ඊශ්‍රායලයට එරෙහිව සටන් වදින පලස්තීන සටන්කාමී සංවිධාන ගණනාවක් අතුරින් එකකි මේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය.

ඊශ්‍රායලය සමග එම සංවිධානය පසුගිය දිනවල දරුණු සටන්වලට පැටලීම හේතුවෙන් එම සංවිධානය පිළිබඳ කතාබහක් හටගත්තා. මෙම සටන්වලට හේතු වූයේ, ඊශ්‍රායලය විසින් ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ප්‍රබලයකු මරා දැමීම යි.

මෑත කාලයේ දී පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය වෙනත් කිසිදු කලකට වඩා ප්‍රබල බවක් පෙන්නුම් කරනවා. ඊට හේතු වී ඇත්තේ ඉරානයෙන් ඊට ලැබෙන ආධාර බවට විශ්වාස කෙරෙනවා. ඊශ්‍රායලයට අමතරව ඇමරිකා එක්සත් ජනපදය​, යුරෝපා සංගමය​, එක්සත් රාජධානිය ආදී පාර්ශව කිහිපයක්ම මෙම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා.

ඉස්ලාමීය ජිහාඩ් ආරම්භය

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ආරම්භ වීමට මුල් වූ ඇතැමුන් මුලින් ඊජිප්තුවේ අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් වන ඊජිප්තු ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය හා සම්බන්ධව සිටියා. කෙසේ වෙතත් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ආරම්භ කිරීමට මැදපෙරදිග කලාපයේ පැතිර තිබෙන "මුස්ලිම් සහෝදරත්වය" (Muslim Brotherhood) දේශපාලන ව්‍යාපාරයේ ද, ඉරාන ඉස්ලාමීය විප්ලවයේ ද ආභාෂය ලැබුණා. මෙහි ආරම්භක නායකයන් වූයේ ෆාති ශකාකි සහ අබ්ද් අල් අසීස් අව්දා යන අය යි.

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් හි සන්නද්ධ අංශය අල් කුද්ස් බ්‍රිගේඩ් ලෙස හඳුන්වනවා. ගාසා තීරයේ ප්‍රධානම පලස්තීන කණ්ඩායම වන හමාස් සංවිධානය මෙන් පලස්තීන ඉස්ලාමීය ජිහාඩය දේශපාලන ප්‍රවාහයට ඇතුළත්ව නැහැ. ගාසා තීරයට අමතරව මෙම සංවිධානය බටහිර ඉවුරේ ද ක්‍රියාත්මක යි.

ඉස්ලාමීය ජිහාඩ් සහ හමාස්

ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය මෙන්ම හමාස් සංවිධානය ද ඉරානයේ සහාය සහ ආභාෂය ලබන සංවිධානයක් වනවා. මෙම සංවිධාන දෙකෙහි සන්නද්ධ අංශ ඇතැම් අවස්ථාවන්හි එක්ව කටයුතු කළා. කෙසේ වෙතත්, හමාස් සංවිධානය පලස්තීන අධිකාරිය තුළ දේශපාලනයට අවතීර්ණ වෙමින් 2006 මැතිවරණයට තරග කළා. ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය දිගටම සන්නද්ධ ක්‍රියාවන් හි නිරත වුණා.

මෑතක දී ඊශ්‍රායලය වෙත එල්ල කළ රොකට් ප්‍රහාරයක අවස්ථාවක් (IDF Twitter)

වර්තමානය වන විට මෙම සංවිධාන දෙකම ගාසා තීරයේ ක්‍රියාත්මක යි. නමුත්, හමාස් සංවිධානය තරමටම හෝ ඒ ආසන්නයටම සිය සන්නද්ධ ශක්තිය වර්ධනය කරගැනීමට ඉස්ලාමීය ජිහාඩ් සමත්ව ඇති බවක් පෙනී යනවා.

ශක්තිය සහ උපක්‍රම​

ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයෙහි පිරිස් ශක්තිය පිළිබඳ විවිධ ඇස්තමේන්තු දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන්නේ එම සංඛ්‍යාව 8,000ක් පමණ වන බව යි. පලස්තීනයේ ඊශ්‍රායල විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වන්නන් සහ වෙනත් විවිධ පිරිස් එම සංවිධානයට බඳවා ගැනෙන බව විශ්වාස කෙරෙනවා. ඔවුන් කාන්තාවන් ද බඳවා ගනු ලබන අතර, ඇතැම් විට ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ද යොමු කෙරෙනවා. කෙසේ වෙතත්, මෙම සංවිධානය බඳවා ගැනීම් කරන ආකාරය පිළිබඳ නිශ්චිත අදහසක් විශ්ලේෂකයන්ට දැනටත් නැහැ.

