Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රොබර්ට් මුගාබේට බලය අහිමි කළ සිම්බාබ්වේ රටේ හමුදා කුමන්ත්‍රණය​

වසර 37 ක කාලයක් තිස්සේ සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ රොබර්ට් මුගාබේගේ පාලන සමය නිම වන ආකාරයේ කිසිදු ලකුණක් 2017 නොවැම්බර් මාසය ආරම්භයේ දී දක්නට ලැබුණේ නැත​. කෙසේ නමුත් සති තුනක් ඇතුලත ඔහුගේ අතින් බලය ගිලිහී ගියේ නොසිතූ අයුරින්. ඒ, එරට යුධ හමුදාව මැදිහත් වීමෙන් පසු ඇති වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසයි.

මුගාබේ යනු කවුද​?

1924 දී උපන් රොබර්ට් මුගාබේ සිම්බාබ්වේ නිදහස් සටනේ නායකයකු වූ අතර, 1980 දී එරට නිදහස ලැබූ විට එහි පළමු අගමැති බවට පත් වුණා. 1987 දී ඔහු ව්‍යවස්ථා වෙනසකින් පසු ජනාධිපති බවට පත් වුණා.

මුගාබේ (Public Domain)

මුගාබේ පිළිබඳ කොටස් තුනකින් යුත් ලිපි මාලාවක් අප මීට සති කිහිපයකට පෙර පළ කළා. ඔබට පහත සබැඳිවලින් ඒවා කියවිය හැකියි.

මුගාබේගේ පක්ෂය වන සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික එකමුතුව – දේශප්‍රේමී පෙරමුණ (Zimbabwe African National Union – Patriotic Front) තුළ පැරණි නායකත්වය සහ නව නායකත්වය අතර බල අරගලයක් නිර්මාණය වෙමින් පැවතුණා. මෙහිදී පැරණි නායකත්වයෙහි මූලිකත්වය ගත්තේ උප ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා විසින්. ඔහුට සිම්බාබ්වේ ජාතික නිදහස් සටනට සහභාගී වූවන්ගේ සංගමයේ (War Veterans’ Group) සහය හිමිව තිබුණා. මේ අතර අනෙක් පාර්ශවය වූයේ රොබර්ට් මුගාබේගේ බිරිඳ ග්‍රේස් මුගාබේගේ නායකත්වයෙන් යුතු වූ G-40 නම් වූ කණ්ඩායමයි.

රොබර්ට් සහ ග්‍රේස් මුගාබේ (AFP)

පසුගිය නොවැම්බර් 6 වනදා සිම්බාබ්වේ ජනාධිපති මුගාබේ විසින් සිය උප ජනාධිපති වූ එමර්සන් ම්නන්ගග්වා ධුරයෙන් ඉවත් කළා. ඒ සමඟම සිම්බාබ්වේ දේශපාලන ක්ෂේත්‍රය කැළඹී ගියා. ම්නන්ගග්වා රටින් පළා ගිය අතර ඔහු ඉවත් කිරීමෙන් දින කිහිපයකට පසු පැවති රැළියක දී සිය බිරිඳ ග්‍රේස් මුගාබේ උප ජනාධිපති ලෙස පත් කිරීමේ සිය අදහස මුගාබේ ප්‍රකාශ කර සිටියා.

ZANU-PF පක්ෂය තුළ මුගාබේට විශාල ගෞරවයක් තිබුණද ග්‍රේස් මුගාබේ උප ජනාධිපති වනු දැකීමට පක්ෂයේ පැරණි නායකයින් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් පැරණි සාමාජිකයන් අපහසුතාවට පත්ව තිබුණා. ඔවුනට අවශ්‍ය වූයේ ඇය පසෙකට තල්ලු කිරීමයි.

මුගාබේ ඇයව නව උප ජනාධිපති ලෙස පත් කරනු ඇතැයි යන බිය ඔවුනට ඊළඟ පියවර කරා යන්නට බල කළා.

හමුදා ක්‍රියාදාමය​

නොවැම්බර් 13 වනදා සිම්බාබ්වේ හමුදාපති ජෙනරල් කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මෙහිදී ඔහු එක්තරා අරුම පුදුම ප්‍රකාශයක් කළා.

ZANU-PF පක්ෂයේ ඉහළ නිලධාරීන් දඩයම් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළ ඔහු එම ක්‍රියාවලියට වගකිව යුතු අය වෙත දන්වා සිටියේ වහාම එය නවතා දමන ලෙසයි. එසේ නොකළහොත්, හමුදාව මැදිහත් වන බව ඔහු ප්‍රකාශ කළා.

