Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියානු ඉතිහාසයේ විශාලතම යුධ අභ්‍යාසය: වොස්ටොක් 2018

සැප්තැම්බර් 11 වන දා රුසියාව ඉතිහාසයේ විශාලතම යුධ අභ්‍යාසය ලෙස සැලකෙන වොස්ටොක්-2018 (නැගෙනහිර-2018) යුධ අභ්‍යාසය ආරම්භ කළා. මෙම යුධ අභ්‍යාසය සයිබීරියාවේ පුහුණු මධ්‍යස්ථාන කිහිපයක සහ සමුද්‍ර ප්‍රදේශ කිහිපයක සැප්‍තැම්බර් 17 දක්වා ක්‍රියාත්මක වනවා. මෙම අභ්‍යාසවල එක් වැදගත් කරුණක් වන්නේ චීන හමුදා පළමු වරට උපක්‍රමික යුධ අභ්‍යාස සඳහා රුසියානු යුධ අභ්‍යාසයකට සහභාගී වීම යි. මෙය චීනය සහ රුසියාව අතර මිත්‍රත්වයේ වැදගත් සන්ධිස්ථානයක් වනවා.

සපාද්-1981

වොස්ටොක්-2018 යුධ අභ්‍යාසය පිළිබඳ රුසියානු ආරක්ෂක ඇමති සර්ගේයි ෂියෝගු විසින් නිවේදනය කළේ 2018 අගෝස්තුවේ දී යි. එම අවස්ථාවේ ඔහු සඳහන් කළ ආකාරයට එම අභ්‍යාසය 1991 දී සෝවියට් දේශය බිඳවැටුණු පසු රුසියාව විසින් පවත්වන දැවැන්තම යුධ අභ්‍යාසය වීමට නියමිත වුණා. එමෙන්ම එය සපාද්-2017 (බටහිර​-2017)ට වඩා පැහැදිලි ලෙස ම විශාල අභ්‍යාසයක් වන බව ෂියෝගුගේ කරුණු දැක්වීම් අනුව පැහැදිලි වුණා. සපාද්-2017 අභ්‍යාසය බලාපොරොත්තු වූ තරම් විශාල එකක් වූයේ නැහැ.

වොස්ටොක්-2018 සඳහා සහභාගී වන රුසියානු හෙලිකොප්ටර් කිහිපයක් චිටා ප්‍රදේශයේ දී (Russian Ministry of Defence Press Service and AP)

නමුත් ෂියෝගුගේ විස්තර දැක්වීම අනුව වොස්ටොක්-2018 අභ්‍යාසය සෝවියට් ඉතිහාසයේ දැවැන්තම යුධ අභ්‍යාසය වූ සපාද්-1981 තරම් විශාල වේයැ යි අපේක්ෂා කළේ නැහැ. සපාද්-1981 අභ්‍යාසයට සෝවියට් දේශය ඇතුළු වෝර්සෝ ගිවිසුමෙහි සාමාජික රටවල්වල සන්නද්ධ අංශ සාමාජිකයන් 100,000ක් සහ 150,000ක් අතර ප්‍රමාණයක් සහභාගී වුණා. සපාද්-1981 පවත්වන ලද්දේ පෝලන්තයේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව ජනතා උද්ඝෝෂණ හටගත් අවස්ථාවක යි. එනම් සෝවියට් හමුදා ශක්තිය ප්‍රතිවාදී නේටෝ සංවිධානයට මෙන්ම කොමියුනිස්ට්වාදය යටතේ ජීවත් වූ ජනයාට ද පෙන්නුම් කිරීමක් ලෙස මෙය සැලකිය හැකි වුණා.

රථ 36,000ක්

වොස්ටොක්-2018 යුධ අභ්‍යාසය හමුදා මධ්‍යස්ථාන පහක සහ බීරිං මුහුද​, ජපන් මුහුද, සහ ඕකොට්ස්ක් මුහුද යන සමුද්‍ර ප්‍රදේශයන් හි සිදුකෙරෙනවා. මේ සඳහා මුලින් වාර්තා වී තිබුණේ සන්නද්ධ අංශ සාමාජිකයන් 100,000ක් පමණ සහභාගී වනු ඇති බව යි. නමුත් දැනට වාර්තාවන පරිදි ඊට සන්නද්ධ අංශ සාමාජිකයන් 300,000ක් පමණ සම්බන්ධ වනවා. එමෙන්ම යුධ ටැංකි, සන්නද්ධ රථ ආදී හමුදා රථ 36,000ක් ද​, යුධ නැව් 80ක් ද, ගුවන් යානා 1000ක් ද මේ සඳහා සහභාගී වෙනවා. නැගෙනහිර සහ මධ්‍යම හමුදා දිස්ත්‍රික්කවල යුධ හමුදා සහ උතුරු සහ පැසිෆික් නාවික සේනාංකයන් හි නාවිකයන් මේ අභ්‍යාසයට සම්බන්ධ වී සිටිනවා.

වොස්ටොක්-2018 අභ්‍යාසය සඳහා නවීන සහ යුධ ටැංකි ද, සහ ගුවන් යානා ද​, ඉස්කැන්ඩර් සහ කැලිබර් ආදී මිසයිල ද යොදාගන්නා බව යි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

චීනයෙන් සහභාගී වන සෙබළුන් 3500ට අමතර ව මොන්ගෝලියානු යුධ හමුදාවෙන් ද කුඩා කණ්ඩායමක් මෙම අභ්‍යාසය සඳහා එක්වනවා.

