Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා දෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

පසුගිය වසරේ අග භාගයේ චීනයෙන් ආරම්භ වී, පසුව ලෝකය පුරා පැතිරී ගිය කොරෝනා වසංගතයේ පළමු රැල්ලෙන් ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව වැනි රටවල් තවමත් පීඩා විඳිමින් සිටිනවා. ඒ අතරතුර  කොරෝනා පළමු රැල්ලෙන් දැඩි ප්‍රහාරයකට ලක් වුණු රටවල් කිහිපයක්ම මේ වන විට යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. නමුත් එලෙස කොරෝනා අවදානම අඩුවෙමින් පවතින රටවල් දැනට පවත්වාගෙන යන ආරක්ෂිත ක්‍රමවේදයන් ලිහිල් කළහොත් කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවට ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 

කොරෝනා පළමු රැල්ලෙන් වුණු හානිය 

පසුගිය මාස කිහිපය පුරාවටම රටවල් විශාල ප්‍රමාණයකට බලපෑම් කරන කොරෝනා වසංගතයට මේ වන විට 5,905,415 දෙනෙකු ගොදුරු වී තිබෙනවා. ඒ අතුරින් 2,579,691 දෙනෙකු සුවය ලබන විට 362,024 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. එහි දී යුරෝපා සහ උතුරු ඇමරිකා යන මහද්වීපවලින් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. එසේම වර්තමානය වන විට ප්‍රතිකාර ලබමින් සිටින වැඩිම රෝගීන් ප්‍රමාණය උතුරු ඇමරිකා මහද්වීපයෙන් වාර්තා වනවා.

මියගිය කොරෝනා රෝගීන් (gettyimages)

පළමු රැල්ලෙන් වැඩිම හානියක් වුණු රටවල් 

කොරෝනා වසංගතය ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිර යාම ආරම්භ වුණු අවස්ථාවේ දී යුරෝපීය රටවල්වලට දැඩි බලපෑමක් සිදුවුණත්, පසුව එම රටවල් අභිබවා ඇමරිකාව ඉදිරියට පැමිණියා. ඒ අනුව වර්තමානය වන විට වැඩිම ආසාදිතයන් ප්‍රමාණය ඇමරිකාවෙන් වාර්තා වන විට එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණ තිබෙන්නේ බ්‍රසීලය යි. බ්‍රසීලයේ ආසාදිතයින් ප්‍රමාණය වැඩිවනවා සේම මරණ ප්‍රමාණයත් සීඝ්‍රයෙන් ඉහළම යාම ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් වනවා. බ්‍රසීලයේ ආසාදිතයින් ප්‍රමාණය එලෙස වැඩිවන විට රුසියාව ආසාදිතයින්ගේ ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව සිටියත් සිදුව ඇති මරණ ප්‍රමාණය සාපේක්ෂව අඩු අගයක් ගන්නවා. පහත දැක්වෙන්නේ මේ වන විට වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන රටවල් 6 යි.

1) ඇමරිකා එක්සත් ජනපදය – 1,768,461                 

2) බ්‍රසීලය – 438,812

3) රුසියාව – 379,051                        

4) ස්පාඤ්ඤය – 284,986

5) එක්සත් රාජධානිය – 269,127          

6) ඉතාලිය – 231,732

මෙම රටවල් 6ට අමතරව ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, සහ තුර්කිය යන රටවල් ආසාදිතයින් 160,000 සීමාව පසුකර තිබෙනවා. 

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා මරණ 100,000 ඉක්මවමින් වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් සිදුවුණු රට බවට පත්වන විට, කොරෝනා මරණ 25,000 සීමාව ඉක්මවා ගිය තවත් රටවල් 5ක් හමුවනවා. පහත දැක්වෙන්නේ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වුණු රටවල් 6 යි. 

1) ඇමරිකා එක්සත් ජනපදය – 103,330                     

2) එක්සත් රාජධානිය – 37,837

3) ඉතාලිය – 33,142                          

4) ප්‍රංශය – 28,662

5) ස්පාඤ්ඤය – 27,119                     

6) බ්‍රසීලය – 26,764

එසේම වර්තමානය වන විට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ප්‍රමාණය 78,000කට වඩා වැඩි රටවල් 6ක් හමුවනවා. පහත දැක්වෙන්නේ එම රටවල් 6 යි.

