ජනපති බලතල සීමා කරන මොකක්ද මේ ව්‍යවස්ථාදායක සභාව?

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දිගුවක් ලෙස 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම පිළිබඳ ව මේ වන විට විශාල කතාබහක් ඇති වී තිබේ. ඊට අදාළ කෙටුම්පත් කිහිපයක් ද මේ වන විට ඉදිරිපත් වී ඇත. බොහෝ පාර්ශව පෙන්වා දෙන්නේ රට තුළ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට නම් හැකි ඉක්මනින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව යි.

එම ව්‍යවස්ථා සංශෝධනය හරහා, ජනාධිපතිවරයාගේ බලතල යම්කිසි මට්ටමකට සීමා කරන, පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ව්‍යවස්ථාදායක සභාව නැවත බලාත්මක කළ යුතු බව බොහෝ දෙනකුගේ මතය යි. ව්‍යවස්ථාදායක සභාව, එහි ව්‍යූහය සහ කාර්යභාරය පිළිබඳව කළ විමසුමකි මේ.

17 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන යටතේ පිහිටවූ ව්‍යවස්ථාදායක සභාවන්හි ව්‍යූහය –  www.himalmag.com

ඉතිහාසය

ව්‍යවස්ථාදායක සභාවක් මුලින් ම පිහිටවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ, එනම්, 2000 දී ක්‍රියාත්මක කළ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ය. ඉන් අනතුරු ව 2010 දී, එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ව සිටියදී හඳුන්වා දුන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ‘පාර්ලිමේන්තු කවුන්සිලය’ යන ව්‍යූහය හඳුන්වා දුන්නේ ය. 2015 දී, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමෙන් පසු හඳුන්වා දුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායක සභාවක් නැවතත් පිහිටැවිණි.

එය 2015 ජනපතිවරණ වේදිකාවේ ලබා දුන් මූලික පොරොන්දු කිහිපය අතරින් එකක් විය. ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමත් සමඟ ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් ස්ථාපිත කළ අතර, පැවති ස්වාධීන කොමිෂන් සභාවල පත් කිරීමේ ක්‍රමවේදය සහ ඒවායේ කාර්යභාරය පැහැදිලි සහ විධිමත් ආකාරයෙන් සකස් විය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙස බල කරමින් පැවැත්වෙන විරෝධතාවක් – www.himalmag.com

සංයුතිය

ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයන් දහයකගෙන් සමන්විත වේ. ඒ අගමැති, පාර්ලිමේන්තුවේ කතානායක, විපක්ෂ නායක, ජනාධිපතිවරයා පත් කරන සාමාජිකයෙක්, අගමැති සහ විපක්ෂ නායක නම් කර, පසුව ජනාධිපතිවරයා පත් කරන සාමාජිකයන් පස් දෙනෙක් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පුද්ගලයන් තිදෙනෙක්), සහ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ එකඟතාවෙන් පත් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙනි. එහිදී පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ එකඟතාවෙන් පත් වන සාමාජිකයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයෙක් නොවිය යුතු ය.

පත් වීම සහ ඉවත් කිරීම

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයෙක් පත් කිරීමට අදාළ නාමයෝජනා කතානායකවරයාට ලැබේ. එහි සාමාජිකයන් වශයෙන් පත් වන අය සිය දේශපාලන හෝ වෘත්තීය ජිවිතය තුළ කැපී පෙනෙන සේවාවක් සිදු කර ඇති පුද්ගලයන් විය යුතු ය. මෙහිදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ඉදිරිපත් කරන සියලු නාමයෝජනා කතානායකවරයාට යොමු කෙරේ.

හිටපු කතානායක කරූ ජයසූරිය – www.lankaweb.com

කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා යන අය, ව්‍යවස්ථාදායක සභාවේ යම්කිසි සාමාජිකයෙක් ශාරීරික හෝ මානසික දුබලතාවක් නිසා හෝ වෙනත් යම්කිසි කරුණක් නිසා එම ධුරය දැරීමට නුසුදුසු බව තීරණය කළ අවස්ථාවක එම සාමාජිකයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඊට අමතර ව ජනාධිපතිවරයාට ලිඛිත දැනුම් දීමක් කර ඉල්ලා අස්වීමට ද එහි නියෝජිතයන්ට හැකියාව ඇත. යම්කිසි සාමාජිකයෙක් ඉල්ලා අස්වීමෙන් හෝ ඉවත් කිරීමෙන් ඇති වූ පුරප්පාඩුවට සති දෙකක් ඇතුළත නව සාමාජිකයෙක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු ය. ඒ ආකාරයෙන් පත්වන සාමාජිකයා ඔවුන්ගේ පූර්වගාමියාගේ ඉතිරි ධුර කාලය සම්පූර්ණ වන තෙක් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වය දරයි.

