Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවන් නියමු අභිනන්දන්ව අභිනවයෙන් පිළිගත් ඉන්දියානුවන්

ඉන්දීය ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් අභිනන්දන් මේ වන විට ලෝකය පුරා ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඒ වගේම ඉන්දියාවේ ජාතික වීරයෙක් ලෙස ඔහුව පිළිගැනීමට ඉන්දියානුවන් කටයුතු කර තිබෙනවා. වින්ග් කමාන්ඩර් අභිනන්දන් පකිස්තානය තුළ පිහිටි ත්‍රස්ත ඉලක්කයක් සඳහා ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය අවස්ථාවේ ඔහුගේ යානය පාකිස්තානු හමුදා ප්‍රහාරයකට හසු වෙනවා.

පාකිස්තානු හමුදා ප්‍රහාරයට ලක් වූ මිග්-21 යානය කඩා වැටෙන නමුත් එහි නියමුවා වන අභිනන්දන්ගේ ජීවිතය ගැලවෙනවා. පසුව පාකිස්තානුවන පිරිසක් ගුවන් නියමුවාට පහර දෙන වීඩියෝවක් ද පාකිස්තානු හමුදා සාමාජිකයින් ඔහුගෙන් ප්‍රශ්න නගන වීඩියෝවක් ද අන්තර්ජාලයේ සැරිසරනු දකින්න ලැබුණා. අන්තර්ජාතික යුද නීතියට ගරු කරමින් එම යුධ සිරකරුවා නැවතත් ඉන්දියාවට භාර දීමට පාකිස්තානය පසුගිය දා තීරණය කරනවා.

ජායිෂ්-ඊ-මුහම්මද් ත්‍රස්ත කණ්ඩායමේ කඳවුරක් ඉලක්ක කළ අභිනන්දන්

ජායිෂ්-ඊ-මුහම්මද් ත්‍රස්ත සාමාජිකයන් (YouTube)

ඉන්දු – පාකිස්තාන විරසකයේ මෑතකාලීනව ඇති වූ ගැටළු සහගත තත්ත්වය නිර්මාණය වෙන්නේ පසුගිය පෙබරවාරී මාසයේ 14 වන දින යි. ඒ, ඉන්දියානු පොලීසියේ අනුඛණ්ඩයකට අයත් තුන් දහස් පන්සියයක පමණ භට කණ්ඩායමක් රැගෙන යමින් සිටි වාහන පෙළක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම යි. මෙම ප්‍රහාරයේ චෝදනාව පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වෙන ජායිෂ්-ඊ-මුහම්මද් ත්‍රස්ත සංවිධානයට එල්ල වුණා.

මෙයට පිළිතුරු ලෙස පෙබරවාරි මාසයේ 26 වන දා ඉන්දියානු ප්‍රහාරක යානා උපයෝගී කරගනිමින් ජායිෂ්-ඊ-මුහම්මද් ත්‍රස්ත කඳවුරකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දියානු ගුවන් හමුදාව නිවේදනය කරනවා. ත්‍රස්තයන් 300ක් පමණ මරණයට පත් වූ බව එම නිවේදනයේ සඳහන්. නමුත් පාකිස්තානය පවසා සිටින්නේ කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බව යි.

තම රටේ ගුවන් සීමාව උල්ලංඝණය කළ ඉන්දියානු යානාවන් තම ප්‍රහාරක යානා ලුහුබැඳ ගිය බවත්, ඒ හේතුවෙන් එම යානා පලාගිය බවත් පකිස්ථානය පවසනවා. ප්‍රහාර එල්ල කිරීම සඳහා පකිස්තානයේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඉන්දියානු ගුවන් යානා ගමන් කිරීම තම රටට තර්ජනයක් බව පකිස්තාන් අගමැතිවරයා ප්‍රකාශ කරනවා.

අභිනන්දන් අත්අඩංගුවට

පාකිස්තාන අත්අඩංගුවේ (Business Recorder)

27 වන දා උදෑසනත් පාකිස්තානු ගුවන් සීමා උල්ලංඝනය කරමින් එරටට ඇතුළු වූ ප්‍රහාරක ගුවන් යානා දෙකකට තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කර විනාශ කළ බව පාකිස්තානය පවසනවා. නමුත් ඉන්දියාව එය පිළිගන්නේ නෑ. ප්‍රහාරයට ලක් වූ එක් ඉන්දීය යානයක සිටි ගුවන් නියමුවෙක් බව සඳහන් කරමින් පුද්ගලයෙක් මාධ්‍ය වෙත පෙන්වීමට ද පාකිස්තානුවන් කටයුතු කරනවා.

නමුත් එදින සවස යාමයේ දී ඉන්දියානු විදේශ අමාත්‍යංශ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ තම මිග් 21 ප්‍රහාරක යානාවක් තමන්ට අහිමි වී ඇති බවත්, එය පාකිස්තානු ප්‍රහාරයකට ලක් වී ඇති ද යන්න පරීක්ෂණ සිදු කෙරෙන බවත් ය. නමුත් හවස වන විට නියමුවා පකිස්තානු අත්අඩංගුවේ බව පිළිගැනීමට ඉන්දියාවට සිදුවෙනවා. තම ගුවන් නියමුවා වහා නිදහස් කළ යුතු බව ඉන්දියාව පාකිස්තානය වෙත දන්වා සිටින්නේත් මෙම දිනයේ දීම යි.

