ශ්‍රී ලාංකික අපට නම් මනස්කාන්ත කොරල්පර සියැසින් දැකගැනීමට රටින් පිට යාමට අවශ්‍ය නැත. ලංකාවේ තිබෙන විශාලතම කොරල්පර යාපනය, මන්නාරම, හික්කඩුව, ගාල්ල, යාල හෝ පාසිකුඩා වැනි ප්‍රදේශයකට යන ඔබට පහසුවෙන් දැකගත හැක.

ලංකාවේ වාර්තා වී ඇති වැදගත් කොරල්පර සහිත ප්‍රදේශ. මුලාශ්‍රය : (www.fao.org)

ලංකාවේ මෘදු කොරල් වර්ග තිස්පහක් සහ දෘඩ කොරල් වර්ග දෙසිය අටක් පමණ තිබෙන බව වාර්තාවී ඇත. සංචාරක ව්‍යාපෘතියට හොඳ රුකුලක් සේම වෙරළබඩ වෙසෙන ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනෙක්ට ජීවිකාව සපයන කොරල්පර පහත දක්වා ඇති අනේකවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුකොටගෙන කනගාටුදායක ලෙස දැන් තර්ජනයට ලක්ව තිබේ.

  • මිට විශාලතම හේතුව වනුයේ දේශගුණික විපර්යාසයි. කොරල්පර සෑදෙන්නේ විශේෂිත උෂ්ණත්වයක දී පමණක් වන අතර උෂ්ණත්ව විපර්යාස ඒවායේ වර්ධනයට දැඩිලෙස බලපායි. සාගරය උණුසුම්ව ඔක්සිජන් ප්‍රමාණය අඩුවී ගිය විට කොරල් විරංජනයට ලක් වන අතර බොහෝ වාර්තා වල දැක්වෙන පරිදි 1998 වසරේ දී කොරල්පර දැඩි ලෙස විරංජනයට ලක්ව ඇත. මෙයද බොහෝවිට වාර්තා වන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලිනි- තවද 2010 වසරේදී පරෙවි දුපත ජාතික උද්‍යානයේ සහ ත්‍රිකුණාමලයේ ඩච් බේ ප්‍රදේශයේ කොරල්පර අධික විරංජනයකට සහ ඛාදනයකට ලක්ව ඇත.
  • 2004 ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පසු නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල කොරල්පරවලට දැඩිලෙස හානි සිදුවූ අතර අදට පවා මෙහි බලපෑම දැකගත හැකිය. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයයෙන් පැවැත්වූ පර්යේෂණ වලට අනුව සොයාගෙන ඇත්තේ හානිදායක සුනාමි රළපහරකට වඩාත් හොඳින් මුහුනදීමට මියගිය කොරල්පර වලට වඩා පෝෂදායී ලෙස වැඩුණු කොරල්පරවලට හැකියාවක් ඇති බවයි. එම විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා සහ අන්තර්ජාතික කටයුතු සම්බන්ධ ඇල්බට් ජි. මිල්ක්බෑන්ක් මහාචාර්ය මයිකල් ඔපන්හයිමර් පැවසුවේ සිනිදු මතුපිටක් සහිත හොඳින් නොවැඩුණු කොරල් වලට සාපේක්ෂව මනාව වැඩුණු කොරල්පර වල මතුපිට ඝනකම් නිසා ඇතිවන ඝර්ෂණය සෑහෙනතරම් රළපහරේ වේගය අඩු කරන බවයි.

    (Kalpitiyadolphin.com)

