් බවත් ඔවුන් දක්වන ප්‍රධාන කරුණක්.

සමාජයේ ප්‍රචණ්ඩත්වය වැඩි වීමට වීඩියෝ ක්‍රීඩාවල සෘජු සම්බන්ධතා නැති බවට තර්ක ගෙන එන්නන් මේ සියල්ල ප්‍රතික්ෂේප කරනවා. වීඩියෝ ක්‍රීඩා හෝ පරිගණක මෙතරම් දියණු වන්නට පෙර ලෝකයේ අතිශය සහාසික ක්‍රියා බොහොමයක් සිදුවුණු බවත්, දැන් සංසන්දනාත්මක ව ගත් විට ඒවා අඩු බවත් ඔවුන් සඳහන් කරනවා. වීඩියෝ ක්‍රීඩා නිසා ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා වෙනුවට සාහසික සහ ප්‍රචණ්ඩත්වය හුවා දක්වන ක්‍රීඩා තෝරා ගන්නන් සහ ප්‍රචණ්ඩත්වය නොමැති ක්‍රීඩාවලත් එවැනි අයුරින් හැසිරෙන්නන් යම් මානසික අසමතුලිතතාවක් පෙර සිට ම පවතින අය බවටත් ඔවුන් කරුණු දක්වනවා. ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල් තම ශ්‍රාවක සහ ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩි කර ගැනීමට සහ ප්‍රසිද්ධිය තකා එවැනි සිදුවීම් දැඩි ව උලුප්පා පෙන්වන බවත් ඔවුන් සඳහන් කරනවා. අනෙක් අතට ප්‍රචණ්ඩත්වයේ යෙදෙන සෑම පුද්ගලයකු ම පරිගණක හෝ වීඩියෝ ක්‍රීඩා නො කරන අතර එලෙස ක්‍රීඩාවල යෙදෙන බහුතරයක් කිසිම ප්‍රචණ්ඩත්වයකින් තොර ව දිවි ගෙවන බවයි ඔවුන්ගේ මතය වෙන්නේ.

කවුද හරි? කවුද වැරදි?

කවුද හරි කවුද වැරදි කියන එක උත්තර ලබාදෙන්න අපහසු ගැටලුවක්. 2019 වෙද්දී වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීම ජාත්‍යන්තර වශයෙන් රෝගයක් ලෙස පිළිගැනීමට ලක්වෙනවා. සූදුව සඳහා ඇබ්බැහිවීම ලෙස ම මෙයත් එක සේ භයානක බවයි බොහෝ විද්වතුන් කියන්නේ. ඇබ්බැහිවීම් බොහොමයක් සමථයකට පත් කරන්නට බිහි වී තිබෙන සංවිධාන සහ සාකච්ඡා මණ්ඩප අද වෙද්දී ලෝකයේ සුලබ ව දැකගන්නට පුළුවන්. මේ ඇබ්බැහිය වෙනුවෙන් නම් සාර්ථකව එවැන්නක් අදටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රචණ්ඩත්වයට හේතු වෙනවා හෝ නොවෙනවා ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෙම නැති බව අපි සිහි තබා ගන්නට ඕනේ.

පිරිසකට මේ වීඩියෝ ක්‍රීඩා ඇබ්බැහිය විශාල කරදරයක් වෙද්දී තවත් අතිශය විශාල පිරිසකට මේ ක්‍රීඩා අස්වැසිල්ලක් ගෙන එනවා. දවස ම වෙහෙස වී රැකියා කරන අයට මේ ක්‍රීඩා, මානසික සුවය සහ පීඩනය අවම කරගන්න තෝතැන්නක් වෙනවා. විශේෂයෙන් සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න අවශ්‍ය මේ සමයේ බොහෝ දෙනකු මිතුරන් සමඟ එක්ව අන්තර්ජාලය හරහා ක්‍රීඩා කිරීමෙන් මිතුරුදම් දුරස් නොවී ආරක්ෂා වෙනවා.

ඔබ දන්නවාද ලෝකයට ම හිසරදයක් ව තිබෙන opioid ඇබ්බැහියට සාර්ථක විසඳුමක් ලෙසින් වීඩියෝ ක්‍රීඩාවක් භාවිත කරන්න වෛදවරුන් පිරිසක් සමත් වෙලා තියෙනවා. අන්තර්ජාලයේ ඔබ සෙවීම් කළොත් ඔබට ඕනෑතරම් මේ වැනි දේ සොයාගන්නට හැකිවන බව අපට විශ්වාසයි.

 Opioid ඇබ්බැහියට ප්‍රතිකාර සඳහා වීඩියෝ ක්‍රීඩා – washingtonpost.com 

 

ඔබ සෙවීම කරන්නේ “වීඩියෝ ක්‍රීඩා මනසට අයහපත් ද?” එසේ නැති නම් “වීඩියෝ ක්‍රීඩා මනසට යහපත් ද?” යන සෙවීම අනුව ඔබේ කරුණු සනාථ කරන්නට අන්තර්ජාලයෙන් කරුණු හමු වේවි. හිතන්න මේ කාලයේ ඔබත් මාත් සේම කුඩා දරුවනුත් සිටින්නේ මානසික පීඩනයෙන්. ඔවුන්ගේ යහළුවන් මුණගැසීමට කෙළිදෙලෙන් ගතකිරීමට ඇති කාලයයි මෙලෙස බිත්තිවලට කොටුව ගෙවෙන්නේ. එය ඔබටත් අපහසු බව අපි දන්නවා. කුඩා දරුවන්ට මෙය කොතරම් නම් අපහසු කරුණක් වන්නට ඇති ද?