1) ඇමරිකා එක්සත් ජනපදය – 1,166,406                  2) රුසියාව – 223,916

3) බ්‍රසීලය – 218,867                         

4) ප්‍රංශය – 90,385

5) ඉන්දියාව – 89,755                        

6) පේරු – 78,238

ඇමරිකාවේ කොරෝනා තත්ත්වය (gettyimages)

රටවල් රැසක කොරෝනා තත්ත්වය පාලනය වී තිබෙනවා 

තවමත් මධ්‍යම සහ දකුණු ඇමරිකාව, දකුණු ආසියාව, අප්‍රිකාව යන කලාපවල කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනයක් දක්නට ලැබුණත් බොහෝ ප්‍රදේශවල කොරෝනා අවදානම අඩුවෙමින් පවතිනවා. ඒ අනුව යුරෝපා මහද්වීපයට අයත් බොහෝ රටවල්, නැගෙනහිර ආසියාතික රටවල්, අග්නිදිග ආසියාතික රටවල්, සහ ඕෂනියා කලාපයේ රටවල්වල කොරෝනා අවදානම පහව යමින් පවතිනවා. ඒ අනුව අවදානම පහව ගොස් ඇති රටවල් යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. 

කොරෝනා මැඬලීමට ආරක්ෂක පියවර අනුගමනය කරමින් (gettyimages)

රටවල් රැසක දැඩි නීතිරීති ලිහිල් වෙයි 

කොරෝනා අවදානම අඩු වී ඇති රටවල් රැසක් මේ වන විට  විවෘත කර තිබෙනවා. එම රටවල්වල ජනතාව ද  ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාව අරඹමින් සිටිනවා. විශේෂයෙන්ම යුරෝපා කලාපයේ රටවල් රැසකම මෙම තත්ත්වය දක්නට ලැබෙනවා. පසුගිය දිනවල ඇණහිට තිබූ යුරෝපයේ පාපන්දු ලීග් තරගාවලි රැසක් නැවතත්  ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කිහිපයක් සඳහාම දින නියම වී ඇති අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය දිනවල දී එයට අදාළ නීතිරීති මාලාවක් ද හඳුන්වා දෙනු ලැබුවා. 

අවදානමක් තිබිය දී රටවල් විවෘත කළේ ඇයි?

කොරෝනා වසංගතය නිසා ලෝකයේ රටවල් ගණනාවක් මාස කිහිපයක් වසා දැමීමට සිදු වුණා. එම නිසාම ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක ආර්ථිකය සීඝ්‍රයෙන් කඩාවැටීමකට ලක් වුණා. එසේම ලෝකයේ වැඩි රටවල් ප්‍රමාණයක විරැකියාව ඉහළ ගියා. මෙම තත්ත්වය තවත් පැවතුණහොත් එම රටවල්වල ආර්ථිකය දැඩි අස්ථාවර තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන නිසා අවදානම තිබිය දීත් රටවල් යළි විවෘත කිරීමට සිදු වුණා. 

කොරෝනා දෙවන රැල්ලක් එයි ද?

ලෝක සෞඛ්‍යය සංවිධානයේ හදිසි අනතුරු අංශයේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් පසුගිය දිනෙක රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් පවසා සිටියේ කොරෝනා තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් සිටින රටවල්වලට කොරෝනා දෙවන රැල්ලක් ඇති වීමේ ඉඩකඩ තිබෙන බව යි. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය රයන් ප්‍රකාශ කර සිටියේ කොරෝනා අවදානම අඩුවෙමින් තිබෙන රටවල් ඉක්මනින්ම දැඩි නීතිරීති ලිහිල් කිරීම ඉතාමත් අවදානම් ක්‍රියාවක් බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානය වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන කොරෝනා පළමු රැල්ල තිබිය දීම කොරෝනා දෙවන රැල්ලක් ඇති වීමේ අවදානම තිබෙනවා. එම නිසාම සෑම රටක්ම සෞඛ්‍යයට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සෞඛ්‍යාරක්ෂිත සමාජ ක්‍රියාමාර්ග ගත යුතු බවත් වෛද්‍ය රයන් පවසා සිටියා. එසේම සෑම රටක්ම ආසාදිතයන් හඳුනා ගැනීම, ආසාදිතයන් නිරාවරණය වූ හෝ, ආසාදිතයන් ඇසුරු කළ පිරිස් හඳුනාගැනීම, ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ දිගින් දිගටම කිරීම යනාදී ක්‍රියාමාර්ගයන් අඛණ්ඩව මෙන්ම දැඩිව පවත්වාගෙන යාමෙන් වෛරසයේ දෙවන රැල්ලෙන් ආරක්ෂා විය හැකි බව ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.

කවරයේ ඡායාරූපය- gettyimages

*සැලකිය යුතු යි - මෙම ලිපිය ලිවීමේ දී උපුටාගෙන ඇත්තේ මැයි 28 වැනි දා වන විට නිකුත්ව තිබුණු covid-19 පිළිබඳව දත්ත යි.

මූලාශ්‍රයයන්- Reuters

Related Articles