  • මීට අමතරව සෘජු මිනිස් ක්‍රියාකාරකම්ද කොරල්පර ඛාදනය වීමට විශාල රුකුලක් වේ. බොහෝවිට දිවයිනේ ඊසාන දිග වෙරළ තිරයේ වැඩි වශයෙන් භාවිතා වන පුපුරනද්‍රව්‍ය භාවිතා කර මසුන් මැරීම වැනි විනාශකාරී ක්‍රියා නිසා කොරල්පර වලට වන විනාශයෙන් ඒවා නැවත යතා තත්වයට පත්වීමට වසර සියයක් පමණ වත් ගතවන බවට ගණන් බලා ඇත. මෙවන් මසුන් ඇල්ලීමේ ක්‍රම වලදී ඩයිනමයිට් බෝම්බ භාවිතාවන අතර බෝම්බයේ බලපෑම එල්ලවන පරිධිය තුල සිටින මසුන් සිහි නැති කිරීමට හෝ මැරීම පිණිස මෙය ජලයෙන් යට කොරල් මත පුපුරවා දමනු ලැබේ. එවිට මාළුන් ජලය මතුපිටට පාවී එන නිසා පහසුවෙන්ම අල්ලා ගත හැක. මෙම පුපුරවන ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීමේ ක්‍රමය නිරිතදිග ආසියාවේ කොරල්පර වලින් සියයට පනහක් පමණ විනාශ කරදැමීමට සමත්ව ඇති අතර මසුන් මැරීම සහ සජීවී කොරල් විනාශ කරදැමීමට අමතරව මෙමගින් සිදුවන අනෙක් හානිය නම් කොරල් වැඩෙන පසුබිමත් මේ සමඟම විනාශ වී යාමයි. මේ නිසා නැවත කොරල් නිර්මාණය වීමේ ක්‍රියාවලියටද දැඩිලෙස බාධා එල්ල වේ.
  • කොරල් කැඩීමද වර්තමානයේ විශාල ගැටළුවක් වී තිබේ. අද ලංකාවේ හුණුගල් වලින් සියයට අනූදෙකක් භාවිතා වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහායි.  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු වලට හුණුගල් සපයා ගැනීමට බහුල වශයෙන් කොරල් කඩන අතර දැනට භාවිතා වන සජීවී සහ මැරුණු කොරල් කැඩීමේ ක්‍රම නිසා කොරල්පර වලට අතිවිශාල හානියක් සිදුවෙමින් පවතී. කොරල් කැඩීම සහ 2004 වසරේ දී සුනාමි අනතුර සමග සිදු වූ විනාශය අතර ද සම්බන්ධතාවයක් තිබෙන බව දැනට විද්‍යාත්මකව සනාථ කරගෙන ඇත.  
  • කොරල් පර ආශ්‍රිතව ජීවත්වන සමහර ශාකභාක්ෂක මසුන් පමණට වඩා අල්ලා ගැනෙන නිසා කොරල්පර වල තිබෙන පාරිසරික තුලනය බිඳී ගොස් ඇත.
  • ලංකාවේ ජනගහනයෙන් බොහෝ ප්‍රමාණයක් වෙරළාසන්නව ජිවත් වෙමින් සෘජු හෝ වක්‍ර ලෙස මුහුද මත යැපේ. වෙරළාසන්න සංවර්ධන කටයුතු සහ කර්මාන්ත නිසා සිදු වී ඇති පාරිසරික දුෂණය කොළඹ අවට තිබෙන කොරල්පර සහ සහ දකුණේ ප්‍රරධාන නගර ආසන්න කොරල්පර සියල්ලටම හානිකර ලෙස බලපා ඇත. ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් වාසිදායක තත්වයක සිටියත් වෙරළාසන්න කොරල්පර වලට එයින්ද බලපෑමක් තිබේ. විශේෂයෙන්ම අත්තනෝමතික ලෙස වෙරළ තීරයේ සංචාරක නිකේතන ආදිය ගොඩනැගීමෙන් වෙරළ දුෂණයවී යන අතර තවත් එවන් සෘජු බලපෑමක් වන්නේ කොරල් පාගා දැමීමයි. වාර්තාවල දැක්වෙන පරිදි මින් බොහෝ හානි වලට වගකිව යුත්තේ සංචාරකයින් දේශීය බලධාරීන්ගේ උපදෙස් වලට අවනත නොවීම ය.

මෙම කොරල්පර වල ඇති වැදගත්කම කෙතරම් වුවත් ඒවාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බව කිව යුතුය. නීතිමය වශයෙන් ගත් කළ මේවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ආරක්ෂණයවී ඇති අතර කොරල් සහ කොරල් ආශ්‍රිත ජීවින් වෙරළ සංරක්ෂණ ආඥා පනත යටතේ ද ආරක්ෂා වේ. කෙසේ වුවද මෙම පනත අනුව ආරක්ෂාවට යටත් වන්නේ රට වටා වෙරළාසන්න මුහුදු තිරයේ කිලෝමීටර දෙකක් පමණ පළල තිරයක් පමණි.

(absolutesrilanka.asia)

මේ හැරුණු විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරක්‍ෂිත මුහුදු කලාප හතරක් නම් කර තිබේ. ඒවාට අයත් වන්නේ හික්කඩුව සමුද්‍ර ජාතික උද්‍යානය, පරෙවි දුපත් සමුද්‍ර උද්‍යානය, බාරීෆ් සමුද්‍ර අභයභූමිය සහ රූමස්සල සමුද්‍ර අභයභුමිය යන ස්ථානයි. කරුණු මෙසේ වුවද වාර්තාවක දැක්වෙන පරිදි ප්‍රමාණවත් ලෙස නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම ආරක්‍ෂිත කලාප තුල පවා කොරල්පර වාසස්ථාන වලට ආරක්ෂාවක් නොලැබේ. හික්කඩුව සමුද්‍ර ජාතික උද්‍යානය සහ බාරීෆ් සමුද්‍ර අභයභූමිය සඳහා සමුදුරු කලාප කළමනාකරණ සැලසුම යටතේ විශේෂ කළමනාකරණ කලාප පිහිටුවා ඇති නමුත් මෙම ප්‍රදේශ වල තිබෙන කොරල්පර වල ආරක්ෂණය සඳහා නියමිත නිර්දේශ තවමත් ක්‍රියාවට නංවා නොමැත. මේ අනේකවිධ හේතු නිසා අපගේ රටේ තිබෙන කොරල් සම්පත ගතවන දිනක් පාසා  විනාශයට ලක්වෙමින් තිබේ.