Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුතුන් සමඟ එක් ව දරුණු අපරාධ සිදු කළ කේට් බාකර්

ලෝක ඉතිහාසය පුරාවට වඩාත් ප්‍රසිද්ධියට පත්වුණු අපරාධකාරියන් රැසක් හමුවනවා. ඒ අතුරින් සමහර අපරාධකාරියන් සූක්ෂම අයුරින් මනුෂ්‍ය ඝාතන තනි ව ම  සිදු කර තිබෙනවා. තවත් සමහර අපරාධකාරියන් ඝාතන කල්ලිවලට සම්බන්ධ වී විවිධ අපරාධ ක්‍රියාවල නිරත වුණා. ඒ අයුරින් අපරාධකාරියන් ලෙස වඩාත් ප්‍රසිද්ධියට පත්වුණු ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ, වර්ජිනියා හිල්, සහ සිස්ටර් පිංග් වැනි කාන්තාවන් පිළිබඳ ලිපි අප මීට පෙර ඔබ වෙත ඉදිරිපත් කළා.

අද අපගේ ලිපියේ කතා නායිකාව වන කේට් බාකර් හෙවත් මා බාකර් ඊට වඩා වෙනස් විදිහේ අපරාධකාරියක්. ඒ ඇය සිය පුතුන් සමඟ එකතු වී පාතාල කල්ලියක් නිර්මාණය කරගෙන  අපරාධ ක්‍රියාවල නිරත වීම නිසා යි. මෙතැන් සිට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ කේට් බාකර් හෙවත්

ජීවිතයේ මුල් අවධිය 

1873 ඔක්තෝබර් 8 වැනිදා ජෝන් ක්ලාක් සහ එමලින් පාකර් යුවළට දාව දියණියක් උපන්නා. ඔවුන් දෙපළ ඇයට ඇරිසෝනා ඩොනී ක්ලාක් යන නම තැබුවා. එකල ඔවුන් මිසූරි ප්‍රදේශයේ ජීවත් වුණා. ඩොනී ක්ලාක් නම් දැරියට සහෝදර සහෝදරියන් රැසක් සිටියා. ඇය ඔවුන් සමඟ නිතර ම පල්ලියට ගොස් එහි කටයුතුවලට සම්බන්ධ වුණා. කුඩා ඩොනී විවේකයක් ලද සෑම විටකම ගීත ගායනා කිරීමට සහ පියානෝ වාදනය කිරීමට ප්‍රිය කළා.

ඩොනීගේ මාපියන් ඉතාමත් දිළිඳු උදවිය වුණු නිසා ඇයට නිසි පරිදි අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. කුඩා අවධිය පසු කරමින් නව යොවුන් වියට පැමිණෙද්දී ඩොනීගේ ගතිගුණ ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගත්තා. ඇය නපුරු මුරණ්ඩු දරුවකු සේ හැසිරෙන්නට පටන් ගත්තා. එනිසා ඩොනීගේ මාපියන් ඇයට නිතර ම තරවටු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇයගේ නපුරු, මුරණ්ඩු ගතිගුණ තව තවත් වර්ධනය වුණා.

පාතාල කල්ලියකට ආකර්ෂණය වීම 

ඩොනී දැරිය වාසය කළ ගම් ප්‍රදේශයේ සිටි බොහෝ දෙනකුට එතරම් ධනයක් තිබුණේ නැහැ. එනිසා එහි ජීවත් වුණු බොහෝ උදවිය මුදල් සොයා ගැනීම සඳහා නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නිරත වුණා. ඒ අයුරින් කාලය ගෙවී යද්දී ඇයගේ ගම ආශ්‍රිත ව පාතාල කල්ලියක් බිහි වුණා. ජෙසී ජේම්ස් කල්ලිය නමින් හැඳින්වුණු එම කණ්ඩායම නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නිරතවෙමින් එම ගම පුරා මහා භීෂණයක් වපුරා තිබුණා.

