උද්ධමනය සමනය කරන මොකක්ද මේ මුදල් මණ්ඩලය?

මේ දවස්වල කතා වෙන වෙන මාතෘකාවක් තමයි ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය සමනය කරන්න පුළුවන් පලදායී විසඳුම කුමක් ද යන්න ගැන. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් එච්. හැන්කී (Steve H. Hanke) ගේ 2022 ජුනි 9 වන දිනට උද්ධමනය ගණනය කිරිම තුළ ශ්‍රී ලංකාව ලෝකයේ වාර්ෂික උද්ධමනය වැඩි ම රටවල් අතර තුන්වන ස්ථානයේ සිටිනවා. අපිට උඩින් ඉන්නේ සිම්බාබ්වේ සහ තුර්කිය.

අද අපි කතා කරන්න යන්නේ ස්ටීව් මේ පුන පුනා කියන, එයාට අනුව ශ්‍රී ලංකාවේ මේ වනවිට 124% ක් වූ වාර්ෂික උද්ධමනය සමනය කරන්න ගන්න පුළුවන් පලදායී විසඳුමක් වන මුදල් මණ්ඩලයක් (Currency Board) ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම ගැන. මහාචාර්ය ස්ටීව් ඔහු පළ කරන බොහෝ tweetsවල කියනව ශ්‍රී ලංකාව Currency Board එකක් ඉක්මනින් ස්ථාපිත කළ යුතුයි කියලා. ඉතින් අපි බලමු මොකක්ද මේ මුදල් මණ්ඩලයක් නැත්තම් Currency Board එකක් කියන්නේ කියලා.

මහාචාර්ය ස්ටීව් එච්. හැන්කී – www.aier.org 

 

මොකක්ද මේ මුදල් මණ්ඩලය 

 Currency Board එක නැත්නම් මුදල් මණ්ඩලය ගැන හරියට ම පැහැදිලි කරගන්න නම් අපිට යන්න වෙනවා මුදල් බිහි වීමේ ඉතිහාසයට. ඔබ අපි හැමෝ ම දන්නවා ඉස්සර සල්ලි කියලා අපි පාවිච්චි කළේ රත්තරන්, රිදි වැනි කාසි. අලුතෙන් මුදල් නිකුත් කරනවා කියන්නේ අලුතෙන් රත්තරන් භාවිතයට ගන්නවා කියන එක.  එදා මේ කාසි ඇත්තට ම රත්තරන්වලින් හදා තිබුණු වටිනාකමින් යුතු ඒවා නිසා වෙළඳපොළට කෙතරම් ප්‍රමාණයක් අලුතින් නිකුත් කළත් ප්‍රශ්නයක් වුණේ නෑ.

උදාහරණයක් ගත්තොත් රත්තරන් පවුමක් කියන කාසිය ඇතුළේ ඇත්තට ම රන් පවුමක වටිනාම තියෙන නිසා. අපි දැන් මුදල් විදියට භාවිත කරන්නේ කාසි හා නෝට්ටු. එතන දි අපි රුපියල් 1000 නෝට්ටුවක් ගත්තොත් ඇත්තට ම  ඒක රුපියල් 1000ක් වටින්නේ නෑ. ඒ නෝට්ටුව හදපු කොලෙයි, ඩිසයින් එකයි, තීන්ත ටිකයි, මුද්‍රණ පිරිවැයයි රුපියල් 300ක් විතර වටිවි. ඒක නිකන් ම නිකන් කොල කෑල්ලක් විතර යි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය – twitter.com/steve_hanke

 

 ඒ නිසා මහ බැංකුව අපට කියනවා නීතිමය වශයෙන් මේ කොල කෑල්ල රුපියල් 1000ක් වටිනවා කියලා. එයාලා ඒ මත මෙය ලංකාව ඇතුළත ඕනෑම ගනුදෙනුවක් සඳහා වලංගු වේ කියලා ලියලා මුදල් ඇමතිගෙයි මහ බැංකු අධිපතිගෙයි අත්සන එයට ඇතුළත් කරලා ඒකට නීතිමය වටිනාමක් දෙනවා.