ඉස්ලාමීය ජිහාඩ් හි අවි බලය මෑත කාලයේ දී වර්ධනය වී ඇති බවක් පෙන්නුම් කෙරෙනවා. මෙම වසර මුල දී ඔවුන් සඳහන් කළේ තමන් සතුව ඊශ්‍රායලයට පහර දිය හැකි මිසයිල තිබෙන බව යි. මේවා ඉරානයේ සහායෙන් ලැබුණ මිසයිල බවට සැක කෙරෙනවා. මේ අතර සිරියාව සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයට සහාය දෙන බව විශ්වාස කෙරෙනවා.

මීට අමතරව ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට පහර දීමට සටන්කාමීන් යැවීමට ඉස්ලාමීය ජිහාඩය නිරන්තරයෙන් උමං මාර්ග උපයෝගී කරගන්නවා. මෙම උමං මාර්ග සොයාගැනීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන අභියෝගයක් වනවා.

මෑතකාලීන ගැටුම්

ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය වසර මුල දී ඊශ්‍රායලය වෙත තර්ජනය කළත්, මෙම වසරේ දී මෑතක් වනතෙක් ඊශ්‍රායලය ගාසා තීරයේ දී වැඩිපුර ගැටුණේ හමාස් සංවිධානය සමග බව යි පෙනෙන්නට තිබුණේ. ඊට අමතරව සිරියාවේ දී ඉරාන සහ හිස්බුල්ලා ඉලක්ක වෙත දිගටම ප්‍රහාර ඔවුන් විසින් එල්ල කෙරුණා.

බහා අල්-අටා ඝාතනය වූ ස්ථානය (Reuters)

කෙසේ නමුත්, නොවැම්බර් 12 වන දා ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ගාසා තීරයේ මෙන්ම සිරියාවේ දමස්කස් අගනුවර ඉලක්ක දෙකකට පහර දෙනු ලැබුණා. මෙමඟින් ඔවුන් ඉලක්ක කළේ ඉස්ලාමීය ජිහාඩ් ප්‍රබලයින් දෙදෙනෙක්ව යි. ගාසා තීරයේ දී එයින් එක් අයෙකු වූ බහා අබු අල්-අටා මියගිය අතර, දමස්කසයේ දී ඉලක්ක කළ අක්‍රම් අල්-අජූරි ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන තිබුණා. එහෙත් ඔහුගේ දියණිය සහ පුත්‍රයා ඉන් මියගියා.

මෙම ප්‍රහාර එල්ල වීමත් සමග ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් ඊශ්‍රායලය ඉලක්ක කරගෙන රොකට් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා. එක්තරා අවස්ථාවක ඊශ්‍රායල ආරක්ෂක සේනා සඳහන් කළේ පැය 48ක කාලය තුළ ඊශ්‍රායලය වෙත රොකට් 450ක් එල්ල කෙරුණ බව යි. ඉන් වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලයේ අයර්න් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය විසින් විනාශ කළ බවත් ඔවුන් කියා සිටියා.

ඊශ්‍රායලයේ අයර්න් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතියක් (AP)

මේ අතර ඊශ්‍රායලය මෙම ප්‍රහාරයන්ට පිළිතුරු ලෙස ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කළා. මෙහි දී මිසයිල ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන සටන්කාමීන් ද, ගුවනේ සිට නිරීක්ෂණය කර පහර දුන් බව ද ඊශ්‍රායල ආරක්ෂක සේනා සඳහන් කළා.

කියවන්න​: සතුරු රොකට් සහ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කරන Iron Dome පද්ධතිය

මේ අතර පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව නොවැම්බර් 14 උදෑසන වන විට ඊශ්‍රායල ප්‍රහාරවලින් 34 දෙනකු මියගොස් තිබුණා. ඉන් තුනෙන් එකක් පමණ සිවිල් වැසියන් වූ බව යි, එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

නොවැම්බර් 14 වනදා දෙපාර්ශවය අතර සටන් විරාමයක් ප්‍රකාශ කෙරුණා. ඊට මැදිහත්කරු ලෙස ක්‍රියා කළේ ඊජිප්තුව යි. එහෙත් පැය කිහිපයක දී එය බිඳ වැටුණ බව වාර්තා වුණා. ඊශ්‍රායලය පවසන්නේ ගාසා තීරයේ සිට තම රට වෙත රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව යි.

කෙසේ නමුත්, ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ඊශ්‍රායලය සහමුලින් විනාශ කර පැරණි (1948ට පෙර​) පලස්තීනයේ ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කිරීමේ තම අරමුණ වෙනස් කරගන්නා බවක් පෙනෙන්නේ නැහැ. එනම්, මේ දෙපාර්ශවය අතර සටන ද දිගටම පවතිනු ඇතැ යි සිතන්න පුළුවන්.

කවරයේ පින්තූරය: පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් පිරිසක් (Reuters)