එකල එම පාතාල කල්ලිය ගම්මානය හරහා ගමන් කරන ආකාරය හොර රහසේ බලා ගෙන සිටීමට ඩොනී දැරිය පුරුදු ව සිටියා. ඔවුන් සිදු කළ ත්‍රාසජනක ක්‍රියාකාරකම් පිළිබඳ ව වඩාත් උනන්දු වුණු ඩොනී දැරිය ඒවා මහා වීරකම් ලෙසින් සලකනු ලැබුවා. එනිසා ජෙසී ජේම්ස් කල්ලිය ඇයගේ ලෝකයේ වීරයන් බවට පත්වුණා. ඒ අයුරින් දිනෙන් දින එම කල්ලියට ආකර්ෂණය වුණු ඩොනී යම් දිනයක එවැනි ත්‍රාසජනක ක්‍රියාවල නිරත වීමට මහත් ආසාවෙන් සිටියා.

විවාහය 

ඩොනී නිසි පරිදි අධ්‍යාපනයක් නොලැබූ නිසා ඇයට රැකියාවක් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එනිසා අඩු වයසින් ඇය විවාහ කරදීමට  මාපියන් තීරණය කළා. 1892 වසරේ දී ඇය ජෝර්ජ් බාකර් නම් පුද්ගලයා සමඟින් විවාහ වුණා. පාරම්පරික ගොවියකු වුණු ජෝර්ජ් වඩාත් මෘදු ගතිගුණ තිබුණු අහිංසක පුද්ගලයෙක්. විවාහයෙන් පසු ව ඩොනී ක්ලාක් සිය නම කේට් බාකර් ලෙසින් වෙනස් කර ගත්තා. ඔවුන් දෙපළ විවාහ වී වසර 8ක් ඇතුළත පිරිමි දරුවන් සිව් දෙනකු ලැබුණා. එම දරුවන්ට හර්මන්, ලොයිඩ් ,ආතර්, ෆෙඩ්, යන නම් තැබුවා.

ඔවුන් සිව් දෙනා ද කේට් බාකර් මෙන් නපුරු සිතක් තිබුණු දඩබ්බර දරුවන් බවට පත්වුණා. ඒ වන විට පවුලේ අණසක පැවතුණේ කේට් බාකර් සතුව යි. එනිසා දරුවන් පිළිබඳ ව තීන්දු තීරණ ගැනීමේ බලය තිබුණේ කේට් සතුව යි. නපුරු සිතක් තිබුණු දුෂ්ඨ ගැහැනියක වුණු කේට්ට අවශ්‍ය වුණේ සිය දරුවන් ලවා අපරාධ සිදුකරමින් යහමින් මුදල් සොයා ගැනීමට යි. කේට් බාකර්ට අවශ්‍ය වුණේ ඇගේ දරුවන් ද ජෙසී ජේම්ස් කල්ලියේ සාමාජිකයන් මෙන් අපරාධ ලෝකයේ ප්‍රබලයන් වනු දැකීම යි. 

කේට් බාකර්- biography.com

 

අසාර්ථක වුණු පළමු කොල්ලය 

කේට්ගේ පුත් හර්මන් බාකර් එතරම් දුරට අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. එනිසා ඔහු 17 හැවිරිදි වියට එළඹෙන විට ඉබාගාතේ ඇවිදින තරුණයකු බවට පත් ව සිටියා. ඔහුට එවැනි ම තවත් මිතුරකු ද සිටියා. ඒ අයුරින් කාලය ගෙවී යද්දී කේට් සිය වැඩිමහල් පුත්‍රයා වුණු හර්මන් සම්බන්ධ කරගෙන කොල්ලකෑමක් සිදුකිරීමට සැලසුම් කළා. එහි දී ඔවුන් කොල්ලකෑම සඳහා තෝරා ගත්තේ සිය ගම් ප්‍රදේශයට නුදුරින් තිබුණු තරමක් විශාල වෙළෙඳ සලක්. එම කොල්ලය සඳහා හර්මන් සහ ඔහුගේ මිතුරා සහභාගි වුණා. තම මවගේ සැලසුමට අනුව පාන්දර යාමයේ මෝටර් රථයක නැගී අදාළ වෙළෙඳ සල වෙත ගිය හර්මන් සහ මිතුරා සිය රාජකාරිය ආරම්භ කිරීමට සූදානම් වුණා. 

