ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලොව මවිත කළ ජනපතිවරණ ජයට බලපෑ හේතූන්

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම ඇතැම් විචාරකයන් දකින්නේ දශක ගණනාවක් තුළ එරට සිදුවූ පුදුමාකාරම දේශපාලන පෙරළිය විදියටයි. නමුත් මේ පෙරළිය එතරම්ම පුදුමයක් නොවන බව තවත් සමහරුන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදයේ වාතාවරණය මේ මැතිවරණ ප්‍රතිඵලය නිසා තවමත් පවතින්නේ උණුසුම් තත්ත්වයකයි.

(මැතිවරණ ප්‍රථිපල නිකුත් වීමෙන් පසු චිකාගෝහිදී පැවැත්වුණ ට්‍රම්ප් විරෝධී රැළියක්/ The Guardian)

(මැතිවරණ ප්‍රථිපල නිකුත් වීමෙන් පසු චිකාගෝහිදී පැවැත්වුණ ට්‍රම්ප් විරෝධී රැළියක්/ The Guardian)

සුදුසුකම් ලැබූ අය අතරින් අඩකට ආසන්න ප්‍රතිශතයක් (46.6% – මූලාශ්‍රය එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියෙනි) සිය ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර තිබූ පසුබිමක ට්‍රම්ප් ලැබූ මේ ජයග්‍රහණයට හේතු වූ සාධක සොයා බැලීම ඉදිරි අවුරුදුවල ලෝක දේශපාලනය ගැන අදහසක් ගන්නට බොහෝ ප්‍රයෝජනවත් වේවි කියලා අපි හිතුවා. ඒ ගැන යම් අදහසක් ඔබට ගෙනෙන්න අප කල්පනා කළේ ඒ හේතුව නිසායි.

කවුද මේ ඩොනල්ඩ් ට්‍රම්ප්??

ඩොනල්ඩ් ට්‍රම්ප් 1946 ජූනි 14 දී උපන්, ජර්මන් සම්භවයක් ඇති අයෙක්. ව්‍යාපාරික ක්ෂේත්‍රයට ඇතුලත් වුණු ඔහු සිය පියාගේ දේපළ වෙළෙඳාම් සමාගමෙන් වෘත්තීය ජිවිතය පටන් ගන්නෙ 1968 වසරේදී යි. 1971 දී ‘ට්‍රම්ප් සංවිධානය’ පිහිටුවාගෙන දේපළ වෙළෙඳාමේ සිට කැසිනෝ, ගොල්ෆ් පිටි, හෝටල් ආදී ව්‍යාපාර රැසක ඔහු නිරත වෙනවා.

2004 ජනවාරි 8 වනදා ඔහු රියැලිටි වැඩසටහනක් පටන් ගන්නවා. එහි නම ‘The Apprentice.’ ඒ කියන්නේ ‘ආධුනිකයා’ කියන තේරුමෙන්. ඔහු මෙහි ප්‍රධාන විධායක නිලධාරියාගේ භූමිකාව රඟපාමින් එක් එක් රැකියා අපේක්ෂකයන් පරීක්ෂා කරමින්, ඔවුනට අභියෝග ලබා දෙමින් එම වැඩසටහන මෙහෙයවනවා. මෙම වැඩසටහන ට්‍රම්ප්ගේ ප්‍රතිරූපය නැංවීමට බෙහෙවින් ඉවහල් වෙනවා.

