Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාක්ෂිකරුවන් සුරකින අමෙරිකාවේ WITSEC ෆෙඩරල් වැඩසටහන

පුද්ගලයකු වශයෙන් අපිට යම් අනන්‍යතාවක් ලැබී තිබෙනවා. උපන් මොහොතේ සිට අපගේ අනන්‍යතාවට බලපාන සාධක එකින් එක එකතු වීම ඇරඹෙනවා. පුද්ගල නාමය එහි ප්‍රාථමික ම සහ මූලික ම අංගය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඉන්පසු අපේ අතීත සිදුවීම් මඟින් අපට ම අනන්‍ය වූ පුද්ගලික ඉතිහාසයක් කාලයත් සමඟ ගොඩ නැඟෙනවා. ඔබගේ අනන්‍යතාව සහ පුද්ගලික ඉතිහාසය සම්පූර්ණයෙන් ම වෙනස් කරමින් අලුත් ම පුද්ගලයකු ලෙස ජීවිතයේ ඉතිරි කාලය ගෙවීමට පුළුවන් නම් ඒ අත්දැකීම කෙබඳු වේවි ද?

 රාජ්‍ය අනුග්‍රහය සහිත ව පුද්ගලයකුගේ අනන්‍යතාව සහ පුද්ගලික ඉතිහාසය වෙනස් කළ හැකි වැඩසටහනක් අමෙරිකා එක්සත් ජනපදයේ පිහිටුවා තිබෙනවා. මෙම වැඩසටහන “සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ෆෙඩරල් වැඩසටහන (Federal Witness Protection Program)” යනුවෙන් හඳුන්වන අතර, කෙටියන් එය “WITSEC වැඩසටහන” වශයෙන් ව්‍යවහාරයේ පවතිනවා. WITSEC වැඩසටහනේ ඉතිහාසය, වැඩසටහනට ඇතුළු වීම සඳහා පුද්ගලයන් සුදුසුකම් ලබන අන්දම, ක්‍රියාත්මක වන ආකාරය සහ වැඩසටහනෙන් එක්සත් ජනපද සමාජයට වන සේවය වැනි කරුණු රැසක් ඔබට මෙම ලිපියෙන් දැනගත හැකි යි.

ෆෙඩරල් වැඩසටහනට පුරෝගාමීත්වය ලබාදුන් ජෙරල්ඩ් ෂූර් – www.legacy.com 

WITSEC වැඩසටහනේ ඉතිහාසය

  අපරාධයක වැදගත් සාක්ෂිකරුවකු ලෙස ක්‍රියා කිරීම ඇතැම් විට අනතුරුදායක ක්‍රියාවක් විය හැකි යි. අපරාධයට හවුල් වූ පාර්ශවවලින් සාක්ෂිකරුවන්ට ජීවිත තර්ජන එල්ල වීමේ හැකියාවක් තිබීම එයට හේතුව යි. අපරාධයක් හමුවේ තීරණාත්මක කාර්යභාරයක් කළ හැකි සාක්ෂිකරුවන් එවැනි තර්ජනවලින් වළක්වා ගැනීම WITSEC වැඩසටහන හරහා සිදු වෙනවා. වැඩසටහන මඟින් අදාළ සාක්ෂිකරුවන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට  ජීවිත කාලය පුරා ම ආරක්ෂාව සපයා ගත හැකි පසුබිමක් සකසා තිබීම විශේෂත්වයක්. ඒ සඳහා WITSEC වැඩසටහන් ව්‍යුහයේ සුවිශේෂී කාරණා කිහිපයක් ම අඩංගු වෙනවා. එක්සත් ජනපදය තුළ WITSEC ආකාරයේ වැඩසටහන් ප්‍රාන්ත මට්ටමින් පවා ක්‍රියාත්මක වුණත්, වඩාත් ප්‍රචලිතව ඇත්තේ ෆෙඩරල් වැඩසටහන යි.

