Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආර්ථික අර්බුදය හමුවේ කැපකරුවන් සොයන සතුන්වත්ත

රටක ඇති වන ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් තුළ පීඩා විඳීමට සිදු වන්නේ මිනිස් ජනගහණයට පමණක් බව බොහෝ දෙනකුට සිතෙනු ඇත. කෙසේ වෙතත් ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් තුළ ඇති විය හැකි ආහාර සහ වෙනත් යම් යම් භාණ්ඩවල හිඟය නිසා මිනිස් වර්ගයාට පමණක් නොව සතුන්ට පවා පීඩා විඳීමට සිදු වේ.

මේ වන විට ඉතිහාසයේ කිසිදාක නොවූ තරම් උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අපේ රටේ පිහිටා ඇති ජාතික සත්වෝද්‍යානවල ජීවත් වන සත්ත්ව ප්‍රජාව ඉහත කී කරුණ තහවුරු කිරීම සඳහා කදිම නිදසුනකි.

දෙහිවල සත්වෝද්‍යානය – www.businessnews.lk

පවතින ආර්ථික අර්බුදය හමුවේ දෙහිවල පිහිටා ඇති ජාතික සත්වෝද්‍යානයේ ජීවත් වන සතුන්ට ප්‍රමාණවත් තරම් ආහාර ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම අපහසු බව පසුගිය දා වාර්තා විය.

ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට සත්වෝද්‍යානවල ජීවත් වන සත්ත්ව ප්‍රජාව මුහුණපාන ගැටලු සහ ඒවා විසඳීම සඳහා අදාළ බලධාරීන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳ මෙම ලිපියෙන් සොයා බලමු.

සත්වෝද්‍යානයේ රඳවා සිටින ජිරාෆ් –  www.srilankafinder.com

ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යාන

සත්වෝද්‍යානවල සතුන් සිරකර තැබීම පිළිබඳ ව විවිධාකාරයේ මත පළ වී ඇති නමුත් සත්වෝද්‍යාන ගණනාවක් මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ දැකගත හැක. ඒ අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානය ප්‍රධාන තැනක් ගනී. ඊට අමතර ව පින්නවල අලි අනාථාගාරය, පින්නවල එළිමහන් සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය වැනි තවත් සත්වෝද්‍යාන ගණනාවක් මෙරට පිහිටා තිබේ. ඒවායේ මෙරට ස්වාභාවික පරිසරය තුළ දැකිය හැකි සතුන්ට අමතරව විදේශ රටවල දී පමණක් දැකගත හැකි සතුන් විශාල ප්‍රමාණයක් ද රඳවා තිබේ.

ආර්ථික අර්බුදයේ බලපෑම

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවැති සාකච්ඡාවක් අතරතුර දෙහිවල සත්වෝද්‍යානයේ සහ අනිකුත් සත්වෝද්‍යානවල රඳවා සිටින සතුන්ට ආහාර ලබාදීම සඳහා අවශ්‍ය තරම් මූල්‍ය ප්‍රතිපාදන නොලැබෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා සඳහන් කර තිබිණි

. පසුගිය කාලය පුරාවට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉතා පහළ අගයක් ගැනීම සහ ඉන්ධන හිඟය වැනි හේතු නිසා දේශීය සංචාරකයන් ද සත්වෝද්‍යානය නැරඹීමට නොපැමිණීම වැනි හේතු මත එහි ආදායම විශාල ලෙස පහළ ගොස් ඇති බව ද පසුගියදා වාර්තා විය.

සත්වෝද්‍යානයට පැමිණෙන ජනතාව – www.flickr.com

සත්වෝද්‍යානවල ජීවත් වන සතුන්ට අවශ්‍ය ආහාර සහ වෙනත් දෑ මිල දී ගැනීම සඳහා අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන මේ වන විට අවසන් වී තිබේ. ඊට හේතුව අයවැය ඉදිරිපත් කළ කාලය වන විට පැවැති භාණ්ඩ මිල ගණන් මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබීම ඊට හේතුව යි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, දෙහිවල සත්වෝද්‍යානය සහ අනිකුත් සත්වෝද්‍යාන සඳහා අවශ්‍ය ආහාර සපයන පුද්ගලයන්ට රුපියල් මිලියන 59ක හිඟ මුදල් ගෙවිය යුතු බව ද වාර්තා විය. ඉදිරි මාස කිහිපය තුළ සතුන්ට අවශ්‍ය ආහාර මිල දී ගැනීම සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 120ක් පමණ අවශ්‍ය කර තිබේ.

සතුන් සඳහා කැපකරුවෝ

ඉහත කී සාකච්ඡා අතරතුර මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර සතුන් සඳහා කැපකරුවන් හඳුන්වා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු වී තිබිණි. සත්වෝද්‍යානවල රඳවා සිටින සතුන් අතරින් විශේෂයෙන් ම මාංශ භක්ෂක සතුන් සඳහා අවශ්‍ය ආහාර සපයා ගැනීමට විශාල මුදලක් වැය කළ යුතු බැවින් මෙම වැඩසටහන හඳුන්වා දී තිබේ.

