රැඳවියන් කුරිරු වද ලද යකාගේ දූපතේ සිර ගෙදර 

ප්‍රංශ ගයානාවට අයත් සැල්වේෂන් අයිලන්ඩ් හෙවත් ‘ගලවාගැනීමේ දූපත’ ඈත සිට බලන අයකුගේ නෙත මවන්නේ පාරාදීසයක් බඳු චමත්කාර ජනක චිත්‍රයක්. කෙසේ නමුත් එය ඉතාමත් භයානක වූත්, කටුක වූත් ඉතිහාසයක් දරා සිටින බැව් ලොව බොහෝ දෙනා දන්නේ නැහැ. මීට වසර ගණනාවකට පෙර, එනම් 1852 වසරේ සිට 1953 වසර දක්වා ප්‍රංශ ජාතිකයන් මෙහි සිර කඳවුරක් පවත්වා ගෙන ගියා. මෙහි තත්ත්වය කෙතරම් අයහපත් හා බැරෑරුම් වී ද යත් එහි රැඳවූවන් දහස් ගණනක් එකී කාලය තුළ මිය ගොස් තිබෙනවා.

ඒ මන්දපෝෂණය, රෝග හා අසාර්ථක වූ පැන යාමේ උත්සාහ වැනි දේ නිසා යි. එහි වූ, ජීවත් වන්නට නුසුදුසු තත්ත්වයන්ට මුහුණ දීමට නොහැකි ව මෙලෙස බොහෝ දෙනකු පැනයාමට උත්සාහ දරා ඇති අතර, එම උත්සාහයන් සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් වී ඇත්තේ මරණයෙන්. මේ නිසා ම මේ දූපතට ‘ යකාගේ දූව ‘යනුවෙන් අන්වර්ථ නාමයක් ද පටබැඳී තිබෙනවා.

 යකාගේ දූපත හෙවත් ගලවාගැනීමේ දූපත්- Bernard MAJZA – Getty Images 

යකාගේ දූපතේ සිර කඳවුරට අඩිතාලම වැටීම

ප්‍රංශ ගයානාවේ වෙරළතීරයට සැතපුම් අටක් පමණ ඔබ්බෙන් කැරිබියන් මුහුදේ පිහිටා ඇති යකාගේ දූපත සැබවින් ම ඉතා ආසන්න ව පිහිටා ඇති දූපත් ත්‍රිත්වයක එකතුවක්. මෙහි රඳවා තැබූ සිරකරුවන් තුන්වන නැපෝලියන්ගේ අණට අකීකරු වීමේ සිට මිනිමැරුම් සිදු කළ අය දක්වා වැරදි කළවුන් වනවා. මේ පිරිස අතර ප්‍රංශ සොල්දාදුවකු වූ  ඇල්ෆ්‍රඩ් ඩ්‍රේෆස් වැනි කිසිදු වරදක් සිදු නොකළ පුද්ගලයනුත් වුණා. මේ සියලු දෙනා එකාකාරව ම ගැහැටවලට මුහුණ පෑවා. හරිහැටි ආහාර  හා ඖෂධ නොමැති ව, යටිතල පහසුකම් නොමැති ව, බන්ධනාගාර නිලධාරීන්ගෙන් දරුණු සැලකුම් ලබමින් ජීවත් වන්නට ඔවුනට සිදු වුණා. මෙහි රඳවා තැබූ අයගෙන් නැවතත් සිය ගම් රටවල් බලා යහතින් ගියේ අතළොස්සක් පමණ යි.

1760 දශකයේදී මෙම දූපත් ත්‍රිත්වය හැඳින්වූයේ ‘ගලවාගැනීමේ දූපත්’ලෙස යි. ඒ එකල ප්‍රංශ ගයනාවේ සිටි ප්‍රංශ ජාතිකයන් අතර කහ උණ මාරාන්තික ලෙස පැතිර යද්දී, ඇති හැකි අය සිය දිවි ගලවා ගත්තේ මේ දූපත්වලට යාත්‍රා කර, එහි නතර වී සිටීම නිසා යි. ඔවුන් මෙහි පළමු ඉදිකිරීම් සිදු කළා. කෙසේ නමුත් ඉන් සියවසකට පමණ පසු, එවකට ප්‍රංශයේ පාලකයා වූ තෙවන නැපෝලියන් මේ දූපත්වල පිහිටීම අනුව ඒවා සිර කඳවුරක් ඉදිකිරීමට සුදුසු යැයි තීරණය කළා. 1851 වසරේ දෙසැම්බර් මස ප්‍රංශයේ ඇති වූ දේශපාලනික හැලහැප්පීම්වල ප්‍රතිඵලයක් ලෙස, තමන්ගේ එදිරිවාදීන් ලෙස ඔහු තීරණය කළ පිරිසක් තෙවන නැපෝලියන් මෙම ගලවාගැනීමේ දූපත් වෙත නැව්ගත කරන්නේ දේශපාලනික සිරකරුවන් ලෙස යි.