ඒ වගේ ම මේ කොල කෑල්ලට වටිනාකමක් දෙන්න මහ බැංකු කරන්නේ ඒ නෝට්ටුව සාමාන්‍යයෙන් ශක්තිමත් ඩොලර්, ස්ටර්ලින් පවුම්, රත්තරන් වගේ මුදල් ඒකකයක් එක්ක අමුණන එක. අපි මේකට ආර්ථික විද්‍යාවේ කියනවා peg කරනවා කියලා. ඉතින් අන්න එහෙම ඇමුණුවා ම මහ බැංකුවට බෑ එයාලට හිතුණු හිතුණු විදියට මුදල් අච්චු ගහන්න.

2022 june 9 දින වන විට ශ්‍රී ලංකාව වාර්ෂික උද්ධමනය අතින් ලෝකයේ තුන්වන තැන සිටීම
– mobile.twitter.com/steve_hanke 

 

අපි හිතමු අපේ රුපියල් ඩොලර් එක්ක ඇමුණුවා කියලා. එතකොට රට තුළ සමස්ත මුදල් තොගය කොච්චරක් තියෙන්න ඕනේද කියලා තීරණය කරන්නේ ඒ වෙලේ රටේ තියෙන ඩොලර් සංචිතය එක්ක. සංචිතය ඩොලර් මිලියන 200ක් නම්, ඒ වෙලේ රට ඇතුළෙ රුපියල් තියෙන්න ඕනේ ඒ ප්‍රමාණයට සමාන ව ම විතර යි. හදිසියේවත් අපේ ඩොලර් සංචිතය මිලියන 300කින් වැඩි වෙලා මිලියන 500ක් වුණොත්, එතකොට මහ බැංකුවට පුළුවන් අර වැඩි වුණු ඩොලර් මිලියන 300ට සමාන රුපියල් ප්‍රමාණයක් අච්චු ගහන්න.

ඔන්න ඔය කතාවට තමයි Currency Board කියලා කියන්නේ. ඔයාලට මණ්ඩලය (Board) කියලා ඇහුණු ගමන් මේක මිනිස්සු ටිකක් මේසයක් වටේ වට වෙලා කරන වැඩක් වගේ හිතුණට ඇත්තට ම Currency Board කියන්නේ නීතිමය රාමුවකට. Currency Board එකක් තියෙන රටක මහ බැංකුවක් තිබ්බත් එකයි නැතත් එක යි. මොකද මේ නිති රාමුව තුළ මුදල් අච්චු ගැසීම සිදු වන්නෙ රට සතුව තියෙන සංචිත ප්‍රමාණය අනුව පමණක් නිසා. දැනට ලෝකයේ මේ මුදල් මණ්ඩල ක්‍රමය හොංකොං ඇතුළු රටවල් 48ක් භාවිත කරනවා.

මහාචාර්ය ස්ටීව් ශ්‍රී ලංකාවේ උද්ධමනය පිළිබඳ කතා කරන සෑම විටම #currencyboard එකක් අවශ්‍ය බව ප්‍රකාශ කීරීම
– mobile.twitter.com/steve_hanke 

 

රුපියල් වෙනුවට ඩොලර්

ඒ වගේ ම පැනමාව වගේ රටවල් එයාලාගේ මුදල් ඒකකය ලෙස සෘජුව ම ඩොලර් භාවිත කරනවා. ඒකට අපි කියන්නේ Dollarization කියලා. ඒක අපිට මේ මොහොතේ අපේ රටේ ක්‍රියාත්මක කරන්න අමාරු යි. ශ්‍රී ලංකාව රුපියල් අතහැරලා ඩොලර් වලින් සම්පූර්ණයෙන් ම රට ඇතුළෙ ගනුදෙනු කරන්න යනව නම් අපි ළඟ තියෙන සල්ලි බැංකුවට දීලා ඒ හා සමාන ඩොලර් ප්‍රමාණයක් ලබා ගත යුතුයි. ඊට පස්සේ බැංකුවල එකතු වෙන රුපියල් විනාශ කරලා දන්න ඕනේ. ඉතින් මේ මොහොතේ බෙහෙත් ටිකවත් ගෙන්න ගන්න ඩොලර් නැති නිසා මේ ක්‍රමය ශ්‍රී ලංකාවට දැනට ප්‍රායෝගික වෙන්නේ නෑ.

