Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බිය විය යුතු නැති එහෙත් ප්‍රවේශම් විය යුතු ඉන්ෆ්ලුවෙන්සා වෛරසය

පසුගිය දිනවල දකුණේ ප්‍රදේශ බොහොමයක දරුණු උණ රෝගයක් ව්‍යාප්ත වීමත් ඉන් මරණ 7ක් වාර්තා වීමත් නිසා මෙය වසංගත රෝග තත්වයක්ද යන සැකය ජනතාව අතර පැතිර ගොස් තිබුණි. ඇතැමුන් මෙය ‘අභිරහස් වෛරසයක්’ ලෙසද හඳුන්වනවා. සෑම පළාතකම දරුවන් සිටින මව්වරුන් මෙම රෝගය ගැන විමසිල්ලෙන් පසුවන අතර අනියත බියකින්ද පෙළෙනවා.

මේ නිසාම වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් ඇත්තටම මේ රෝගය කුමක්ද සහ එය වසංගත තත්වයක් දක්වා වර්ධනය වී තිබේද යන්න පිළිබඳව පර්යේෂණ සිදු කළා. ඒ අනුව අනාවරණය වුණේ මෙය ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතුවෙන් හට ගන්නා රෝගී තත්වයක් බවයි. මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි අපි සුදානම් වෙන්නේ.

newsfirst.lk

ඉන්ෆ්ලුවන්සා වෛරසය බව හඳුනා ගැනීම

දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරසය ඉන්ෆ්ලුවෙන්සා බවට වෛද්‍ය පරීක්ෂණයකින් සොයාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සනාථ කළා. වෛද්‍යවරයා පවසන අන්දමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දී කළ මෞලික ජීව පරීක්ෂණය හෙවත් PCR පරීක්ෂණයෙන් මේ බව තහවුරු වී තිබෙනවා. සෙම් පටල කිහිපයක් පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහිදී මෙම වෛරසය ඉන්ෆ්ලුවෙන්සා බවට ප්‍රධාන වශයෙන් හඳුනාගත් බව විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.

රෝගීන් හා මරණ

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහ‍ලේ මරණ 7 ක් මේ වන විට වාර්තා වී ඇති අතර දකුණු පළාත තුළ රෝගීන් සංඛ්‍යාව 500 – 600ක් පමණ වේ. ඉන්ෆ්ලුවන්සා වෛරසය මගින් සිදුව ඇති මරණ සියල්ලම අවුරුදු දෙකට අඩු කුඩා දරුවන්ගේය.

සෑම වසරකම මැයි, ජූනි, ජූලි මාසවල මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිර යන බවත්, එහෙත් මෙවර දකුණු පළාතේ කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් ඊට ගොදුරු වී තිබෙන ආකාරයක් දක්නට ලැබෙන බවත් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළා. එමෙන්ම වෛද්‍යවරයා පවසන්නේ මෙම වෛරසයට ගොදුරු වූ ඇතැම් රෝගීන් නිව්මෝනියා තත්ත්වයටද පත්ව ඇති බව ය.

dailynews.lk

”වසංගත තත්වයක් දක්වා වර්ධනය වී නැහැ”

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය වසංගත තත්වයක් දක්වා වර්ධනය වී නැතැයි අවධාරණය කර සිටියා. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සලසා දී තිබෙන බවත් මේ වන විටත් රෝගය පැතිර යාම පාලනය කර තිබෙන බවත් ජාසිංහ මහතා සඳහන් කළා.

“කරාපිටිය, මාතර යන මහ රෝහල් සහ කඹුරුපිටිය මූලික රෝහල ඇතුලු රෝහල් රැසක රෝගී සත්කාරක සේවාවන් ක්‍රියාත්මක කර තිබෙනවා. දැනට මෙම රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ, ඔක්සිජන් යන්ත්‍ර රෝහල්වලට සපයා තිබෙනවා. රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා පාලනය කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මකයි. ඒ පිළිබඳව සියලුම පළාත් සෞඛ්‍ය බලධාරීන්ව දැනුවත් කර තිබෙනවා.”

රෝග ව්‍යාප්තිය

පසුගිය වසර අටක සිටම මැයි, ජූනි, ජූලි මාසවලදී මෙරට සිදුවන දේශගුණික වෙනස් වීම්, එනම් වැසි සමයන් සමග මේ රෝගී තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. දකුණු පළාතට අමතරව රටේ අනිකුත් පළාත්වලද සමස්තයක් ලෙස ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය දක්නට හැකියි.

කෙළ බිඳිති මගින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරෙන බවත්, මෙම රෝගය වෛරසයක් බැවින් නිශ්චිත ප්‍රතිකාර නොමැති අතර කළ යුත්තේ රෝගය පැතිරීම වළක්වා ගැනීම බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරනවා.

“අප්‍රේල් මාසයේ සිට මෙම රෝග තත්වය දක්නට ලැබුණා. මැයි මාසයේ මුල් සති දෙක තුළ රෝග තත්වය උත්සන්න වුවත් මේ වන විට ඉන්ෆ්ලුවන්සා රෝග තත්වයෙහි අඩුවක් දක්නට ලැබෙනවා. කොහොම වුණත් අවදානම් කණ්ඩායම් ප්‍රවේශම් විය යුතුයි. ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි.”

dailynews.lk

රෝග ලක්ෂණ

මෙය සාමාන්‍ය කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහිත රෝග තත්ත්වයකි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුට මෙම රෝගී තත්ත්වයන් වැළඳුණු විට ඉක්මනින් සුව වන නමුත් අවුරුදු දෙකට අඩු ළදරුවන් සහ ගර්භනී මව්වරුන්, කිරි දෙන මව්වරුන්, අවුරුදු 65 ට වැඩි වයස්ගත කණ්ඩායම් හා දියවැඩියාව, හෘද රෝග, ශ්වසන ආබාධ, වකුගඩු ආබාධ වැනි නිධන්ගත රෝග ඇති පුද්ගලයන්ට මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදන වූ විට වැඩි සංකූලතාවලට යෑමේ අවදානම ඉහළ ය. එමනිසා මෙවැනි අවදානම් පුද්ගලයන්ට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ඇතිවූ විට සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගෙන වෛද්‍ය උපදෙස් පිළිපදින ලෙස විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.

dailymirror.lk

රෝගය වළක්වා ගැනීම සහ ප්‍රතිකාර

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූ රෝගියකුට විවේකය ඉතා වැදගත් වේ. එමෙන්ම අනෙක් පුද්ගලයන්ට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා එම රෝගීන් වෙන් කොට ප්‍රතිකාර කිරීම තුළින් රෝගය පැතිරීම වළක්වා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කරයි. තවද වෛද්‍යවරයා උපදෙස් ලබා දුන්නේ කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට නාසය සහ මුඛය වැසෙන පරිදි ටිෂූ හෝ ‍ලේන්සුවක් භාවිත කරන ලෙසය. ‍ලේන්සුව නිතර සෝදා පාවිච්චි කිරීම, පාවිච්චි කරන ලද ටිෂූ වැනි දෑ ක්‍රමවත්ව බැහැර කිරීම, සබන් දා අත් සේදීම වැනි නිවැරදි සෞඛ්‍ය පුරුදු මගින් මෙම වෛරසය පැතිරීම වළක්වා ගත හැකි ය.

කවරයේ රූපය : dailynews.lk

Related Articles