2019 වසරේ, ඉන්දීය පාලනය යටතේ ඇති, ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට අයත් පුල්වාමා ප්‍රදේශයේ දී ඉන්දියානු ආරක්ෂක භටයන් ගමන් ගත් රථ පෙළකට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. එය එල්ල කරන්නේ කාශ්මීරයේ ක්‍රියාත්මක වෙන ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත සංවිධානය යි. මෙම ප්‍රහාරයෙන් ඉන්දියානු ආරක්ෂක අංශ සාමාජිකයන්ට බරපතල හානි සිදු වන වෙනවා.

ඉන්දියාව මේ සම්බන්ධයෙන් පාකිස්ථානයට දැඩි ලෙස චෝදනා එල්ල කරන අතර, අදාළ ත්‍රස්ත සංවිධානයට යුද ආධාර හා පුහුණුවීම් සපයන්නේ පාකිස්ථාන ආණ්ඩුවෙන් බවත්, ත්‍රස්තයෙන්ගේ රහසිගත කඳවුරු පිහිටා ඇත්තේ පාකිස්ථානය විසින් පාලනය කරන කාශ්මීර කොටසේ බවත් කියා සිටිනවා. ඉන්පසුව ඉන්දියාව, පාකිස්ථාන ගුවන් සීමාව ඉක්මවා ගොස් එම කඳවුරු සඳහා පහර දීමට කටයුතු කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර කොටසක් වන ආරක්ෂක මණ්ඩලය ඉන්දියාවේ ඉල්ලීම මත මෙම ත්‍රස්ත කල්ලියේ නායකයා ගෝලීය ත්‍රස්ත ලේඛනයට ද ඇතුළත් කරනවා.

මෙම අර්බුදය තවදුරටත් ඔඩුදුවන අතර, ඉන්දියානු මධ්‍යම රජය ජම්මු කාශ්මීරය ප්‍රාන්ත භාවයෙන් අහෝසි කර මධ්‍යම රජයෙන් පාලනය වන කොටස් දෙකක් බවට පත් කිරීමට ද බල පෑ ප්‍රධාන හේතුව වන්නේ ද මෙම පුල්වාමා ප්‍රහාරය යි.

1947 සිට මේ දක්වා ඉන්දියාව හා පාකිස්ථානය කාශ්මීරය හේතුවෙන් නොයෙකුත් අවස්ථාවල යුද්ධයන්ට හා යුද්ධ ආසන්න අවස්ථාවන්ට ලං වී ඇති අතර, 1947 හා 1965 වසරවල දී ඔවුන් දරුණු යුද්ධවලට ගමන් කරන්න හේතුව වන්නේ කාශ්මිර් අර්බුදය යි. 1999 වසරේ ඇති වූ අප්‍රකාශිත කාගිල් යුද්ධයට හේතු වන්නේ ද මෙම නොනවතින බල අරගලය යි.

සාක් සංවිධානයේ පොදු අරමුණුවලට ඉන්දියා හා පාකිස්ථාන් විරසකය බලපාන්නේ කෙසේ ද?

18 වන සාර්ක් සමුළුව (sputniknews)

දකුණු ආසියාවේ ජනතාව වෙනුවෙන් ඵලදායී කලාපීය සහයෝගිතාවක් සඳහා සාමය හා ආරක්ෂාව අත්‍යවශ්‍ය සාධක ලෙස හැඳින්විය හැකියි. නමුත් පාකිස්ථානයේ හා ඉන්දියාවේ ඇති මේ විරසකය වර්තමානය වන විට දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය මුහුණ දෙන ප්‍රධානම අභියෝගය බවට පත්ව තිබෙනවා. කාශ්මීරයේ ඇති වී තිබෙන විවිධ ත්‍රස්ත සංවිධාන හේතුවෙන් නිර්මාණය වී තිබෙන කලාපීය ත්‍රස්තවාදය ද නිර්මාණය වී ඇත්තේ ඉන්දු පාකිස්ථාන විරසකයේ ප්‍රතිපලයක් ලෙස යි. එය ද සාර්ක් සංවිධානය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් ලෙස හැඳින්විය හැකි යි.

සාර්ක් සංවිධානයේ ක්‍රියාත්මක වෙන ආර්ථික, වෙළඳ, සාමාජයීය, හා සංස්කෘතික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යාමේ දී මෙම විරසකය එම ව්‍යාපෘති සඳහා ඉතා අහිතකර අන්දමින් බලපානවා. එය කෙතරම් බල පා ඇත්දැ යි පවසනාව නම් වාර්ෂිකව පැවැත්වෙන සාක් සමුළු ද මේ වන විට නොකඩවා පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

පළමු සාර්ක් සමුළුව පැවැත්වෙන්නේ 1985 වසරේ දී යි. සමුළුව, පළමු වසර කිහිපය තුළ වාර්ෂිකව පැවැත්වෙන නමුත් පසුව එය සෑම වර්ෂයකම පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඉන්දු පාකිස්ථාන විරසකය කාශ්මීරය මුල් කරගනිමින් විටින් විට අළු යට ගිනි පුළිඟු මෙන් මතුවීම එයට,ප්‍රධාන හේතුව යි. 

