පසුගිය ජනවාරි 8 වන දා, ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර යුධ උණුසුම බරපතල වෙද්දී, රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සිටියේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ යි. එහිදී ඔහු තුර්කි ජනාධිපති රචෙප් ටයෙප් එර්ඩොවාන්, සර්බ් ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුචිච් සහ බල්ගේරියානු අගමැති බොයිකෝ බොරිසොව් යන අය සමග ටර්ක් ස්ට්‍රීම් ස්වාභාවික වායු නල මාර්ගය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වුණා.

ටර්ක් ස්ට්‍රීම් නල මාර්ගය දැවැන්ත ආයෝජනයක් වනවා. එමෙන්ම එහි ප්‍රතිලාභ රුසියාවට මෙන්ම තුර්කියට ද ලැබෙන අතර අනාගතයේ දී වෙනත් රටවල් ද එයින් අමතර ප්‍රතිලාභ අපේක්ෂා කරනු ඇති. මේ අතර යුක්‍රේනයට මෙම මාර්ගය හේතුවෙන් බරපතල පාඩු විඳින්නට සිදුවේයැ යි පෙනී යනවා.

වමේ සිට - බොරිසොව්, පුටින්, අර්ඩොවාන්, වුචිච් (Reuters)

ටර්ක් ස්ට්‍රීම් ව්‍යාපෘතිය

ටර්ක් ස්ට්‍රීම් ව්‍යාපෘතිය පිළිබඳ මුලින්ම නිවේදනය කෙරුණේ 2014 වසරේ දී යි. ඒ, යුක්‍රේනයේ රුසියාවට ප්‍රතිවිරුද්ධ රජයක් බිහිවීමෙන් මාස කිහිපයකට පසුව යි. රුසියාවේ ගෑස්ප්‍රොම් සමාගම සහ තුර්කියේ BOTAS සමාගම අතර මේ පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණේ 2014 දෙසැම්බරයේ දී යි. යුක්‍රේනය හරහා යන නළ මාර්ගවලට විකල්පයක් සෙවීමට අමතරව, මෙම නළ මාර්ගය මඟින්, තුර්කියේ ඉහළ යන බලශක්ති අවශ්‍යතා සඳහා රුසියාවෙන් ස්වභාවික වායු මිලට ගැනීම ද අරමුණු කෙරුණා. කෙසේ වෙතත් 2015 දී තුර්කිය විසින් සිරියා-තුර්කි දේශසීමාවේ දී රුසියන් ප්‍රහාරක යානයක් බිම දැමීමෙන් අනතුරුව ටර්ක් ස්ට්‍රීම්හි කටයුතු නවතා දමනු ලැබුණා. 2016 දී රුසියාව සහ තුර්කිය සිය විරසකය සමහන් කරගත් අතර නළ මාර්ග ව්‍යාපෘතියේ කටයුතු නැවත ක්‍රියාවට නැගුණා.

නළ මාර්ගය ඉදි කිරීම (Gazprom)

ටර්ක් ස්ට්‍රීම් හි ඉදිකිරීම් 2017 මැයි මාසයේ ඇරඹුණා. එහි නළ මාර්ග දෙකක් වන අතර එකක ධාරිතාව වසරකට ඝන මීටර් බිලියන 15.75ක් වනවා. එක් නළ මාර්ගයක්, කළු මුහුද අසබඩ පිහිටි රුසියාවේ අනාපා නගරය අසළින් ඇරඹී තුර්කියේ ඉස්තාන්බුල් අසල කියිකොයි වෙත පැමිණෙනවා. දෙවන මාර්ගය කියිකොයි සිට බෝල්කන් ප්‍රදේශ කරා ඇදෙනවා. කළු මුහුද යටින් දිවෙන පළමු කොටසේ දිග කිලෝමීටර් 930ක්.

නිල වශයෙන් නළ මාර්ගය විවෘත කළේ 2020 ජනවාරි 8 වන දා වුව ද ජනවාරි 1 වන දා සිට මෙයින් ස්වභාවික වායු සැපයුම් සිදු වුණා. මෙසේ රුසියානු ස්වාභාවික වායු සැපයුම එදින පටන් බල්ගේරියාව වෙත ළඟා වුණා. ජනවාරි 5 වන දා සිට ග්‍රීසිය සහ උතුරු මැසඩෝනියාවට රුසියන් ස්වභාවික වායු සැපයුම ටර්ක් ස්ට්‍රීම් ව්‍යාපෘතිය යටතේ ආරම්භ කෙරුණා.