 තෙවන නැපෝලියන් – connexionfrance.com 

තෙවන නැපෝලියන් ගලවාගැනීමේ දූපත්වල සිර කඳවුරක් තැනීමේ හේතු කිහිපයක් තිබුණා. ඉන් පළමුවැන්න, තමන්ගේ පාලන තන්ත්‍රයට විරුද්ධ අය හා දරුණු අපරාධකරුවන්, පහසුවෙන් නැවත සිය රටට පලා ආ නොහැකි ලෙස රඳවා තබා ගත හැකි ස්ථානයක් වීම යි. දෙවැන්න, කෙමෙන් ප්‍රංශ ගයානාවේ නව ජනාවාස ඇති කිරීම යි. මීට අමතරව ප්‍රංශ ගයානාවේ ප්‍රභූ පැලැන්තියට අඩු වියදමෙන් සේවය කරන සේවකයන් හා කම්කරුවන් ඇති කිරීමත් ඔහුගේ අභිප්‍රායක් වී තිබුණා. මේ අනුව 1852 වසරේදී ප්‍රථම සිරකරුවන් කණ්ඩායම ගලවා ගැනීමේ දූපත් හෙවත් යකාගේ දූපත වෙත සේන්දු වුණා.

සිරකරුවන් ලක් වූ අපහසුතා

යකාගේ දූපතට යන ගමනේ සිට ම එහි යන සිරකරුවන්ට විඳීමට සිදු වූ ගැහැට අපමණ යි. ඔවුන් ප්‍රංශයේ සිට කූඩු වල සිරකොට නැ ව්ගත කර තිබූ අතර, අතරමඟ දී ඉඩකඩ හා ආහාර ගැටලු හේතුවෙන් ඔවුනොවුන් අතර සිදු වූ ගැටුම්වලින් සැලකිය යුතු පිරිසක් මිය ගියා. කලහකාරීන්ට දඬුවම් කිරීමට නැව් බලධාරීන් හුමාලය හා සල්ෆර් යොදා ගත්තා. සිරකරුවන් ප්‍රංශ ගයානාවට සේන්දු වූ විට ඔවුන් මුලින් ම ගෙනගියේ සෙන්ට් ලෝරන්ට් ඩූ මැරොනි නම් නගරයට යි. එහිදී ඔවුන් කාණ්ඩ ගත කෙරුණු අතර සමහරෙක් එහි ම වූ සිර කඳවුරකට ගෙන යන ලද්දේ කම්කරුවන් ලෙස සේවය ලබා ගන්නට යි. වඩාත් දරුණු හා මුරණ්ඩු සිරකරුවන් යකාගේ දූපතට යැවුණා.

 සිරකරුවන් පිරිසක් යකාගේ දූපතට යවමින් (1910)- Bettmann – Getty Images 

යකාගේ දූපතට ගිය සිරකරුවන්ගෙන් සියයට 40 ක් පමණ දෙනා පළමු වසර තුළ මියගියේ ආහාරවල මදකම හා ලෙඩ රෝග නිසාවෙනු යි. මීට බන්ධනාගාර පාලකයන්ගේ දරුණු ක්‍රියාකාරකම් ද බලපෑවා. ඔවුන් කුඩා, අඳුරු කුටිවල රඳවා තැබුණු අතර, ඔවුනට එකිනෙකා හා කතා කිරීම ද තහනම් වුණා. මීට අමතර ව ඔවුනට දුම්බීම, පොත් කියවීම වැනි දේ ද තහනම් වූ අතර, අඳුරු වැටෙන තුරු හිඳ ගැනීම පවා දැඩි දඬුවම්වලට හේතු වුණු කාරණාවක් වුණා. පාලකයන් නිතර ම ඔවුන් වෙත ඇස් ගසා සිටි අතර, ඔවුන්ගේ පැමිණීම සිරකරුවන්ට නොඇඟවෙනු වස් විශේෂ පාවහන් පවා පැළඳුවා. මෙහි ගිලටීනයක් ද වූයේ යම් අයකු ඉතා කලහකාරී ලෙස හැසිරුණහොත් මරණ දඬුවම ලබා දීමට යි.