(You are Fired!/Linkis.com)

(You are Fired!/Linkis.com)

ට්‍රම්ප් කියන්නේ දරුණු ලෙස මමත්වයෙන් පිරුණ, සුදු ජාතික නොවන ජාතීන් කෙරෙහි එතරම් සැළකීමක් නොමැති, පුරුෂාධිපත්‍යවාදී, සාමාන්‍ය ප්‍රජාතාන්ත්‍රික සමාජයක නම් ඒකාධිපතිවාදී ලෙස නම් කෙරෙන, පවතින ක්‍රමයෙන් පිට පැන හෝ තමන්ට අවශ්‍ය දේ කරගන්න දඟලන චරිතයක් බව ඔහු විසින් පසුගිය කාලය පුරාවට පැවැත්වූ කතාවලට සවන් දීමෙන් වටහා ගත හැකියි. ට්‍රම්ප්ගෙන් නිරූපණය වන ආකාරයේ චරිතයන් සාම්ප්‍රදායික ඇමරිකානු දේශපාලක පැලැන්තිය එතරම් අගය කරන්නේ නැහැ. ඒ වුණත් ඔහුගේ ගති ස්වභාවය අගය කළ විශාල පිරිසක් හිටපු බව දැන් පෙනී යන්නේ.

“කෝපයෙන් පෙළෙන සුදු ජාතිකයන් අවතක්සේරු කරන්න එපා!”

ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය බොහෝදෙනා සඳහන් කරන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණය (Brexit)  සමඟ සසඳන්නට පුළුවන් බවයි. “කිසි විටෙක කෝපයෙන් පෙළෙන සුදු ජාතික මහල්ලන් අවතක්සේරු කරන්නට එපා” (“Never underestimate angry old white men”) යන්න මේ අවස්ථා දෙකම ගැන කියද්දී නිතර කියවුණ වැකියක් බවට පත් වුණා.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ ජනමත විචාරණයේ දී කළින් පැවති මත විමසුම් සමීක්ෂණවලින් කියැවුනේ එරට තව දුරටත් යුරෝපා සංගමය තුළ රැඳෙනු ඇති බවයි. නමුත් සිදුවූයේ සාමාන්‍යයෙන් ඡන්ද පොළට යයි කියල බලාපොරොත්තු නොවන වයසින් වැඩි සුදු ජාතිකයන් අති විශාල වශයෙන් ගිහින් ඡන්දය පාවිච්චි කිරීමයි. අන්තිමේදී බහුතර ජනතා කැමත්තට අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්නට තීරණය කළ බව ඔබ දන්නවා.

ඇමරිකාවේ තත්ත්වයත් ඊට බොහෝ සමාන බවයි පෙනෙන්නට තිබෙන්නේ.

(වයස් කාණ්ඩයන් අනුව ඇමරිකානුවන්ගේ ඡන්දය බෙදී ගොස් තිබූ අයුරු)

(වයස් කාණ්ඩයන් අනුව ඇමරිකානුවන්ගේ ඡන්දය බෙදී ගොස් තිබූ අයුරු)

“රට යන අත – නිවැරදි නැත”

2012 ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සොයා බැලීමේ දී පැහැදිලිව පෙනුනු දෙයක් තමයි ඇමරිකාවේ සුදු ජාතික ඡන්ද දායකයින් අතරේ රිපබ්ලිකන් පක්ෂය ජනප්‍රියත්වයෙන් ඩිමොක්‍රටික් පක්ෂය අභිබවා හිටියත්, තරුණ කොටස් සහ සුළු  ජාතීන් අතරේ ඩිමොක්‍රටික් පක්ෂය ඉතා ජනප්‍රිය බව. මේ නිසා එවක විචාරකයන් කියා හිටියේ රිපබ්ලිකන් පක්ෂය මෑත ඉතිහාසය තුළ දී ජනාධිපතිවරණයක් ජය ගන්නට නම් මේ සුළු ජාතික කණ්ඩායම් ඇමතීමට පටන් ගත යුතු බවයි.

