Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බටහිර නිව් ගිනියාවේ ස්වදේශික ජනයාගේ නිදහස් සටන​

වසර 50කට වැඩි කාලයක් තිස්සේ නිව් ගිනියා දිවයිනේ බටහිර කොටසේ හෙවත් ඉන්දුනීසියාවට අයත් කොටසේ ක්‍රියාත්මක වන නිදහස් සටනක් කෙරෙහි පසුගිය දා ජාත්‍යන්තර අවධානය යොමු වුණා. ඊට හේතුව වූයේ එම ප්‍රදේශයෙහි ප්‍රධාන නගරය වන ජයපුර හි සිදු වූ බරපතල විරෝධතා ව්‍යාපාරය යි.

මෙම විරෝධතාවට ආසන්නම හේතුව වූයේ ජාවා දූපතේ සුරබයාහි දී පැපුවා ප්‍රදේශයේ ශිෂ්‍යයන්ගේ විරෝධතාවක දී ඉන්දුනීසියානු පොලිසිය හැසිරුණ ආකාරය යි. පොලිසිය ජාතිවාදී විසිළු කරමින් සිසුන් පීඩාවට පත් කළ බවට චෝදනා එල්ල වූ අතර දෙපිරිස අතර ගැටුම් ද හටගෙන තිබුණා. මේ අතර ජාකර්තා අගනුවර දී ද උද්ඝෝෂණ හටගෙන තිබුණා.

ජයපුර නගරයේ සිදු වූ උද්ඝෝෂණ අතරතුර දී ප්‍රාදේශීය ව්‍යවස්ථාදායකය ද ගිනිගත් අතර එය උද්ඝෝෂකයන් විසින් සිදු කරන්නට ඇතැ යි සැක කෙරෙනවා.

ඉරියන් ජායා හෙවත් බටහිර නිව් ගිනියාව

යටත් විජිත සමයේ දී නිව් ගිනියා දූපතේ බටහිර කොටස නෙදර්ලන්ත පාලනයට නතු වුණා. 1949 දී ඉන්දුනීසියාවට ස්වාධීනත්වය ප්‍රකාශ කරන ලද අවස්ථාවේ නෙදර්ලන්තය බටහිර නිව් ගිනියාව හෙවත් ඉරියන් ජායා ප්‍රදේශය නිදහස් කළේ නැහැ. එය වෙනමම පාලන ප්‍රදේශයක් බවත් එහි ජනතාව ඉන්දුනීසියානුවන්ට වඩා වෙනස් ජනතාවක් වන බවත් නෙදර්ලන්තය කියා සිටියා. මේ අනුව එම ප්‍රදේශය වෙනමම ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීම සඳහා සූදානම් කිරීමට නෙදර්ලන්තය බලාපොරොත්තු වුණා.

බටහිර නිව් ගිනියාව (Wikimedia Commons)

මෙම ප්‍රදේශයේ ස්වදේශික ජනතාව අනෙකුත් ඉන්දුනීසියානුවන්ට වඩා වැඩි සමීපත්වයක් දක්වන්නේ ඔස්ට්‍රේලියාවේ ඇබොරිජින් ජනයාට යි. ඉන්දුනීසියාවේ අනෙකුත් ජනතාව මොවුන්ව ප්‍රාථමික ගෝත්‍ර ලෙස පහත් කර සලකනවා. බටහිර නිව් ගිනියාවේ මෙවන් ගෝත්‍ර 250ක ජනයා වාසය කරනවා.

නිදහස පිළිබඳ ප්‍රශ්නය

1949 දී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ දින සිටම ඉන්දුනීසියාව විසින් පැපුවා ප්‍රදේශය සැලකූයේ තම පාලනය යටතේ පැවතිය යුතු ප්‍රදේශයක් ලෙස යි. අලුතින් නිදහස ලබන තුන්වන ලෝකයේ බොහෝ රටවල් ඉන්දුනීසියාවේ ස්ථාවරය පිළිගත්තා. නමුත් බටහිර රටවල ස්ථාවරය වෙනස් වුණා.

ඇමරිකා එක්සත් ජනපදය 1950 දශකයේ දී මෙම ප්‍රශ්නයෙන් හැකි පමණ ඈත්ව, මධ්‍යස්ථ ස්ථාවරයක සිටින්න උත්සාහ කළා. බ්‍රිතාන්‍යය නෙදර්ලන්තයේ පක්ෂය ගත් අතර ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද එම ස්ථාවරයේම සිටියා. ඔස්ට්‍රේලියාව විසින් කලාපය තුළ නෙදර්ලන්තය සිටීම සැලකූයේ කොමියුනිස්ට්වාදයේ පැතිරීමට එරෙහි වැදගත් ආරක්ෂාවක් ලෙස යි.

2012 දී මෙල්බර්න් හි පැවති විරෝධතාවක් (Nichollas Harrison)

ඉන්දුනීසියාව 1950 දශකයේ දී නොබැඳි ස්ථාවරයක් ගැනීමට උත්සාහ කළා. නමුත් කෙමෙන් කෙමෙන් ඔවුන් සෝවියට් බලපෑමට යටත් වන අවදානමක් පහළ වුණා. මේ අවස්ථාවේ ඇමරිකාවේ ජනාධිපති ලෙස පත්ව සිටි ජෝන් එෆ්. කෙනඩිට ඉන්දුනීසියාව සෝවියට් පාර්ශවයෙන් ඉවත තබා ගැනීමට අවශ්‍ය වුණා. ඒ අනුව පැපුවා ප්‍රදේශය පිළිබඳ එකඟතාවක් ඇති කරගන්නා ලෙස ඔවුන් නෙදර්ලන්තය පෙළඹවීමට වුණා.