ෆෙඩරල් WITSEC වැඩසටහනේ ඉතිහාසය 1960 දශකය දක්වා ඈතට විහිදෙනවා. නමුත්, එය නිල වශයෙන් ක්‍රියාත්මක වීම ඇරඹුණේ 1971 සිට යි. 1960 දශකයේ සිට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ සහ ජාවාරම් අංශය විසින් විමර්ශනය කරන ලද එක් එක් සිද්ධි වල විකාශනය WITSEC වැඩසටහනේ පදනම වුණා. එකල මෙම අංශයේ කණ්ඩායමට නායකත්වය දුන්නේ එක්සත් ජනපද නීතිපති රොබර්ට් එෆ්. කෙනඩි සහ නීතිඥ ජෙරල්ඩ් ෂූර් යන අය යි. එම අංශයෙන් ලද අත්දැකීම්වල උපකාරයෙන් WITSEC වැඩසටහන 1971 දී ආරම්භ කිරීමට ජෙරල්ඩ් මූලිකත්වය ගත්තා.

 සංවිධානාත්මක අපරාධ පාලන පනතේ කොටසක් ලෙස WITSEC වැඩසටහන බලාත්මක කොට තිබෙනවා. එමඟින් රජයේ සාක්ෂිකරුවන් සඳහා නිවාස සහ ආරක්ෂක පහසුකම් ඇතුළත් ව වැඩසටහන ක්‍රියාත්මක විය යුතු ආකාරය විස්තර වෙනවා.

සාක්ෂිකරුවන්ගේ විශ්වාසය උපරිමයෙන් රකින නිසා WITSEC වැඩසටහනෙන් සාර්ථකත්වයක් ලැබීමට එක්සත් ජනපදය සමත් වී තිබෙනවා – www.istockphoto.com 

WITSEC ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

 WITSEC මඟින් සෑම සාක්ෂිකරුවකුට ම ආරක්ෂාව සැපයෙන්නේ නැහැ. ජීවිත තර්ජනයක් පිළිබඳ ව ඇති පැහැදිලි අවදානමත් සමඟ අපරාධ සිද්ධියේ නඩු විභාගය ඉදිරියට ගෙන යෑම සඳහා සාක්ෂිය කොතරම් වැදගත් ද යන්නත් එහිදී බලපානවා. සාක්ෂිකරුගේ සාක්ෂියේ විශ්වාසනීය බවත් මෙහිදී සැලකිල්ලට ගන්නා අතර, සාක්ෂිකරුවා දිගින් දිගට ම අවශ්‍ය කාලයට සාක්ෂි ලබාදීම කෙරෙහිත් බැඳී සිටිය යුතු යි.   

 එක්සත් ජනපදයේ රාජ්‍ය සංවිධාන තුනක් මඟින් WITSEC වැඩසටහන කළමනාකරණය වෙනවා. එක්සත් ජනපද මාර්ෂල්ස් සේවය (ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකි)  මඟින් වැඩසටහනට ඇතුළු වන සිරගත නොකරන ලද සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සහ සෞඛ්‍ය සේවා සපයනවා. අධිකරණ දෙපාර්තමේන්තුවේ බලාත්මක කිරීමේ මෙහෙයුම් කර්යාලයෙන් සුදුසුකම් ලත් සාක්ෂිකරුවන්ට වැඩසටහන සඳහා ඇතුළත් වීමට අවසර ලබා දීමේ කටයුතු සිදු කරනවා. ෆෙඩරල් බන්ධනාගාර කාර්යංශය මඟින් සිදු වන්නේ සිරගත ව සිටින සාක්ෂිකරුවන්ගේ භාරකාරීත්වය දැරීම යි.   

සාක්ෂිකරුවන්ගේ පැරණි අනන්‍යතාවය සැඟවීම වැඩසටහනේ මූලික අරමුණ යි – www.aetv.com 

සලකා බලන අපරාධ ආකාර

 එක්සත් ජනපදයේ නීතිපති කාර්යාලය WITSEC වැඩසටහන සඳහා සළකා බැලිය යුතු අපරාධ ගණයන් මොනවාදැ යි විස්තර කර තිබෙනවා. ඉන්පසු අදාළ සාක්ෂියේ වැදගත්කම සහ ජීවිත තර්ජනයක් තිබීමේ හැකියාව සලකා බලනවා. මේ සියල්ලට ම පසුව සාක්ෂිකරුවකුට වැඩසටහන සඳහා ඇතුළු වීමට අවසර ලැබෙනවා. 