ඔවුන් දෙදෙනා සූක්ෂම අයුරින් භාණ්ඩ සොරකම් කරමින් සිටිය දී එහි සිටි මුරකරුවා පැමිණියා. ඒ මොහොතේ දී දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. එම ශබ්දය ඇසී අසල තිබුණු පොලිස් මුරපොළේ සිටි නිලධාරින් එම ස්ථානයට පැමිණියා. එනිසා හර්මන් සහ ඔහුගේ මිතුරා එම ස්ථානයෙන් පලා ගියා. එහි දී පොලිසිය ඔවුන් ලුහුබැඳ ගියා. පොලිසිය තමන් ලුහුබැඳ එන බව දුටු හර්මන් කලබලයට පත්වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට සිය මෝටර් රථය පාලනය කරගැනීමට නොහැකි වුණා. ඒ සමඟම පාරෙන් ඉවතට ගිය මෝටර් රථයට යට වී පුද්ගලයෙක් තුවාල ලැබුවා. ඊට සුළු මොහොතකට පසුව එතනට පැමිණි පොලිසිය හර්මන් සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගත්තා. 

වසර කිහිපයක නිහැඬියාවක් 

හර්මන් අත්අඩංගුවට ගත් පුවත අසා කේට් කලබලයට පත්වුණේ නැහැ. ඇය සිතුවේ එය හර්මන්ට ඉතාමත් හොඳ අත්දැකීමක් වනු ඇති බවයි. ඒ අයුරින් හර්මන් වසර කිහිපයක් හිර ගෙදර ගත කරද්දී ඔහුගේ සොහොයුරන් වුණු ලොයිඩ් සහ ආතර් නව යොවුන් වියට එළඹෙමින් සිටියා. කේට් එම දරුවන් දෙදෙනා ද සිය අරමුණ  මුදුන්පත් කර ගැනීම සඳහා භාවිත කිරීමට තීරණය කළා.

එම කාල සමය වන විට කේට් බාකර්ගේ සැමියා වුණු ජෝර්ජ් සිය බිරියගේ ක්‍රියා කලාපය පිළිබඳ බෙහෙවින් කලකිරීමට පත් ව සිටියා. එනිසා ඔහු දුර බැහැර ප්‍රදේශයක රැකියාවක් සොයා ගෙන ගියා. ඒ අයුරින් කාලය ගෙවී යද්දී හර්මන් හිරෙන් නිදහස් වුණා. එනිසා වසර කිහිපයක නිහැඬියාවකින් පසුවඅපරාධ ක්‍රියාවලිය යළිත් ආරම්භ කිරීමට කේට් තීරණය කළා. 

 කේට් බාකර් සිය දරුවන් දෙදෙනකු සමඟින්  – allthatisinteresting.com

 

සොහොයුරන් දෙදෙනා අපරාධ ලොවට නැවතත් පිවිසෙයි 

1915 වසර වන විට හර්මන් 22 වැනි වියේ ද, ලොයිඩ් 18 වැනි වියේ ද පසු වුණා. එකල ඔවුන් දෙදෙනා සිය මව ලබා දුන් උපදෙස්වලට අනුව මංකොල්ලකෑම් කිහිපයක් සාර්ථක ව සිදු කළා. ඒ පිළිබඳ ව කේට් මහත් සේ සතුටට පත්වුණා. ඒ අයුරින් කාලය ගෙවී යද්දී හර්මන් සහ ලොයිඩ්පොලිස් අත්අඩංගුවට යළිත්  ගැනුණා. ඉන් පසු ඔවුන් දෙදෙනා බන්ධනාගාර ගත කළා. එලෙස බන්ධනාගාරයේ කාලය ගත කරද්දී මෙම සොහොයුරන් දෙදෙනාට තවත් අපරාධකරුවන් කිහිපදෙනකු හඳුනා ගන්නට ලැබුණා.

