Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක් තිගැස්සූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම ජනපති ධුර සතිය

නොසිතූ ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම පුරවැසියා වීමේ වරම් හිමි කර ගත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු ගෙවුණ පළමුවන සතිය තුලදීම සමස්ථ ලෝකයේම අවධානය තමන් වෙත නතුකර ගැනීමට සමත්ව සිටිනවා. ඒ ඔහු විසින් ගන්නා ලද ආන්දෝලනාත්මක තීරණ කිහිපයක් නිසා.

ඒ අතරින් රටවල් 6ක ජනතාවට ඇමරිකා එක්සත් ජනපදය තුළට ඇතුළු වීමට අවසර නොදෙන ලෙස ඔහු විසින් ගත් තීරණය කැපී පෙනනවා. මේ නිසාම අදවන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ පවතින්නේත් නොසන්සුන්කාරී තත්වයක්. එම තීරණය පිළිබඳ මෙන්ම ට්‍රම්ප් ජනපති ධුරයේ වැඩ බාර ගැනීමෙන් ගෙවුන ප්‍රථම සතිය තුළ ඔහු විසින් ගන්නා ලද තීරණ මොනවාද යන්න පිළිබඳ ඔබව දැනුවත් කිරීමේ අරමුණ ඇතිවයි මේ ලිපිය ලියැවෙන්නේ.

ට්‍රම්ප්ගේ ප්‍රථම කාර්යයාල සතිය තුළ සිදු වූ දෑ ගැන කතා කිරීමට පෙර මැතිවරණ සමයේදී ඔහු විසින් ලබා දුන් පොරොන්දු පිළිබඳ මතකය අළුත් කරගැනීම වැදගත් කියා අප සිතනවා.

මැතිවරණ පොරොන්දු

ට්‍රම්ප් මැතිවරණ වේදිකාවේදී/New Europe

නාමයෝජනා භාරදුන් දිනයේ සිට හා ඊට පෙරාතුවත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කෙරෙන්නට යෙදුණ බොහොමයක් ප්‍රකාශ ඉතා මතභේදාත්මක ඒවා වූවා. මවිතයට සහ බොහෝ දෙනෙකුගෙ අප්‍රසාදයට තුඩුදුන්, වෘත්තීය මට්ටමේ නොවන ඒවා යැයි කිව හැකි එම ප්‍රකාශ ඔහුගේ ජයග්‍රහණය වළක්වන්නට සමත් වුණේ නැහැ. ඒ අතරින් ප්‍රධාන පෙළේ මැතිවරණ පොරොන්දු සහ ප්‍රකාශ කිහිපයක් ගැන දැන් විමසා බලමු.

මැතිවරණ සමයේදී සිය ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන්ගේ නම හා ඈඳුණ රාජකාරී ඊමේල් අයථා ලෙස භාවිතා කිරීමේ සිද්ධිය හා සම්බන්ධව අදහස් දැක්වූ ට්‍රම්ප් පවසා සිටියේ තමා බලයට පත්වුවහොත් අදාළ සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් අලුතෙන්ම පටන් ගැනීමට අගවිනිසුරුට උපදෙස් දෙන බවයි. කෙසේ වෙතත් මැතිවරණය ජයග්‍රහණය කර ටික දිනකින් ඔහු පැවසුවේ තමන් ඒ පිළිබඳ එතරම් සලකන්නේ නැති බවයි. එයට වඩා ප්‍රමුඛතාව දිය යුතු තවත් බොහෝ වැඩ රාජකාරි තමන්ට ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කළා.

එමෙන්ම හිටපු ජනාදිපති බැරැක් ඔබාමා විසින් ගෙන ආ සෞඛ්‍යාරක්ෂණ පනත වන ‘ඔබාමා කෙයා’ අවලංගු කිරීමට කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා. මෙම පනතෙන් එතෙක් සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොලද ඇස්තමේන්තුගත 15%ක් පමණ වූ ජනතාවට සෞඛ්‍ය සහන ලබා දීමටයි ‘ඔබාමා කෙයා’ පනත ගෙන ආවේ.

ඇමරිකානු – මෙක්සිකානු දේශ සීමාව හරහා වැටෙන සුවිසල් තාප්පයක් ඉදිකරන බවටත් ට්‍රම්ප් මැතිවරණ සමයේ ප්‍රතිඥා දුන්නා. එම තාප්පය සැදීමේ වියදම මෙක්සිකෝ රජයෙන්ම අයකරගන්නා බවයි ඔහු කියා සිටියේ.

