Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් තත්ත්වයෙන් ඉවතට?

ඒක පුද්ගල දළ ජාතික ආදායම මත පදනම්ව 2019 ජූලි මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි අදායම් කාණ්ඩයේ රටක් තත්ත්වයට උසස් කරනු ලැබුවා. එය 2019 වසර සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ ද සඳහන් වුණා. පහළ ආදායම් කාණ්ඩයේ සිටි ශ්‍රී ලංකාව 1997 වසරේ දී පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් දක්වා උසස් වන අතර 2019 දී ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් ලෙස නම් කරනවා. ඇමරිකන් ඩොලර් 3,996 සීමාව ඉක්මවමින් 2018 වසරේ දී ඇමරිකන් ඩොලර් 4,060ක ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටමක් කරා ළඟා වීමට හැකි වීම මත ලංකාවට මෙම උසස් වීම ලැබී තිබෙනවා. 

කෙසේ වෙතත්, පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා ළඟා වීමට ශ්‍රී ලංකාව වසර 21ක කාලයක් ගත කර තිබෙනවා. නමුත් 2019 වසර අවසානයේ දී නැවතත් මෙරට ඒක පුද්ගල දළ ජාතික ආදායම අඩු වීම හා 2021 වසරේ දී අපේක්ෂිත ආර්ථික වර්ධනය ද 1.5% තරම් අඩු අගයක පැවතීම, හිමිකර ගත් ඉහළ මැදි අදායම් කාණ්ඩ තත්ත්වය ඉදිරි වසරේ දී නැවතත් අහිමිව යාමට වැඩි ඉඩකඩක් පවතිනවා.

ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණය

2018 වසරේ දී ලෝක බැංකු ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇ.ඩො 4,060ක් ලෙස දැක්වෙනවා (dailynews)

ඒක පුද්ගල දළ ජාතික ආදායම අනුව ලෝක බැංකුව විසින් කාණ්ඩ හතරක් යටතේ රටවල් වර්ගීකරණය කරනවා. ඒ පහළ ආදායම් ලබන රටවල්, පහළ මැදි ආදායම් ලබන රටවල්, ඉහළ මැදි ආදායම් ලබන රටවල්, හා ඉහළ ආදායම් ලබන රටවල් ලෙස යි. 

මෙම වර්ගීකරණයේ දී ඒක පුද්ගල ආදායම අනුව රටවල් ඛාණ්ඩ කරන සීමාව වසරින් වසර වෙනස් වෙනවා (උද්ධමනය වැනි සාධක මත). 2019 වසරේ දී එම කාණ්ඩ හතරේ සීමා පහත පරිදි දක්වා තිබෙනවා. 

  1. පහළ ආදායම් ලබන රටවල් – ඇ.ඩො 1,025ට අඩු – රටවල් ගණන 31 
  2. පහළ මැදි ආදායම් ලබන රටවල්  –  ඇ.ඩො 1,026 – 3,995 අතර – රටවල් ගණන – 47
  3. ඉහළ මැදි ආදායම් ලබන රටවල්  –  ඇ.ඩො 3,996 – 12,375 අතර රටවල් ගණන – 60 
  4. ඉහළ ආදායම් ලබන රටවල් –  ඇ.ඩො 12,375ට ඉහළ – රටවල් ගණන – 80 

ශ්‍රී ලංකාවේ තත්ත්වය 

සෑම වසරකම ලෝක බැංකුවෙන් රටවල් වර්ගීකරණය සිදු කරයි (cdnuploads)

2018 වසරේ දී ලෝක බැංකු ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇ.ඩො 4,060ක් ලෙස දැක්වෙනවා. ඇ.ඩො 3,995 ඉක්මවා ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත් කිරීමට ලෝක බැංකුව තීරණය කරනවා.  

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇ.ඩො 4,060ක් ලෙස දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් 2018 වසරේ ගණනය කළ ඒක පුද්ගල දළ ජාතික ආදායම (ඇ.ඩො 3991) නොවන අතර එය, සෑම වසරක දීම ලෝක බැංකුව විසින් සෑම රටක් සඳහාම වෙන වෙනම ගණනය කරනු ලබන ඒක පුද්ගල දළ ජාතික ආදායමේ අගය යි. ලෝක බැංකුව විසින් සලකා බලන ඒක පුද්ගල දළ ජාතික ආදායම් අගය, මහ බැංකුවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම් අගයට වඩා අඩු හෝ වැඩි වීමේ හැකියාවක් පවතින අතර එය යම් වසරවල අඩුවීමක් මෙන්ම යම් වසරවල වැඩිවීමක් ද පෙන්නුම් කරනවා.