මේ අතර, 2020 මැද දී සර්බියාව වෙත ද මෙම ව්‍යාපෘතිය ඔස්සේ බලශක්ති සැපයුම සිදුවනු ඇති. එමෙන්ම, ටර්ක් ස්ට්‍රීම් ව්‍යාපෘතිය 2021 දී හන්ගේරියාවටත්, 2022 දී ස්ලොවේකියාවටත් දිගු වේයැ යි විශ්වාස කෙරෙනවා. ගෑස්ප්‍රොම් සමාගමේ ප්‍රධානී අලෙක්සේයි මිලර් සඳහන් කරන්නේ ටර්ක් ස්ට්‍රීම් ව්‍යාපෘතිය යටතේ වසර 110 ක් 

නව බලශක්ති කේන්ද්‍රස්ථානයක්

ටර්ක් ස්ට්‍රීම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම හා වර්ධනය වීම සමග තුර්කිය නව බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ඉස්මතු වනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. එක් අතකින් ටර්ක් ස්ට්‍රීම් විසින් තුර්කියේ බලශක්ති අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් පිරිමැහෙන අතර, අනෙකුත් රටවලට සිය රට හරහා බලශක්තිය යැවීමෙන් ද විශාල ධනයක් එරටට උපයාගත හැකියි.

ටර්ක් ස්ට්‍රීම් ව්‍යාපෘතිය (RT)

මේ අතර යුරෝපා රටවල බලශක්ති සුරක්ෂිතතාව කෙරෙහි මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇතැ යි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් විශ්වාසය පළ කළා. සර්බියාව සහ බල්ගේරියාව ද ටර්ක් ස්ට්‍රීම් හේතුවෙන් තමන් බලශක්තිය සඳහා කරන වියදම් අඩු වේයැ යි විශ්වාස කරනවා.

දකුණුදිග යුරෝපය​, එනම් ග්‍රීසිය සහ බෝල්කන් කලාපය ලෝක බල තුලනයෙහි වැදගත් තරගබිමක් ලෙස ඉස්මතු වී තිබෙනවා. එක් අතකින් නේටෝ සංවිධානය සහ යුරෝපා සංගමය මෙම ප්‍රදේශයේ බලය ව්‍යාප්ත කරද්දී අනෙක් අතින් රුසියාව 1991න් පසු තමන්ට අහිමි වූ ස්ථානය යළි ලබාගැනීමට උත්සාහ කරනවා. බලශක්තිය මෙහිදී රුසියාව සතු ප්‍රබලම අවියක් වනවා.

ටුර්ක් ස්ට්‍රීම් හි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් රුසියාවේ සිට ස්වාභාවික වායු යුරෝපයට යැවීමේ දී යුක්‍රේනයට තිබුණු වැදගත්කම බොහෝ දුරට අඩු වනවා. යුක්‍රේනය හරහා බලශක්තිය ලබාගත් බොහෝ රටවලට දැන් ටර්ක් ස්ට්‍රීම් වෙත යොමුවීමට හැකියාව තිබෙනවා. එහෙයින් යුක්‍රේනයට වසරකට ඩොලර් මිලියන 450ක පමණ පාඩුවක් වේයැ යි අනුමාන කරනු ලබනවා.

බලශක්ති දේශපාලනය

රුසියාව යුරෝපය දෙසට සිය ස්වාභාවික වායු සැපයුම ව්‍යාප්ත කරන්නේ ඇමරිකන් කෙණෙහිලිකම් මැද යි. වර්තමානයේ ජර්මනිය ආදී රටවල් කිහිපයක් වෙත බෝල්ටික් මුහුද හරහා දිවෙන "නෝර්ඩ් ස්ට්‍රීම් 2" නළ මාර්ගය පිළිබඳ ද කටයුතු සිදුවෙමින් පවතිනවා. එසේ වන්නේ ඇමරිකන් සම්බාධක හා බාධාකිරීම් මධ්‍යයේ යි.

ඇමරිකානුවන්ට මෙහි ඇත්තේ එක් අතින් දේශපාලනික සහ අනෙක් අතින් ආර්ථික කාරණයක්. යුරෝපය බලශක්තිය ලබාගැනීම සඳහා රුසියාව කෙරෙහි රඳා පැවතිය නොයුතු බව ඇමරිකාව කියා සිටිනවා. මේ අතර සිය ද්‍රවීකරණය කළ ස්වාභාවික වායු (LNG) නිශ්පාදන යුරෝපයට අලෙවි කිරීමේ ආර්ථික අවශ්‍යතාව ද ඇමරිකාවට තිබෙනවා. කෙසේ වෙතත් දැනට පවතින තත්ත්වය යටතේ "නෝර්ඩ් ස්ට්‍රීම් 2" ද කඩිනමින් සම්පූර්ණ වනු ඇතැයි විශ්වාසය පළ වී තිබෙනවා.

Cover Image ටුර්ක් ස්ට්‍රීම් විවෘත කිරීමේ නිල උත්සවය (Reuters)