මුදල් මණ්ඩලය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නෙවෙයි 

Currency Board එක හෙවත් මුදල් මණ්ඩලය ගැන කතා කළොත් ශ්‍රී ලංකාවට මේක අලුත් දෙයක් නෙවෙයි. 1884 ඉඳලා 1950 වෙනකන් අපිටත් Currency Board එකක් තිබුණා. 1884 දි අපේ මුදල් නිකුත් කරපු Oriental Bank Corporation බිඳ වැටුණ ම අපේ රටත් Currency Board එකක් හෙවත් මුදල් මණ්ඩලයක් ස්ථපිත කළා. අපි ඒ කාලේ අපේ රුපියල 1:1 ක් ලෙස අමුණලා තිබ්බේ ඉන්දියානු රිදි කාසිය සමඟ. ඒ කියන්නේ අපේ රටට ලැබෙන හැම ඉන්දියානු රිදී කාසියක් වෙනුවෙන් ම අපි ශ්‍රී ලංකා රුපියලක් නිකුත් කළා.

1865 දී ලන්ඩනයේ පුවත් පතක පළ වූ ඉන්දියාවේ බොම්බායේ පිහිටි Oriented Bank Corporations හී සිතුවමක් – www.numisbids.com 

 

 කේන්සියානුවාදි ජේ. ආර්. ජයවර්ධන මුදල් ඇමති වෙලා 1950 දි Currency Board එක ඉවත් කරලා ජෝන් එක්ස්ටර් (John Exter) ගෙන්නල ලංකා ආණ්ඩුවට කැමති කැමති වෙලාවක කැමති තරමක් මුදල් අච්චු ගහන්න පුළුවන් විදියට මහ බැංකුවක් ස්ථාපිත කළා. ඉන් මාස 11කට පසු අපේ සංචිත විශාල ලෙස විනාශ වෙලා ගිහින් 1953 වෙද්දි මිනිස්සු හර්තාලයක් පවා සිදු කරන තැනට එනවා. එදත් හරියට ම අද වගේ ම භාණ්ඩ මිල ගණන් ඉහළ යාම හා ආර්ථික අර්බුදය නිසා බිහි වුණු අරගලය හේතුවෙන් කැබිනට් මණ්ඩලය රැස්වූයේ කොළඹ වරායෙන් එපිට නවතා තිබූ HMS නිව්ෆවුන්ඩ්ලන්ඩ් නම් බ්‍රිතාන්‍ය නෞකාවේදී යි.  

ශ්‍රී ලංකාව ඇයි පරක්කු 

මහාචාර්ය ස්ටීව් කියන මේ Currency Board එකක් නැත්නම් මුදල් මණ්ඩලයක් ස්ථාපිත කරන්න තාම රජය තීරණය කරලා නැත්තේ ඇයි කියලා දැන් ප්‍රශ්නයක් එනවා ඇති. ලෝක ප්‍රසිද්ධ ආර්ථික මහාචාර්යවරයෙක් වන ස්ටීව් එච්. හන්ක් මාසෙන් මසෙට ශ්‍රී ලංකාව දිහා බල බලා tweets දන්නේ නිකන් නෙවෙයි.  ඔහුටත් අවශ්‍ය ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා උදව් වෙන්න.

එහෙම එන්න නම් ඔහු හොඳට ම දන්න සහ සිම්බාබ්වේ දි, වෙනිසියුලාවෙ දි ඒ රටවල් ගොඩ ගන්න ඔහු යොදපු උපක්‍රමය වන Currency Board නැත්නම් මුදල් මණ්ඩලයක් ශ්‍රී ලංකාවේත් ක්‍රියාත්මක විය යුතුයි. තවමත් ඔහුට ශ්‍රී ලංකාවට උදවු වන ලෙස ශ්‍රී ලංකා ආණ්න්ඩුවෙන් ආරාධනා කරලා නෑ වගේ. ඒකටත් හේතු කිහිපයක් තියෙන්න පුළුවන්.

