කොරියාව දැල්වුනොත් එහේ ඉන්න අපේ අයට මොකද වෙන්නේ?

උතුරු කොරියාව කිසිදු සම්බාධකයක් මායිම් නොකරමින් දිගින් දිගටම න්‍යෂ්ඨික අවි අත්හදාබලමින් සිටිනවා.  මේ දෙපාර්ශවයේ තත්වය දැන් නැවතත් උණුසුම් වෙමින් පවතිනවා. මින් පෙරත් අවස්ථා ගනනාවකදී තත්වය උණුසුම් වුවත් ගැටුමක් භූමිය තුල ඇතිවූයේ නෑ, නමුත් කොයි මොහොතේ ගැටුමක් ඇවිලේද යන්න නිමානය කරන්නත් අමාරුයි. උතුරු කොරියාව 2011 දී බලයට පත්වුනු දැනට 32 හැවිරිදි ලාබාල උතුරු කොරියානු නායකයා පත් වූ දින පටන්ම උතුරු කොරියාව යමින් සිටින්නේ භයානක මාවතක. කිම් ජොන් අන් විසින් සිය පියා සහ මුත්තා කල පටන් ඉතිහාසය පුරාවට සිය සගයින් ලෙස සහාය දක්වන උතුරු කොරියාවට මායිම් වූ චීනය සහ රුසියාව පවා අනුමත නොකරන දඩබ්බර කම් කරමින් ලෝකයේම තරහ කාරයෙක් ලෙස හැසිරෙන්නේ රාජ්‍යතාන්ත්‍රික නවීන මූළධර්මයන් තඹේකට වත් ගනනට නොගනිමින්.

කොරියානු අර්ධද්වීපයේ සිතියම (teara.govt.nz)

කොරියානු අර්ධද්වීපයේ සිතියම (teara.govt.nz)

උතුරු කොරියාව දකුණු කොරියාවට වඩා භූමියෙන් විශාලයි. එය චීනයට සහ රුසියාවට මායිම්ව පිහිටා තිබෙනවා.වර්ථමානයේ උතුරු කොරියාවට චීනයේ උදව් උපකාර වක්‍රාකාරයෙන් ලැබෙනවා.ඒත් චීනය පවා උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල ගැන ඉන්නේ සැකයෙන්. මිලියන 50ක ජනතාවක් වර්ග කිලෝමීටර ලක්ෂයක පමණ දකුණු කොරියාවේ ජීවත් වන අතර මිලියන 25ක් පමණ වූ උතුරු කොරියානුවන් භූමිය වර්ග කිලෝමීටර 120,000ක් පමණ අත්පත් කරගෙන සිටිනවා. දකුණු කොරියානු රට උතුරෙන් උතුරු කොරියාව හැරුනු‍කොට වෙනත් කිසිදු රටකට සම්බන්ධ නැති භූමියක්.

උතුරු කොරියාවට එරෙහිව සිටින දකුණු කොරියාව සමඟ ඇමරිකාව සෘජුවම සම්බන්ධතා පවත්වාගෙන දකුණු කොරියාවට යුධ ආධාර ලබාදෙනවා. දකුණු කොරියාවේ ස්ථාපනය කිරීමට යන ඇමරිකානු මිසයිල නාශක පද්ධතියකට රුසියාව සහ චීනය සෘජුවම විරෝධය පළ කරලා තියෙනවා. මේ කොරියානු අර්බුදය හැට වසරක් තිස්සේ ඇදෙමින් විටින් විට ස්වල්ප වශයෙන් ඇවිලෙමින් යන දෙයක්. චීනය සහ රුසියාව උතුරු කොරියාවේ පාර්ශවය ගැනීමත්, ඇමරිකාව දකුණු කොරියාවට පක්ෂ වීමත් නිසා දශක ගණනාවක් පුරා කොරියානු අර්බුධයට සාර්ථක විසඳුමක් සොයාගන්නට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පවා හැකියාවක් ලැබී නැහැ.

