Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටරට දී පලා යන්නේ ඇයි?

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළ එක්සත් රාජධානියේ බර්මින්හැම් නුවර දී පසුගිය අගෝස්තු 8වැනි දා අවසන් වුණා. මෙවර ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ පසුවන්නේ 31 වන ස්ථානයේ යි. රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් ශ්‍රී ලංකාව හිමිකර ගෙන තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට සහභාගි වූ රටවල් අතරින් වැඩි ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරුදහන් වීමෙන් පළමු ස්ථානය නම් හිමි කර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ සංඛ්‍යාව 12ක්. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට සහභාගි වූ අපේ රටත් ඇතුළු ව රටවල් පහක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරින් 17 දෙනෙක් එංගලන්තයේ දී අතුරුදන් වී සිටිනවා.

 බර්මින්හැම් ක්‍රීඩා ගම්මානයක්- bbc.com

බර්මින්හැම් ගිය ක්‍රීඩා කණ්ඩායම

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට රටවල් 72කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට අධික පිරිසක් සහභාගී වී සිටියා. මේ ක්‍රීඩා උලෙළට අපේ රටෙන් ක්‍රීඩකයන් 54ක්, ක්‍රීඩිකාවන් 60ක්, පුහුණුකරුවන්, වෛද්‍යවරුන්, සහායකයන් 46ක් ඇතුළු 160ක පිරිසක් පැමිණියා. මේ පිරිසට බර්මින්හැම් නගරයේ ක්‍රීඩා ගම්මාන 4ක නවාතැන් පහසුකම් සපයා තිබුණා.

මේ සියලු දෙනාට ම බ්‍රිතාන්‍ය රජය මාස 6ක වීසාත් ලබා දී තිබෙනවා. ඔවුන් නවාතැන් ගත් ස්ථාන හතරට විධිමත් ආරක්ෂාවක් සැපයීමට කටයුතු කොට තිබුණ ද ක්‍රීඩා ගම්මානයෙන් පිටත ඇතැම් ස්ථානවල දී ක්‍රීඩකක්‍රීඩිකාවන් පැන ගොස් තිබෙනවා.

 බර්මින්හැම්වලදී පදක්කම්  දිනූ ශ්‍රී ලාංකිය ක්‍රීඩකයෝ – srilankasports.com

ජූඩෝ කළමනාකරු අසේල ද සිල්වා, ජූඩෝ ක්‍රීඩිකා චමිලා දිලානී මාරප්පුලි, මල්ලවපොර ක්‍රීඩකයන් වන සනිත් චතුරංග, සුරේෂ් චානක ප්‍රනාන්දු, මල්ලවපොර ක්‍රීඩිකා ශ්‍රියන්තිකා නිරෝෂණී, බොක්සිං ක්‍රීඩකයන් වන විටාලිස් නික්ලස්, සංජීව රාජකරුණා, ජීවන්ත විමුක්ති කුමාර, බීච් වොලිබෝල් ක්‍රීඩකයන් වන මලින්ත යාපා හා අශේන් රෂ්මික මෙසේ අතුරුදන් වූවන් අතර සිටිනවා.

එංගලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් මේ පිරිස ගැන එංගලන්ත ආගමන විගමන අංශ දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන්ට එංගලන්තයෙන් පිටවීමේ අවස්ථා අවම බවයි ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පවසන්නේ.

කණ්ඩායමේ මුලින් ම අතුරුදහන් වුණේ තුන්දෙන යි. ඒ විගස ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානීන් ලෙස කටයුතු කළ ගාමිණී ජයසිංහ හා චන්දන ලියනගේ  සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තම භාරයට ගෙන තිබුණා. මේ පිරිස පසුව පැනගොස් ඇත්තේ විදෙස් ගමන් බලපත්‍රත් අත්හැර දමා යි.

