මැදපෙරදිග එදිරිවාදීන් – ඉරානය සහ සවුදි අරාබිය

මැද පෙරදිග කලාපයේ ප්‍රබලම ඉස්ලාමීය රාජ්‍යයන් දෙක වන සවුදි අරාබියාව සහ ඉරානය අතර වර්තමානයේ පවතින්නේ එතරම් යහපත් සබඳතාවයක් නෙවෙයි. අද වන විට මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වයට මෙම දෙරට අතර පවතින ඝට්ඨනය ද කෙළින්ම බලපානවා.

බොහෝ අවස්ථාවල මෙම ගැටුම අර්ථකථනය කරන්නට උත්සාහ කරන්නේ සුන්නි සහ ෂියා මුස්ලිම් දෙපිරිස අතර ගැටුමක් ලෙසයි. සවුදි අරාබිය සුන්නි මුස්ලිම්වරුන් විසින් පාලනය කෙරෙනවා. ඉරානය පාලනය කරන්නේ ෂියා මුස්ලිම්වරුන්.

නමුත් මේ රටවල් අතර ඇති ගැටුම සුන්නි සහ ෂියා බෙදීමට පමණක් ලඝු කළ නොහැකියි. ඇතැම් කාළයන් හි මෙම රටවල් අතර හොඳ සබඳතාවක් දකින්නට ලැබුණා. කෙසේ නමුත් 1979 ඉරානයේ ඉස්ලාමික විප්ලවයෙන් පසු මෙම දෙරට අතර බොහෝ අවස්ථාවල එතරම් හොඳ සබඳතාවක් පැවතුනේ නැහැ. මෙම දෙරටම කලාපයේ බලවතා වීමේ බලාපොරොත්තුවෙන් සිටින හෙයින් විවිධ ගැටුම්වලට කෙළින්ම හෝ වක්‍රාකාරයෙන් මැදිහත් වනු දකින්න පුලුවන්.

සවුදි – ඉරාන මිත්‍රත්වය​

සවුදි අරාබිය පිහිටුවන ලද්දේ 1932 දීය. එහි පළමු රජු අබ්දුල් අසීස් ඉබ්න් – සවුද් රියාද් නගරය අල්ලාගත්තේ 1902 දීය. ඔහු නජ්ඩ් ප්‍රදේශයත්, හෙජාස් ප්‍රදේශයත් ආදී ප්‍රදේශ ගණනාවක් සිය පාලනයට ගත් අතර සවුදි අරාබිය පිහිටුවන ලද්දේ 1932 දී.

ඉබ්න් සවුද් රජු ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රූසවෙල්ට් සමඟ 1945 දී

1929 දී එවකට නජ්ඩ් සහ හෙජාස් හි පාලකයා වූ ඉබන් – සවුද්ගේ රජය සහ ඉරානයේ අධිරාජයාගේ රජය අතර මිත්‍ර ගිවිසුමක් අත්සන් කරනු ලැබුණා. දෙරට අතර මිත්‍රත්වය ඉරානයේ අවසන් අධිරාජ්‍යයා වූ මොහොමඩ් රෙසා පාහ්ලවිගේ පාලන සමය තුළ තවදුරටත් ශක්තිමත් වනු දකින්නට ලැබුණා.

1979 දී අයතුල්ලා කොමෙයිනි විසින් නායකත්වය දුන් ඉස්ලාමික විප්ලවය විසින් ඉරානයේ අධිරාජයා බලයෙන් පහ කරනු ලැබුණ අතර එරට ඉස්ලාමීය ජනරජයක් බවට පත් වුණා. සවුදි අරාබිය මෙම නව රජය පිළිගත් අතර දිගටම දෙරට අතර මිත්‍රත්වය පවතිනු ඇතැයි බලාපොරොත්තු වුණා.

ඉස්ලාමීය විප්ලවය​

නමුත් වැඩි කළක් යන්නට පෙර දෙරට අතර ගැටුම් ඇති වන්නට පටන් ගත්තා. ඊට මූලිකම හේතුව වූයේ සවුදි පාලනය කෙරෙහි අයතුල්ලා කොමෙයිනි දැක්වූ විරෝධාකල්පයයි. ඉස්ලාමීය විප්ලවයට පසු මුල් වසරවලදී ඉරානය බලාපොරොත්තු වූයේ අනෙකුත් මුස්ලිම් රටවල ද ඉස්ලාමීය විප්ලව සිදු වනු දැකීමයි. සවුදි පාලනය එම සිතැඟිවලට ප්‍රධාන බාධාවක් ලෙස කොමෙයිනි දුටුවා.

