Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආර්ථික අර්බුදය හමුවේ ඔබේ නමත් CRIB එකේ ලේඛන ගත වෙයි ද?

රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයේ සෘජු සහ වක්‍ර ප්‍රතිවිපාක හේතුවෙන් සියලු දෙනා ම පාහේ දුෂ්කරතා රැසකට මුහුණ දෙන බව විශේෂයෙන් කිව යුතු නොවේ. ණය පොළී අනුපාත ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය හේතුවෙන් රාජ්‍ය සහ පුද්ගලික බැංකුවලින් ණය ලබා ගත් විශාල පිරිසක් එම ණය වාරික ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත් වී ඇත.

ලබා ගත් ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව නිසා ශ්‍රී ලාංකිකයන් මිලියන 8.5කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට මෙරට ණය තොරතුරු කාර්යාංශයේ (CRIB – Credit Information Bureau of Sri Lanka) ලැයිස්තුගත කර ඇත. ණය තොරතුරු කාර්යාංශය, සහ ලබා ගත් ණය ආපසු ගෙවීමට නොහැකි වීම නිසා එහි ලේඛනගත ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳ ව සහ ඉනික්බිති උද්ගත වන වාතාවරණය ගැන මේ ලිපියෙන් විමසා බලමු.

ණය තොරතුරු කාර්යාංශය

1990 අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත යටතේ පිහිටුවූ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, දකුණු ආසියාවේ පිහිටුවුණු පළමුවන ණය තොරතුරු කාර්යාංශය යි. 1980 දශකයේ මෙරට පැන නැඟුණු මූල්‍ය අර්බුදය පිළිබඳ ව සෙවීමට පත් කළ කමිටුවක් සිදු කළ නිර්දේශයක් මත එය පිහිටුවා ඇත.

ණය තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවිය – www.crib.lk 

 

බැංකු හා මූල්‍ය ආයතන තම ගනුදෙනුකරුවන්ට ණය ලබා දීමේ දී ගන්නා තීරණ නිවැරදි හා කාර්‍යක්ෂම කිරීම සඳහා අවශ්‍ය තොරතුරු කලට වේලාවට සපයා දෙමින්, ආර්ථිකයේ සෑම අංශයකට ම ණය ගලා යාම පහසු කරවීම මෙම කාර්යාංශයේ ප්‍රමුඛ කාර්යභාරය යි.

රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ ම සාමූහික සහභාගීත්වයෙන් පිහිටුවා ඇති ණය තොරතුරු කාර්යාංශයෙහි භාරකාරත්වය ශ්‍රී ලංකා මහ බැංකුව, ලියාපදිංචි වාණිජ බැංකු, ලියාපදිංචි විශේෂ බැංකු, ලියාපදිංචි මූල්‍ය සහ ලීසිං සමාගම් දරයි. එම සියලු ආයතන සිය ගනුදෙනුකරුවන්ට නිකුත් කරන ණය සම්බන්ධ තොරතුරු ණය තොරතුරු කාර්යාංශය සතු වේ.

කාර්යාංශයේ කාර්යභාරය

ණය තොරතුරු කාර්යාංශයේ ප්‍රධානත ම සේවාව වන්නේ ණය තොරතුරු වාර්තා නිකුත් කිරීම යි. ණය තොරතුරු කළමනාකරණ පද්ධතිය හරහා වාර්තා සකස් කෙරෙන අතර කාර්යාංශයේ සාමාජිකත්වය දරන බැංකු සහ මූල්‍ය ආයතනවලට පමණක් නොව එය මහජනතාව සඳහා ද වාර්තා නිකුත් කරයි. කාර්යාංශය නිකුත් කරන වාර්තා ‘පුද්ගල’ සහ ‘ආයතනික’ වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකි ය.

ශ්‍රී ලංකා මහබැංකුව – www.ft.lk

 

බැංකු හා මූල්‍ය ආයතනවලට සිය ගනුදෙනුකරුවන්ගේ ණය තොරතුරු වාර්තා කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස ඉතා කෙටි වෙලාවක් ඇතුළත පරික්ෂා කිරීමට ද පහසුකම් සලසා ඇත. යම්කිසි ගනුදෙනුකරුවෙක් බැංකුවකින් හෝ වෙනත් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ඉල්ලා සිටින අවස්ථාවල අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා ණය ඉල්ලුම්කරුගේ තොරතුරු පරික්ෂා කර බල යි.

ණය තොරතුරු වාර්තා නිකුත් කිරීම

2009 වසරේ සිට ඕනෑම පුද්ගලයකුට හෝ ව්‍යාපාර ආයතනයකට සිය ණය තොරතුරු වාර්තාව පරීක්ෂා කිරීමට කාර්යාංශය අවස්ථාව සලසා දී ඇත. අවශ්‍ය අයකුට ඕනෑම බැංකු ශාඛාවක් මඟින් අදාළ අයදුම්පතක් කාර්යාංශය වෙත එවා, තම ණය තොරතුරු වාර්තාව ලියාපදිංචි තැපෑලෙන් ගෙන්වා ගත හැකි අතර, කාර්යාංශය වෙත පැමිණ ද අදාළ වාර්තාව ලබාගත හැකි ය. අන්තර්ජාලය හරහා අදාළ වාර්තා පරික්ෂා කිරීමේ සහ ලබා ගැනීමේ පහසුකම් ද කාර්යාංශය මේ වන විට සලසා ඇත.