ජෙනරල් කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගා මාධ්‍ය අමතමින් (AP)

රටේ පාලක පක්ෂයට මේ ආකාරයෙන් තර්ජනාත්මක වන ප්‍රකාශයක් හමුදාපති විසින් කරන ලද්දේ කෙසේද යන කරුණ පිළිබඳව ද බොහෝ දෙනා මෙහිදී විමතිය පළ කළා. සිම්බාබ්වේ හමුදා නායකත්වය ද  මුගාබේට සහය දක්වන කණ්ඩායමක් වුණා. නමුත් හමුදාවේ කැමැත්ත වූයේ මුගාබේගෙන් පසුව ම්නන්ගග්වා ජනාධිපති වීම දැකීමයි.

කෙසේ නමුත් මෙම ප්‍රකාශය පිළිබඳව මුගාබේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළා. සත්‍ය වශයෙන්ම ඔහු පෙනෙන්නට සිටියේ නැතැයි කිවහොත් වඩා නිවැරදියි. මේ අතර හමුදාපතිගේ ප්‍රකාශය පිළිබඳ විවිධ අදහස් පළ වුණා.

යුධ හමුදාව මීළඟ පියවර ගන්නා ලද්දේ නොවැම්බර් 14 වනදා රාත්‍රියේ දී යි. එදින යුධ ටැංකි සහ හමුදා භටයන් හරාරේ නගරයේ විවිධ ස්ථානයන් වෙත යවනු ලැබුණා. රජයේ ගුවන් විදුලි සහ රූපවාහිනී සේවා මූලස්ථාන අල්ලාගත් ඔවුන් සිය පියවර පිළිබඳ සිම්බාබ්වේ වේලාවෙන් නොවැම්බර් 15 වනදා උදෑසන 4 ට රූපවාහිනිය ඔස්සේ නිවේදනය කළා.

හමුදා හරාරේ හි වීථිවල​ (Reuters)

මෙම නිවේදනය ප්‍රකාශයට පත් කළ හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ තම පියවර රොබර්ට් මුගාබේට එරෙහිව නොව ඔහු වටා සිටින “අපරාධකරුවන්” ඉලක්ක කරගත් එකක් බවයි. මෙය ග්‍රේස් මුගාබේ සහ ඇගේ සහචරයින් වෙත එල්ල වූ ප්‍රකාශයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු වූයේ නැහැ.

හමුදාව බලය තහවුරු කරයි

ඊට පැය කිහිපයකට පසු වාර්තා වූයේ හමුදාව රොබර්ට් මුගාබේ සමඟ ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවයි. මෙය කුමන්ත්‍රණයක් නොවන බවත්, මුගාබේට එරෙහිව ගත් පියවරක් බවත් හමුදාව දිගින් දිගටම කියා සිටියා. වාර්තා වූ ආකාරයට ඔවුන් මුගාබේට කැමැත්තෙන් බලයෙන් ඉවත් වන ලෙස පවසා ඇති නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර හමුදා ක්‍රියාදාමය හේතුවෙන් කලාපීය රටවල් කලබලයට පත් වුණා. දකුණුදිග අප්‍රිකානු සංවර්ධන ප්‍රජාව (Southern Africa Development Community – SADC) සංවිධානයේ සභාපති වන දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමා හෙළි කලේ තමන් මුගාබේ සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බවත්, ඔහු යහපත් තත්ත්වයෙන් පසුවන බවත්. තව ද, මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට තම නියෝජිතයන් දෙදෙනකු සිම්බාබ්වේ වෙත යවන බව ද ඔහු පැවසුවා. ඒ SADC සභාපති වශයෙන් ඔහුගේ නියෝජිතයන් ලෙසයි.

මේ අතර නොවැම්බර් 15 වනදාම හමුදාව විසින් ග්‍රේස් මුගාබේට හිතවත් ප්‍රබලයින් අත් අඩංගුවට ගැනීම ආරම්භ කළා. මේ අතර අත් අඩංගුවට පත් ආර්ථික කටයුතු ඇමති ඉග්නාෂියෝ චොම්බෝගේ නිවසේ ඇමරිකානු ඩොලර් මිලියන 10,000 ක නෝට්ටු තිබුණු බවට ද චෝදනාවක් එල්ල වුණා.

මුගාබේගේ නිල නිවසෙහි දිගටම සාකච්ඡා සිදුවන බව වාර්තා වුණ ද රටේ ජනතාව තුළ මතුවෙමින් පැවතුණේ දැඩි අවිනිශ්චිතභාවයක්. මේ අතර තත්ත්වය තවත් ව්‍යාකූල වූයේ නොවැම්බර් 17 වනදා හරාරේ විවෘත විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීමත් සමඟයි.