ක්‍රීඩා උළෙලේ ආරම්භක අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම – theheritagetimes.com

එංගලන්ත පොලිසියට පැමිණිලි

ක්‍රීඩා නිලධාරීන්ගේ අවසරයකින් තොර ව තමන් රැඳී සිටි ක්‍රීඩා ගම්මානයෙන් ක්‍රීඩකක්‍රීඩිකාවන් අතුරුදහන්වීම පිළිබඳ ව ශ්‍රී ලංකා නිලධාරීන් එරට පොලිසියට පැමිණිලි කර තිබෙනවා. විගසින් ම බ්‍රිතාන්‍ය පොලිසියට අතුරුදන් වූ පළමු තිදෙනා සිටින තැන් සොයාගැනීමට හැකියාව ලැබුණා. එම පුද්ගලයන් බ්‍රිතාන්‍යයේ දී නීති විරෝධී දෙයක් නොකළ නිසාත් ඔවුන්ට එරට රැඳී සිටීමට මාස හයක් වලංගු වීසා බලපත්‍ර ඇති නිසාත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන නැහැ.

එංගලන්ත පොලිසිය ඔවුන්ට එරෙහි ව කිසිදු පියවරක් අරගෙනත් නැති බවයි දැනුම් දී තිබෙන්නේ. ඒකට හේතුවක් නම් ශ්‍රී ලංකාවේ මෙන් අනීතිකව අත්අඩංගුවට ගැනීම් බ්‍රිතාන්‍යයේ සිදු නොවීම යි.
එම තිදෙනා ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් කරදරයකින් තොර ව සිටින බවට පොලීසිය ක්‍රීඩා නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

 ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්-dinamina.lk

 

ජීවිතාන්ත ක්‍රීඩා තහනමක්

ක්‍රීඩා උලෙළේදී අතුරුදහන්වූවන්ට කිසිදු සමාවක් ලබා නොදෙන බව ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියා. මේ පිරිස සම්බන්ධව සියලු තොරතුරු ක්‍රීඩා ගම්මානයේ පිහිටි පුද්ගලයන් අතුරුදන්වීමේ පොලිස් ඒකකයට, එංගලන්ත මෙට්‍රොපොලිටන් පොලීසියට හා බර්මින්හැම් නගර පොලිසිය වන වෙස්ට් මිඩ්ලෑන්ඩ් පොලිසිය වෙත දීමට කටයුතු කළ බවත් ඔහු පැවසුවා. මේ මඟින් රටේ කීර්ති නාමයට සිදු වූ හානිය හේතුවෙන් මේ පිරිසට ජීවිතාන්ත ක්‍රීඩා තහනමක් පැනවීමට තම වාර්තාව මඟින් යෝජනා කරන බවත් ඔහු පවසා සිටියා. නමුත් තහනම වලංගු වීමට නම් ඔවුන් මෙරටට පැමිණිය යුතු වෙනවා.

ක්‍රීඩක පිරිස සහ පුහුණුකරු පැන ගිය ආකාරය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් එංගලන්ත පොලිසිය සකස් කොට තිබෙනවා. වීසා තිබුණ ද ක්‍රීඩා උලෙළෙට පැමිණ අතුරුදහන්වීම හේතුවෙන් තානාපති අංශ සමඟ සාකච්ඡා කොට අවශ්‍ය ඉදිරි පියවර ගනු ඇතැයි බලාපාරොත්තු වන බව ද දම්පත් ප්‍රනාන්දු පවසනවා.

 පාස්පෝට් ගන්න දිගු පෝලිම් – bizenglish.adaderana.lk

ක්‍රීඩකයන් පිටරට දී පැනලා යන්නේ ඇයි?

ජාත්‍යන්තර තරගවලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මතු නොව කණ්ඩායමේ කළමනාකාරවරයෙක් ද ක්‍රීඩා ගම්මානයෙන් පැන ගොස් අතුරුදහන් වීම විශේෂත්වයක්.