එම අපරාධකරුවන් සමඟ හිතවත් වුණු හර්මන් සහ ලොයිඩ් බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි පසුව ඔවුන්ගේ කල්ලියට එකතු වුණා. සිය වැඩිමහල් දරුවන් දෙදෙනා අපරාධ කල්ලියකට සම්බන්ධ වුණු පුවත ඇසීමත් සමඟ ම කේට් බාකර් මහත් සේ සතුටට පත්වුණා. ඒ අතරතුර ආතර් සහ ෆ්රෙඩ් ද යොවුන් වියට එළඹෙමින් සිටියා. එනිසා කේට් සිය පුතුන් එකතු කර පාතාල කල්ලියක් නිර්මාණය කිරීමට තීරණය කළා. එමඟින් යහමින් මුදල් සෙවීම ඇයගේ අභිප්‍රාය වුණා. සිය දරුවන් ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල නිරත වනු දැකීම ඇයගේ හීනයක් වුණා. 

කේට් බාකර් හෙවත් මා බාකර් අල්ලාගැනීම සඳහා නිකුත් කළ දැන්වීමක් – presspubs.com

 

බාකර් සොහොයුරන් එක්ව සිදු කළ අපරාධ 

1920 මුල් භාගය වන විට බාකර් සොහොයුරන් සංවිධානාත්මක කල්ලියක් ලෙසින් අපරාධවල නිරත වෙමින් සිටියා. ඔවුන් ප්‍රධාන වශයෙන් ම අවධානය යොමු කළේ බැංකු මංකොල්ලකෑම් සඳහා යි. ඊට අමතර ව මහා පරිමාණයේ වෙළෙඳ සල් මංකොල්ලකෑම සඳහා ද ඔවුන් අවධානය යොමු කළා. ඒ අයුරින් සිදු කළ මංකොල්ලකෑම්වල දී ඔවුන්ට එරෙහි වුණු ඕනෑම කෙනකු මරා දැමීමට මෙම සහෝදරයන් පසුබට වුණේ නැහැ. එලෙස සිදුකළ සියලු ම අපරාධ සඳහා සැලසුම ඔවුන්ගේ මව වුණු කේට් බාකර් සකස් කර දුන්නා. 

මෙම සහෝදරයන් සිව්දෙනා 1920-1927 කාල සමයේ මංකොල්ලකෑම් විශාල ප්‍රමාණයක් සිදු කළා. එම කොල්ලයන් අතරතුර ඔවුන් අතින් මනුෂ්‍ය ඝාතන කිහිපයක් ද සිදුවුණා. ඔක්ලහෝමා ප්‍රදේශයේ බැංකුවක් කොල්ලකන්නට ගිය අවස්ථාවේ එහි මුරකරු තෝමස් ෂෙරිල් ඝාතනය කිරීම ඊට උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්. මෙම කල්ලිය අතින් පොලිසියේ ඉහළ නිලධාරියකු වුණු හෝමර් ස්පෝල්ඩින් ද මරණයට පත්වුණා. එම වසර 7ක කාලය ඇතුළත මෙම සොහොයුරන් සිව්දෙනා කිහිප වාරයක් බන්ධනාගාර ගත කෙරුණා. එම සෑම අවස්ථාවක දීම කේට් බාකර්ගේ මැදිහත්වීමෙන් ඔවුන් නිදහස් කරගැනීමට හැකි වුණා.