චීන හමුදා සහභාගීත්වය

චීන හමුදා සහභාගී වන අභ්‍යාසයන් සැප්තැම්බර් 11 සිට 15 දක්වා රුසියාවේ ට්‍රාන්ස් බයිකාල් ප්‍රදේශයේ සුගොල් හමුදා පුහුණු කලාපයේ දී සිදුකිරීමට නියමිත ව තිබුණා. පසුගිය වසර 15ක කාලය තුළ මීට පෙර අවස්ථා තිහක දී පමණ චීනය සහ රුසියාව යුධ අභ්‍යාසයන්හි නිරතව තිබුණත් චීන හමුදා සහභාගී වී තිබුණේ ත්‍රස්ත විරෝධී කටයුතු ආදී සීමා සහිත අභ්‍යාස සඳහා පමණයි. එම නිසා මෙම අභ්‍යාසයට චීනය සහභාගී වීම සුවිශේෂී කරුණක් වනවා.

වොස්ටොක්-2018 සඳහා සහභාගී වන චීන හමුදා රථ කිහිපයක් චිටා ප්‍රදේශයේ දී (Russian Ministry of Defence Press Service and AP)

චීනය සම්බන්ධ කරගැනීම එක් අතකින් මෙවන් මහා පරිමාණයේ යුධ අභ්‍යාසයක් නිසා චීනය තුළ ඇති විය හැකි සැකය දුරු කිරීමට ද හේතු වන අතර,අනෙක් අතින් චීනය සහ රුසියාව අතර මිත්‍රත්වය ශක්තිමත් වීමට ඍජු ආධාරකයක් ද වනවා. විශේෂයෙන් ම චීනය සහ ඇමරිකාව අතර මෑත කාලයේ දී ඇති වූ වෙළෙඳ තීරුබදු පිළිබඳ අර්බුදය ද සැලකීමේ දී, රුසියාවේ සහ චීනයේ මෙම පියවර ඇමරිකාවට කරන ලද අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය හැකියි.

මේ අතර ම යුධ අභ්‍යාස ආරම්භ වූ දිනයේ, එනම් සැප්තැම්බර් 11 වන දා චීන ජනාධිපති ෂී ජින්පිං රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයේ දී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මුණ ගැසුණා. මෙහි දී දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් වෙමින් පවතින බවට නායකයන් දෙදෙනා විසින් ම හැඟවූ අතර ඩොලරය මත රඳා සිටීම හැකි පමණ අවම කිරීමට ද දෙරට කතිකා කර ගත්තා.

පුටින් සහ ෂී ව්ලැඩිවොස්ටොක් නගරයේ දී පෑන් කේක්, වොඩ්කා, සහ කැවියාර් සහිත සංග්‍රහයක් භුක්ති වින්ඳා (Sky News)

කෙසේ නමුත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව මෙම යුධ අභ්‍යාස විවේචනයට ලක් කළා. නේටෝ සංවිධානය කියා සිටින්නේ මෙම අභ්‍යාසය විශාල පරිමාණයේ යුධ ක්‍රියාන්විතයක් සඳහා සූදානම් වීමක් බව යි.

රුසියාව මෙම අවස්ථාවේ සිය ශක්තිය ප්‍රදර්ශනය කරන්නේ නේටෝ සංවිධානය තුළ අභ්‍යන්තර ගැටුම් වර්ධනය වී තිබෙන පසුබිමක බව ද මෙහි දී මතක තබාගත යුතු කරුණක්. එක් අතකින් ඇමරිකාව විසින් දිගින් දිගට ම යුරෝපා නේටෝ සාමාජිකයන් විවේචනයට ලක් වෙමින් පවතිනවා. ඊට හේතු වී ඇත්තේ යුරෝපා සාමාජිකයන් ප්‍රමාණවත් තරම් දායකත්වයක් නේටෝ සංවිධානයේ කටයුතු සඳහා නොදරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නගනු ලබන චෝදනාව යි​. මේ හේතුවෙන් ඇතැම් යුරෝපා නේටෝ සාමාජිකයන් සිය ආරක්ෂාව පිළිබඳ ඇමරිකාව මත රඳා පැවතිය යුතු නොවන බවට අදහස් දැක්වීමට පටන් ගෙන තිබෙනවා. තව ද, ඇතැම් නේටෝ සාමාජිකයන් මේ වන විට යුරෝපා රටවලට වඩා රුසියාවට සමීප බවක් පෙනී යනවා. ඊට හොඳම නිදර්ශනය තුර්කිය යි.

මෙවැනි පසුබිමක චීනය සහ රුසියාව අතර මිත්‍රත්වය වර්ධනය වීම බටහිර රටවලට පැහැදිලි අභියෝගයක් වෙනවා. මේ වන විටත් යුරෝපා රටවල් ගණනාවක චීනය ආර්ථික වශයෙන් ප්‍රබල සාධකයක් බවට පත් වෙමින් තිබෙනවා. ඒ අතර ම රුසියාව හමුදාමය අතින් වර්ධනය වන බවක් පෙන්නුම් කරනවා. මේ දෙරටෙහි ඒකාබද්ධතාව ඔස්සේ බටහිරට එරෙහි ප්‍රබල කඳවුරක් ඉදිරියේ දී නිර්මාණය වීමට ඉඩ තිබෙන බව පැහැදිලි යි.

Cover Image: වොස්ටොක්-2018 සඳහා සහභාගී වන හෙලිකොප්ටරයක් (Russian Ministry of Defence Press Service)

මූලාශ්‍රයයන්:

Related Articles