සියළුම මුස්ලිම්වරුන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරන බව ට්‍රම්ප් පවසා සිටියේ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමටත් පෙරාතුවයි. නාමයෝජනා භාර දුන් පසුවද මුස්ලිම්වරුන් කෙරෙහි ඉතා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තමන් බලාපොරොත්තුවන බව ඔහු පැවසුවා.

තවද, ඔහු කිහිප වරක්ම පවසා සිටියේ ඇමරිකාවේ රැඳී සිටින සියළුම අනවසර සංක්‍රමණිකයන් වහාම ඔවුන්ගේ මුල් ගම් බිම් කරා පිටුවහල් කරන බවයි.

ගෝලීය උණුසුම ඉහළ යාම යනු මිත්‍යාවක් බව පවසා සිටි ට්‍රම්ප් තමන් ජනපති වූ පසු ගෝලීය උණුසුම ඉහළ යාම වැලැක්වීම වෙනුවෙන් වෙන්කර ඇති සියළුම ඇමරිකානු ප්‍රතිපාදන කපා දමන බවත් කියා සිටියා.

සමරිසි විවාහ වෙනුවෙන් අවසර දෙමින් සම්මත කෙරුණ පනත්ද අහෝසි කරන බවට ට්‍රම්ප් පොරොන්දු වුණත් ජයග්‍රහණයෙන් පසු ඔහු පවසා සිටියේ නීතිය මගින් එය විසඳා ඇති බවත් එම නිසා එයට අත පෙවීමට තමන් අදහස් නොකරන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන්, විශේෂයෙන්ම ත්‍රස්තවාදී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට වධ දීමෙන් වඩා හොඳ ප්‍රතිපල ලබාගත හැකි බවත් ට්‍රම්ප් පැවසුවා. එවන් එක් වධ දීමේ ක්‍රමයක් වන නාසය සහ මුඛය වැසෙන්නට දැමු රෙදි කැබැල්ලක් මතට ජලය වත්කිරීම තමන් අනුමත කරන බව ඔහු කියා සිටියා.

ගබ්සාවට එරෙහිවත් දැඩි මතයක සිටින ඇමරිකාවේ නව ජනපතිවරයා Trans-Pacific Partnership (TPP) ගිවිසුමෙන් ඇමරිකාව ඉවත්කරගන්නා බවටත් ප්‍රකාශ කළා. එයට අමතරව ඇමරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ නැවත සලකා බලන බවත් ට්‍රම්ප්ගේ තවත් එක් මැතිවරණ සටන් පාඨයක්. චීනය යනු මුදල් අවභාවිතා කරන්නෙකු ලෙස වර්ග කරන බවත් ට්‍රම්ප් මැතිවරණය අතරතුරදී පැවසුවා.

කෙසේ වෙතත් අවසානයට පැවසූ කරුණු දෙක පිළිබඳ ඔහුගේ දින සියයේ වැඩපිළිවෙලේ කිසිදු සඳහනක් කර නැහැ.

ප්‍රථම සතිය

ජනවාරි 20

ජනපති ධුරයේ ප්‍රථම දිනය ඕවල් කාර්යාලය තුළ සිටින ට්‍රම්ප්/NPR

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයේ දිවුරුම් දුන්නේ ජනවාරි 20 සිකුරාදා දිනයේදීයි. ධවල මන්දිරයට පැමිණි දේශපාලන හෝ හමුදා පසුබිමක් නොමැති ප්‍රථම ජනපතිවරයා ඔහු බවටයි සැලකෙන්නේ.

සිදුවෙමින් පවතින ‘ඇමරිකානු සංහාරය’ නැවැත්වීමට තමන් පියවර ගන්නා බව ඔහු සිය මංගල කතාවේදී පවසා සිටියා. ඇමරිකාවේ ධනය වෙනත් රටවලට ඇදී යන බවත් එම තත්වය වෙනස් කිරීමට තමන් පියවරගන්නා බවටත් ට්‍රම්ප් ජනතාව හමුවේ පොරොන්දු වූවා.

දිවුරුම් දීමෙන් අනතුරුව මෙදිනම හිටපු ජනාධිපති ඔබාමාගේ සෞඛ්‍යාරක්ෂණ පනතෙන් සිදුවන ‘ආර්ථික හානි’ අවම කිරීම සඳහාවූ විධායක නියෝගයට අත්සන් තැබුවා.

තවද, ෆෙඩරල් රජයට අලුතෙන් රෙගුලාසි පැනවීම තාවකාලිකව වළක්වාලීම පිණිස වූ ලියවිල්ලකටද ට්‍රම්ප් සිය ජනපති ධුරයේ ප්‍රථම දිනයේදීම අත්සන් තැබුවා.