හර්මන්ගේ මරණයත් සමඟින් කල්ලිය බිඳ වැටීම 

කේට් බාකර් ඇතුළු කල්ලිය තවත් විශාල මංකොල්ලයක් සඳහා 1927 ජූලි මාසයේ දී සැලසුම් සකස් කළා. එහි දී ඔවුන්ගේ ඉලක්කය වුණේ ෂයෑන් නගරයේ පිහිටා තිබුණු අමෙරිකානු ජාතික බැංකුවේ ශාඛාව යි. කේට් බාකර් එම කොල්ලය සඳහා මනා සැලසුමක් සකස් කළා. එම බැංකුවට සැලකිය යුතු තරම් පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබුණු නිසා එය සෑහෙන්න අවදානම් ක්‍රියාවක් වුණා. ඒ වන විට බාකර් කල්ලිය අපරාධ විශාල ප්‍රමාණයක් සාර්ථක ව සිදුකර ලබාගෙන තිබුණු අත්දැකීම් නිසා මෙම මංකොල්ලය සාර්ථක ව අවසන් කිරීමට හැකිවනු ඇති බව ඔවුන්ගේ අනුමානය වුණා.

1927 අගෝස්තු 1 වැනිදා බාකර් කල්ලිය සැලසුම් කරගත් පරිදි මංකොල්ලය සිදු කළා. ඒ මොහොතේ එහි කඩා වැදුණු පොලිසිය සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් පොලිස් නිලධාරියෙකු මිය ගියා. එම වෙඩි පහර හර්මන් අතින් එල්ල වුණු නිසා ඔහු දැඩි ලෙස කැළඹීමට පත් ව සිටියා. පොලිස් අත්අඩංගුවට ගැනුණු බාකර් කල්ලියේ සොහොයුරන් සිව්දෙනා බන්ධනාගාර ගත කෙරුණා. ආතර් ඔස්බෝන් නම් එම පොලිස් නිලධාරියා මරා දැමීම හේතුවෙන්  තමන්ට කිසිදු ගැලවීමක් නැති බව වටහා ගත් හර්මන් 1927 අගෝස්තු 29 වැනිදා සිය දිවි හානි කර ගත්තා.

හර්මන් බාකර්ගේ සොහොන් කොත- billiongraves.com

 

හර්මන්ගේ මරණය ආරංචි වීමත් සමඟ ම ඔහුගේ පියා වුණු ජෝර්ජ් බේකර් කම්පාවට පත්වුණා. ඉන් පසු ඔහු සිය බිරිඳ වුණු කේට් ට තදින්ම දෝෂාරෝපණය කළා. එම අවස්ථාවේ දී ජෝර්ජ් සහ කේට් අතර බහින් බස් වීමක් සිදුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ජෝර්ජ් සිය බිරියගෙන් නිත්‍යානුකූලව වෙන්වීමට තීරණය කළා. නොසිතූ අයුරින් හර්මන් මරණයට පත්වීමෙන් පසු ව ඉතිරි වුණු බාකර් සහෝදරයන් තිදෙනාට සැලකිය යුතු තරම් කාලයක් බන්ධනාගාරගත ව සිටින්නට සිදුවුණා. එනිසා බාකර් අපරාධ කල්ලිය බිඳ වැටුණා.

බාකර්-කාර්පිස් කල්ලිය බිහිවීම 

කන්සාස් බන්ධනාගාරයේ රඳවා සිටි කාලයේ ෆ්රෙඩ් බාකර්ට අපූරු මිතුරකු හමුවුණා. ඇල්වින් කාර්පීස් නම් එම පුද්ගලයා නම ගිය අපරාධකරුවෙක්. ෆ්රෙඩ්ගේ හොඳ ම මිතුරකු වුණු කාර්පිස් එක්තරා දිනයක ෆ්රෙඩ්ට අපූරු යෝජනාවක් කළා. ඒ ඔවුන් හිරෙන් නිදහස් වී ගිය පසු අලුතින් පාතාල කල්ලියක් බිහි කිරීම පිළිබඳ යෝජනාව යි.