යකාගේ දූපතට පැමිණි සිරකරුවන්ගෙන් අති බහුතරයකට, තමන්ගේ දඬුවම් කාල සීමාව සාර්ථක ව අවසන් කළත් නැවත ප්‍රංශයට යන්නට ලැබුණේ නැහැ. ඔවුන් සිය දඬුවම් කාලසීමාව හා සමාන කාලයක් නැවතත් ප්‍රංශ ගයානාවේ ගත කළ යුතු වූ අතර, දඬුවම් කාලසීමාව අට වසරකට වඩා වැඩිනම් ජීවිතාන්තය තෙක් ප්‍රංශයට යාම තහනම් වුණා.

 ඇල්ෆ්‍රඩ් ඩ්‍රේෆස්- AP 

ඇල්ෆ්‍රඩ් ඩ්‍රේෆ්ස් ගේ කතාව

ඇල්ෆ්‍රඩ් ඩ්‍රේෆස් යකාගේ දූපතේ සිරගත ව සිටි සුප්‍රසිද්ධ ම පුද්ගලයකු ලෙස සැලකෙනවා. තරුණ ප්‍රංශ හමුදා නිලධරයකු වූ ඩ්‍රේෆස්ට 1894 වසරේදී සිය රටෙහි රහස් හමුදා තොරතුරු ජර්මනියට සැපයූ බවට චෝදනා එල්ල වූ අතර ඇත්තෙන් ම ඔහු එවැන්නක් සිදුකර තිබුණේ නැහැ. කෙසේ නමුත් ඔහුට තිබූ යුදෙව් සම්භවය නිසා ප්‍රංශ රජයෙන් ඔහුට සාධාරණයක් ඉටු වූයේ නැහැ. එම චෝදනාවලට වැරදිකරු ලෙස තීරණය කිරීමෙන් අනතුරු ව ජීවිතාන්තය දක්වා යකාගේ දූපතෙහි ඔහු සිර කර තැබීමට ප්‍රංශ බලධාරීන් පියවර ගන්නවා. ඔහුටත් අන් සිරකරුවන් මෙන්ම එහිදී ඉතා කටුක අත්දැකීම්වලට මුහුණපෑමට සිදුවුණා.

කිසිදු සමාගමයක් නොමැති ව, නරක් වූ ඌරු මස් බුදිමින්, නිදි වර්ජිත ව වසර හතරක් එහි ගෙවා දැමීමට ඔහුට සිදු වෙනවා. මේ අතර ප්‍රංශයේදී ඔහුට එල්ල වූ චෝදනාවලට හා දුන් දඬුවම්වලට එරෙහිව කිහිප දෙනෙක් හඬ නගන්නට වුණා. ප්‍රංශ ලේඛක එමිල් සෝලා ද ඔහු නිර්දෝෂී කර ගැනීමේ සටනට අවතීර්ණ වීම ඩ්‍රේෆස් ගේ වාසියට හේතු වුණා. මේ හේතු නිසා අවසානයේ ප්‍රංශ රජය ඩ්‍රේෆස්ට ‘සමාවක්’ ලබා දීමට තීරණය කළ අතර එය ඩ්‍රේෆස්ට දන්වා යවනවා. එම සමාව තමන් පිළිගන්නේ නම් තමන්ට එල්ල වූ චෝදනා තමන් පිළිගත්තා සේ වන බැව් දැන උන්නත් ඩ්‍රේෆස් මේ සමාව පිළි ගන්නවා. ඒ 1899 වසරේදී යි. යකාගේ දූපතෙන් ඉවතට පැමිණීමෙන් අනතුරු ව ඩ්‍රේෆස් සිය නිර්දෝෂීභාවය වෙනුවෙන් හඬ නැගූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස  1906 වසරේ දී ඔහු සියලු චෝදනාවලින් නිදොස් කෙරෙනවා.

 දෙවරක් පැන ගිය හෙන්රි චැරියර්

හෙන්රි චැරියර් ද යකාගේ දූපතේ සිර දඬුවම් විඳි තවත් එක් සුප්‍රසිද්ධ චරිතයක්. මෙම සිර මැදිරියෙන් පැන යාමට තැත් කරන බොහෝ දෙනා, වෙඩි පහර කා හෝ මුහුදේ ගිලීමෙන් මරණයට පත් වී තිබුණත්, චැරියර් දෙවරක් ම සාර්ථකව ඉන් පැන ගියා.

