බ්‍රිතාන්‍යය, ජනවාරි 31 වන දා යුරෝපා සංගමයෙන් ඉවත් වුණා. ඒ අනුව ඔවුන් 2016 දී පටන් අරගෙන, අවුල් ජාලාවක් කරගත්තු කාරණයක් අවසානයක් කරා ගෙනෙන්නට සමත් වුණා. එහෙත්, ඇත්තෙන්ම එය අවසානය කරා එළඹී නැහැ.

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අතර සිද්ධ වුණ ප්‍රධාන සිද්ධි පෙළ මෙම ලිපියෙන්: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම- සිදුවීම් මාලාව

සාමාන්‍යයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වන රාජ්‍යයක්, ඒ සඳහා ලිස්බන් සම්මුතිය නම් ගිවිසුමෙහි 50 වන වගන්තිය ක්‍රියාත්මක කළ යුතු යි.

මෙම වගන්තිය ක්‍රියාත්මක කිරීමෙන් පසු යුරෝපා සංගමයෙන් ඉවත් වීමට වසර දෙකක් ලැබෙනවා. එම කාලය තුළ දී යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ එකඟතා ගිවිසුම්වලට එළඹීම අපේක්ෂා කෙරෙනවා. කලක් එකම යුරෝපීය කලාපයක කොටසක් වූ රාජ්‍යයක් ඉන් ඉවත් වීමේ දී, එතෙක් පැවති එකඟතාවලට සිදුවන දේ පිළිබඳ අදාළ රට හා යුරෝපා සංගමය අතර අවබෝධතාවක් ඇති කරගැනීම එහි බලාපොරොත්තුව යි.

කෙසේ වෙතත්, මෙසේ ඇති වන එකඟතාවන් පිළිබඳ බ්‍රිතාන්‍යය තුළ විවිධාකාර අදහස් තිබුණා. පාර්ලිමේන්තුව තුළ ද වූයේ එවන් තත්ත්වයක්. එහි ප්‍රතිඵලය වූයේ ක්‍රමානුකූල එකඟතාවක් කරා දෙපාර්ශවයට පැමිණීමට නොහැකි වීම යි.

2019 ජූලි මාසයේ අගමැති ධුරයට පත් වූ බොරිස් ජොන්සන්ට මෙය කඩිනමින් අවසන් කරගැනීමට අවශ්‍ය වුණා. ඔහු ඉක්මණින් නව ගිවිසුමක් කරා එළඹීමට උත්සාහ කළේ ඔක්තෝබර් 31ට පෙර බ්‍රෙක්සිට් සිදුකිරීමට නියමිත වූ නිසා යි. එහෙත්, එයට ද පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණේ නැහැ. ඉන්පසු නැවත වරක් ජනවාරි 31 තෙක් කල් ඉල්ලා ගත් ඔහු, පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා එයින් ජයගත්තා. ඉන්පසු, ජනවාරි 31 වන දා බ්‍රෙක්සිට් සිදුකිරීමට අවශ්‍ය කරුණු සැකසුණා.

බොරිස් ජොන්සන් (Getty Images)

නමුත්, මේ සඳහා බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර අත්සන් කෙරුණ ගිවිසුමෙහි අඩංගු වන්නේ බ්‍රෙක්සිට් සිදුකිරීමට අවශ්‍ය මූලික කරුණු පමණයි. වඩා පුළුල් එකඟතා ගිවිසුම් කරා යාමට අවශ්‍ය කාල සටහනක් එහි වනවා.

මොනවද වෙනස් වුණේ?

මූලිකම කාරණය තමයි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වීම. මේ අනුව ජනවාරි 31 වන දා බ්‍රිතාන්‍ය වෙලාවෙන් රාත්‍රී 11 සිට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුණා.

