අන්තර්කාලීන අයවැය ආර්ථික අර්බුදයට විසඳුම් සපයයි ද?

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටිය දී, එනම් පසුගිය ජූනි මාසයේ දී ඔහු සඳහන් කළේ මේ වන විට උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය මගහරවා ගැනීමට නම් කඩිනමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ යුතු බව යි.

ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ පළමු පියවර පසුගිය වසරේ ඉදිරිපත් කළ මෙම වසර සඳහා වන අයවැය යෝජනාව වෙනුවට අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කිරීම බව ද ඔහු සඳහන් කළේ ය.

ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ ගෑස් හිඟයෙන් පීඩා විඳින ජනතාව – www.ucanews.com

මාස ගණනාවක් තිස්සේ රට තුළ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ යම්කිසි මට්ටමකට හෝ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අන්තර්කාලීන අයවැයක් ගෙන ඒමේ වැදගත්කම සහ ඒ සඳහා වන පසුබිම සකස් වූ අයුරු මේ ලිපියෙන් විමසා බලමු.

2022 අයවැය

පසුගිය නොවැම්බර් මස එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 වසර සඳහා වන අයවැය යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීන් බහුතරයකගේ ඡන්දයෙන් සම්මත විය. ඊට පක්ෂ ව ඡන්ද 157ක් ලැබුණු අතර විරුද්ධ ව ලැබුණු ඡන්ද ගණන 64 කි. මෙම අයවැය නිදහස් ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කළ 76 වැනි අයවැය සහ 2020 දී බලයට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය ඉදිරිපත් කළ දෙවැනි අයවැය විය.

2022 අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණෙන එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ – www.parliament.lk

සාමාන්‍යයෙන් අයවැයෙන් වැඩි ම ප්‍රතිපාදන වෙන් වන මුදල් අමාත්‍යංශය, රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය මෙවර අයවැයෙන් ද වැඩි ම ප්‍රතිපාදන වෙන් වූ අමාත්‍යංශ විය. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපාදන විශාල වශයෙන් වෙන් කරන මහාමාර්ග අමාත්‍යංශය සහ ජල සම්පාදන අමාත්‍යංශය වැනි අමාත්‍යංශ කිහිපයක් සඳහා 2022 වසරට අදාළ අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන සැලකිය යුතු අඩු අගයක් ගනී.

අයවැය පිළිබඳව පළ වූ අදහස්

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පළ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්ව ඇති කාලයක, රට යළිත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා උපකාරී වන ආකාරයේ අයවැයක් ලෙස එම අයවැය සකස් කර ඇති බව යි.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගැටලුවක් වූ ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මෙම අයවැය මඟින් වෙන් කර තිබීම සම්බන්ධයෙන් රජය පාර්ශවය නියෝජනය කරන දේශපාලනඥයෝ මහත් උද්දාමයෙන් අදහස් දැක්වූහ.

2022 අයවැයෙන් ඒ ඒ අමාත්‍යංශ සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණය (මිලියනවලින්) – www.publicfinance.lk

කෙසේ වෙතත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සඳහන් කළේ 2022 වසර සඳහා වන අයවැය රට එවකට පත් ව තිබූ තත්ත්වයෙන් ගොඩගැනීම වෙනුවට තව තවත් අගාධයට ඇද දමන ආකාරයේ එකක් බව යි. ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් තුළ ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කිරීම රජයක කාර්යභාරය වුවත් 2022 අයවැය, සෝමාලියාව වැනි රටක අයවැයට සමාන බව විපක්ෂය චෝදනා කළේ ය.

විපක්ෂ දේශපාලඥයන්ගේ මතය වූයේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය පාලනය කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීම සඳහා උපකාරී වන කිසිදු කරුණක් එම අයවැයේ අන්තර්ගත නොවන බව යි.

ආර්ථික අර්බුදය හමුවේ සර්ව පාක්ෂික සමුළුවක්

ශ්‍රී ලංකාව සතු විදෙස් මුදල් සංචිත ශීඝ්‍රයෙන් පහළ බැසීමත් සමග ඇති වූ ආර්ථික අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඊට විසඳුම් සෙවීමේ අරමුණින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළේ ය.

කොළඹ ජනාධිපති මන්දිරයේ දී පසුගිය මාර්තු 23 දින පැවති එම සමුළුවට ගෝඨාභය රාජපක්ෂ, එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සහ ඒ වන විට ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ධුරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයන්, සහ රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.

මාර්තු මස පැවැති සර්වපාක්ෂික සමුළුව – www.adaderana.lk

සමුළුවේ දී ඉදිරිපත් වූ අන්තර්කාලීන අයවැයක් පිළිබඳ යෝජනා

මෙම සමුළුව අතරතුර ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් සාකච්ඡා විය. විශේෂයෙන් ම රට ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත් වන තෙක් හදිසි සහ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම, පිරිවැය අනුව ඉන්ධන මිල ගණන් සහ විදුලි ගාස්තු ඉහළ නැංවීම, විදේශ ප්‍රේෂණ සහ අපනයන දිරි ගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, තිරසාර පදනමක් මත බදු ඉහළ නැංවීම, බැංකු ක්ෂේත්‍රය බිඳ වැටීම වැලැක්වීම සඳහා ආරක්‍ෂිත දැලක් යෙදීම, අවධානමට ලක් වී ඇති පවුල්වලට කඩිනම් සහන සැලසීම, සහ අත්‍යවශ්‍ය නොවන සියලු ව්‍යාපෘති කල් දැමීම වැනි යෝජනා ගණනාවක් එහිදී ඉදිරිපත් විය.