සංවිධානාත්ම අපරාධ සහ ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, සාක්ෂිකරුවකු පළිගැනීමකට ලක්විය හැකි ඕනෑම බරපතල ෆෙඩරල් අපරාධයක්, සාක්ෂිකරුවකුගේ ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි ඕනෑම සිවිල් හෝ පරිපාලනමය කටයුත්තක් හා සම්බන්ධ සිදුවීම් වශයෙන් මෙම අපරාධ ගණ විස්තර කොට තිබෙනවා.

සාක්ෂිකරුවකු ආරක්ෂිතව රැගෙන ඒම – en.wikipedia.org 

 සාක්ෂිකරුවකුගේ සාක්ෂියක් හරහා අපරාධකරුවන් සියල්ලන්ට ම දඬුවම් පැමිණ වීම හෝ අපරාධය මුලිනුපුටා දමන්නට නොහැකි වෙන්නට පුළුවන්. රටක්, මහද්වීපයක් හෝ ඇතැම් විට මුළු ලෝකය ම ආවරණය වන පරිදි ජාලගත වූ අපරාධ තිබිය හැකි යි. මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම එලෙස ජාලගත අපරාධ සඳහා නිදසුන් වෙනවා. ඇතැම් විට තර්ජිත සාක්ෂිකරුවාගෙන් ලැබෙන සාක්ෂිය උපකාරයෙන් විසඳිය හැක්කේ එවැනි අපරාධ ජාලයක එක් කොටසක් පමණ යි. නඩු කටයුත්ත අවසන් වූ පසුත් සාක්ෂිකරුවාගේ ආරක්ෂාව තර්ජනයට ලක්වීමේ අවදානම ජීවිත කාලය පුරා ම පැවතීමේ හැකියාවක් ඒ අනුව තිබෙනවා. WITSEC වැඩසටහනේ සැබෑ වටිනාකම ඇත්තේ එතන බව අපිට සිතන්න පුළුවන්.

සාක්ෂි දෙන අතරතුරේදී..

  සාක්ෂිදෙන අතරතුරේදී වැඩසටහනේ කරුණු අනුව සාක්ෂිකරුවන්ට අධි ආරක්ෂාවක් ලබා දෙනවා. සාක්ෂිකරුවන් උසාවියට රැගෙන ඒමේදී ආරක්ෂයන්ට අමතර ව ඔවුන්ට අධි ආරක්ෂිත වාහන ලබාදීම හෝ අවශ්‍ය නම් ගුවන් මඟින් ගෙන ඒමට රජය කටයුතු කරනවා. මෙම කාලය තුළ සාක්ෂිකරුවන්ගේ සියලු පෙනී සිටීම් සඳහා වූ ඉල්ලීම් අවම වශයෙන් දින 10 ක පෙර දැනුම් දීමක් සහිත ව අදාළ රාජ්‍ය ආයතන ඔස්සේ පැමිණිය යුතු යි.

සුළු කාරණයට පවා ප්‍රශස්ත සැලකීමක් ලබාදෙන නිසා මෙම වැඩසටහන ඉතා හොඳ සාර්ථකත්වයක් අත්කර ගෙන තිබෙනවා. උදාහරණයක් වශයෙන්  89% ක සාර්ථකත්වයකින් යුතු ව අපරාධ නඩු විනිශ්චය කිරීම සඳහා WITSEC යටතේ සිටින සාක්ෂිකරුවන්ගේ සාක්ෂි උපකාර වුණා. දස දහසකට වැඩි අපරාධකරුවන් සංඛ්‍යාවකට වරදකරුවන් ලෙස  තීන්දු ලබා දීමත් සිදු කර තිබෙනවා. නඩු කටයුත්ත අවසාන වීමෙන් පසු වැඩසටහනේ ඊළඟ පියවර ඇරඹෙනවා.   