කාර්පීස්ගේ එම යෝජනාවට ෆ්රෙඩ් එක පයින් ම කැමති වුණා. 1931 මාර්තු 30 වැනිදා ෆ්රෙඩ් සහ කාර්පීස් හිරෙන් නිදහස් වුණා. ඉන් අනතුරු ව ෆ්රෙඩ් සිය මිතුරා ද කැටුව නිවසට ගොස් කේට් බාකර් හමු වුණා. එහි දී කේට් ලබා දුන් උපදෙස්වලට අනුව බාකර්-කාර්පීස් කල්ලිය බිහිවුණා. ඊට වසරකට පමණ පසුව හිරෙන් නිදහස් වුණු ෆ්රෙඩ්ගේ වැඩිමහල් සහෝදරයන් වුණු ලොයිඩ් සහ ආතර් ද පසුව එම කල්ලියට සම්බන්ධ වුණා. එලෙස බිහිවුණු බාකර්-කාර්පීස් කොල්ල කල්ලිය වැඩි කලක් යන්නට පෙර හිස ඔසවන්නට පටන් ගත්තා.

බාකර්-කාපීස් කල්ලිය වුවමනා බවට පළ ව තිබුණු පුවත්පත් දැන්වීමක් – twincities.com

 

සිදු කළ අපරාධ 

1920 දශකයේ බාකර් කල්ලිය කොල්ලකෑම් සිදු කළ ආකාරයට ම බාකර්-කාර්පීස් කල්ලිය ද අති විශාල කොල්ලකෑම් සිදුකළා. පසුව ඔවුන් මිනෙසොටා හි ශාන්ත පෝල් නගරය වෙත සංක්‍රමණය වුණා. ඒ එම නගරය අපරාධකරුවන් සඳහා ආරක්ෂිත ස්ථානයක් වුණු නිසා යි. එකල එහි පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කළ තෝමස් බ්‍රවුන්ගේ අනුග්‍රහය බාකර්-කාර්පීස් කල්ලිය වෙත ලැබුණා. එනිසා ඔවුන් කිසිදු ගැටලුවකින් තොරව අපරාධවල නිරත වුණා.

ටික කාලයක් ගතවන විට මංකොල්ලකෑම්වලින් නොනැවතී පුද්ගලයන් පැහැරගෙන කප්පම් ගැනීමට ද මෙම කල්ලිය පෙලඹුණා. ධනවත්, බීර නිෂ්පාදකයකු වුණු විලියම් හැම් පැහැර ගෙන අමෙරිකානු ඩොලර් ලක්ෂයක් කප්පම් ලෙස ගැනීම සහ ධනවත් බැංකුකරුවකු වුණු එඩ්වඩ් බ්‍රෙමර් පැහැර ගෙන අමෙරිකානු ඩොලර් ලක්ෂ 2ක් කප්පම් ලෙස ගැනීම ඊට හොඳ ම උදාහරණ ලෙසින් දක්වන්නට පුළුවන්. මෙම අපරාධ කල්ලිය 1931-1935 කාල සමයේ දී මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන, පුද්ගල පැහැරගෙනයාම්, කප්පම් ගැනීම් ඇතුළුව අපරාධ රැසක් සිදු කළා. 

බැංකු නිලධාරියා පැහැරගැනීම පිළිබඳව පළවුණු පුවත්පත් වාර්තාව – medium.com

 

FBI නිලධාරින් බාකර්-කාර්පීස් කල්ලිය පිටුපස 

ශාන්ත පෝල් නගරයේ දී බාකර්-කාර්පීස් කල්ලිය 1934 ජනවාරි 17 වැනිදා උදෑසන පැහැර ගත් එඩ්වඩ් බ්‍රෙමර් බලවත් පුද්ගලයෙක්. ඔහුගේ පියා එවකට අමෙරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට්ගේ වඩාත් සමීපත ම මිතුරෙක්. එනිසා බ්‍රෙමර්ගේ පැහැර ගැනීම පිළිබඳ ව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා.