ලෝකයේ ළමා සිය දිවි නසා ගැනීම් සඳහා ලොකු ම හේතුව බවට පත් වෙන්නේ වීඩියෝ ක්‍රීඩා නොවන බව ඔබ දන්නවද? එයට ලොකු ම හේතුව ලෙස දැක්වෙන්නේ පවුලෙන් ඇතිවන අධික පීඩනයයි. මේ ව්‍යසන සමයේ අමෙරිකාවේ පමණක් දරුවන්ගේ සිය දිවි නසා ගැනීමේ ශීඝ්‍රතාව 99% ඉහළ ගිහින් තියෙනවා.සමාජ ආශ්‍රය අවම වීම, දැඩි මානසික පීඩනය, නව ජීවන රටා වැනි කරුණු රැසක් මෙයට බලපා තියෙනවා. ශ්‍රී ලංකාවේත් මේ තත්ත්වය මෙලෙසින් ම ඔබට අත්විඳික්කට හැකි බව https://www.police.lk/ වෙබ් අඩවිය අනාවරණය කරනවා. 

දුරස්ථ අධ්‍යාපනය වෙනුවෙන් දරුවන් බොහෝ දෙනකුට මේ වෙද්දී ජංගම දුරකථන ලබාදෙන්න අකමැත්තෙන් වුවත්  මව්පියන්ට සිදු ව තිබෙනවා. ඔබේ දරුවාට අවධානය දෙන්න. දුරකථනයේ සිදු කරන්නේ මොනවාදැයි නිරන්තර සොයා බලන්න. මේ කියන්නේ ඕනෑවට වඩා තහංචි දාන්න කියා නම් නෙමෙයි. වීඩියෝ ක්‍රීඩා කරන්නට කැමති නම් එයටත් අවස්ථාවක් ලබා දෙන්න. ලෝකයේ දැනුම වඩවන ක්‍රීඩා ඕනෑතරම් ඇති බවත්, සමහර විද්වතුන් වීඩියෝ ක්‍රීඩා මගින් ළමා මනස ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන බවත් සඳහන් කරන බව සිහි තබා ගන්න. මේ කාලයේ ඔබට මට සේම දරුවන්ටත් ආදරය නිරතුරු අවශ්‍ය බව මතක තබාගන්න. මෙවැනි දේ සඳහා හෝ මොනයම් දෙයක් පිළිබඳ දරුවන් තුළ දැඩි ඇබ්බැහියක් ගැන විමසිලිමත් මාපියන් වැඩිහිටියන් ලෙස ඔබට දැනුනොත් ඒ ගැන දරුවන් සමඟ කතා කරන්න. තත්වය පැහැදිලි කරන්න, ආදරය භාවිත කරන්න. අවැසි නම් මානසික උපදේශන ලබා ගන්න. ඔබේ දරුවාගේ අනාගතයට එය උපකාරයක් වන බව අපට විශ්වාසයි. 

මෙවැනි කරුණු සඳහා සියදිවි නසා ගැනීම් උලුප්පා මාධ්‍ය තුළින් පෙන්වීම කොතරම් නම් සදාචාර සම්පන්නද යන කාරණය පිළිබඳ ව පෞද්ගලික ව ඉතිරිවන්නේ විශාල පැනයකි. 2018 වසරේ මෙවැනි සිදුවීම් වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු කාරණා පිළිබඳ ව ලංකාවේ මාධ්‍ය ආයතන වෙත ලබාදුන් මාර්ගෝපදේශ නම් ක්‍රියාත්මක නොවන බව සක්සුදක් සේ පැහැදිලියි. කුණු විකුණා ප්‍රසිද්ධිය ලබන රටක ඔබේ දරුවා මාධ්‍යයෙන් ප්‍රවේශම් කරගන්නට වග බලා ගන්න වැඩිහිටියනේ. 

මේ හා සබැඳි තවත් ලිපි ඔබට පහතින් කියවන්නට පුළුවන්.

පරිගණක ක්‍රීඩා මානසික රෝගයකට මුල ද ?

ලංකාවේ සියදිවි නසාගැනීම් ගැන විග්‍රහයක් 

How Should The Media Report Suicide And Rape? 

මේ මාතෘකාව හා සබැඳෙනවෙනත් ලිපි 

දිනෙන් දින වැඩි වන සියදිවි හානි කර ගැනීම් 

වීඩියෝ ක්‍රීඩා සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩත්වයට හේතු වෙනවාද?

කවරයේ ඡායාරූපය : වීඩියෝ ක්‍රීඩාවල ප්‍රචණ්ඩත්වය  -lensculture.com 

මූලාශ්‍ර:

Nature.com 

Abcnews.go.com 

Forbes.com 

Washingtonpost.com 

Psychologytoday.com 

Theguardian.com 

Inquirer.com 

Mother.ly 

Npr.org 

Theconversation.com 

Gizmodo.com 

Hsph.harvard.edu 

Slate.com 

Sinhala.news.lk 

Who.int 

Police.lk 

Related Articles