ඉරාන විප්ලවය – ඇමරිකන් තානාපති කාර්යාලයට පෙළපාලිකරුවෝ කඩා වදිති (EPA)

සවුදි අරාබියේ ෂියා මුස්ලිම් සුලුතරයක් ද වාසය කරනවා. ඉරානය බලාපොරොත්තු වූයේ එම පිරිස සවුදි පාලනයට එරෙහිව උසි ගැන්වීමටයි. ඉරානය අනුගමනය කළ සටන් පාඨය වූයේ “පීඩිත ජනයාට විමුක්තිය​” යන්නයි. එයින් ඔවුන් බලාපොරොත්තු වූයේ ෂියා මුස්ලිම් ජනයා පමණක් නොව සුන්නි මුස්ලිම් පිරිස් ද තමන් වටා ඒකරාශී කරගැනීමයි.

ඒ අතරම ඔහු ඉස්ලාමීය ආගමික කටයුතුවලදී, විශේෂයෙන්ම හජ් වන්දනාව පිළිබඳ තීරණ ගැනීමේදී, ඉරානයට ද වැදගත් ස්ථානයක් හිමි විය යුතු බව කියා සිටියා. ඉරාන වන්දනාකරුවන් මක්කම දී විවිධ කලබගෑණි ඇති කළ අතර 1987 දී සිදුවූ උද්ඝෝෂණයක් අතරතුර සවුදි පොලිසිය ඉරාන වන්දනාකරුවන්ට වෙඩි තැබුවා.

මේ වනවිටත් ඉරාන – ඉරාක යුද්ධයේදී සවුදි අරාබිය ඉරාකයට සහය දක්වමින් සිටි හෙයින් ඉරානය සහ සවුදි අරාබිය අතර එතරම් යහපත් සබඳතාවයක් තිබුණේ නැහැ. පොලිස් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව ඉරානය සවුදි අරාබිය සමඟ වූ තානාපති සබඳතා අහෝසි කර දැමුවා.

ඉරාන නායකත්වයේ වෙනස​

1989 දී කොමෙයිනි මිය ගිය අතර ඉරානය ලෝක ඉස්ලාමීය විප්ලවයක් පිළිබඳව වූ අභිලාෂයන් පසෙක ලා කලාපීය දේශපාලනය කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කිරීමට පටන් ගත්තා. දේශපාලන නායකත්වයේ වෙනස​, 1980 – 88 සමයේ ඉරාන – ඉරාක යුද්ධය විසින් කරන ලද විනාශය ආදී කරුණු මෙම විපර්යාසයට බලපෑවා.

සවුදි අරාබිය සහ ඉරානය අතර සම්බන්ධතා නැවත කෙමෙන් යථා තත්ත්වයට පත් වීමට වූයේ මෙම පසුබිමෙහිදී. ඔවුන් තානාපති සබඳතා ද අලුත් කරගත් අතර 2001 දී දෙරට අතර ආරක්ෂක සම්මුතියක් පවා ඇති වුණා.

සවුදි රජු සල්මාන් (Getty)

කෙසේ නමුත් කලාපීය දේශපාලනයේදී ඔවුන් අතර එදිරිවාදිකම් සම්පූර්ණයෙන් ම ඉවත්ව ගොස් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට ඉරානය සහය දැක්වීම පිළිබඳව සවුදි අරාබිය සිටියේ නොසතුටින්. සවුදි අරාබිය ඊට එකට එක කිරීමක් ලෙස ලෙබනනයේ සුන්නි – ක්‍රිස්තියානි කඳවුරට සහය පළ කළා.

2001 දී ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඇමරිකාව විසින් ඇෆ්ඝනිස්ථානයේදී අරඹන ලද යුධ ව්‍යාපාරයට සහ ත්‍රස්ත විරෝධී යුද්ධයට ඉරානය සහ සවුදි අරාබිය යන රටවල් දෙකෙහිම සහය හිමිවුණා. නමුත් 2002 ජනවාරියේදී, කොංග්‍රස් මණ්ඩලය අමතා කරන වාර්ෂික කතාවේදී, ඇමරිකන් ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් ඉරානය ත්‍රස්තවාදයට සහය දෙන රටක් ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ එරට එම ව්‍යාපාරයෙන් ඈත් වුණා. ඉන් පසු ඔවුන් සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල ද වේගවත් කළ අතර ඒ සමඟම සවුදි අරාබිය ඉරානය දෙස නැවතත් වපරැසින් බලන්නට පෙළඹුණා.