තමන්ගේ කැබිනට්ටුව සඳහා අවසන් නාමයෝජනා සකස් කිරීම මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට නම් හමුදා සේවයෙන් විශ්‍රාම ලබා අවමය වසර 7ක් ගතවී තිබිය යුතුයැයි යන නීතිය වෙනස් කිරීමටත් ඔහු පියවර ගත්තා. ඒ අනුව ඇමරිකාවේ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජෙනරාල් ජේම්ස් මැතිස් කටයුතු කරනු ඇති. ඔහු 2013 දී හමුදා සේවයෙන් විශ්‍රාම ගත් අයෙක්.

ජනවාරි 23

ට්‍රම්ප්ට එරෙහිව කාන්තාවන් මූලික කොටගෙන පැවැත්වූ රැලිය/CNN

මැතිවරණ පොරොන්දුව ඉටුකරමින් ගිවිසුමෙන් ඇමරිකාව ඉවත්වන බවට වූ ලියවිල්ලට ජනාධිපති ට්‍රම්ප් අත්සන් තැබුවා. ඇමරිකානු කර්මාන්ත වැඩිදියුණු කිරීම, ඇමරිකානු ජාතික ශ්‍රම බලකාය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් තමා පෙනී සිටින බවයි ඔහු පවසන්නේ.

ගබ්සාවන් සිදුකිරීමට උපකාර කරන ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාවන් සඳහා ලබා දෙන ඇමරිකානු ප්‍රතිපාදන කපා හරින බවට ට්‍රම්ප් සිය විධායක නියෝගය නිකුත් කළා.

ෆෙඩරල් රජයේ සේවය සඳහා අලුතින් බඳවා ගැනීම අත්හිටුවීම​ටත් ට්‍රම්ප් නියෝග කළා. මෙය විධායක ශ්‍රේණි සඳහා වලංගු වන අතර හමුදා සේවය අදාළ වන්නේ නැහැ.​ මෙම නියෝගයේ අරමුණ වන්නේ  දිගු කාලින වශයෙන් රජයේ සේවයෙහි සිටින සේවකයන් අඩු කිරීම බව ට්‍රම්ප් කියා  සිටියා.

ජනවාරි 24

ඩකෝටා නළ මාර්ගය/BBC

බොරතෙල් ගෙනයාම සඳහා උතුරු ඩකෝටාව සහ ඉලිනෝයි ප්‍රදේශයන් දෙක යාකරමින් ඉදිකිරීම ආරම්භ කර අතරමගදී අත්හිටවූ නළ මාර්ගයේ කටයුතු නැවත අරඹන ලෙස ට්‍රම්ප් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. මෙම නළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමග නතරවූවේ එම ප්‍රදේශවල වෙසෙන ස්වදේශික ඇමරිකානුවන්ගේ විරෝධතා නිසායි.

එමෙන්ම යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට අදාල පරිසර විමර්ශන කඩිනමින් නිමකරන ලෙසත් අදාල බලධාරීන්ට නියෝග කිරීමටත් නව ජනපතිවරයා කටයුතු කළා. ඒ සමඟමට ප්‍රමුඛතාව දියයුතු යටිතල පහසුකම් ව්‍යාපෘති වර්ග 7ක් නම් කෙරුණු අතර එයට නළමාර්ග ව්‍යාපෘතින්ද ඇතුලත් වනවා.

හිටපු ජනපති ඔබාමා විසින් පරිසරවේදීන්ගේ දැඩි විරෝධය මත අවලංගු කිරීමට තීරණය කර තිබූ ඇල්බර්ටාව, කැනඩාව සහ ගල්ෆ් මුහුදු තීරය සම්බන්ධ කරමින් ඉදිකරන්නට යෝජනා වුණ බොරතෙල් සහිත වැලි ප්‍රවාහන නළ මාර්ග ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙසත් ට්‍රම්ප් නියෝග කළා. මෙම නළ මාර්ග සෑදීමේදී ඒ සඳහා හැකි සෑම විටකම ඇමරිකාවේ නිශ්පාදිත යකඩ අමුද්‍රව්‍ය යොදා ගත යුතු බව එම නියෝගයේ සඳහන් වනවා.