මෙවර ක්‍රීඩා උළෙල පැවැත්වූ එක්සත් රාජධානියට සාමාන්‍ය කරුණක් සඳහා ලේසියෙන් පැමිණීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් රටේ පවතින අස්ථාවර දේශපාලන වාතාවරණය සහ දූෂිත පාලකයන් නිසා බංකොලොත් වුණු ආර්ථිකය නිසා බ්‍රිතාත්‍යයේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පවා ශ්‍රී ලාංකික සිසුන් හා සිසුවියන් ඇතුළත් කර ගැනීමට සීමා පනවලා. මේ නිසා එවැනි රටක මාස 6ක වීසාත් සමඟ නැවතී රැකියාවක් සොයා ගැනිමට මේ ක්‍රීඩකයන් සිතන්නට ඇති බව නිසැක යි. නැතහොත් ඔවුන් එංගලන්තයෙන් පිට වී ඉතාලිය වැනි රටකට යන්න සැලසුම් කළා වෙන්නත් පුළුවන්.

ආර්ථික අර්බූදය හමුවේ මෙරටින් පිටවීම

මේ වන විට රටේ උද්ගත ව ඇති ආර්ථික අර්බූදය හමුවේ මෙරටින් පිටවීමට විශාල පිරිසක් උත්සාහ කරන බව අප කවුරුත් දන්නවා. මලල ක්‍රීඩකයන්ට නිසි පහසුකම් සැපයීමට පවා මෙරට බලධාරින් අපොහොසත් බව ජය ලැබූ ක්‍රීඩකයන්ගේ ප්‍රකාශවලින් තහවුරු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ දී ඔවුන්ට ක්‍රීඩාවෙන් අනාගතයක් නැති බවත් සිතන්නට ඇති බවත් පේනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර සකසා ගැනීමට දහස් ගණන් පිරිස් රැඳි සිටීම මේ දිනවල සාමාන්‍ය දර්ශනයක්. මේ අවුරුද්දේ මුල් මාස 5 තුළ පමණක් විදේශ ගමන් බලපත්‍ර 288 645ක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා. අනවසර බෝට්ටු මඟින් ඔස්ට්‍රෙලියාව ඇතුළු රටවලට පලා යාමට තැත්කිරීමේ දී පුද්ගලයන් අත්ඩංගුවට ගත් සිද්ධීන් කිහිපයක් ද පසුගිය කාලයේ නොකඩවා අසන්නට ලැබුණා.

 2021 ලෝක ශූරතාවයට ගිය මල්ලව පොර කණ්ඩායම පුහුණුකරු සමඟ – lankadeepa.lk

තරගවලදී අතුරුදන් වීම ශ්‍රී ලංකාවට සාමාන්‍ය දෙයක්

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරගාවලිවලදී අතුරුදහන් වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ද මෙවැනි ම සිද්ධීන් බොහෝ වාරයක් අපට අසන්නට ලැබී තිබෙනවා.

ආසන්නම සිදුවීම නම් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා මල්ලවපොර කළමනාකරු ලෝක ශූරතා තරගාවලියක් අතරතුර ඔස්ලෝහි දී තම කණ්ඩායම අතහැර අතුරුදහන් වීම යි.

නොර්වේහි ඔස්ලෝ නුවර පැවැති 2021 ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනකු ඇතුළු සාමාජිකයන් හත් දෙනකු සහභාගී වී සිටියා. ඒ ක්‍රීඩකයන් ද අතරමං කරමින් කළමනාකරු හදිසියේ අතුරුදහන් ව තිබුණා. මේ සිද්ධිය ගැන මෙරට ක්‍රීඩා බලධාරින් පරීක්ෂණයක් පැවැත්වුවා. ඒ සඳහා මල්ලවපොර තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ඔවුන්ගේ ප්‍රකාශ ද සටහන් කර ගෙන තිබුණා.