ධුර කාලය

ධුරයේ රැඳී සිටින තාක් කථානායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. අනිකුත් සියලු සාමාජිකයන් වසර තුනක කාලයක් එහි සාමාජිකත්වය දරන අතර ඔවුන් එහි සාමාජිකයන් ලෙස නැවත වරක්  පත් කිරීමට හැකියාවක් නැත. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සහ ව්‍යවස්ථාදායක සභාවට බලපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීම වැනි අවස්ථාවලදී, ඒ ඒ තත්ත්වයන් අනුව සාමාජිකයන්ගේ ධුර කාලය වෙනස් විය හැක. තමන්ගෙන් පුරප්පාඩු වන සාමාජිකත්වය සඳහා වෙනත් අයකු පත් කරන තෙක් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් එහි සාමාජිකත්වය දරයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලෙස ඉල්ලා පැවැති විරෝධතාවක් – www.blogs.lse.ac.uk

කොමිෂන් සභා

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාදායක සභාව යටතට පත් කළ කොමිෂන් සභා ගණනාවක් ඇත. ඒ මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මූල්‍ය කොමිසම, සීමා නීර්ණය කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ රාජ්‍ය භාෂා කොමිසම යි. මෙම කොමිෂන් සභාවලට අදාළ සියලු පත් කිරීම් සිදු කළේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නාමයෝජනාවලට ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව යි.

පත්කිරීම්

ඉහත කී කොමිෂන් සභාවල පත්කිරීම්වලට අමතර ව රටේ තවත් වැදගත් තනතුරු කිහිපයක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම ද ව්‍යවස්ථාදායක සභාවට පැවරිණි. අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්, නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන් සහ පාර්ලිමේන්තු මහලේකම් සඳහා වන පත්කිරීම් කළේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ පරිදි වේ.

හිටපු කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති ව්‍යවස්ථාදායක සභා රැස්වීමක් – www.businessnews.lk

මෙහිදී සිදුවන්නේ ව්‍යවස්ථාදායක සභාව, අදාළ තනතුරු දැරීම සඳහා සුදුස්සන් ලෙස ජනාධිපති නම් කරන අය අතරින් ඒ සඳහා පත් විය යුත්තේ කවුද යන්න නිර්දේශ කිරීම යි. විවාදයක් සහ රහස් ඡන්දයක් පවත්වා එම නිර්දේශ ඉදිරිපත් කරන අතර අදාළ අපේක්ෂකයන් සමහර අවස්ථාවලදී ව්‍යවස්ථාදායක සභාව හමුවේ පෙනී සිටිති. එහිදී ගන්නා අවසන් තීරණය ව්‍යවස්ථාදායක සභාව සිය නිර්දේශය ලෙස ජනාධිපතිවරයා වෙත යොමු කරයි.

කැපී පෙනෙන නිර්දේශ කිරීම්

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටවූ ව්‍යවස්ථාදායක සභාව එවැනි පත් කිරීමක් සඳහා ඉදිරිපත් කළ පළමු නිර්දේශය වන්නේ 2015 නොවැම්බර් මස ගාමිණි විජේසිංහ විගණකාධිපති ධුරයට පත් කිරීමට ඉදිරිපත් කළ නිර්දේශය යි. 2016 පෙබරවාරි 10 දින එවකට ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජෙනරාල් ජයන්ත ජයසූරිය (වර්තමාන අගවිනිසුරු) නීතිපති ලෙස පත් කිරීමට ද ව්‍යවස්ථාදායක සභාව නිර්දේශ කළේ ය.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ – www.utv.lk

 ඉතිහාසයේ පළමු වරට දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය වන ආකාරයෙන් පිහිටුවූ ව්‍යවස්ථාදායක සභාවක් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් නිර්දේශයක් ඉදිරිපත් කළේ 2016 අප්‍රේල් 18 දින, පූජිත් ජයසුන්දර පොලිස්පති ධූරයට පත් කිරීම සම්බන්ධයෙනි.

කවරයේ ඡායාරූපය- ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා වන්නේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා යි - www.newsfirst.lk

මූලාශ්‍ර:

www.parliament.lk

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය

www.sundayobserver.lk

Related Articles