නමුත් රිපබ්ලිකන් පක්ෂය එයට යොමු වුනේ නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිසේත් ම ඒ පියවර අනුගමනය කළේ නැහැ. ඔහු ගත්තේ වෙනත් මාර්ගයක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් ආමන්ත්‍රණය කළේ රට යන අත නිවැරදි නැත කියන අදහස මුල්බැහැගෙන තිබුණු සුදු ජාතික මධ්‍යම පාන්තිකයන්ට. ඒ වගේම ඇමරිකාවේ දේශප්‍රේමී හදවතට. පිටරටින් එන සංක්‍රමණිකයන් ඇමරිකාවේ ජනතාවගේ රැකියා උදුරා ගන්නා බව මෙන්ම අපරාධවල වැඩිපුර යෙදෙන බව ඔහු මිනිසුන්ට ඒත්තු ගැන්නෙව්වා. මෙක්සිකෝව සහ ඇමරිකාව වෙන්කරමින් තාප්පයක් ඉදි කරන්නට ඔහු කළ යෝජනාවෙන් ස්පාඤ්ඤ බස කතා කරන ඇමරිකානුවන් බොහෝ දෙනකුගේ ඡන්ද අහිමි කරගත්තා වුනත්, ඊට වඩා සුදු ජාතිකයන් ගේ සිත් ඔහු දිනාගත්තා.

කොහොමත් ස්පාඤ්ඤ බස කතා කරන ඇමරිකානුවන් වැඩි දෙනෙක් ඩිමොක්‍රටික් පක්ෂයට හිතවත්. 2012 දිත් ඔබාමා වෙනුවෙන් ඒ අය සියයට 70ක් ඡන්දය දැම්මා. ඒ නිසා ට්‍රම්ප්ට ඇත්තටම නැති වුණේ ඡන්ද ටිකයි.

එමෙන්ම ඉස්ලාම් අන්‍තවාදී සංවිධාන විසින් ලොව පුරා භීතිය සහ අනාරක්ෂිත බව වපුරා ඇති කාලයක් වීම සහ යුධමය වාතාවරණය නිසා මැද පෙරදිග රටවලින්, විශේෂයෙන්ම සිරියාවෙන් පැමිණෙන සරණාගතයන් නිසා සමස්ත බටහිර ලෝකයම දැඩි අර්බුදකාරී සමයකට මුහුණ දී සිටින මේ මොහොතේ ට්‍රම්ප් ඉස්ලාම් විරෝධී මතයක සිටීමත් මේ ආකාරයට දේශීය සුදු ජාතිකයන්ගේ වැඩි කැමත්ත ඔහුට හිමි වීමට හේතුවක් වීම අනිවාර්යයයි.

(සුදු ජාතිකයන්ගේ බහුතරය ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබූ අයුරු)

(සුදු ජාතිකයන්ගේ බහුතරය ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබූ අයුරු)

බිම් මට්ටමේ සංවිධාන කටයුතු

ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් වගේම මාධ්‍යයනුත් ට්‍රම්ප්ට කැමති වුණේ නැහැ. නමුත් ඒ පිළිබඳ තැකීමක් නොකළ, සැළකිය යුතු කොටසක් රටේ හිටියා (Silent voters). ඒ අය ඒ අයගෙ සාම්ප්‍රදායික නායකයන්ගෙ අඩුපාඩු නිසා හෙම්බත් වෙලා හිටියෙ. ඒ සමහර අයට The Apprentice වැඩසටහනේ ට්‍රම්ප් පෙන්වූ නායකත්වයත් මතක තියෙන්න ඇති. ඒ අය ඡන්ද පොළට ගිහින් ඡන්දය දැම්මා.

මෙහිදී තවත් වැදගත් දෙයක් තිබෙනවා. ඩිමොක්‍රටික් පක්ෂයේ බිම් මට්ටමේ සංවිධානය රිපබ්ලිකන් පක්ෂයට සාපේක්ෂව හොඳයි. ඒ නිසා ඩිමොක්‍රටික් පාක්ෂිකයො සිය ඡන්ද ව්‍යාපාරය පහළ මට්ටමේ දී හොඳට කරනවා. ගොඩක් ඩිමොක්‍රටික් පක්ෂ ආධාරකරුවන්  ඡන්දය දාන්න නොවැරදීම යනවා. රිපබ්ලිකන් පක්ෂයේ මේ ගතිය ටිකක් අඩුයි.

