Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘99942 Apophis’ මිහිතලය වනසා දමයිද?

ලෝක විනාශය ගැන විවිධ අය විවිධ පුරෝකථන ඉදිරිපත් කරනවා. අනාවැකි පවසනවා. ඉතිහාසය පුරාම විවිධ කාලයන්හීදී ලෝක විනාශය සිදුවේ යැයි මිනිස් වර්ගයා බලාපොරොත්තු වූ අවස්ථා හමු වෙනවා. මේවා සමහරක් කිසිදු විද්‍යාත්මක පදනමක් නැති දේ වන අතර සමහරක් ඒවා විද්‍යාත්මකව සලකන කල්හී සැබවින්ම සිදුවිය හැකි දේවල්.

ලෝක විනාශය හෝ මිනිසා මිහිමතින් වඳ වී යාමට අභ්‍යාවකාශයෙන් පැමිණෙන ග්‍රාහකයක් හේතු විය හැකි බව පෙර කී විද්‍යාත්මක පසුබිමක් සහිත මතයන්ගෙන් ප්‍රමුඛතම එකක්. පෘථිවිය සම්භවය වූ කාලයේ පටන් විවිධ ග්‍රාහක පෘථිවිය මත ගැටී තිබෙන බවට වර්තමානය වන විට විද්‍යාත්මකව ඔප්පු වී තිබෙනවා. එමෙන්ම ඩයිනෝසරයින් මිහිමතින් වඳ වූයේත් ග්‍රාහක ඝට්ටනයක ප්‍රතිඵලයක් වශයෙනුයි.

සුවිශාල ග්‍රාහක කැබැල්ලක් පෘථිවියේ ගැටීමට පැමිණියහොත් වර්තමානය වන විටත් එහි දිශානතිය වෙනස් කළ හැකි තාක්ෂණයක් අප සතුව ඇති බව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකියි. ඒ නිසා එවැන්නක් පෘථිවි පෘෂ්ඨය හා ගැටීමේ අවදානම පිළිබඳව විද්‍යාඥයින් නිරන්තරයෙන් අවධානයෙන් සිටිනවා.

මෙවැනි ග්‍රාහක කැබලි විශ්වය පුරාම හමු වෙනවා-1zoom.net

අභ්‍යාවකාශයේ පෘථිවියට සුවිශාල හානියක් කළ හැකි මට්ටමේ ග්‍රාහක කැබලි නිරන්තරයෙන් සැරිසරනවා. නමුත් වාසනාවකට මෑත ඉතිහාසයේ එවැන්නක් පෘථිවිය හා ගැටීමක් පිළිබඳව වාර්තා වෙන්නේ 1908 වසරේ සිදු වූ ටුංගුස්කා සිද්ධිය පමණයි. විද්‍යාඥයින් පෘථිවිය සමීපයෙන් ඇදී යන මේ පන්නයේ ග්‍රාහක ගැන පර්යේෂණ සිදු කර එහි ගමන් මාර්ගය පුරෝකථනය කරනවා. බොහෝ විට ඒවා ‘හානිදායක නොවන’ කුලකයට වැටීම සිදු වූවත් 21 වන සියවසේ මුල් භාගයේ හඳුනාගත් ග්‍රාහකයක් විද්‍යාඥයින්ගේ පමණක් නොවේ ලෝකයේ සමස්ත ජනතාවගේම ඉහ මොළ රත් කිරීමට සමත් වූවා.

මොකක්ද මේ 99942 Apophis?

