Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ පැතිරී යන නව කොරෝනාවෛරසය, ලෝකයම ගිල ගනීවි ද?

චීනයේ මේ වන විට නව කොරෝනාවෛරසයයක් පැතිර යනවා. ඒ හේතුවෙන් දැනටමත් පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව චීන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම වෛරසය පැතිරී යාම ආරම්භ වන්නේ චීනයේ වුහාන් නගරයෙන් (Wuhan). පෙනහළු ආශ්‍රිත ආසාදන මතු වීම නව වෛරසයේ වැළඳුණු පුද්ගලයන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණය ලෙස දකින්න ලැබෙනවා. එය නිවුමෝනියාවෙන් පෙළෙන රෝගීන්ට ඉතා ඉක්මනින් වැළඳිය හැකි බව ද සඳහන්.

මෙම නව කොරෝනාවෛරසයය එක් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝ වන බවක් පළමු දිනවල දී  අනාවරණය වන්නේ නෑ. නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රෝගය සම්ප්‍රේෂණය වන ආකාරය සම්බන්ධව නිශ්චිත නිගමනවලට එළඹීමට තොරතුරු ප්‍රමාණවත් නොවන බව යි. නමුත්, ඉන්පසුව වාර්තා වෙන්නේ වෛරසය එක් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට පැතිර යා හැකි වෛරසයක් බව යි. එම තහවුරු වීමත් සමග ම නව කොරෝනාවෛරසය වඩා භයානක විය හැකි බව විද්‍යාඥයන් විසින් පෙන්වා දෙනවා.

චීනයේ වුහාන් නගරයෙන් ආ නව කොරෝනාවෛරසය

කොරෝනාවෛරසය පැතිරී ගොස් තිබෙන ආකාරය (nyt)

පසුගිය 2019 වසරේ දෙසැම්බර් 12 වන දා සිට මෙම වෛරසය පැතිරීම ආරම්භ වූයේයැ යි සැලකෙන අතර, ඒ සඳහා මූලික වන්නේ චීනයේ වුහාන් නගරය යි. මෙය කොරෝනාවෛරස් පවුලට අයත් නව වෛරසයක් (Wuhan coronavirus) ලෙසත් මේ වන තුරු සොයාගැනීමට නොහැකි වූ වෛරසයක් බවත් අනාවරණය වෙනවා.

මේ වන විට වෛරසය හේතුවෙන් 17 දෙනෙක් පමණ මියගොස් ඇති බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙනවා. වෛරසය වැළඳුණු පිරිස 440ක් පමණ වන බව එහි සඳහන් වන නමුත්, චීනය තුළ වාර්තා නොවුණු රෝගීන් පිරිස දහස ඉක්මවන බව යි සඳහන් වෙන්නේ. මේ වන විට නව වෛරසය බීජිං, ෂැංහයි හා ෂෙන්සෙන් නගර කරා ද පැතිරී ගොස් තිබෙනවා.

තායිලන්තය, ජපානය, දකුණු කොරියාව හා තායිවානය යන රටවල් ද නව වෛරසය සම්බන්ධව දැඩි අවධානයකින් පසු වෙනවා. ඊට අමතරව එක්සත් ජනපදය ද ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසු වෙනවා. ඊට හේතුව වන්නේ තායිලන්තයෙන් රෝගීන් දෙදෙනෙකු, ජපානයෙන් එක් රෝගියෙකු හා දකුණු කොරියාවෙන් තවත් රෝගියෙකු වාර්තා වී තිබීම යි. ඒ, එම රටවල පුද්ගලයන් චීනයේ වුහාන් ප්‍රදේශයේ සංචාරය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යි.

මේ සමග ම චීනයේ වුහාන් නගරය, නව චන්ද්‍ර වර්ෂය සැමරීම සඳහා සංචාරකයන් වෙනුවෙන් විවෘත නොකිරීමට ද බලධාරීන් විසින් තීරණය කර තිබෙනවා. මේ මාසයේ එහි ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන් ප්‍රමාණයක් ගැවසීම වෛරසය පැතිරී යෑමට ප්‍රධාන හේතුවක් වනු ඇතැ යි බලධාරීන් පවසා සිටිනවා.

සාර්ස් කොරෝනාවෛරසය මෙන් ලෝකයම බියෙන් සලිත කරනු ඇති ද?

වෛද්‍ය ප්‍රතිකාර (straitstimes)

කොරෝනාවෛරස් පවුලේ වෛරස වර්ග හයක් මේ වන විට මිනිසාට වැළදෙන බව සොයාගෙන ඇති අතර, නව කොරෝනාවෛරසය හත්වැන්න ලෙස නම් කළ හැකි යි. මීට පෙර ලොව බියෙන් සලිත කළ සාර්ස් (Severe acute respiratory syndrome) ද කොරෝනාවෛරසයක් නිසා ඇති වූ ප්‍රබල වසංගතයක් ලෙස ඉතිහාසගත වී තිබෙනවා. එය ලොව පුරා 8098 දෙනෙකුට ශරීරගත වෙන අතර, ඉන් 775 දෙනෙකු මරණයට පත් වෙනවා. එය ආරම්භ වන්නේත් 2002 වසරේ දී චීනයෙන් වීම ද විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකි යි. 

ඉන්පසුව එනම්, 2012 දී පමණ මැදපෙරදිග මූලික කරගෙන ඇති වූ මර්ස් (Mers – Middle East respiratory syndrome) වෛරසය හේතුවෙන් වාර්තා වූ රෝගීන් ගණන 2500ට ආසන්න වූ අතර, ඉන් 800කට වඩා වැඩි පිරිසක් මරණයට පත් වෙනවා. 

මුඛවාඩම් පැළඳගෙන යන චීන ජාතිකයන් (cnn)

මීට පෙර ලෝකයේ පැතිරී ගිය ඉහත සඳහන් කොරෝනාවෛරස් දෙකට ම මුල් වන්නේ ක්ෂීරපායී සතුන්. මේ වන තුරුත් නව වෛරසයට හේතු වූ සත්ත්වයා සොයාගැනීමට හැකියාවක් ලැබී නෑ. එම සත්ත්වයා නිවැරදිව සොයාගැනීම ප්‍රතිකාර සඳහා ඉතා අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී තිබෙන බව විද්‍යාඥයන් පවසනවා.

වෛද්‍ය කණ්ඩායම් (org)

නව කොරෝනාවෛරසය මැඩ පැවැත්වීම සඳහා රෝගීන් සඳහා ඉක්මන් ප්‍රතිකාර ආරම්භ කිරීමට චීන රජය මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙනවා. රෝගීන් වෙන් වෙන් ව තබා ප්‍රතිකාර කිරීම මඟින් තවදුරටත් එය පැතිර යාම පාලනය කිරීමට ඔවුන් උත්සාහ දරනවා.

කවරයේ පින්තූරය- Sky News

මූලාශ්‍රයයන්:

BBC

DW

Related Articles