ඒකෙන් අදහස් වෙන අනික් කාරණේ තමයි, ඡන්ද ප්‍රකාශ කරන සංඛ්‍යාව වැඩියි කියල පෙනුණොත් ඒ වැඩි ප්‍රමාණය ඩිමොක්‍රටික් වෙන්න තියෙන ඉඩ සාපේක්ෂව අඩුයි කියන එක. මොකද ඩිමොක්‍රටික් පාක්ෂිකයො කොහොමත් ඡන්ද පොළවලට යැවෙන නිසා.

මෙවර මැතිවරණ දිනයේ දී ඒ තත්ත්වය දකින්න ලැබුණා. ඒ නිසාම සමහර අය ඡන්ද ප්‍රතිඵල එන්නත් කළින්ම ට්‍රම්ප් දිනන්න ඉඩ තියෙන බව ප්‍රකාශ කළා.

පවතින ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තුවෙන්, වෙනදාට ඡන්දය නොදෙන මේ අය ඡන්දය දීම නිසා සාමාන්‍යයෙන් ඩිමොක්‍රටික් පක්ෂය දෙසට නැඹුරු වන ප්‍රාන්ත සමහරකුත් ට්‍රම්ප් දිනාගත්තා.

(ට්‍රම්ප් අවසන් ප්‍රතිඵලය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි ප්‍රාන්ත ජයග්‍රහණය කර තිබූ අයුරු)

(ට්‍රම්ප් අවසන් ප්‍රතිඵලය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි ප්‍රාන්ත ජයග්‍රහණය කර තිබූ අයුරු)

හිලරි ක්ලින්ටන්ගේ රාජකාරී ඊමේල් අයථා භාවිතය

මේ අතරම රාජ්‍ය ලේකම් ධූරය දරද්දී රාජකාරි ඊමේල් අරපරිස්සමකින් තොරව භාවිතා කිරීම ගැන හිලරි ක්ලින්ටන්ට චෝදනා එල්ල වීමත්, විකිලීක්ස් වෙබ් අඩවිය විසින් එවැනි අලුත් ඊමේල් පණිවිඩ තොගයක්ම මැතිවරණයට ඉතා ආසන්නයේදී නිකුත් කිරීම සහ FBI ආයතනය ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමත් හිලරි ක්ලින්ටන් ගේ විශ්වාසනීයභාවය දරුණු විදියට පලුදු කළා. එයින් ද ඇයට යම් හානියක් සිදු වුණ බව පැහැදිලියි.

(Above the Law!/Chicago News Bench)

(Above the Law!/Chicago News Bench)

විකිලීක්ස් වෙබ් අඩවිය විසින් කෙරුණ මේ හෙළිදරව්ව නිසාම එහි නිර්මාතෘවරයා වන ජුලියන් අසාන්ජේට සමාව දී යලිත් ඇමරිකා එක්සත් ජනපදයට පැමිණෙන ලෙසට ආරාධනා කළ යුතුයැයි බොහෝ ට්‍රම්ප් ආධාරකරුවන් පවසා සිටිනවා. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට එම ඊමේල් අයථා ලෙස භාවිතා කිරීම පිළිබඳ වූ හෙළිදරව්ව කෙතරම් බලපෑවා ද යන්න මෙවන් ප්‍රකාශවලින් හොඳින් වටහා ගත හැකියි.

වෙනසක්?

ඒ වුනත්, ප්‍රධානම වෙනස වුනේ වෙනසක් අපේක්ෂා කළ ජනතාවට වෙනසක් දෙන්නට පුළුවන් එකම අපේක්ෂකයා තමා බව ට්‍රම්ප් විසින් ජනතාවට ඒත්තු ගැන්වීමයි. ඔහු කෙතරම් රළුව හැසිරුණා වුනත්, ඔහුගේ අදහස් පිළිගත් බොහෝ දෙනා ඔහුට ඡන්දය පාවිච්චි කළා.

