Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෞදි අරාබියට තර්ජනයක් වන යේමනයේ යුද්ධය​

යේමනයේ සිවිල් යුද්ධය 2015 සිට මැදපෙරදිග කලාපීය යුද්ධයක තත්ත්වයට පත් ව තිබෙනවා. පසුගිය දිනවල එහි හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබිය වෙත එල්ල කළ ප්‍රහාර කිහිපයක් හේතුවෙන් මෙම යුද්ධය පිළිබඳ අවධානය නැවත ඉහළ ගොස් තිබෙනවා. ඩ්‍රෝන සහ මිසයිල මඟින් වඩා ප්‍රබල ප්‍රතිවාදීන් අපහසුතාවයට පත් කිරීමට සමත් වීමත්, ඉරානය සමග රටවල් කිහිපයකට ඇති එදිරිවාදිකම හේතුවෙනුත් හූතිවරුන් පිළිබඳ කතාබහ වර්ධනය වී තිබෙනවා.

යේමනය තරමක් සංකීර්ණ රාජ්‍යයක්. එහි ජනයා විවිධ ගෝත්‍රයන්ට අයත් වනවා. එමෙන්ම 1990 වන තෙක් එරට උතුරු යේමනය සහ දකුණු යේමනය වශයෙන් රටවල් දෙකක් ලෙස පැවතියා.

යේමනයේ දිගටම විවිධ සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වුණා. අල් කයිඩා සංවිධානය ද කලක් තිස්සේ එහි ක්‍රියාත්මක යි. 2002 දී USS Cole නම් ඇමරිකානු යුධ නැවට පහරදීම, ඔවුන් යේමනයේ දී කළ ප්‍රකට ප්‍රහාරයක් වනවා.

යේමනයේ වර්තමාන සිවිල් යුද්ධයට පාර කැපුණේ 2011 අරාබි වසන්තය සමග යි. බටහිර ගැති ඒකාධිපති පාලකයෙකු ලෙස නම් දරා සිටි අලි අබ්දුල්ලා සාලෙහ්, 1978 සිට එරට ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටියා (1978 සිට උතුරු යේමනයේ ජනාධිපති සහ 1990 සිට ඒකාබද්ධ යේමනයේ ජනාධිපති). ඔහුට එරෙහිව ජනතා උද්ඝෝෂණ හටගත්තා. ඔහු එම උද්ඝෝෂණ හමුවේ ද දිගටම බලයේ රැඳී සිටීමේ උත්සාහයක් ගත්තා.

මෙම උත්සාහය අසාර්ථක වීමට ප්‍රධාන ලෙසම බලපෑවේ හූති ව්‍යාපාරයේ ප්‍රබෝධය යි. සාලෙහ් බලයෙන් පහ කිරීමට අවශ්‍ය වූ කණ්ඩායමට ඔවුන් සන්නද්ධ ශක්තියක් ද ලබා දුන්නා.

අලි අබ්දුල්ලා සාලෙහ්

හූතිවරුන්ගේ නැගීම

අප කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පිළිගත යුතු සත්‍යයක් වන්නේ ‍යේමනය තුළ බලය තීරණය වන්නේ අවි බලය අනුව බව යි. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ හමුවේ බලය රැකගෙන සිටි සාලෙහ් සන්නද්ධ තර්ජනය හමුවේ 2012 දී බලයෙන් ඉවත් වුණා. ඔහුගේ උප ජනාධිපති අබ්ද්-රබ්බු මන්සූර් හාදි නව ජනාධිපති ලෙස පත් වුණා.

එහෙත් මෙම නව රජය සමග ද හූතිවරුන් එතරම් පැහැදී සිටියේ නැහැ. සාලෙහ්ට එරෙහි සටනේ දී ශක්තිමත් ව සිටි ඔවුන් 2015 දී යේමන අගනුවර වන සනා නගරය අල්ලාගත්තා. හාදි රජය දකුණු යේමනයේ ඒඩ්න් වෙත පළා ගියා.

මෙම අවස්ථාවේ සෞදි අරාබිය ප්‍රමුඛ කලාපීය සන්ධානයක් යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව යුද්ධයට අවතීර්ණ වුණා. එක්සත් අරාබි එමීර්, කටාර්, ඊජිප්තුව ආදී රටවල් මෙම සන්ධානයට අයත් වුණා. කටාර් රාජ්‍යය සහ සෞදි අරාබියේ අනෙක් මිත්‍ර රටවල් අතර ඇති වූ අර්බුදයෙන් පසු එම රාජ්‍යය එම සන්ධානයෙන් ඉවත් වුණා.

මෙසේ සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය හූතිවරුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමත් සමග යුද්ධය නව මානයකට ගමන් ගත්තා. ඒ අනුව යේමන සිවිල් යුද්ධයේ ඉතිහාසය 2015 සිට වෙනමම පරිච්ඡේදයක් ලෙස සැලකිය හැකි වෙනවා.

අබ්ද්-රබ්බු මන්සූර් හාදි

හූතිවරුන් යනු කවුද​?