කෙසේ හෝ 18 වන සාර්ක් සමුළුව දක්වා පැවැත්වීමට හැකියාව ලැබුනත් 2016 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබු 19 වන සාර්ක් සමුළුව සිතූ ලෙස පැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. එය ඉන්දු පාකිස්ථාන විරසකයේ ප්‍රතිඵලයක් ලෙස කල් යන අතර අවසානයේ එම සමුළුව සම්පුර්ණයෙන්ම නවතා දැමීමට සාර්ක් සංවිධානය තීරණය කරනවා.

19 වන සාර්ක් සමුළුව අවලංගු කළ ඌරි ප්‍රහාරය 

කාශ්මීරයේ ඉන්දීය හමුදා (sputniknews)

2016 වසරේ සැප්තැම්බර් 18 වන දා ඉන්දියාව විසින් පාලනය කරන කාශ්මීර කොටසේ ඌරි ප්‍රදේශයේ දී, ජායිෂ් ඊ මුහම්මද් සටන්කාමීන් ඉන්දියානු හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරනවා. එම ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන් 19 දෙනෙකු මරණයට පත් වෙනවා.

මෙම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන්ට රැකවරණය දෙන්නේ පාකිස්ථානය බවට ඉන්දියානු රජය චෝදනා කරන නමුත් පාකිස්ථානය විසින් එය ප්‍රතික්ෂේප කරනවා.

එම වසරේ නොවැම්බර් 09 සහ 10 යන දෙදින තුළ 16 වන සාර්ක් සමුළුව පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබුණු අතර “කලාපීය සහයෝගිතාවට හා ත්‍රස්තවාදයට එක්ව ගමන් කළ නොහැකි ය” බව පවසමින් ඉන්දියාව සමුළුව සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කරනවා.

සමුළුවට සහභාගී නොවී සිටීමට ඉන්දියාව ගනු ලැබූ තීන්දුවත් සමග ඇෆ්ගනිස්ථානය, භූතානය, හා බංගලාදේශය යන රටවල් ද සමුළුවට සහභාගී නොවන බව නිවේදනය කරනවා. ඒ හේතුවෙන් සමුළුව පැවැත්වීම තාවකාලිකව කල් යනවා. දින කිහිපයකින් පසුව සමුළුව පැවැත්වීමේ උත්සාහයක් පාකිස්ථාන රජය විසින් ගත් නමුත් ඉන්දියාව විසින් සමුළුවට සහභාගී නොවීමට ගත් තීරණය වෙනස් නොකිරීමෙන් 19 වන සාර්ක් සමුළුව සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සිදු වෙනවා.

සාමය හා ආරක්ෂාව ද? පාකිස්ථානය ජාත්‍යන්තරව හුදෙකලා කිරීම ද?

පුල්වාමා ප්‍රහාරයෙන් පසුව ඉන්දීය හමුදා (indiatimes)

කලාපයේ රටවල් අතර තිරසාර සහයෝගීතාවක් පවත්වා ගැනීම හා ත්‍රස්තවාදය පිටුදැකීමේ දැඩි අවශ්‍යතාවයක් ඉන්දියානු රජයට ඇති බවත් දකුණු ආසියාවේ ජනතාව වෙනුවෙන් ඵලදායී කලාපීය සහයෝගීතාවයක් සඳහා සාමය හා ආරක්ෂාව අත්‍යවශ්‍ය සාධක බව දිගින් දිගටම පවසන ඉන්දියාව මෙම සමුළුවට සහභාගී වීම දැඩිව ප්‍රතික්ෂේප කරනවා.

නමුත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ප්‍රහාරයෙන් පසුව පාකිස්ථානය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ජාත්‍යන්තරව හුදෙකලා කරනු ලැබීමට දිල්ලිය ගනු ලබන උත්සාහයේ ප්‍රධානම අංගය සමුළුව වර්ජනය කිරීම බවයි.

19 වන සාර්ක් සමුළුව එසේ අවලංගු වූ අතර 2016 පසු මේ වන තෙක් සාර්ක් සමුළුවක් පැවැත්වී නෑ. 

2019 වසරේ එල්ල වූ පුල්වාමා ප්‍රහාරය, කාශ්මීරය ඉන්දියානු මධ්‍යම රජය විසින් ඈදා ගැනීම යන කරුණු හේතුවෙන් පාකිස්ථානය හා ඉන්දියාව අතර විරසකය මේ වන විට පෙරටත් වඩා දැඩි ලෙස උග්‍ර වී තිබෙනවා. 

2020 වසරේ ද සාර්ක් සමුළුව පාකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබුනත් ඒ සඳහා ඉන්දියාව සහභාගී නොවනු ඇත. ඒ හේතුවෙන් 20 වන සාර්ක් සමුළුව වෙනත් දකුණු ආසියාතික රටක පැවැත්වීම සුදුසු බව තීරණය වී තිබෙනවා. එම රටවල් අතරට නේපාලය හා ශ්‍රී ලංකාව ද ඇතුළත් වෙනවා. නමුත් 20 වන සාර්ක් සමුළුව 2020 වසරේ පවත්වන්නේ කොහේ ද යන්න තවම නිශ්චිතව තීරණය වී නෑ.

කවරයේ පින්තූරය - indiatimes

මූලාශ්‍ර - thediplomat.com 

saarc-sec.org 

indiatoday.in