Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැරෂූට් අනතුරකින් දැයට අහිමි වූ බලලත් නිලධාරි චම්පික කුමාරසිරි

පසුගිය අගෝස්තු 20 වැනි දා අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැවති පැරෂූට් සංදර්ශන පුහුණුවීමක් අතරතුර අවාසනාවන්ත ලෙස එක් පැරෂූට් භටයෙක් සිය දිවියෙන් සමුගන්නවා. ඔහු නමින් චම්පික කුමාරසිරි. ඔහු  ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ බලලත් නිලධාරියෙක්, එහෙම නැත්නම් සාජන් මේජර්වරයෙක්. බලලත් නිලධාරී කුමාරසිරි මියයන විට කුඩාඔය යුධ හමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ සේවය කරමින් සිටිනවා.

කුමාරසිරි, පැරෂූට් භටයෙක් ලෙස ශ්‍රී ලංකාවට සිටි ප්‍රවීණතම හා අත්දැකීම් බහුලම නිලධාරියෙක්. ඔහුගේ වියෝ වීම ඔහුගේ පවුලට මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටම දැරීමට නොහැකි පාඩුවක් ලෙස සඳහන් කළ හැකියි.

ස්ථානීය පිමි හෙවත් බේස් ජම්ප් සඳහා ශ්‍රී ලංකාවේ සිටියේ පැරෂූට් භටයන් තුන් දෙනෙකු පමණ යි. සාජන් මේජර් කුමාරසිරි ඉන් එක් අයෙක්. පසුගිය නිදහස් දිනයේ කොළඹ ශ්‍රැන්ගිලා හෝටලයේ මුදුනේ අඩි 580ක් පමණ උසක සිට ජාතික ධජ ඇතිව පැරෂූට් භටයන් තිදෙනෙකු ගාලු මුවදොර පිටියට අවතීරණය වුණා ඔබට මතක ඇති. කුමාරසිරි අහිමිවීමත් සමග ලබන වර නිදහස් දිනයේ දී එලෙස බේස් ජම්ප් ඔස්සේ ගාලු මුවදොරට අවතීර්ණය වන්නේ පැරෂූට් භටයන් දෙදෙනකු පමණ යි. ඉතින් අපට අහිමි වූ ඒ දක්ෂ වීරයා පිළිබඳව යි මේ සටහන.

කඹුරුපිටියෙන්, විශේෂ බලකයාට 

ලංකාවේ සිටින බේස් ජම්පර්ස් තිදෙනා. දකුණු කෙළවරේ සිටින්නේ බලලත් නිලධාරී කුමාරසිරි යි (army.lk)

කිරින්ද, පුහුල්වැල්ල ප්‍රදේශයේ උපත ලබන චම්පික කුමාරසිරි කඹුරුපිටිය සපුගොඩ විද්‍යා නිකේතන පිරිවෙනින් තම ද්වීතික අධ්‍යාපනය නිමකරනවා. පසුව සමෘද්ධි ක්ෂේත්‍ර නිලධාරියෙක් ලෙස තම රැකියාව ආරම්භ කරන්නේ වයස අවුරුදු 18 දී යි.

පසුව රුදුරු ත්‍රස්තවාදයෙන් තම මව්බිම බේරා ගැනීමේ අරමුණෙන් රැකියාවට සමුදෙන ඔහු විශිෂ්ටයන්ට පමණක් ඇතුළු විය හැකි ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායට ඇතුල් වෙනවා. යුද සමයේ උතුරු නැගෙනහිර මෙහෙයුම් සඳහා සහභාගී වෙන ඔහු ඒ වෙනුවෙන් පදක්කම් ද ලබා ගන්නවා. 

කුමාරසිංහ, යුද හමුදාව තුළ වඩා ජනප්‍රිය වන්නේ පැරෂූට් භටයෙකු ලෙස යි. දක්ෂ පැරෂූට් භටයෙක් ලෙස දීර්ඝ කාලයක් සේවය කරන ඔහු පැරෂූට් පුහුණු උපදේශකයෙක් ලෙසත් කටයුතු කරනවා.

“බේස් ජම්ප්” පැරෂූට් භටයන් තිදෙනාගෙන් එක් අයෙක් 

ශ්‍රැන්ගිලා හෝටලයේ මුදුනේ සිට පැනීමට සැරසෙන කුමාරසිරි (dailymirror.lk)

ශ්‍රී ලංකාවේ යුධ හමුදා පුහුණු පාසලෙන් මූලික පැරෂූට් පාඨමාලාව හදාරන ඔහු පසුව ස්කයි ඩයිවින්, අන්තර්මාධ්‍ය පැරෂූට් පාඨමාලා හදාරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ යි. ඉන් අනතුරුව විවිධ පැරෂූට් පුහුණු පාඨමාලා ගණනාවක් රටවල් ගණනාවක දී සාර්ථකව නිම කරනවා.

මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්නගේ මෙහෙයවීම මත ශ්‍රී ලංකාවට බේස් ජම්ප් හෙවත් ස්ථානීය පිමි හදුන්වා දෙන්නේ මෑත කාලයේ දී යි. 

BASE මෙහි B අකුරෙන් ගොඩනැගිලිත් A අකුරෙන් අන්ටෙනාත් S අකුරෙන් පාලම් වැනි දේවල් ද E අකුරෙන් පොළවේ පිහිටි කදු ගැට ද හදුන්වනු ලබනවා. මෙහිදී පනිනු ලබන උස ගුවන් යානයකින් පනිනු ලබන උසට වඩා අඩු අගයක් ගන්නවා. ඒ වගේම ප්‍රධාන පැරශුටයට අමතරව තවත් අතිරේක පැරෂුටයක් හිමි වෙන්නේ නෑ. ඒ ඉතා කුඩා කාලයකින් පොළොවට ලඟා වෙන නිසා යි.

ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා ප්‍රථම වරට පැරෂූට් භටයන් තිදෙනෙකු තෝරා ගන්නවා. ඒ ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව නියෝජනය කරන මේජර් Y M N T කුලතුංග, ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය නියෝජනය කරමින් බලලත් නිලධාරී H C K කුමාරසිරි, හා ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ බලකාය නියෝජනය කරමින් සැරයන් A L A ප්‍රේමලාල් යන සොල්දාදුවන් තිදෙනා යි.

ඔවුන් ක්‍රෝඑෂියාවේ හා ඉතාලියේ දින ගණනාවක සාර්ථක පුහුණුවීමකින් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ බේස් ජම්ප් පාඨමාලාව සාර්ථකව නිමකළ ශ්‍රී ලංකාවේ පළමු පැරෂූට් භටයන් තිදෙනා ලෙස යි.

අවසන් පිම්ම 

බලලත් නිලධාරී කුමාරසිරි (hirunews.lk)

චම්පික කුමාරසිරි ඇතුළු පැරෂූට් භටයන් පසුගිය 20 වන දා අම්පාර උහන ශ්‍රී ලංකා ගුවන් හමුදා Y 12 ගුවන් යානයක නැගී අඩි 10 000ක පමණ උසක සිට තම පුහුණුවීම් ආරම්භ කරනවා. 

කුමාරසිරිගේ පැනීමට ප්‍රථම ගුවන් යානයෙන් පැනීම සිදු කරන්නේ ලාන්ස් කෝප්‍රල් හර්ෂ සුදේශ් කුමාර යි. ඔහු මෙම අනතුර පිළිබඳව මෙලෙස අදහස් දක්වනවා.

මම පැන්නට පස්සේ තමා කුමාරසිරි සර් පැන්නේ. එයා තමා මේ භටයන් අතර සිටි අත්දැකීම් බහුලම පැරෂූට් භටයා. සර්ගේ පැරෂූට් එක ඇවිත් මගේ පැරෂූට් එකේ විනාඩි එක හමාරක් විතර පැටලිලා හිටියා. මට බය වෙන්නෙ නැතුව ඉන්න කියලත් සර් කිව්වා. අවසානයේ දී සර්ගේ පැරෂූට් එක ගැලවිලා ගියා. මම දැක්කා ඒ පැරෂූට් එකේ පැත්තක් පාත්වෙලා තියෙනවා.”

පසුව කුමාරසිරි, උහන කඳවුරේ පැරෂූට් පතිත කලාපයේ වැටී සිටිය දී ගුවන් හමුදාව විසින් සොයා ගැනෙනවා. රෝහල්ගත කරන අවස්ථාවේ දීත් ඔහු මියගොස් සිටි බව සඳහන්.

ඔහුගේ දේහය (amazonaws.com)

යුද හමුදාවේ වසර 22ක කාලයක් සේවය කර ඇති ඔහු පැරෂූට් භටයෙක් ලෙස වසර 12ක් කටයුතු කර තිබෙනවා. මෙතරම් ජ්‍යෙෂ්ඨ පැරෂූට් භටයෙකු ඉතා කුඩා අතපසුවීමක් හේතුවෙන් දැයට අහිමි වීම ඔහුගේ පවුලට, ශ්‍රී ලංකා යුද හමුදාවට මෙන්ම මුළු මහත් ලාංකිකයන්ටම ශෝකය ගෙන දෙන සිද්ධියක් බවට පත් වී තිබෙනවා. ඉතින් කුමාරසිරි විරුවාණෙනි, ඔබ පැතු ශාන්තියක් ඔබට අත්වෙන ලෙස අප ප්‍රාර්ථනා කරනවා.

මූලාශ්‍රයයන් -

ලංකාදීප 

සිරස  TV

www.sundaytimes.lk

Related Articles