කෙසේ වෙතත් තවමත් බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය සමග එකම තීරුබදු කලාපයේ සහ එකම වෙළෙඳපොළක සිටිනු ඇති. මේ තත්ත්වය 2020 දෙසැම්බර් 31 වන තෙක් පවතින අතර, ඒ වන විට දෙපාර්ශවය අතට නිදහස් වෙළෙඳ ගිවිසුමක් කරා එළඹීම අපේක්ෂාව යි. මෙම කාලය සංක්‍රාන්ති සමය ලෙස හඳුන්වන අතර, අවශ්‍ය නම් මෙම කාලය දීර්ඝ කරගත හැකියි. එහෙත්, එවැනි දිගු කිරීමක් 2020 ජූනි 30 හෝ ඊට පෙර හෝ සිදුකළ යුතු යි.

මේ අතර එක්සත් රාජධානිය තුළ සිටින යුරෝපා සංගම් රටවල වැසියන් ද, යුරෝපා සංගමය තුළ සිටින එක්සත් රාජධානි වැසියන් ද සිය අනාගතය පිළිබඳ තීරණයක් ගත යුතු යි.

දැනට පවතින තත්ත්වය අනුව, එක්සත් රාජධානියේ ජීවත් වන යුරෝපා සංගම් වැසියන්ට අවශ්‍ය තරම් කල් එහි රැඳී සිටීමට ඉල්ලුම් කළ හැකියි. එසේ අවසර ලබන මවකට, එක්සත් රාජධානිය තුළ දී උපදින දරුවකුට එරට පුරවැසිකම ලැබෙනු ඇති.

නිදහස් වෙළෙඳ ගිවිසුම

දැනට පවතින මූලිකම අවශ්‍යතාව වන්නේ දෙපාර්ශවය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම යි. බ්‍රිතාන්‍යය යුරෝපා වෙළෙඳ කලාපයෙන් මෙන්ම යුරෝපය සමග වන තීරුබදු කලාපයෙන් ද ඉවත් වීමට සැලසුම් කරනවා. නමුත් යුරෝපා සංගමය සමග භාණ්ඩ හා සේවා හුවමාරුව හැකි පමණ පවත්වා ගැනීමටත් බ්‍රිතාන්‍යයට අවශ්‍ය වනවා.

Getty Images

වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා සති කිහිපය තුළ ඇරඹීමට නියමිත යි. කෙසේ වෙතත්, දෙසැම්බර් 31ට පෙර එවැනි ගිවිසුමක් කරා එළඹීම සැක සහිත යි. සාමාන්‍යයෙන් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට ඇතැම් විට වසර ගණන් ගතවීම ඊට හේතුව වනවා.

මීට අමතරව, මෙතෙක් පැවති ආරක්ෂක එකඟතා ආදී අනෙකුත් කරුණු පිළිබඳ ද එකඟතාවක් කරා දෙපාර්ශවය එළඹෙන්නට අවශ්‍ය යි.

2020 දෙසැම්බර් 31 මොකද වෙන්නෙ?

2020 දෙසැම්බර් 31 වන දා සංක්‍රාන්ති කාලය නිමා වෙනවා. එවිට කුමක් සිදුවන්නේ ද යන්න තීරණය වන්නේ, දෙපාර්ශවය ඒ වෙද්දී කිනම් ආකාරයේ ගිවිසුමකට හෝ එළඹ ඇති ද යන කරුණ මත යි.

මේ අනුව, දෙපාර්ශවය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කෙරුණහොත් 2021 ජනවාරි 1 වන දා සිට අලුත් ගිවිසුම අනුව බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත්, එවන් ගිවිසුමක් කරා එළඹීමට අපොහොසත් වුවහොත් බ්‍රිතාන්‍යය යුරෝපා ආර්ථික කලාපයෙන් හා තීරුබදු කලාපයෙන් ඉවත් වන්නේ නියමාකාර ගිවිසුමක් නොමැතිව යි. එවිට යම් යම් ව්‍යාකූලතා ඇති වීමට ඉඩ තිබෙනවා.

කවරයේ පින්තූරය: Getty Images