නව කර්මාන්තශාලා කිහිපයක්ම අලුතෙන් පිහිටවීමටත් ට්‍රම්ප් බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ජනවාරි 25

දේශසීමාව හරහා ගලා යන රියෝ ග්‍රන්ඩේ නදිය/Getty Images

සංරක්ෂණය කරගත යුතුයැයි නම්කර තිබූ ඇමරිකානු නගර සහ කෝරළයන් වෙතට ලබා දුන් ෆෙඩරල් රජයේ ප්‍රතිපාදන අත්හිටවීමට ට්‍රම්ප් තීරණය කළා. මෙවන් ප්‍රදේශ 400කට අධික සංඛ්‍යාවක් ඇමරිකාවේ පවතිනවා.

සංක්‍රමණ නීතීරීති හැකි ඉක්මනින් දැඩිකර පිටුවහල් කිරීම් ඉක්මන් කිරීම සඳහා වූ ගමනේ එක් පියවරක් ලෙස පොරොන්දු වූ පරිදි ඇමරිකානු – මෙක්සිකෝ දේශ සීමාව හරහා තාප්පයක් ඉදිකිරීමට ට්‍රම්ප් නියෝග කළා. මෙම තාප්පයේ ඉදිකිරීම් සඳහා මෙක්සිකෝවෙන් මුදල් ලබා ගන්නා ලෙස ට්‍රම්ප් පැවසුවත් මෙක්සිකානු රජය පවසන්නේ ඒ සඳහා මුදල් දීමට තමන් සූදානම් නැති බවයි.

මෙක්සිකානු ජනපතිවරයා සහ ට්‍රම්ප් අතර පැවත්වීමට සැලසුම් කර තිබූ හමුවද මේ හේතුව නිසා අවලංගු කිරීමට මෙක්සිකෝව තීරණය කළා. මෙයට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් පැවසුවේ මුදල් ලබාදීමට එකඟ නොවන්නේ නම් මෙක්සිකෝ ජනපති සමඟ සාකච්ඡා පවත්වා පලක් නොමැති බවයි.

ජනවාරි 27

ට්‍රම්ප්ගේ නියෝගයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන පිරිස්/The Verge

රැඩිකල් ඉස්ලාමිකයන් තම රටට අවශ්‍ය නොමැති බව පවසමින් ඉරාකයේ, සිරියාවේ, සුඩානයේ, ඉරානයේ, ලිබියාවේ, යෙමනයේ, සෝමාලියාවේ සහ මුස්ලිම්වරුන් බහුතරයක් සිටින රටවල පුරවැසියන්ට දින 120ක් යනතුරු ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් වූ නියෝගය ට්‍රම්ප් විසින් නිකුත්කරනු ලැබුවා.

මුළු මහත් ලෝකයම තිගැස්මට පත්කළ එම නියෝගය නිසා ඇමරිකාවේ පවා මේ වන විට පවතින්නේ නොසන්සුන්කාරී වාතාවරණයක්. ගුවන්තොපොළවල් සංක්‍රමණික ජනයාගෙන් පිරී පවතින අතර තාවකාලිකව ඇමරිකාවෙන් බැහැර ගිය ඉහත කී රටවල පුරවැසියන්ද දැඩි අසීරුතාවයකට පත්වී සිටිනවා.

ට්‍රම්ප්ගේ මෙම තීරණයට ප්‍රතිචාර ලෙස ඩුබායි සහ ඉරාන නායකයන් පවසා සිටියේ එසේ වුවහොත් තම රටවල්හි සිටින සි‍යළුම ඇමරිකානු පුරවැසියන් පිටුවහල් කිරීමට තමන්ද කටයුතු කරන බවයි. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ මෙම නියෝගය තාවකාලිකව අත්හිටුවීමට ඇමරිකානු අධිකරණයක් විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා.

තවද ඇමරිකානු යුධ ශක්තිය වඩාත් තර කිරීමට තමන් පියවර ගන්නා බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළා.  ‍යුධ ශක්තිය එසේ තර කළත් සාමය වෙනුවෙන්ද කැපවන බවයි ඔහු පවසන්නේ.

ජනවාරි 20 සිට 27 දක්වා වූ නව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම සතිය ගෙවුනේ එසේයි. ඉතින්, ඉදිරියේදී ඔහු විසින් ගන්නා තීන්දු සහ තීරණ කෙබඳු ඒවා වේදැයි මුළු ලොවක් තිගැස්මෙන් යුතුව බලා හිඳින බව නම් ඉතාම පැහැදිලියි.

කවරයේ පින්තුරය: ට්‍රම්ප් ජනපති ධුරයේ දිවුරුම් දෙමින්/BBC

(Cover Photo : The Guardian)

Related Articles