ණය තොරතුරු වාර්තා නිකුත් කිරීමට අමතර ව කාර්යාංශය තම සාමාජිකත්වය දරන බැංකු සහ මූල්‍ය ආයතන වෙත විවිධ “අගය එකතු කළ සේවා” සපයයි. චංචල දේපළවල සුරක්ෂිතභාවය පිළිබඳ අයිතිය ලියාපදිංචි කිරීම සඳහා “සුරක්ෂිතලත් ගනුදෙනු ලේඛනය” පවත්වාගෙන යාම, ණය තොරතුරු කාර්යාංශය සිදු කරන තවත් ප්‍රමුඛත ම සේවාවක් වේ.

බැංකු සහ මූල්‍ය ආයතන ණය පොළී අනුපාතය ඉහළ දමා තිබේ – www.moneycrashers.com

 

ඉහළ ගිය ණය පොළී අනුපාත

පවතින ආර්ථික අර්බුදය තුළ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් තිබෙන බව ආර්ථික විද්‍යාඥයන් සහ විද්වතුන් පසුගිය කාලය පුරාවට පෙන්වා දී තිබිණි. මේ තත්ත්වය තුළ බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතනවලට ණය පොළී අනුපාත ඉහළ දැමීම සඳහා මහබැංකුව පසුගිය කාලයේ අවසර ලබා දුන් අතර, එහි ප්‍රතිපලයක් ලෙස සියලු රාජ්‍ය සහ පුද්ගලික බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතන, ණය පොළී අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබේ.

මේ වන විට රාජ්‍ය සහ පුද්ගලික බැංකුවල නිවාස ණය සඳහා 23% – 30% අතර, උකස් භාණ්ඩ සඳහා 24%ක්, සාමාන්‍ය පුද්ගලික ණය සඳහා 29% – 31% අතර, විශේෂ පුද්ගලික ණය සඳහා 27% – 29% අතර, රන් ණය සඳහා 23% – 23.5% අතර, දිගුකාලීන ණය සඳහා 14% – 15.75% අතර, සහ ලීසිං පහසුකම් සඳහා 25% – 30% අතර ආදී වශයෙන් පොළිය අය කරයි. මෙය මීට පෙර පැවති පොළී අනුපාතයන්ට සාපේක්ෂ ව එය විශාල වැඩි වීමකි.

බොහෝ දෙනෙක් ණය වාරික ගෙවීමට අසමත් වෙති

8.5%ක් වැනි පොළී අනුපාතයක් යටතේ වර්තමාන ආර්ථික අර්බුදය ඇති වීමට පෙර ලබා ගත් ණය මුදල්වලට අදාළ පොළිය ද වර්තමාන තත්ත්වයන්ට ගැළපෙන පරිදි ඉහළ දැමීමට බැංකු සහ මූල්‍ය ආයතන කටයුතු කර ඇත. මේ නිසා ගෙවිය යුතු ණය වාරික සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති අතර, බොහෝ දෙනකුට නියමිත වෙලාවට ඒවා ගෙවිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

විශාල ලෙස ඉහළ ගොස් ඇති උද්ධමනය – www.bloomberg.com

 

ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාම, ප්‍රමාණවත් වැටුපක් නොලැබීම සහ රැකියා අහිමි වීම වැනි හේතු නිසා ණය වාරික ගෙවීමට අසමත් වීම නිසා ණය ගෙවීම පැහැරහරින පුද්ගලයන් ලෙස ණය තොරතුරු කාර්යාංශයේ ලේඛනගත වන පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට ඉහළ ගොස් ඇත. මෙම හේතු නිසා පුද්ගලයන් මිලියන 8.5ක් පමණ කාර්යාංශයේ ලේඛනගත වී ඇති බව පසුගියදා වාර්තා විය.

ආර්ථික අර්බුදය හමුවේ ණය වාරික කිහිපයක් ගෙවීමට නොහැකි වූ අයෙක් මෙලෙස පැවැසුවේ ය.

“පසුගිය කාලයේ 8.5%ක් වූ පොළී අනුපාතය මේ වන විට 20%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අලුතෙන් ලබා ගන්න ණය සඳහා පමණක් නෙවෙයි, අඩක් ගෙවා අවසන් කර ඇති ණය සඳහාත් පොළී අනුපාතය ඉහළ දමා තිබෙනවා. කෙසේ වෙතත් අපට ලැබෙන ආදායම ඉහළ යන්නේ නැහැ. එය තව තවත් අඩු වෙනවා පමණයි. ඉතින් මේ තත්ත්වය තුළ ණය වාරික ගෙවන්න හැකියාවක් නැහැ. අපිත් කැමති නැහැ ණය පැහැරහරින පුද්ගලයන් ලෙස ලියාපදිංචි වෙන්න, නමුත් මුදල් නැත්නම් අපි ඒවා ගෙවන්නේ කොහොමද?”