යුධමය අතින් හෝ සාමකාමී අතින්‍ දෙපාර්ශවය එක් වී එකම කොරියාවක් බවට පත් වීමේ ඉඩක් තවමත් නිර්මාණය වී නෑ. කොරියානු අර්ධද්වීපයම එකතු වුවහොත් පාඩු වන තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි ලාංකිකයින්- බර සහ අපහසු කම්කරු රාජකාරි වලට රැකියාවට ගිය 50,000කට වඩා ලාංකිකයින් පිරිසක් කොරියාවේ සේවය කරනවා. මැදපෙරදිග සහ වෙනත් රටවලට වඩා කම්කරු රැකියාවට පවා සැලකිය යුතු මුදලක් වේතන විදියට ලැබෙන නිසා ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියාවලට යන්න තිබෙන්නේ විශාල උනන්දුවක්.

කොරියානු විභාගයට පෝලිමේ ගිය පිරිසක් (i.ytimg.com)

කොරියානු විභාගයට පෝලිමේ ගිය පිරිසක් (i.ytimg.com)

උතුරු කොරියා නායකයින්ගේ දඩබ්බර ක්‍රියා හේතුවෙන් යුධ උණූසුම සහ පරමාණුක අත්හදා බැලීම් වැඩිවෙත්ම එක්සත් ජාතින් සහ වෙනත් ‍රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවනවා. ඒ සම්බාධක පැනවීමෙන් උතුරු කොරියාවේ දුක්ඛදායක තත්වයට වග කිව යුතු පාලකයින්ට නම් කිසිම අඩුපාඩුවක් නැතිමුත්. නමුත් ජනතාව ‍ආහාර නිවාස, මාර්ග, සන්නිවේදන පහසුකම් නොමැති දශක ගණනාවක් සාමාන්‍ය ලෝකයෙන් දුරස්ව තියන්‍න මේ ලෝක සම්බාධක හේතු වෙලා තියෙනවා. බාහිර ලොවින් හුදකලාවීම නිසා හටගෙන ඇති දරිද්‍රතාවය නිසාම උතුරු කොරියානු ජනයා දුෂ්කර දේශසීමා තරණය කරමින් යාබද චීනයේ කර්මාන්ත ශාලා වල කුනු කොල්ලයට සිය සේවය සපයනවා.

ඉතා පහසුවෙන් චීනයට හා ඇමරිකාවට එකතු වී සාකච්චා කොට  මේ කොරියානු ගැටළුව විසඳීමේ ශක්‍යතාවය තිබුනත් දැනටත් ලෝක බලවතෙක් බවට පත් වෙමින් තිබෙන ප්‍රබල දකුණු කොරියාව සහ උතුර එක්වී මෙන් කොරියානු අර්ධද්වීපය දේශපාලනමය සහ ආර්ථික අතින් තව තවත් ස්ථාවර වීම චීනය එතරම්ම ප්‍රිය කරන අනුබල දෙන කාරණාවක්  නෙමෙයි.

යම් විදියෙකින් යුද්ධයෙන් හෝ සාමයෙන් කොරියානු අර්බුදය නිමා වුවොත් මිලියන ගනනක ලාභ දායී උතුරු කොරියානු මානව සම්පත නිසා දකුනු කොරියාවට තවදුරටත් ලංකාව ඇතුළු වෙනත් රටවලින් සේවකයින් ගැනීමට උවමනා වෙන එකක් නෑ.