බටහිර නිව් ගිනියාව පිළිබඳ නෙදර්ලන්තය සහ ඉන්දුනීසියාව අතර ගැටුම නිරාකරණය වූයේ 1962 දී ඇති කරගත් නිව් යෝර්ක් ගිවිසුම අනුව යි. ඒ අනුව 1963 මැයි 1 වනදා එය ඉන්දුනීසියාවට අයත් වුණා.

අදාල ගිවිසුම අනුව බටහිර නිව් ගිනියා ප්‍රදේශයේ අනාගතය පිළිබඳ ජනමත විමසුමක් 1969 දී පැවැත්විය යුතු වුණා. නමුත් එය පවත්වන ලද්දේ සාධාරණ අයුරින් නොවේ. සමස්ථ පැපුවා වාසීන්ට ඡන්දය ලබාදීමට ඉඩ දෙනු වෙනුවට, ඉන්දුනීසියා රජය, ගෝත්‍ර නායකයන් 1022 දෙනෙකුට පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දුන්නා. ඔවුන්ට ද ඉන්දුනීසියාව සමග දිගටම රැඳී සිටීමට පක්ෂව ඡන්දය දෙන ලෙස තර්ජනය කරනු ලැබුණා.

නිදහස් පැපුවා ව්‍යාපාරය

ඉන්දුනීසියාව විසින් බටහිර නිව් ගිනියාව අල්ලාගැනීමට එරෙහිව නිදහස් පැපුවා ව්‍යාපාරය (OPM) සංවිධානය වුණා. 1960 දශකයේ දී පිහිටුවා ගන්නා ලද මෙම සංවිධානය බටහිර නිව්ගිනියා ප්‍රදේශයේ නිදහස වෙනුවෙන් සටන් වදින ප්‍රධානම සංවිධානය ලෙස ක්‍රියාත්මක යි.

පැපුවා ප්‍රදේශයේ නිදහස සහ ඒකාබද්ධතාව පිළිබඳ සංකේත ඔවුන් සිය කටයුතුවල දී භාවිතා කරනවා. ඒ අතර පැපුවා ජාතික ධජය ලෙස ඔවුන් විසින් හඳුන්වන උදෑසන තාරකා ධජය, පැපුවා ජාතික ගීය ආදිය වනවා. පැපුවා ධජය එසවීම ඉන්දුනීසියාව තුළ අපරාධමය වරදක් වන අතර එම චෝදනාවට වරදකරු වී වසර 15ක් තරම් කාලයක් සඳහා බන්ධනාගාරයට නියම වූවන් සිටිනවා.

මෑතකදී ඇති වූ උද්ඝෝෂණ අතරතුර (Reuters)

පැපුවා ප්‍රදේශයේ විශාල ඉන්දුනීසියානු හමුදා භට ප්‍රමාණයක් රඳවා තිබෙනවා. ඊට එරෙහිව සටන් කරන නිදහස් පැපුවා ව්‍යාපාරය ඉතා අඩු සටන්කාමීන් පිරිසකගෙන් යුක්ත සංවිධානයක් බව යි සැලකෙන්නේ. ඔවුන්ට ඇත්තේ ද ස්වල්ප අවි ආයුධ ප්‍රමාණයක්.

කෙසේ නමුත් බටහිර ගිනියාවේ ස්වදේශික ජනයාගෙන් බහුතරය ඉන්දුනීසියානු පාලනයට විරුද්ධ වන අතර, හමුදා ප්‍රහාර හේතුවෙන් ගම්බිම් කරා පැමිණීමට නොහැකි බව එම ජනයා පවසනවා. එහෙයින් ඔවුන් දූපතෙහි වන වනාන්තරයන් හි සැඟවී ජීවත් වනවා.

හමුදාමය වශයෙන් නිදහස් පැපුවා ව්‍යාපාරයට ප්‍රබල ඉන්දුනීසියාව වෙත තර්ජනයක් කිරීම නොකළ හැක්කක්. එහෙයින් ඔවුනට ජාත්‍යන්තර සහය සහ දේශපාලන, ප්‍රචාරණ කටයුතු ඉතා වැදගත් වනවා. එහෙයින් ඇතැම් පැපුවා ක්‍රියාකාරීන් වෙනත් රටවල ද උද්ඝෝෂණ සහ දේශපාලන කටයුතු සිදු කරනවා.

මේ අතර ඉන්දුනීසියාවේ වෙනත් ප්‍රදේශයන්වල සිට බටහිර නිව් ගිනියාවේ පදිංචියට පිරිස් පැමිණීම ද ස්වදේශික ජනයාට අභියෝගයක් බවට පත් වෙමින් තිබෙනවා. කලක් යද්දී ඔවුන් තම ස්වදේශීය ප්‍රදේශයන්හිම සුළුතරය බවට පත්වීමේ අවදානමට මුහුණ දී තිබෙනවා.

Cover Image: ස්වාධීනත්වය ඉල්ලන උද්ඝෝෂකයෙක් (Getty Images)

Related Articles