සිංහයෙක් මස් කැබැල්ලක් ආහාරයට ගන්නා අයුරු – www.indiatimes.com

මෙහිදී සතුන් රැක බලා ගැනීම සඳහා ඉදිරිපත් වන කැපකරුවන්ට, ආහාර, පෝෂක වර්ග සහ ඖෂධ වැනි දෑ සඳහා අවශ්‍ය ගෙවීම් කළ හැක. කැපකරුවන්ට, සතකුට දිනකට අවශ්‍ය ආහාර පරිත්‍යාග කළ හැකි අතර උපන් දිනය හෝ විවාහය වැනි විශේෂ අවස්ථා සැමරීම සඳහා සතුන්ට රාත්‍රී ආහාරය ලබා දිය හැකි ය. සතුන්ගේ ආහාර සඳහා අනුග්‍රහය දක්වන කැපකරුවන්ට සහතික පත්‍රයක් නිකුත් කිරීමට ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

කෙසේ වෙතත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ දී සතුන් සහ කැපකරුවන් අතර කිසිදු නීතිමය බැඳීමක් නොමැති අතර සතුන් අඛණ්ඩව සත්වෝද්‍යානය තුළම රඳවා තබනු ඇත. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ලියකියවිලි අත්සන් කිරීමක් ද සිදු නොකරන බව යි. මෙය හුදෙක් ම සතුන්ගේ සුබසාධනය පිළිබඳ ව උනන්දුවක් දක්වන පුද්ගලයන්ට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී දායකත්වය ලබා දිය හැකි වැඩසටහනකි.

මෙම වැඩසටහන යටතේ සතුන්ගේ ආහාර සඳහා අනුග්‍රහය දැක්වීමට කැමැත්තක් දක්වන ඕනෑම අයකුට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන අදාළ කටයුතු සම්පූර්ණ කරගත හැක.

පින්නවල එළිමහන් සත්වෝද්‍යානය – www.bernardtours.com

නව සංකල්පයක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පසුගිය දිනෙක මෙම ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ මේ අයුරිනි:

මේ වන තෙක් අපි ක්‍රියාත්මක කළ ඉතාමත් සාර්ථක ව්‍යාපෘතිවලින් එකක් බවට මෙය පත් වෙයි කියල අපි හිතනවා. මෙය ශ්‍රී ලංකාවට තරමක් අලුත් දෙයක්, නමුත් මේ ක්‍රමවේදය ලෝකයේ බොහෝ රටවල දැනටමත් ක්‍රියාත්මක වෙනවා. සතුන්ට ආදරය කරන, ඔවුන්ගේ යහපැවැත්ම ගැන සැලකිලිමත් වෙන ඕනෑම අයකුට මේ වැඩසටහන යටතේ ඔවුන් කැමති සතකුගේ කැපකරුවා වීමේ හැකියාවක් තිබෙනවා.”

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන සාකච්ඡා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති නමුත් එය පසුගිය කාලය පුරාවට ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව යි. එබැවින් ලොව අනිකුත් රටවල ක්‍රියාත්මක වන මීට සමාන ව්‍යාපෘති පිළිබඳ ව ද අධ්‍යයනය කර ඉදිරි දින කිහිපය තුළ මෙය ක්‍රියාත්මක කළ හැකි බව ඔහු පැවසුවේ ය.

පසුගියදා උපත ලැබූ ව්‍යාඝ්‍ර පැටවු – dailymirror.lk

වෙනත් විකල්ප

ආර්ථික අර්බුදය හමුවේ සතුන්ට ආහාර සැපයSමේ දී උද්ගත වී ඇති සහ ඉදිරියේ දී ඇති විය හැකි ගැටලු මගහරවා ගැනීම සඳහා කැපකරු ව්‍යාපෘතියට අමතර ව වෙනත් ව්‍යාපෘති කිහිපයක් ද ක්‍රියාත්මක කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ඒ යටතේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති ගෝනපොළ පිහිටි ගොවිපොළේ මීට පෙර වගා කළ ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් එළවළු, කෙසෙල් වැනි පලතුරු, තණකොළ සහ විවිධ ධාන්‍ය වර්ග වගා කිරීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව සත්වෝද්‍යාන සතු, භාවිතයට නොගන්නා ඉඩම්වල ද සතුන්ට අවශ්‍ය එළවළු සහ පලතුරු වැනි දෑ වගා කිරීමට ද සැලසුම් කර තිබේ.

සත්වෝද්‍යානයේ සිටින මුවෝ – dailymirror.lk

 පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශය යටතේ සතුන්ට ලබා දෙන ආනයනික ආහාර වෙනුවට දේශීය ව සපයා ගත හැකි ආහාර ලබා දීම සම්බන්ධයෙන් ද මේ වන විට අවධානය යොමු වී ඇත.  ත්වෝද්‍යාන තුළ ජීවත් වන, අධික ලෙස අභිජනනය වූ මුවන් සහ ගෝනුන් වැනි දේශීය සතුන් වනාන්තරවලට නැවතත්  මුදා හැරීම පිළිබඳව ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

කවරයේ ඡායාරූපය- ආර්ථික අර්බුදය හමුවේ සතුන්ට ආහාර ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම දුෂ්කර වී ඇත - www.dailymirror.lk

මූලාශ්‍ර:

www.ceylontoday.lk

www.dailymirror.lk

www.sundaytimes.lk

ජනමාධ්‍ය වාර්තා

Related Articles