ඇතැම්විට, ඇමරිකාවේ වගේම ලෝකයේ දේශපාලනය උඩු යටිකුරු වෙන්නට මෙම මැතිවරණ ප්‍රතිඵලය හේතු වන්නට පුලුවන් බව දේශපාලන විචාරකයන් සහ ජනමාධ්‍ය පවසනවා.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණ‍ය ප්‍රකාශයට පත්වීමෙන්  පසු රුසියාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවීය සබඳතා යථා තත්වයට පත්කර ගැනීමට තම රජය සූදානමින් සිටින බව රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් පවසා සිටි බව Russia Today වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. ඒ නව තානාපතිවරුන් පිරිසක් සිය අක්තපත්‍ර පිළිගැන්වීම සඳහා ක්‍රෙම්ලීනයේදී පුටින් හමුවූ අවස්ථාවේදී. ලෝකයේ ඉදිරි අනාගතය තීරණය කිරීමේදී මේ දෙරටේ ක්‍රියාකලාපය කෙතරම් වැඩගත් වනවාද යන්න පිළිබඳ අවබෝධයක් ඔබට ඇතැයි අපි විශ්වාස කරනවා.

ට්‍රම්ප් මීලඟ ජනපති වන බව ප්‍රකාශයට පත්වූ විගසම සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ප්‍රංශ ජාතික පෙරමුණේ නායිකා මරී ල පෙන් පවසා සිටියේ තමන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සුබ පතන බව සහ ඇමරිකානු ජනතාව නිදහස ලබා ඇති බවයි. ඇය සංක්‍රමණිකයන්, විදෙස් ප්‍රතිපත්ති, ජාතිය සහ වෙනත් බොහෝ කරුණු පිළිබඳ ට්‍රම්ප් හා සමපාත වන අදහස් දරන්නියක්.එමෙන්ම ඇය ප්‍රංශය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට ප්‍රකාශ කරන්නියක්. තවත් මාස හයකින් පැවැත්වීමට නියමිත ප්‍රංශ ජනපතිවරණයෙන් ඇය ජයග්‍රහණය කිරීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බවයි පැවසෙන්නේ. සංක්‍රමණිකයන්ගේ ගැටළුවට මෙන්ම ප්‍රංශය මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වල තර්ජනවලට මුහුණ පා ඇති රටක් බව අමතක නොකළ යුතුයි.

(ප්‍රංශ ජාතික පෙරමුණු නායිකා මරී ල පෙන්/The Independent)

(ප්‍රංශ ජාතික පෙරමුණු නායිකා මරී ල පෙන්/The Independent)

මැතිවරණ සමයෙහි දුන් පොරොන්දු කෙසේ වුවත් මේ වන විට ඉස්ලාම් සංක්‍රමණිකයන් ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු කර නොගන්නා බවට ඔහුගේ වෙබ් අඩවියෙහි වූ ප්‍රකාශය එයින් ඉවත් කරගෙන තිබෙනවා.

එමෙන්ම දකුණු කොරියානු ජනපතිනි පාක් ගුන් හෙයිට දෙරට අතර පවතින මිතුදම දිගටම පවත්වාගෙන යන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්  විසින් ප්‍රතිඥාවක් දී ඇති බව දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ දකුණු කොරියාවේ සිටින ඇමරිකානු හමුදා කණ්ඩායම්වල අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරම් මුදල් යෙදවීමට එරට රජය කටයුතු නොකරන්නේ නම් එම හමුදාවන් එරටින් ඉවත් කරගැනීමට තමන් කටයුතු කරන බවයි.

ඉතින්, ඇමරිකාවේ 45වන මෙන්ම එදා මෙදා තුර වයසින් වැඩිමහළුම (70) ජනපති ලෙස බහුතර ජනතා කැමැත්තෙන් තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයට මෙන්ම සමස්ත ලෝකයට කෙතරම් බලපෑමක් කරනු ඇතිද කියා 2017 ජනවාරි 20 වන දින ජනපතිධුරයේ නිල වශයෙන් දිවුරුම් දීමෙන් පසු අපට දැක බලා ගත හැකිවනු ඇති.

කවරයේ රූපය – Politicus USA

Related Articles

Exit mobile version