මැදි ආදායම් උගුල 

පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා ළඟා වීමට බොහෝ රටවල් විශාල කාලයක් ගන්නවා (CBSL)

පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා ළඟා වීමට ශ්‍රී ලංකාව වසර 21ක කාලයක් ගත කර තිබෙනවා. එය සමහර නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් හා සැසඳීමේ දී සාපේක්ෂ වශයෙන් දීර්ඝ කාලයක් ලෙස සැලකිය හැකි යි. එබැවින්, මැදි ආදායම් මට්ටම්වල දිගු කාලයක් රැඳී සිටීමට සිදුවීමේ තත්ත්වය, එනම් මැදි ආදායම් උගුලට හසුවීම වළක්වා ගැනීම සඳහා ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ශක්තිමත්ව හා තිරසාරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. 

අඩු ආර්ථික විවිධාංගීකරණය, අනම්‍ය හා කාර්යක්ෂම ශ්‍රම වෙළෙඳපොළ, දියුණු යටිතල පහසුකම් නොමැති වීම, දුර්වල ආයතන හා, අඩු නවෝත්පාදන මට්ටම් යන සාධක හේතුකොට ගෙන ඵලදායීතාවයෙහි සිදුවන පහළ යෑම වැනි කරුණු ප්‍රධාන වශයෙන් මැදි ආදායම් උගුලට හසුවීමට දායක වන බව පර්යේෂණ මගින් පෙන්නුම් කර තිබෙනවා.

උසස්වීම් ලැබූ අනෙකුත් රටවල් 

අනෙකුත් රටවල් (worldbank)

2019 ලෝක බැංකු වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව හැර තවත් රටවල් පහක් උසස්වීම් ලබාගෙන තිබෙනවා. කොමරුස්, සෙනගාල්, හා සිම්බාබ්වේ යන රටවල් තුන පහළ ආදායම් ලබන රටවල් ඛාණ්ඩයේ සිට පහළ මැදි ආදායම් ලබන රටවල් ඛාණ්ඩය දක්වා උසස්වීම් ලබා තිබෙනවා. ජෝර්ජියා හා කොසොවො යන රටවල් දෙක පහළ මැදි ආදායම් ලබන රටවල් ඛාණ්ඩයේ සිට ඉහළ මැදි ආදායම් ලබන රටවල් ඛාණ්ඩය දක්වා උසස්වීම් ලබා තිබෙනවා. 2019 වර්ගීකරණයේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඉහළ ආදායම් ලබන රටවල් කාණ්ඩයේ සිටි ආජෙන්ටිනාව ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩය දක්වා පහත හෙලීම යි. දකුණු ආසියානු රටවල් අතරින් ඉහළ මැදි ආදායම් ලබන රටවල් ලෙස සඳහන් වන්නේ ශ්‍රී ලංකාව හා මාලදිවයින යි (මාලදිවයින, ශ්‍රී ලංකාවට ප්‍රථම මෙම කාණ්ඩයට ඇතුළත් වී තිබෙනවා).

කෙසේ නමුත් 2019 වසරේ අප්‍රේල් 21 වන දා මෙරට සිදු වූ පාස්කු ප්‍රහාර මාලාව හා ස්භාවික ව්‍යවසනකාරී තත්වයන්  හේතුවෙන් 2019 වසරේ ඒක පුද්ගල දළ ජාතික ආදායම 2018 වසරට වඩා අඩු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබෙනවා. 2020 වසරේ ලංකාව ඇතුළු මුළු ලෝකයට ම බලපා තිබෙන කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ඉදිරි ආර්ථික වර්ධන වේගය 2019 වසරටත් වඩා අඩු විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. එවැනි තත්වයක් මත වසර ගණනාවකින් පසුව ළඟා කරගත් ඉහළ මැදි අදායම් කාණ්ඩයේ තත්වය එක් වසරකින් නැවත අහිමිව යාමේ තර්ජනයකට ශ්‍රී ලංකාව මුහුණ පා සිටිනවා.

කවරයේ පින්තූරය - groundviews.

මූලාශ්‍රයයන්: 

Cbsl.gov.lk

Worldbank.org

Related Articles