යුද්ධයක් ඇතිවුනොත් මොකද වෙන්නේ

පාලකයින්ගේ පරමාණුක යුද්ධ ලෝකයේ  සම්බාධක හේතුවෙන් තැවෙන උතුරු කොරියානු ළමුන් (monkeetime.com)

පාලකයින්ගේ පරමාණුක යුද්ධ ලෝකයේ  සම්බාධක හේතුවෙන් තැවෙන උතුරු කොරියානු ළමුන් (monkeetime.com)

විටින් විට අවස්ථා ගනනාවකදී උතුරු-දකුණු කොරියාව අතර යම් යම් උණුසුම් තත්වයක් ඇතුවුවත් සුවිසල් යුද්ධයක් තවමත් ඇති වී නැහැ. එහෙත් එවැන්නක් ඇතිවීමේ සම්භාවිතාවය අඩු වුවත් ඇති නොවේම යැයි අපිට නිගමනය කරන්නටත් බැහැ. සාමාන්‍යයෙන් මැදපෙරදිග රැකියාවට යන ගෘහ සේවිකාවක් මෙන් 4 ගුණයක වත් මුදලක් කොරියාවවැනි දියුණු රටවල සේවයට සේවකයින් යෙදවීමෙන් ලංකාවට ලබාගන්න අවස්ථාව ලැබෙනවා.

කොරියානු අර්ධද්වීපයේ සැබැවින්ම යුද්ධයක් ඇති වුවොත්,  දුප්පත් අපේ රටෙන් ගිහින් එරටේ දැඩි ශීතල, වියලි උණුසුමේ ඇතැම් විට එලිමහනේ පවා ඉතාමත් කටුක වටපිටාවක සේවය කරමින් අපේ රටට විශාල විනිමයක් ගෙන එන පිරිසට මොකද වෙන්නේ?

ඒ වගේ අවස්ථාවකදි සාමාන්‍යයෙන් වෙන ක්‍රියා පිළිවෙත මොකක්ද?

මීට කලින් මේ විදියේ යුද්ධයක් නිසා විශාල පිරිසක් ගෙන්වා ගැනීමේ අවස්ථාවක් 1990 දී කුවේට යුද්ධ අවස්ථාවේදී උදා වුනා. යුද්ධයෙන් අපහසුවෙන් ගැලවීගෙන ලංකාවට පැමිණි ඇතැම් අයට කලකට පසු සැලකිය යුතු වන්දියක්ද හිමි වුනා.

ඉරාක ජනපති  සදාම් හුසේන් හදිසියේම කුවේටය ආක්‍රමණය කිරීම නිසා ඉන්දියානුවන් පාකිස්ථානුවන් ලාංකිකයින් ඇතුළු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් වුනා. ඒ අවස්ථාවේදී  ලෝකයේ විශාලතම පුරවැසියන් සිය රට ගෙන්වාගැනීමේ මෙහෙයුමක් දියත් කරලා දැඩි පරිශ්‍රමයක් අවසන ඉන්දියානුවන් 111,711 පමණ ජනකායක් එයා ඉන්දියා ගුවන් ගමන් 488 කින් සියරට ගෙන්වාගන්න ඉන්දියාව සමත් වෙනවා. මේ ගැන ආක්ෂේ කුමාර් රඟපාන Airlift නම් ප්‍රකට හින්දි චිත්‍රපටයක්ද මේ වසරේදීම (2016)  තිරගත වුනා.

කුවේට් යුද්ධයට මැදි වූ සරණාගතයින්. (s3.scoopwhoop.com)

කුවේට් යුද්ධයට මැදි වූ සරණාගතයින්. (s3.scoopwhoop.com)