මෙම සමුළුව අතරතුර ඉදිරිපත් වූ තවත් වැදගත් යෝජනාවක් වන්නේ ඒ වන විට ඉදිරිපත් කර තිබූ 2022 වසර සඳහා වන අයවැය වෙනුවට ජනතාවාදී අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කළ යුතු ය යන්න යි. සමුළුවට සහභාගී වූ දේශපාලනඥයන් පෙන්වා දුන්නේ අත්‍යවශ්‍ය වියදම් පමණක් හඳුනාගෙන, අනවශ්‍ය වියදම් සියල්ල කපා හැර නව අයවැයක් ඉදිරිපත් කිරීම රජයේ ප්‍රමුඛ කාර්යභාරයක් විය යුතු බව යි.

එය හුදු සංවර්ධනය ඉලක්ක කර ගත් අයවැයක් නොව ජනතාවගේ සුබසාදනය ඉලක්ක කරගත් අයවැයක් විය යුතු බව බොහෝ දෙනාගේ අදහස විය. සමහර අමාත්‍යංශ සඳහා වෙන් කර ඇති අසීමිත වැය ශිර්ෂ කපා හැර පසුගිය මැයි මාසයට ප්‍රථම අන්තර්කාලින අයවැයක් ඉදිරිපත් කළ යුතු බව එම සමුළුවේ දී යෝජනා විය.

සර්වපාක්ෂික සමුළුවට සහභාගී වූ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ –  newstube.lk

මහජන විරෝධතා

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ ආනයනය සඳහා අවශ්‍ය විදේශ මුදල් සංචිත නොමැති වීම නිසා ඉන්ධන, ගෑස්, කිරිපිටි පොහොර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වූයේ මීට මාස කිහිපයකට පෙර ය. එම තත්ත්වය හමුවේ විවිධ ස්ථානවල ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ වූ මහජන විරෝධතා ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වූ අතර එහි උච්චත ම අවස්ථාව වූයේ පසුගිය අප්‍රේල් 9 දින කොළඹ ගාලුමුවදොර පිටියට එක්රැස් වූ ජනතාව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් දැවැන්ත මහජන විරෝධයක් පැවැත්වීම යි.

එතැන් පටන් ආරම්භ වූ ගාලුමුවදොර ජනතා අරගලය ළඟා කර ගත් දෑ බොහෝ වෙයි. එහි ප්‍රතිපලයක් ලෙස එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැයි 9 දින ඉල්ලා අස් වූ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුලින් ම මුදල් අමාත්‍ය ධුරයෙන් ද, ජූනි 9 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස් විය. මේ කාලය අතරතුර අමාත්‍ය මණ්ඩලය ද අවස්ථා කිහිපයක දී ඉල්ලා අස් විය. මහ බැංකු අධිපති ධුරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් ද ධුරයෙන් ඉවත් විය. පසුගිය ජූලි 9 දින කොළඹ නගරයට එක්රැස් වූ මිලියන ගණනක ජනතාව සිදු කළ දැවැන්ත විරෝධයේ ප්‍රතිපලයක් ලෙස එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද රටින් පලා යාමට සහ ඉල්ලා අස්වීමට සිදු විය.

‘ගෝඨාගෝගම’ විරෝධතා භූමිය – www.colombotelegraph.com

මේ ආකාරයේ කැපී පෙනෙන ජයග්‍රහණ කිහිපයක් ළඟා කරගනිමින් දියත් වූ මහජන අරගලයේ ප්‍රධාන ඉල්ලීම වූයේ රට තුළ දූෂණය සහ වංචාව තුරන් කර ආර්ථික ස්ථාවර බවක් ඇති කරන ලෙස යි. විශේෂයෙන් ම දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ අසරණ වී ඇති ජනතාවට කඩිනම් සහන ලබා දෙන ලෙස ජනතාව රජයට බල කරමින් සිටියි. ආර්ථික විද්‍යා විශේෂඥයන් ද පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය තුළ කඩිනමින් අන්තර්කාලීන අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතු බව යි.