2003 දී ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල් ඉරාකය ආක්‍රමණය කළ අවස්ථාවේ ඉරානය නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර පසුව ඉරාකය තුළ වන ෂියා පිරිස්වලට සහය දක්වන්නට පටන් ගත්තා. සදාම් හුසේන් බලයෙන් පහ කිරීමෙන් ටික කළකට පසු ඉරාකයේ ඇතිවූ ආගම්වාදී සුන්නි – ෂියා ගැටුම්වලදී මෙන්ම ඇමරිකන් විරෝධී ෂියා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිටුපස ඉරානය ද සිටි බව චෝදනා එල්ල වනවා.

අරාබි වසන්තය​

2010 අග භාගයේ ටියුනීසියාවෙන් ඇරඹුණ ජනතා නැගිටීම් රැල්ල අරාබිකරය පුරා පැතිර ගියේ 2011 මුල දී. රටවල් ගණනක ජනතාව වීථි බැස අරගල කරන්නට වූ අතර ඒ සමඟම කලාපයේ බල අරගලයන් ද අලුත් වුණා.

බහරේනයේ ෂියා මුස්ලිම් බහුතරය එහි සුන්නි මුස්ලිම් රජ පවුලට එරෙහිව පෙළපාලි යන්නට වූ අතර එම විරෝධතා පිටිපස ද ඉරානය සිටිතැයි චෝදනා එල්ල වන්නට වුණා. එම විරෝධතා මර්දනය කිරීම සඳහා සවුදි අරාබිය ද බහරේනයට සහ දැක්වූවා.

ඉරාන ගුවන් හමුදා මිරාජ් F1BQ ප්‍රහාරක යානයක් – Shahram Sharifi

මේ අතර සිරියාවේ බශාර් අල් අසාද් පාලනයට විරුද්ධ කණ්ඩායම් මතු වූ අතර මුලින් ජනතා නැගිටීමක් ලෙස පටන් ගත් එම විරෝධතාව පසුව සිවිල් යුද්ධයක් බවට පත් වුණා. මෙහිදී ඇතැම් අසාද් විරෝධී කණ්ඩායම්වලට සවුදි සහය ද ලැබෙනවා. අසාද් පාලනයට ඉරානය ආධාර කරනු ලබනවා.

මේ අතර යේමනයේ තත්ත්වය ද සිවිල් යුධ තත්ත්වයක් වෙත වර්ධනය වූ අතර එහි හූති (Houthi) ගෝත්‍රික කැරලි කණ්ඩායම්වලට ඉරානයේ ආධාර ලැබෙන බව සඳහන්. සවුදි හමුදා මේ වනවිට ද ඔවුනට එරෙහි මෙහෙයුම්වල නිරත වනවා. යේමනයේ සිවිල් යුධ තත්ත්වය ඉරාන – සවුදි ගැටුමක් ලෙස ද එක් අතකින් සැළකෙන්නේ ඒ හේතුවෙන්.

2011 සහ 2012 වසරවල සවුදි අරාබියේ ද රාජ්‍ය විරෝධී පෙළපාලි ඇතිවූ අතර ඉන් බොහොමයක් සිදු වූයේ ෂියා මුස්ලිම්වරුන් වැඩිපුර වසන එම රටේ නැගෙනහිර ප්‍රදේශයේදී. මෙම විරෝධතා පිටුපස ද ඉරානය සිටින බවට චෝදනා එල්ල වුණා.

නිම්ර අල්-නිම්ර මරා දැමීමට එරෙහි උද්ඝෝෂණයක් (Reuters)

2016 ජනවාරි 2 වනදා ප්‍රකට ෂියා මුස්ලිම් ආගමික නායකයකු වූ නිම්ර අල්-නිම්ර සවුදි අරාබිය විසින් මරණ දඬුවමට ලක් කිරීම හේතුවෙන් ෂියා ජනතාව කැළඹීමට පත් වුණා. මෙය ඉරාන – සවුදි මතභේද තවත් උග්‍ර කිරීමට හේතු වුණා. ඉරානයේ සවුදි තානාපති කාර්යාලයට ප්‍රකෝප වූ පිරිස් පහරදුන් අතර සවුදි අරාබිය ඉරානය සමඟ වන තානාපති සබඳතා අහෝසි කළා.

කෙසේ වුණත් මෙම දෙරට අතර පවතින ගැටුම තනිකරම ආගමික ගැටුමක් ලෙස පමණක් පෙන්වා දිය නොහැකියි. දෙරටම කලාපයේ බලවතා වීමේ උත්සාහයක යෙදෙන අතර ඔවුන් අතර පවතින තරඟය තනිකරම එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සැළකිය හැකියි.

කවරයේ ඡායාරූපය​: සවුදි හමුදා යේමන දේශසීමාවේ සිට යේමනය තුළ පිහිටි හූති ඉලක්කවලට පහර දෙති – Getty

Related Articles