පැරණි අනන්‍යතාව අතහැරිය පසු සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ පවුල් අලුත් ජීවිතයකට ඇතුළු වෙනවා – www.thejobnetwork.com 

අලුත් අනන්‍යතාවක් : අලුත් ජීවිතයක්

 අදාළ නි, වෙබ් අඩවි තුළ WITSEC වැඩසටහන ගැන තොරතුරු මහජනයාට ලබාදී ඇත්තේ සීමිත වශයෙන්. 1971 සිට මේ දක්වා 18,000 ක පමණ සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ෆෙඩරල් WITSEC හරහා ආරක්ෂාව සලසා දී තිබෙන අතර, සාක්ෂිකරුවන් වටා සම්පූර්ණයෙන් u නිර්නාමිකභාවය තහවුරු වන අන්දමින් මෙහි ව්‍යුහය ගොඩනැඟී තිබෙනවා. බොහෝ විට සාක්ෂිකරුවාට එක්සත් ජනපදයේ වෙනත් ප්‍රාන්තයක තිබෙන නගරයක පදිංචිය සඳහා උපකාර කිරීම වැඩසටහනෙන් සිදු වෙනවා. මිලියන 300 ට වැඩි ජනගහනයක් සහ නගර දහස් ගණනක් ඇති එක්සත් ජනපදය තුළ පුද්ගලයකුට රාජ්‍ය අනුග්‍රහය ඇතුව අනන්‍යතාව සැඟවීම කිසිසේත් අපහසු දෙයක් නොවෙයි.

 සාක්ෂිකරු සහ ඔහු හෝ ඇයගේ ආශ්‍රිතයන් සඳහා නව අනන්‍යතාවක් සහ නව නගරයක් සෙවීම වැඩසටහන කළමනාකරණය කරන ආයතන වෙත පැවරෙනවා. ඔවුන් අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ඉතා රහසිගත ව මේ කටයුත්ත සිදු කරනවා.

 සාක්ෂිකරුවන් නව ප්‍රජාවක් තුළ අලුත් ජීවිතයක් ඇරඹීමෙන් පසු ඔවුන් අතීතයේ දී නීති විරෝධී ක්‍රියා සිදුකර ඇත්නම් ඒවා සම්පූර්ණයෙන් ම නොසලකා හරිනවා. එහෙත්, සාක්ෂිකරුවා ජීවත් වන අලුත් ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත සාක්ෂිකරුගේ පැමිණීම සහ ඔහු හෝ ඇයට අපරාධ ඉතිහාසයක් ඇත්නම් ඒවාද දැනුම් දීම සිදු කරනවා.

සාක්ෂිකරු සහ ඔහු හෝ ඇයගේ ආශ්‍රිතයන් සඳහා නව අනන්‍යතාවක් – www.mentalfloss.com 

සාක්ෂිකරුවන්ට උපකාර රැසක්

 අනන්‍යතාව සැඟවීමෙන් පමණක් මෙම වැඩසටහන නවතින්නේ නැහැ. සාක්ෂිකරුවන්ට ප්‍රතිලාභ සහ උපකාර රැසක් WITSEC හරහා ලැබෙනවා. එයින් සමහරක් පහත දැක්වෙනවා.

1. සාක්ෂිකරුට ඔහුගේ හැකියාවට සරිලන පරිදි රැකියා අවස්ථාවක් අලුත පදිංචි වූ ප්‍රදේශයෙන් සොයා ගැනීමට උපකාර කිරීම

2. නිවාස සෙවීමේදී උපකාර කිරීම

3. වසරකට සාමාන්‍යයෙන් ඩොලර් 60,000 ක යැපුම් දීමනාවක් ලබා දීම

4. අලුත් පුද්ගල අනන්‍යතා සහිත ලියකියවිලි (රියදුරු බලපත්‍ර, උප්පැන්න සහතික වැනි) සාක්ෂිකරුට හා පවුලේ සාමාජිකයන්ට ලබා දීම

5. අවශ්‍යතාව සනාථ කිරීමෙන් පසු  මනෝවිද්‍යාඥයන්, මනෝචිකිත්සකයන් හෝ සමාජ සේවකයන්ගේ උපදේශන සේවා ලබා ගැනීමට අනුග්‍රහය දැක්වීම.