ණය වාරික ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ණය තොරතුරු කාර්‍යංශයේ ලේඛනගත වන පුද්ගලයන්ට අවාසිදායක තත්ත්ව කිහිපයකට මුහුණ දීමට සිදු වේ.

ඔවුන්ට ණය මුදලක් ලබා ගැනීම, ණය කාඩ්පතක් (ක්‍රෙඩිට් කාඩ්) ලබා ගැනීම හෝ දේපළක් උකසට තබා යම්කිසි මුදලක් ලබා ගැනීමට හැකියාවක් නැත. කාර්‍යංශයේ ලේඛනගත වී ඇති පුද්ගලයන්ට ඔවුන්ගේ ඥාතීන් හෝ මිතුරන් ලබා ගන්නා ණය මුදල් සඳහා ඇපකරුවන් ලෙස ඉදිරිපත් වීමට ද හැකියාවක් නැත.

ප්‍රමාදයකින් තොරව නිසි වෙලාවට අදාළ ණය හෝ ලීසිං වාරික ගෙවීම – www.marketing91.com

 

ණය වාරික ගෙවීමට නොහැකි වීම

ණය වාරික ගෙවීම නිසි වෙලාවට සිදු කර නැති සහ පැහැර හැර ඇති පුද්ගලයන්ට මෙම තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ.

ප්‍රමාදයකින් තොර ව නිසි වෙලාවට අදාළ ණය හෝ ලීසිං වාරික ගෙවා ඇති පුද්ගලයන් ණය වාර්තාවක් අයදුම් කළ විට ඔවුන්ගේ ගනුදෙනු ඉතිහාසය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාර්‍යංශයෙන් ලබා දෙන අතර එය අදාළ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ඉදිරිපත් කර ගැටලුවකින් තොරව සේවා ලබා ගත හැක.

ලීසිං පහසුකම මත වාහන මිල දී ගත් අය ගෙවිය යුතු පොළී අනුපාතය 12% සිට 25% – 30% දක්වා ඉහළ ගොස් ඇති බැවින් බොහෝ දෙනකුට එම වාරික ගෙවීමට ද නොහැක. මේ වන විට ලීසිං වාරික ගෙවීමට අපහසු පුද්ගලයන් 200,000කට ආසන්න සංඛ්‍යාවක් සිටී. නියමිත වෙලාවට අදාළ වාරික නොගෙවීම නිසා ඔවුන්ට දඩ මුදලක් ද ගෙවීමට සිදු වේ. එවැනි දඩ මුදලක් ගෙවීමෙන් තොර ව අදාළ වාරික ගෙවීම සඳහා අවම වශයෙන් මාස හයක හෝ වසරක කාලයක් ලබා දෙන ලෙස එවැනි පුද්ගලයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ලීසිං සමාගම්වලින් ඉල්ලීමක් කර තිබිණි.

මුදල් අමාත්‍යංශය – www.dailymirror.lk

ණය සම්බන්ධයෙන් සහනදායි පිළිවෙතක්  

මේ වන විට ජනතාව පත්ව ඇති පීඩාකාරී තත්ත්වය හමුවේ ණය ගෙවීම ඇතුළු බැංකු කටයුතුවල දී රජය සහ බැංකු එක් ව සහනදායි සාමූහික පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ ව මේ වන විට අවධානය යොමු වී ඇත. වර්තමාන තත්ත්වය තුළ ණය ගෙවීමට හැකියාවක් නැති පුද්ගලයන් සම්බන්ධයෙන් කෙටිකාලීන සහ දිර්ඝකාලින වශයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන ලෙස මුදල් අමාත්‍යංශය බැංකුවලට උපදෙස් දී ඇති බව පසුගිය දා වාර්තා විය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වයන් ආරක්ෂා කර ගනිමින් ණය ලබා ගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබා දෙන ලෙස ද රජය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ද්‍රවශීලතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බැංකු සිය පොළී අනුපාත ඉහළ දමා ඇති තත්ත්වය තුළ ඇතැම් ව්‍යවසායකයන් පීඩාවට පත්ව තිබීම හේතුවෙන් රජය මෙම උපදෙස් ලබා දී ඇත.

කවරයේ ඡායාරූපය- 1980 දශකයේ මෙරට පැන නැඟුණු මූල්‍ය අර්බුදය පිළිබඳ ව සෙවීමට පත් කළ කමිටුවක් සිදු කළ නිර්දේශයක් මත ණය තොරතුරු කාර්යාංශය පිහිටුවා ඇත - www.BIIA.com

මූලාශ්‍ර:

www.crib.lk

www.dailymirror.lk

www.themorning.lk

Related Articles