1884 දී Oriented Bank Corporation බිඳ වැටීමට පෙර 1865 දී නිකුත් කළ රුපියල් දහයේ කොළය – www.numisbids.com 

 

 මේ විදියට Currency Board එකක් නැත්නම් මුදල් මණ්ඩලයක් පවත්වගෙන යන්න ආණ්ඩුවට වගේ ම රටට දැඩි මූල්‍ය විනයක් අවශ්‍ය යි. ආණ්ඩුවට ඕන ඕන විදියට සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ට බෙදන්න, නැත්තම් අතිශයින් ම පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් එයාර්ලයින් වගේ ආයතනවල පාඩු පියවන්න සල්ලි අච්චු ගහන්න මේ විදියට Currency Board එකක් නැත්නම් මුදල් මණ්ඩලයක් පවතිද්දි නොහැකි වෙනවා.

අපේ අයවැය හැමදා ම හිඟ නිසා ආණ්ඩුව කරන්නේ වියදම් පියවන්න මහ බැංකුවෙන් අච්චු ගහපු සල්ලි ණය විදියට ගන්න එක. ඉතින් Currency Board එකක් පවතිද්දි මහ බැංකුවට බෑ ආණ්ඩුව ඉල්ලන ඉල්ලන හැම පාර ම රුපියල් අච්චු ගහන්න. එවිට සීනි බෝල දෙන්න බැරි නිසා ආණ්ඩුව මිනිසුන් අතර තවත් පිරිහෙනවා. ආණ්ඩුවට සල්ලි අවශ්‍ය නම් ආණ්ඩුව මුලින් ම ඩොලර් හම්බ කළ යුතු යි. ඒ උපයන ඩොලර් මහ බැංකුවට දීල තමයි අලුතෙන් රුපියල් අච්චු ගහගන්න වෙන්නේ.

1953 දී ශ්‍රී ලංකාවේ සිදු වූ හර්තාල් ව්‍යාපරයේ ඡායාරූපක් – www.dailymirror.lk 

 

ඉදිරියට මොකද වෙන්නේ..

 දැන් ආර්ථික යුද්ධය පටන් අරන් ඉවර යි. මේ ඔබ තවම අත්විදිමින් සිටින්නේ එහි අයහලත් ප්‍රතිවිපාකවලින් 40% ක් වගේ කොටසක් විතරයි. දැනටමත් මිනිස්සුන්ගේ පටි තද වෙලා හුස්ම හිර වෙලා. අද ඉඳන් අපේ පාලකයෝ මේ ආර්ථික අර්බුදය විසඳන්න පටන් ගත්තත් අවම මාස 18 වත් යනවා මේ දේ නතර වෙන්න. ඉස්සරහට මීට වඩා මිනිස්සුන්ට අමාරු වේවි. දැන් දැන් IMF හරහා අපේ රටේ තුවලය සුද්ද කරන්න පටන් අරන් වගේ. ඉතින් අපි හැමෝම දන්නවා තුවාලයක් තියෙනවට වඩා අමාරුයි ඒ තුවාලේ සුද්ද කරලා බෙහෙත් දාද්දී. අන්න ඒ නිසයි මිනිස්සුන්ට, විශේෂයෙන් ම රාජ්‍ය සේවකයන්ට ඉස්සරහට අමාරු වෙන්නේ. අපි හිතනවා ඉස්සරහට අපේ රටෙත් මුදල් මුද්‍රණය කිරීමේ සම්පුර්ණ බලතල මහ බැංකුවෙන් ඉවත් කරලා Currency Board එකක් නැත්නම් මුදල් මණ්ඩලයක් යටතේ සිදු විමට ඉඩ හරීවි කියලා. එතකන් මේ යුද්ධය ජය ගැනීම සඳහා අපි පුළුවන් විදියට දැනුමෙන් සන්නද්ධ වෙමු. 

කවරයේ ඡායාරූපය- පලදායී විසඳුම වන මුදල් මණ්ඩලය - twitter.com/steve_hanke

මූලාශ්‍ර:

 engineering.jhu.edu

 www.aier.org 

 www.investopedia.com 

 piie.com 

 www.cato.org 

Related Articles