මුගාබේ හරාරේ විවෘත විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී (AP)

කෙසේ නමුත් පක්ෂයේම ග්‍රේස් මුගාබේට එරෙහිව පෙළ ගැසුණ විශාල පිරිසක් මෙන්ම විපක්ෂ කණ්ඩායම් ද මුගාබේට එරෙහි විරෝධතාවක් සංවිධානය කළා. නොවැම්බර් 18 වනදා හරාරේ නගරය විරෝධතාකරුවන් ගෙන් පිරී ගියා. එමෙන්ම බුලවායෝ වැනි වෙනත් නගර වල ද විරෝධතාවන් හටගත් අතර විදෙස්වල සිම්බාබ්වේ තානාපති කාර්යාල ඉදිරියේ ද විරෝධතාවන් පැවැතුණා. මෙම විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ මුගාබේ ඉල්ලා අස්විය යුතු බවටයි.

උද්ඝෝෂකයින් පිරිසක් (Sky News)

නොවැම්බර් 19 වනදා ZANU-PF පක්ෂ මධ්‍යම කමිටුව විසින් මුගාබේ නායකත්වයෙන් ඉවත් කෙරුණා. ඔහු තවමත් රටේ ජනාධිපති වූ නමුත් ඔහුගේම පක්ෂය විසින් ඔහුව ඉවත් කිරීමත් සමඟ මුගාබේ සම්පූර්ණයෙන්ම පාහේ තනි වුණා. මේ අතර ඔහුගේ බිරිඳ සහ කාන්තා අංශයේ නායිකාව වූ ග්‍රේස් මුගාබේ පක්ෂයෙන් නෙරපා දමනු ලැබුණා.

මේ අතර මුගාබේට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා පසුදා, එනම් නොවැම්බර් 20 වනදා සිම්බාබ්වේ වේලාවෙන් මධ්‍යාහ්නය තෙක් ලබා දීමට ZANU-PF පක්ෂ මධ්‍යම කමිටුව තීරණය කළා.

ජාතිය ඇමතීම​

කෙසේ වෙතත් එදිනම රාත්‍රියේ රොබර්ට් මුගාබේ ජාතිය අමතන බව නිවේදනය කෙරුණ අතර ඒ සමඟම රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව මුගාබේ එම කතාව අතරතුරදී තම ඉල්ලා අස් වීම ප්‍රකාශ කරනු ඇති බවයි. එහෙයින් සිම්බාබ්වේ රාජ්‍යයේ පමණක් නොව ලොව අන් රටවලත් විශාල පිරිසක් ඒ පිළිබඳ අවධානයෙන් සිටියා.

නමුත් සියලු දෙනා පුදුමයට පත් කරමින් මුගාබේ එදින ඉල්ලා අස් වූයේ නැහැ. ඒ වෙනුවට ඔහු කියා සිටියේ තමා දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය ද මෙහෙයවීමට බලාපොරොත්තු වන බවයි.

ආපසු සිය රට පැමිණි ම්නන්ගග්වා (Reuters)

මේ අනුව සිම්බාබ්වේ ජනතාව තවත් ව්‍යාකූලත්වයට පත් වුණා. මුගාබේ තනි වූ බව පැහැදිලි වුවත් ඔහු බලය අතහරිනු ඇත්තේ කවදාද යන්න පිළිබඳ ගැටලුවක් මතුව තිබුණා. එමෙන්ම ඔහුගේ බලය මේ වනවිට ජනාධිපති මන්දිරයට පමණක් සීමා වූ තත්ත්වයක තිබුණේ ඔහුගේ අනුගාමිකයන් බොහෝ දෙනෙක් ඔහුට එරෙහි වීමත්, ඉතිරි සුලු පිරිස මේ වන විට අත් අඩංගුවේ සිටීමත් හේතුවෙන්.

මුගාබේ සටන අතහරී

නොවැම්බර් 20 වනදා මධ්‍යාහ්නය වන විට ද මුගාබේ ඉල්ලා අස් නොවූ අතර එදිනම එරට පාර්ලිමේන්තුවට ඔහුට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ගෙනෙනු ලැබුණා. මෙම යෝජනාව නොවැම්බර් 21 වනදා විභාගයට ගැණුනා.කෙසේ නමුත් එම යෝජනාව විභාගයට ගෙන සුලු වේලාවකින් මුගාබේ පාර්ලිමේන්තුවේ කතානායකයා වෙත කුඩා ලිපියක් එවමින් තමන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කළා. එම අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගැබ ඔල්වරසන් හඬින් පිරී ගියා.මෙම නාටකයේ අවසන් ජවනිකාව ලෙස නොවැම්බර් 24 වනදා එමර්සන් ම්නන්ගග්වා සිම්බාබ්වේ හි නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා.

Cover Image: සිම්බාබ්වේ හමුදා හරාරේ නගරයේ බලය තහවුරු කරයි (AP)

Related Articles