හූති ගෝත්‍රයේ අයෙකු විසින් අරඹන ලද හෙයින් හූති ව්‍යාපාරය ලෙස හඳුන්වන මෙහි නිල නාමය අන්සාර් අල්ලාහ් (දෙවියන්ගේ සහචරයා) යන්න යි. මෙහි මූලාරම්භය වූයේ ෂියා මුස්ලිම් නිකායක් වන සයිදි නිකායේ ජනතා ව්‍යාපාරයක් ලෙස යි. උතුරු යේමනයේ ෂියා මුසල්මානුවන් විශාල පිරිසක් මෙම නිකායට අයත්. සලාෆිවාදය පැතිරීමට එරෙහිව ඇරඹි මෙය පසුව, අලි අබ්දුල්ලා සාලෙහ් පාලනයට එරෙහි ව්‍යාපාරයක් ලෙස වර්ධනය වුණා. 1990 දශකයේ දී ඇරඹුණු හූති ව්‍යාපාරයේ ආරම්භක නායකයා වූයේ හුසේන් බදර්අද්දීන් අල්-හූති නමැත්තා යි. 2004 දී ඔහුව යේමන හමුදාව විසින් ඝාතනය කෙරුණ අතර​ ඉන්පසු, හූති ව්‍යාපාරය සන්නද්ධ අරගලයකට පිවිසුණා. හුසේන් අල්-හූති මියගිය පසු ඔහුගේ සහෝදර අබ්දුල් මලික් අල්-හූති එම ව්‍යාපාරයේ නායකයා වනවා.

හූති ව්‍යාපාරයට ඉරානයේ සහාය ලැබෙන බවට චෝදනා පළ වූවද, ඉරානය එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. නමුත් එම චෝදනාව එල්ල කරන්නන් කියා සිටින්නේ හූති ව්‍යාපාරයට මිසයිල සහ ඩ්‍රෝන ලබාදීමට කටයුතු කරන්නේ ඉරානය බව යි.

හූති ව්‍යාපාරයේ පිරිස් ශක්තිය පිළිබඳව ද විවිධ මත පවතිනවා. ඇතැම් ඇස්තමේන්තු අනුව ඔවුන් සතුව 200,000ක් පමණ වූ සන්නද්ධ අංශයක් සිටිනවා.

යුද්ධයේ ප්‍රධාන කොටස්කරුවෝ​

2015 දී යුද්ධය පුළුල් වන විට සෞදි අරාබිය​, එක්සත් අරාබි එමීර් රාජ්‍යය​, කටාර් සහ ඊජිප්තුව ආදී රටවල් මන්සූර් හාදි රජයට සහාය දැක්වූවා. මේ අතර අලි අබ්දුල්ලා සාලෙහ් විසින් පිහිටුවන ලද මහා ජනතා කොන්ග්‍රසය දෙකඩ වෙමින් කොටසක් හාදි සමග ද, කොටසක් සාලෙහ් සමග ද කටයුතු කිරීමට වුණා. සාලෙහ්, තම පැරණි එදිරිවාදීන් වූ හූති ව්‍යාපාරය සමග සන්ධානගත වෙමින් හාදිට එරෙහිව සටන් ඇරඹුවා.

2017 මැද දී කටාර් රාජ්‍යය සමග සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ගැටුමක් ඇරඹූ හෙයින් එම රාජ්‍යය යුද්ධයෙන් ඉවත් වුණා. පසුකාලීනව ඔවුන් හූතිවරුන්ට සහාය දැක්වූ බවට චෝදනා මතු වනවා.

මේ අතර 2017 දෙසැම්බර් 4 වනදා අලි අබ්දුල්ලා සාලෙහ්, සනා හිදී ඝාතනය කෙරුණා. ඔහු ටික කලක පටන් නැවත සෞදි අරාබිය සමග සන්ධානගත වීමේ සූදානමකින් පසු වූ බව හූතිවරුන් සැක කළා. හූතිවරුන් පරාජය කිරීමට සාලෙහ්ගේ සහාය ලබා ගැනීමට සෞදි අරාබිය බලාපොරොත්තු වුණා. එහෙත් හූතිවරුන් ඔවුන්ට වඩා ඉක්මන් වුණා.

හූතිවරුන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් දිගින් දිගටම සෞදි අරාබියට තර්ජනය කරනවා. ඔවුන් විසින් එල්ල කළ මිසයිල සෞදි අගනුවර වන රියාද් කරා ද ළඟා වී තිබෙනවා. එමෙන්ම මෑතක දී නැගෙනහිර සෞදි අරාබියේ, සෞදි ඇරැම්කෝ තෙල් සංකීර්ණ දෙකකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවල වගකීම ද හූතිවරුන් බාර ගත්තා. නමුත්, ඒ පිළිබඳව ඉරානයට ද චෝදනා එල්ල වනවා.

2019 සැප්තැම්බර් 28 වනදා සෞදි හමුදා සේනාංකයකට පහර දුන් හූතිවරුන් විශාල සෞදි හමුදා සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කළා. මේ පිළිබඳ සෞදි අරාබියෙන් නම් මතු වූයේ නිහඬ පිළිවෙතක්.

වර්තමානය වන විට පැරණි උතුරු යේමනයට අයත් වූ ප්‍රදේශයේ වැඩි කොටසක් තිබෙන්නේ හූතිවරුන් අත යි. වසර පහකට ආසන්න කාලයක් තිස්සේ එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් හූතිවරුන් පරාජය කිරීමට සෞදි අරාබිය සමත් වී නැහැ.

Related Articles