චැරියර් පැරීසියේ හුන් මැරවරයෙක්. ඔහු යකාගේ දූපතට එවූයේ 1931 වසරේදී යි. ඒ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමෙන් අනතුරුව යි. ඔහු මෙම ස්ථානයට පැමිණෙද්දීත් ඉන් පැන යාම පිළිබඳ සැලසුම් කරමින් සිටියා. ඉක්මනින් ම එය ක්‍රියාත්මක කළ ඔහු දූපතෙන් පිටතට පැන යාමට සමත් වෙනවා. නමුත් ඉක්මනින් ම ඔහු කොටු කරගන්නා එහි බලධාරීන් ඔහු දැඩි ආරක්ෂාව යටතේ, වෙන් කළ කුටියක වසර දෙකක් තබනවා. කෙසේ නමුත් සිය උත්සාහය අත්හැරියේ චැරියර් නොවේ.

හෙන්රි චැරියර්- J. Cuinieres – Roger Viollet-Getty Images

ඔහු තවත් හත් වරක් මින් පැන යාමට උත්සාහ කරනවා. ඒ වාර හත ම අසාර්ථක වූ අතර, ඉන් නොනැවතී ගත් අට වන උත්සාහයේදී සිර ගෙදර තාප්පයෙන් පැන, අසල වූ පොල් ගස් මණ්ඩියක සැඟවෙන්නට ඔහු සමත් වෙනවා. ඉක්මනින් ම පොල් ගෙඩි එක්කාසු කොට පහුරක් සාදාගන්නා ඔහු, එය යාත්‍රා කරවමින් වෙනසියුලාවට පලා යන්නේ දියේ ගිලීමේ හා මෝරුන්ගෙන් සිදුවිය හැකි අනතුරු සියල්ල පරයමිනු යි. වෙනිසියුලාවේ දී විවාහයක් පවා කරගන්නා ඔහු, පසුකාලීන ව යකාගේ දූපතෙහි සිය අත්දැකීම අළලා පොතක් පවා රචනා කරනවා.

ප්‍රංශ රජය 1970 වසරේදී නිල වශයෙන් චැරියර්ට සමාව දෙනවා. ඔහුගේ පොත අනුසාරයෙන් 1973 වසරේදී Papillon නම් චිත්‍රපටයක් නිපදවුණා. 

යකාගේ දූපත අද

1930 දශකයේ අවසානය වන විට යකාගේ දූපතේ සිරකරුවන් විඳින අමානුෂික වධ හිංසා පිළිබඳ ව ලෝකයා දැනුම්වත් වන්නට පටන්ගෙන තිබුණා. මෙයට චැරියර්ගේ පලා යාමත් බලපෑවා. මීට එරෙහි ව ජාත්‍යන්තරයෙන් හඬ නැගෙන්නට පටන්ගත් අතර 1938 වසරෙන් පසු නව සිරකරුවන් එහි යැවීම ප්‍රංශ රජය අත්හිටවූවා. කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධය ඇවිළ යාම නිසා මෙය සම්පූර්ණයෙන් වසා දැමීමට තවත් කාලයක් ගත වුණා. 1946 වසර වෙන තුරුත් අතරින් පතර සිරකරුවන් කිහිපදෙනෙක් එහි යැවුණා. මෙහි අවසන් සිරකරුවන් කිහිප දෙනාද ඉවත් වී ගියේ 1953 වසරේදී යි.

 වර්තමානයේ දක්නට ඇති යකාගේ දූපතේ සිර මැදිරිවල නටබුන් – reddit.com 

 

යකාගේ දූපතෙහි සිර කඳවුරෙහි, එය සක්‍රීය ව පැවතුණු වසර 100 ක පමණ කාලය තුල සිරකරුවන් 80,000 ක් පමණ දෙනා සිට ඇති අතර, ඉන් තුන් කාලක පමණ කොටසක් එහි දී මිය ගියා. එහි බලධාරීන් එම මළසිරුරු මුහුදට අතහැරියේ මෝරුන්ට එය ආහාරයට ගැනීම සඳහා ආරාධනා කිරීමට සීනුවකුත් හඬවමිනු යි. අද වන විට මෙය සංචාරක ආකර්ෂණය දිනා ගත් දූපතක් වන අතර, තවමත් මෙහි වූ සිපිරිගෙදරෙහි නටබුන් දකින්නට හැකි යි. දැන් වන විට එහි වූ සොබා සෞන්දර්ය නැවත වතාවක් කැපී පෙනෙන්නට පටන්ගෙන ඇති මුත්, එහි වූ නටබුන්වල දිරාගිය හා මළ කෑ කොටස් එහි භයානක අතීතය පිළිබඳ ව සිහි කැඳවනවා.

කවරයේ පින්තූරය- යකාගේ දූපතේ නටබුන් - Cayambe - Wikimedia Commons 

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Prisonhistory.net

Thevintagenews.com

Related Articles