 2014 ආසියානු ක්‍රීඩා උළෙල -pheurontay.com

දකුණු කොරියාවේ දී පැන යාම

දකුණු කොරියාවේ ඉංචියොන්හි දී 2014 වසරේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු අතුරුදහන් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ බීච් වොලිබෝල් ක්‍රීඩක වසන්ත රත්නපාල සහ හොකී ක්‍රීඩක ප්‍රසන්න දිසානායක තමයි මෙසේ ක්‍රීඩා ගම්මානයෙන් හොර රහසේම පලා ගොස් තිබුණේ. වෙනත් රටවල ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ද පලා ගොස් සිටියා.

මේ පිරිස කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පලා ගොස් ඇතැයි ද, එවැනි බොහෝ පිරිස් නිල නොවන මට්ටමෙන් රැකියාවල නිරතව සිටීම සාමාන්‍ය තත්ත්වයක් බව ද, කොරියානු පොලිස් ප්‍රකාශකයෙක් එකල මාධ්‍යයට පවසා තිබුණා.

1994 දී ජපානයේ හිරෝෂිමා ක්‍රීඩා උළෙලේදීත් ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩකයන් පිරිසක් කණ්ඩායම හැර දමා අතුරුදහන් වී තිබෙනවා.

 මචං චිත්‍රපටයෙන් – screendaily.com

හෑන්ඩ්බෝල් ගහන්න ගිය 23 දෙනා

2004 වසරේ ශ්‍රී ලංකාවට ජාතික හෑන්ඩ්බෝල් කණ්ඩායමක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව නියෝජනය කරන බවට පෙනී සිටිමින් 23 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ජර්මනියේ පැවති හෑන්ඩ්බෝල් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වී එරට දී අතුරුදහන් වන්නේ ලෝකය ම පුදුමයට පත්කරවමින්.

ජර්මනියේ හෑන්ඩ්බෝල් සංගමය අන්තර්ජාලයේ පළ කළ දැන්වීමක් දුටු ශ්‍රී ලංකාවේ රැකියා විරහිත තරුණයන් කිහිප දෙනෙක් ඒ සඳහා ඉල්ලුම් කරන්නට තීරණය කරන්නේ ඉන් ජර්මනියට යෑමට අවස්ථාව හිමිවන නිස යි. ඔවුන් සැලසුමක් සකස් කර ජර්මනියේ හෑන්ඩ්බෝල් සංගමයට ලිපියක් ලියනවා. ශ්‍රී ලංකාවේ හෑන්ඩ් බෝල් කණ්ඩායමකට ක්‍රීඩා තරගයකට ජර්මනියට ආරාධනය ලැබෙන්නේ ඉන් පසුව යි.

හෑන්ඩ්බෝල් ක්‍රීඩාව ගැන කිසිම දෙයක් නොදන්නා මේ කණ්ඩායම කිහිප දෙනෙක් එකතු කරගෙන හෑන්ඩ්බෝල් කණ්ඩායමක් හදනවා. හොර සහතික ඉදිරිපත් කරමින් මෙරට ජර්මන් තානාපති කාර්‍යාලයේ නිලධාරීන් ද රවටා තමයි ඔවුන් ජර්මනියට පිටත් වන්නේ. තරගය අවසන් වූ විගස ම මේ පිරිස ජර්මනියෙන් අතුරුදහන් වෙනවා. පසුව ලැබුණු ආරංචිවල කියවුණේ ඔවුන් ප්‍රංශයට පලා ගොස් එරටින් ඉතාලියට ගිය බව යි. මෙම සිද්ධිය මුල් කරගෙන තමයි උබර්තෝ පැසොලීනි නම් ඉතාලි ජාතික අධ්‍යක්ෂවරයා ප්‍රසන්න විතානගේගේ නිෂ්පාදනයෙන් 2008 දී මචං චිත්‍රපටය නිර්මාණය කරන්නේ.

කවරයේ ඡායාරූපය: ක්‍රීඩා උළෙලේ ආරම්භක දින පෙළපාලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කොටසක්- mykhel.com

මූලාශ්‍ර:
bbc.com
dinamina.lk
lankadeepa.lk

Related Articles