නවතම තත්ත්වය

ජනාධිපති ලෙස තේරී පත් වීමට ප්‍රථම, අග්‍රාමාත්‍ය සහ, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රට තුළ ආර්ථික ස්ථාවරවත්වය ඇති කිරීමේ මූලික පියවර විය යුත්තේ අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කිරීම බව යි. එවැනි අයවැයක් ඉදිරිපත් කිරීමෙන් අනාගතයේ දී ඇති විය හැකි ව්‍යසනකාරී තත්ත්වයන් යම්තාක් දුරකට හෝ වලක්වා ගත හැකි බව බොහෝ දෙනාගේ අදහස යි.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී උද්ධමනය ඉහළ ගොස් ඇති අයුරු – www.dailymirror.lk

අන්තර්කාලීන අයවැයක් මඟින් අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැර, පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වැඩි වශයෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක, ඉදිකිරීම් සහ අපනයන ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රයන් හඳුනා ගෙන ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම අතිශයින් ම වැදගත් වේ. ව්ශේෂයෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡා අතරතුර මෙම කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

අන්තර්කාලීන අයවැයකින් ආවරණය වන ප්‍රධාන අංශ

අන්තර්කාලීන අයවැයක් සකස් කිරීමේ දී පදනම් කර ගැනීමට නියමිත කරුණු ගණනාවක් රජය මේ වන විට හඳුනාගෙන තිබේ. ඒ, ආහාර සුරක්ෂිතතාවය, ආර්ථික වශයෙන් පසුගාමී අය සඳහා දරන වාර්ෂික වියදම අමෙරිකානු ඩොලර් මිලියන 350 සිට අමෙරිකානු ඩොලර් මිලියන 550 දක්වා ඉහළ නැංවීම, හෙක්ටයාර දෙකට අඩු වගාවන් හිමි ගොවීන්ගේ ණය 100%කින් කපාහැරීම, රජයේ ඉඩම්වල පදිංචිකරුවන්ට එම ඉඩම්වල හිමිකාරිත්වය නොමිලේ ලබා දීම, සහ නාගරික මහල් නිවාසවල ජීවත් වන ජනතාව සඳහා සහන පදනමක් යටතේ ඒවායේ හිමිකාරිත්වය ලබා දීම ඒවා වේ.

අන්තර්කාලීන අයවැයක් සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා – www.themorning.lk

ආදායම් බදු ඉහළ නැංවීමට යෝජනා

2019 නොවැම්බර් පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පළමු කාර්යයන් අතර කැපී පෙනෙන එකක් වූයේ ව්‍යාපාර මත පනවා තිබූ බදු සහ වෙනත් බදු විශාල වශයෙන් කපා හැරීම යි. එම බදු සහන වැඩසටහන යටතේ ඒ වන විට 15%ක් වූ අගය මත අය කරන බද්ද (VAT) 8% දක්වා අඩු කළ අතර ව්‍යාපාර මත පනවා තිබූ 2%ක ජාතිය ගොඩනැඟීමේ බද්ද ඇතුළු බදු හතක් අහෝසි කෙරිණි. මේ හරහා රටට අහිමි වූ රුපියල් බිලියන 500කට ආසන්න විශාල බදු ආදායම සහ කොවිඩ්-19 වසංගත තත්ත්වය රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපෑ බව විශේෂඥයන්ගේ මතය වේ.

මේ තත්ත්වය තුළ ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත අන්තර්කාලීන අයවැයක් මඟින් ආදායම් බදු නැවතත් ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙන බව මේ වන විට වාර්තා වේ. මේ පිළිබඳ ව අදහස් දක්වමින් රජය පාර්ශවයේ නියෝජිතයන් සඳහන් කර තිබුනේ විශාල වශයෙන් ආදායම් උපයන ඕනෑම අයකුට ඉන් කොටසක් බදු වශයෙන් රජයට ගෙවීමට යුතුකමක් සහ වගකීමක් තිබෙන බව යි. එසේ නොවන්නේ නම් එය ආර්ථිකමය කරුණුවල දී සමාජය තුළ අසමතුලිතතාවක් ඇති කිරීමට හේතු වන බවත් ඔවුන් සඳහන් කර තිබිණි.

ඉන්ධන හිඟයෙන් පීඩා විඳින ජනතාව – www.newindianexpress.com

අයවැයට ප්‍රථම පරිපූරක ඇස්තමේන්තුවක්?

ජනතාවට සහන සැලසීම ඉලක්ක කරගත් අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කිරීමට පෙර සහන වැඩසටහන් සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ අරමුණින් රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කරන බව පසුගියදා වාර්තා විය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය වැනි කරුණු ගණනාවක් හේතුවෙන් 2022 සඳහා වන අයවැයෙන් වෙන් කළ මුදල් ප්‍රමාණයට වඩා විශාල මුදලක් ජනතාවට සහන සැලසීම සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා වැය කිරීමට සිදු වීම හේතු කොටගෙන මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා විය. ජනාධිපති ලෙස තේරී පත් වීමට පෙර, මුදල් අමාත්‍යවරයා ලෙස, රනිල් වික්‍රමසිංහ මෙම පරිපූරක ඇස්තමේන්තුවට අදාළ යෝජනාව, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අයවැය සහන සේවා සහ හදිසි වගකීම් ව්‍යාපෘතියේ කොටසක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. 

කවරයේ ඡායාරූපය- රට තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමේ පළමු පියවර ලෙස අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කළ යුතු බවට අදහස් පළ වී තිබේ - www.gettyimages.com

මූලාශ්‍ර:

www.themorning.lk

www.dailymirror.lk

www.parliament.lk

www.publicfinance.lk

Related Articles