දකුණු කොරියාවේ යුධ වාතාවරණයක් ඇති වුවොත් සිය රටේ ජනතාව ඉවත් කරගන්නට ඇමරිකාවට විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඔවුන් ඒ සඳහා විශේෂ එකතුවිමේ කඳවුරු පවා සිතියම් ගත කොට තිබෙනවා. දකුණු කොරියාව කියන්නේ ‍බොහෝ සෙයින් ආර්ථික අතින් මෙන්ම පද්ධති අතින්ද දියුනු රටක් නිසා බොහෝ රටවල ආයෝජකයින් , සංචාරකයින්, වෙලඳ කටයුතු සඳහා පැමිණෙන්නන් ආදී විදේශිකයින් රැසක් දකුණු ‍කොරියාවේ සිටිනවා. යුධමය අවස්ථාවකදී එක්සත් ජාතීන් ගේ සංගමය මගින් අනුමත ක්‍රියා පිළිවෙතක් තිබෙනවා විදේශිකයින්  ආරක්ෂා සහිතව නික්මවීම ගැන. නමුත් යුද්ධයක් කියන්නේ මානව හිමිකම් අමු අමුවේම කැඩෙන්නට හැකියාව ඇති ක්ෂේම භූමියක්. එහෙත් යම්කිසි හදිසි අවස්ථාවකදී දියුණු රටවල පිහිටෙන් අපේ කොරියාවේ වැඩකරන සහෝදර සහෝදරියන්ටද යම් සහනයක් ලබාගන්නට හැකියාවක් තියේවි.

උතුරු කොරියාවෙන් ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවක ගුවනින් හෝ නාවුක මාර්ගයෙන් දකුණු කොරියානු රටෙන් නික්මීම හැර වෙනත් විකල්පයක් එහි වසන විදේශිකයින්ට හිමි වන්නේ නෑ. එවන් උණුසුම් වටපිටාවකදී අපේ රටෙන් ගොස් සිටින අය විසින් අනුගමනය කලොත් හොඳ ක්‍රියාමාර්ග කිහිපයක් තිබෙනවා අපි එයින් කිහිපයක් සලකා බලමු.

ඈත බලන කිම් ජොන් අන් උතුු කොරියානු නායක. (timedotcom.com)

ඈත බලන කිම් ජොන් අන් උතුු කොරියානු නායක. (timedotcom.com)

අවශ්‍ය ලියකියවිලි පහසුවෙන් සොයාගත හැකි තැනක තබාගැනීම

මෙය විදෙස්ගත වන ඕනෑම අයෙකුට අදාලයි. විදෙස් රටකදී ගමන් බලපත්‍රය සහ අවශේෂ වීසා රැකියා ගිවිසුම් ආදිය ප්‍රවේසම් සහගත තැනක තබාගන්නට ඕනි. යුධ උණුසුම්  තත්වයක් ඇතිවන වටපිටාවක් තිබේනම් නිතරම ඒ ලියකියවිලි බහාලන ඇසුරුමක් තමන් අසලම තබාගැනීම නුවණට හුරුයි.

පහසු ගමන් මල්ලක් සකසා ගැනීම

හදිසි අවස්ථාවකදී අපිට සියලු දේම සිය රට රැගෙන එන්නට බැහැ. වටිනා කියන සහ අවශ්‍ය වෙන බඩු ලැයිස්තුවක් කලින් සකස් කරගෙන අඩුවශයෙන් සුදුසු ගමන් මල්ලක් වත් තෝරාගෙන තිබීම වැදගත්

නිවැරදිව වීසා සහ රැකියා අවසර පත් ලබාගැනීම

දකුණු කොරියාවේ රැකියාවට යන අය යන්නේ ද්වීපාර්ශවික සේවා ගිවිසුමකට යටත්ව. ඒ අනුව ගිවිසුම් කාලය ඉක්මයාමෙන් මතු ඔවුන් ගේ වීසා අවලංගු වනවා. එවිට ඔහු සිටින්නේ එරටේ අවසරයක් නොමැතිව. මුදල් සොයාගැනීම පිණිස එසේ සැඟවීගෙන දැනටත් ලාංකිකයින් රැසක් දකුණු කොරියාවේ සිටිනවා. ඔවුන් නියමිත කාලය පසුවී එලෙස සිටින විට යම් කිසි හදිසි ආපදාවක් ආවොත් ඔවුන් ලොකු කරදර වලට මුහුනපෑමේ හැකියාව තව දුරටත් ඉහල යනවා.