 පුද්ගල නාම වෙනස් කිරීමේදී සාක්ෂිකරුවන්ට තමන්ට කැමති නමක් තෝරා ගැනීමට අවකාශ ලබාදී තිබෙනවා. කෙසේ වෙතත්, කලින් පැවති මුල් නම එලෙසින් ම පවත්වා ගන්නා ලෙස වැඩසටහන කළමනාකරනය කරන ආයතනවලින් උපදෙස් ලැබෙනවා. ඒ අනුව සාක්ෂිකරුවාගේ මැද නම සහ පෙළපත් නාමය වෙනස් වීම්වලට ලක් වෙනවා. නම වෙනස් කිරීමේ දී සාමාන්‍ය අධිකරණ ක්‍රියාපටිපාටිය අනුගමනය කළත්, ඒ සියලු වාර්තා මුද්‍රා තැබෙනවා. සාක්ෂිකරුවකුට දරුවන් ඇත්නම්, අධ්‍යාපනඥයන්ට දරුවා ඇතුළත් වූ මුල් පාසල්වල තොරතුරු ලබාගත හැකි නිසා ඔවුන්ගේ කලින් ශ්‍රේණි දැකගත හැකි වන පරිදි පාසල් වාර්තා සුළු වෙනස් කිරීම්වලට ලක් කරනවා.

වැඩසටහනේ ඇතුළාන්තය ගැන තොරතුරු අඩංගු ග්‍රන්ථයක කවරය – www.amazon.com 

අපුතින් විවාහ වෙනවා නම්..

 සාක්ෂිකරුවකු වැඩසටහනට ඇතුළු වීමෙන් පසු විවාහ වීමට අපේක්ෂා කරනවා නම් තමා අතිනත ගන්නා පුද්ගලයා හමුවේ අකමැති යමක් සිදු කරන්නට ඔහු හෝ ඇයට සිදු වෙනවා. ජීවිත කාලය පුරාවට ම තමාගේ පැරණි අනන්‍යතාව සහ පුද්ගලික ඉතිහාසය සඟවන්නට ඔවුන්ට සිදු වෙනවා. ඒ වෙනුවට WITSEC හරහා වෙනස් කළ අනන්‍යතාව සහ අලුතෙන්ම ගොඩ නැංවූ පුද්ගලික ඉතිහාසය තම සහකරු හෝ සහකාරියට පැවසීමට උපදෙස් ලැබෙනවා.

 වැඩසටහන අතරතුර සාක්ෂිකරුවන් වැඩසටහනේ කොන්දේසි උල්ලංඝණය කිරීමේ හැකියාව අවම මට්ටමක තමයි පවතින්නේ. එවැන්නක් සිදු වුණහොත්, ඒ සඳහා ක්‍රියාකිරීමේ පටිපාටියක් බලධරයන් සතු ව තිබෙනවා. අළුත් ජීවිතය තුළදී ඔවුන් නීති විරෝධී ක්‍රියාවක් සිදු කළහොත්, සාක්ෂිකරුවන්ගේ පැරණි අනන්‍යතාවය හෙළි නොවන පරිදි අදාළ කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදයකුත් එක්සත් ජනපද රජය සතුව තිබෙනවා. 