අභිනන්දන්ට නිදහස හිමි වීම

නිදහස් වී පැමිණීම (Moneycontrol)

එදිනම සවස ජාතිය අමතන පාකිස්තානු අගමැතිවරයා සාම සාකච්ජා සඳහා ඉන්දීය අගමැතිවරයාට අරාධනා කරන අතර අනතර්ජාතික යුධ නීතියට අනුකූලව අත්අඩංගුවට ගත් ගුවන් නියමුවා නිදහස් කරන බවත් ප්‍රකාශ කරනවා.

ජාත්‍යන්තර මානුෂවාදී නීතියට අනුව සටනක් අතරතුර තුවාල ලබා අල්ලාගත් විරුද්ධ පාර්ශවයේ සටන්කරුවන් තවදුරටත් සටන්කරුවෙක් ලෙස සලකන්නේ නෑ. එවැනි පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර හා ආරක්ෂාව ලබා දීමට නිත්‍යානුකූල හමුදාවක් බැඳී සිටිනවා.

ඒ අනුව අල්ලාගත් ඉන්දියානු ගුවන් නියමුවා ඉන්දියාවට වෙත භාර දීම මාර්තු පළමු වෙනි දා සිදු වෙනවා. ඉන්දියානු ගුවන් හමුදාව පාකිස්ථානයට පිටත්කර එවන ගුවන් යානයක තම ගුවන් නියමුවා නැවත ඉන්දියාවට එවන ලෙස ඉන්දියානු රජය විසින් ඉල්ලා සිටිනවා. නමුත් මෙම ඉල්ලීමට පාකිස්තානු රජය තම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.

අවසානයේ ඉන්දු – පාකිස්තාන් දේශ සිමාවේ පිහිටි වගා නැමති ස්ථානයේ දී ගුවන් නියමුවා ඉන්දියාවට භාර දීම සඳහා පාකිස්ථානය එකඟ වෙනවා.

මෙසේ ඉන්දියානු ගුවන් නියමුවා නැවත භාර දීම ඉන්දියාව සමග හොඳ හිත වර්ධනය කර ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් ලෙස පාකිස්තානය විසින් හඳුන්වනවා. නමුත් ජිනීවා සම්මුතිය යටතේ එය සාමාන්‍ය දෙයක් බව ඉන්දියානු ආරංචි මාර්ගවල සඳහන් වෙනවා.

ජය ඝෝෂා මධ්‍යයයේ ඉන්දියාවට

ඉන්දියානුවන්ගේ ජය ඝෝෂා (New Indian Express)

ගුවන් නියමු අභිනන්දන් ඉන්දියාවට භාර දෙන්නේ මාර්තු මාසයේ පළමු වෙනි දා පස්වරුවේ යි. නමුත් ඉන්දියානුවන් විශාල ප්‍රමාණයක් එදින උදෑසන සිට ජයගෝෂා නගමින් වගා ප්‍රදේශයේ විදීවල සිටීම දකින්න ලැබෙනවා.

ඉන්දියානු සමාජ මාධ්‍යවල අභිනන්දන් විශාල කතාබහකට ලක් වී ඇති අතර එරට ජාතික වීරයෙක් ලෙස අභිනන්දන්ට සැලකීමට ඉන්දියානුවන් කටයුතු කරන බව ද සඳහන්. උදෑසන සිටම ඔහුගේ ජායාරූප මුද්‍රණය කරන ලද බැනර් රැගෙන ජය ඝෝෂා නගමින් යන යතුරුපැදි පෙළපාලි බොහොමයක් ඉන්දියාව පුරා දකින්න ලැබෙනවා. ඊට අමතරව ඔහුගේ පින්තූර කිරිවලින් නැහැවීම ද සිදුකරනු ලබනවා.

ඔහුගේ පින්තූර අතැතිව සිටින ඉන්දීය පොලිස් නිලධාරීන් (ANI News)

වගාහි හුවමාරු මධ්‍යස්ථානයක දී අභිනන්දන්ව ඉන්දියාවට භාර දෙනවා. එම මොහොත සඳහා ඔහුගේ පියා, බිරිඳ හා කුඩා දරුවා ද සහභාගී වී තිබෙනවා. මාර්තු දෙවන දා ඉන්දියානු ආරක්ෂක ඇමතිවරිය හා අභිනන්දන් අතර හමුවක් දිල්ලියේ දී පැවැත්වෙනවා. පාකිස්තාන අත්අඩංගුවේ පසු වූ පැය 60 තුළ සිදු වූ දෙය පිළිබඳව ඇමතිවරිය මේ අවස්ථාවේ දී ඔහුගෙන් විමසා තිබෙනවා.

ජාත්‍යන්තර බලපෑම් මත මේ වන විට යුද උණුසුම පහව ගොස් තිබෙන අතර දේශ සීමාව අසල දෙරටේම ආරක්ෂක හමුදා සීරුවෙන් තැබීමට දෙරටේ ආණ්ඩු තීරණය කර තිබෙනවා.

කවරයේ පින්තූරය: The Indian Wire

මූලාශ්‍රයයන්:

bbc.com

indianexpress.com

dw.com

Related Articles