නිවෙස් සමග සම්බන්ධතාවය

අපේ රටේ අය සමග සම්බන්ධතා තබාගත හැකි දුරකථන අංක අන්තර්ජාල ගිණුම ආදි විස්තර මතකයේ තබාගැනීමත් වැදගත්. ඇතැම් විට අනතුරකදී ජංගම දුරකථන සේවා යථා තත්වයට පැමිණෙන තුරු ඉතාම සීමිත තත්වයන් යටතේ තමයි සන්නිවේදන කටයුතු සිදුකරගන්න අවස්ථාව ලැබෙන්නේ.

කොරියානු ටෙලි ඩ්‍රාමා තරම් එරට සේවය කරන ලාංකික ජීවිත රසවත් නැත. (english.triptokorea.com)

කොරියානු ටෙලි ඩ්‍රාමා තරම් එරට සේවය කරන ලාංකික ජීවිත රසවත් නැත. (english.triptokorea.com)

බළධාරින්ගේ පැත්තෙන්

අපේ රටේ පිරිසක් වෙනත් රටකට රැකියාවට යැවූ විට අඩුතරමේ ඔවුන් සිටින ස්ථානය කරන රැකියාව එහි ස්වභාවය ගැන ලෙහෙසියෙන්ම සොයාගැනීමට හැකි දත්ත පද්ධතියක් තබාගැනීම අපේ රටේ බළධාරින්ගේ වගකීමක්. අපේ රටේ විදෙස් ශ්‍රමිකයින් ස්වාභාවික විපත් ආදියට යුධ කෝලාහල වලට මැදි වූ පසු ඔවුන්ම හෝ වෙනත් විදෙස් මාධ්‍ය මගින් සනාථ කරන තුරු අපේ සේවකයින් ඒ පෙදෙසේ සිටියාද කියලා සොයාගන්න විධිමත් ක්‍රියා පටිපාටියක් අපේ රටේ තිබෙන බවක් නම් පේන්නට නැහැ.

විදෙස් ශ්‍රමිකයනුත් අපේ රටේ බළධාරිනුත් එකතු වෙලා අපේ රටෙන් විදෙස් රටවලට ගොස් සිටින අය කරන රැකියා ස්ථාන සහ ඒවායේ ස්වභාවය ගැන විස්තර යාවත්කාලීන කරන වැඩසටහනක් දියත් කිරීම විදේශයකදී සිදුවන අනතුරකදී එම සේවකයා වෙනුවෙන් මැදිහත් වන්නට රටට තිබෙන හැකියාව වැඩිකරනවා.

අද ලෝකයේ පවතින තත්වය අනුව නොවූ විරූ තැන්වල ස්වාභාවික ව්‍යසන ඇතිවෙනවා. යුද්ධ, කල-කෝලාහල, ත්‍රස්ථ ක්‍රියා ආදී විපත් වලටත් අද වනවිට දේශසීමාවක් නැහැ. ප්‍රංශය, ජර්මනිය ආදී දියුනු රටවල පවා විටින් විට බෝම්බ පිපිරීම් පවා පසුගිය කාලයේ ඇති වුනා. විදේශ ශ්‍රමිකයන් මගින් ආර්ථිකයේ විශාල කොටසක් ශක්තිමත් වන අප වැනි රටකට එවැනි සේවකයින් අනතුරකදී සිය රට ගෙන්වාගැනීම ගැන පූර්ව සැලසුම් සකස් කර තැබීමේ වගකීමක් නිරායාසයෙන්ම රජයට තිබෙනවා.

අඩු තරමේ නිතර යුධ උණුසුම් තත්ව ඇති වන දකුණු කොරියා ලාංකික ජනයා සම්බන්ධයෙන් සැලසුමක් වත් සකස් කර තැබීම අපිට වැදගත් වෙයි. බලධාරින්ට මේ පිළිබඳව ක්‍රියා කරන්නට ධෛර්ය ලැබේවා කියල, අපි වෙනුවෙන් රට රටවල වෙහෙස වන ජනයා වෙනුවෙන් අපි ප්‍රර්ථනා කරනවා.

Related Articles