එවිට ඔහුට දැනගන්නට ලැබුණේ වසර කිහිපයක සිට මිනෙසොටාවේ ශාන්ත පෝල් නගරය ආශ්‍රිත ව අපරාධ වැලක් සිදු ව ඇති බව යි. ඒ පිළිබඳ දැන ගැනීමෙන් පසු ජනාධිපති රූස්වෙල්ට් එම අපරාධ මර්නදය කරන ලෙස FBI ප්‍රධානියාට නියෝග කළා. FBI නිලධාරින් කේට් බාකර් ප්‍රමුඛ බාකර්-කාර්පීස් කල්ලිය අල්ලා ගැනීම සඳහා පිඹුරුපත් සකස් කළා. 

අමෙරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලීන්ඩී රූස්වෙල්ට්- history.com

ආතර් බාකර් කොටුවෙයි 

FBI නිලධාරින් ශාන්ත පෝල් නගරය ආශ්‍රිත ව ඔත්තුකරුවන් රඳවා තබමින් බාකර්-කාර්පීස් කල්ලිය පිළිබඳ ව තොරතුරු සොයන්නට වුණා. එම ඔත්තුකරුවන් ලබා දුන් තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වාගෙන ගිය නිලධාරින්ට කල්ලියේ ප්‍රබල සාමාජිකයන් නිතර ම යන එන ස්ථාන පිළිබඳව යම් කිසි හෝඩුවා ලැබුණා.

එලෙස ලැබුණු හෝඩුවා පිළිබඳ ව අවධානයෙන් සිටි FBI නිලධාරින්ට ආතර් බාකර් සම්බන්ධ ව වැදගත් ඔත්තුවක් ලැබුණා. ඒ 1935 ජනවාරි 8 රාත්‍රියේ ආතර් බාකර් එක්තරා නිවසකට පැමිණීමට සූදානමින් සිටින බව යි. එම ඔත්තුවෙන් ලැබුණු තොරතුර නිවැරදි බව සනාථ කර ගැනීමෙන් පසු එම නිවස සමීපයේ සැඟවී සිටි FBI නිලධාරින් ආතර් බාකර් අත්අඩංගුවට ගත්තා. 

කේට් බාකර් ජීවත්ව සිටි නිවස – wikimedia.org

 

අවසාන සටන 

ආතර් බාකර් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී එක්තරා සිතියමක් සොයා ගත්තා. එහි දක්වා තිබුණේ ෆ්ලොරිඩාවේ ඔක්ලවාහා ප්‍රදේශයේ කේට් බාකර් ජීවත් වුණු නිවස සහ ඒ අවට වටපිටාව යි. ඉන් අනතුරු ව FBI නිලධාරින් දින කිහිපයක් ඇතුළත සැලසුමක් සකස් කර කේට් බාකර් ජීවත් ව සිටි නිවස වැටලුවා. ඒ මොහොතේ දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් ද සිදුවුණා. එම වෙඩි හුවමාරුවේ දී කේට් බාකර් සහ ඇයගේ බාල ම පුත් ෆ්රෙඩ් බාකර් මරණයට පත්වුණා. අමෙරිකාව සසල කළ තවත් දරුණු අපරාධකාරියක් ඒ අයුරින් නික්ම ගියා. 

මියගිය කේට්ගේ සහ ෆ්රෙඩ්ගේ සිරුරු – pixels.com

කවරයේ ඡායාරූපය- කේට්ගේ කතාව ඇතුළත් bloody mama චිත්‍රපටයේ අවස්ථාවක්- biffbampop.com

මූලාශ්‍ර:

crimeandinvestigation.co.uk

 allthatsinteresting.com 

medium.com 

biography.com 

Related Articles