උපකාර හැමදාට ම නැහැ

 ආරම්භයේ සිට ම සාක්ෂිකරුවන්ට වැඩසටහන හරහා පමණට වඩා උපකාර ලැබෙන පසුබිම ගැන රජය යම් සැලකිල්ලකින් සිටියා. බොහෝ සාක්ෂිකරුවන් හිටපු අපරාධකරුවන් වීම එයට බලපෑ ප්‍රධානත ම හේතුව යි. සාක්ෂිකරුවන්ට අලුත් ජීවිතය තුළ පමණට වඩා සහයෝගය ලබා නොදීම සහතික කිරීම සඳහා යම් යම් ක්‍රියා මාර්ග රජය  ගන්නවා. ප්‍රාදේශීය වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නන් සාක්ෂිකරුවා සිටින ස්ථානය ගැන දැනුම්වත් කිරීමත් එයින් එකක්. සාක්ෂිකරුවන්ට ඉක්මනින් රැකියාවක් සොයා ගැනීම සඳහා උපකාර ලබා දීමෙන් අනතුරු ව හැකි ඉක්මනින් ඔවුන් ස්වාධීන කිරීමට රජය උත්සහ ගන්නවා. ඉතා උනන්දුවෙන් යුතු ව අලුත් ජීවිතයට හැඩ ගැසීමට ඔවුන් අපොහොසත් වුවහොත්, යැපුම් දීමනාව අවලංගු කිරීමටත් රජය පියවර ගන්නවා. සාමාන්‍යයෙන් යැපුම් දීමනාව ලැබෙන්නේත් නියමිත කාල පරාසයකට යටත්ව යි. එවැනි අවස්ථාවක කැමති නම් සාක්ෂිකරුවන්ට මහජන ආධාර සඳහා යොමුවිය හැකි යි. 

ප්‍රශංසනීය වැඩසටහනක්

 එක්සත් ජනපදයේ ෆෙඩරල් WITSEC වැඩසටහන සම්පූර්ණයෙන් ම පුද්ගලයකුගේ ස්ව කැමැත්ත අනුව ක්‍රියාත්මක වන වැඩසටහනක්. සාක්ෂියේ වැදගත්කම සහ බරපතලකම මෙන් ම, ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති තර්ජන විශ්ලේෂණ‍යෙන් පසු සුදුසුකම් ලබන්නන්ට එයට ඇතුළත් විය හැකි යි. අවැසි නම් සාක්ෂිකරුවන්ගේ පැරණි අනන්‍යතාව වෙත යෑමටත් හැකියාව තිබෙනවා. එහෙත්, WITSEC වැඩසටහන ආරම්භ කිරීමෙහිලා පුරෝගාමී සේවයක් කළ ජෙරල්ඩ් ෂූර්ට අනුව එය තමන් ම අනතුරේ හෙළා ගැනීමක්. 

 එක්සත් ජනපද රජයේ මෙම සුවිශේෂී ප්‍රයත්නය නිසා දරුණු අපරාධ හමුවේ සාක්ෂි දෙන පුද්ගලයන්ට යම් ආත්ම විශ්වාසයක් ලැබෙනවා. අපරාධ නැවැත්වීම කෙරෙහි පුරවැසි සහාය ලැබීමත් ඉහළ යනවා. වැරැද්ද හමුවේ නිවැරදි ආකාරයෙන් පුරවැසි ඉදිරිපත් වීම කෙරෙහි විශ්වාසනීය යාන්ත්‍රණයක් ගොඩ නැඟීමෙන් ඕනෑම රටකට ඉක්මනින් ම යහපත් සමාජයක් බිහි කරගන්නට පුළුවන්. වැරැද්ද හමුවේ අහක බලාගෙන යන පුද්ගලයකු සිටී නම් බොහෝවිට එය පුද්ගලයාගේ අඩුපාඩුවක් නොවිය හැකි යි. වැරැද්දට විරුද්ධ වීමට තරම් ශක්තිමත් යාන්ත්‍රණයක් සමාජගත නොකිරීම එයට හේතුව වන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය: පැරණි අනන්‍යතාව අතහැරි පසු සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ පවුල් අලුත් ජීවිතයකට ඇතුළු වෙනවා - www.thejobnetwork.com 

මූලාශ්‍ර:

www.criminaldefenselawyer.com

edition.cnn.com

people.howstuffworks.com 

Related Articles