පෘථිවිය අසලින් ඇදී යාමට නියමිත 99942 Apophis  නම් පාෂාණමය ග්‍රාහකය දැනට ගණනය කර ඇති පරිදි මීටර 370 ක් තරමේ විශ්කම්භයකට උරුමකම් කියන අතර ටොන් මිලියන 27 ක පමණ බරින් යුක්ත වෙනවා. මෙය ක්‍රි.ව 2029 හා 2036 යන වසර වල පෘථිවියට ඉතා ආසන්නයෙන් ඇදී යන අතර එය යම් හෙයකින් පෘථිවියේ ගැටුණහොත් ජනනය වන ශක්තිය ටී.එන්.ටී පුපුරන ද්‍රව්‍ය ටොන් මිලියන 880ක් පුපුරවා හැරීමට  සමාන බව හඳුනාගෙන තිබෙනවා. මෙය දළ වශයෙන් හිරෝෂිමාවට පතිත කළ පරමාණු බෝම්බය මෙන් 65,000 ගුණයක් තරම් ප්‍රබල වන අතර සැතපුමකට වඩා පළලින් යුතු හා මීටර 518 ක ගැඹුරින් යුතු ආවාටයක් මිහිමත නිර්මාණය වනු ඇති. මෙයින් මනුෂ්‍ය ප්‍රජාවේ පැවැත්මට ඇති වන බලපෑම මෙතෙක් යැයි කිව නොහැකියි.

හඳුනා ගැනීම හා ගණනය කිරීම්

express.co.uk

ක්‍රි.ව 2004 ජුනි මස 19 වනදා විද්‍යාඥයින් පිරිසක් විසින් පෘථිවිය අසලින් ඇදී යාමට නියමිත ප්‍රමාණයෙන් මදක් විශාල ග්‍රාහකයක් හඳුනා ගන්නවා. එය 2004 MN4 ලෙස නම් කෙරුණු අතර 2004 වසරේ දෙසැම්බර් මස 21 වනදා පෘථිවියට කිලෝමීටර 14,410,000 ක් හෙවත් අභ්‍යාවකාශ ඒකක 0.96ක් පමණ දුරකින් ඇදී යනවා. එය නැවත නැවතත් පෘථිවිය අසලින් ඇදී යාමට හැකි බව වටහාගත් ඔවුන් මේ ග්‍රාහකය 99942 Apophis යනුවෙන් නම් කර එහි ගමන් මාර්ගය පිළිබඳ වැඩිදුර පර්යේෂණ හා ගණනය කිරීම් සිදු කිරීමට පටන් ගන්නවා.

අනතුරක සේයාවක්

සූර්යයා වටා යාමට දින 324ක් ගන්නා 99942 Apophis ග්‍රාහකය 21 වන සියවස තුළදී පෘථිවිය ආසන්නයෙන් කිහිප විටක්ම ගමන් කිරීමට නියමිත අතර මූලික ගණනය කිරීම් වලදී එය 2029 වසරේ අප්‍රේල් මස 13 වන සිකුරාදා පෘථිවියට සැතපුම් 18,600ක් තරම් දුරකින් ගමන් කිරීමට නියමිත බව හෙළි වුණා. අභ්‍යවකාශයේ යම් වස්තූන් දෙකක් අතර දුර සැලකීමේදී එය ඉතා කුඩා දුරක් හැටියට සැලකෙන අතර පෘථිවියත් චන්ද්‍රයා අතරත් සැතපුම් 238,900 ක දුරක් තිබෙනවා. මෙය හඳුනාගත් මූල්ම කාලයේදී 2029 වසරේදී එය පෘථිවියෙහි ගැටීමට 2.7% ක ඉඩක් තිබෙන බව ප්‍රකාශ වුණු අතර එය ග්‍රාහකයක් පෘථිවිය සමඟ ඝට්ටනයක් ඇති වී විනාශයක් සිදු වීමේ අවදානම පෙනවන ටොරිනෝ පරිමාණයෙහි එතෙක් මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටම වන ‘4 වන මට්ටමෙහි’ වර්ගීකරණය කරන්නට යෙදුණා.

Apophis 2029 ග්‍රාහකයේ ප්‍රමාණය-freerepublic.com

පසුකාලීනව සිදු කළ වැඩිදුර පර්යේෂණ මඟින් සනාථ වූයේ එය 2029 වසරේදී පෘථිවියේ ගැටීමට ඇති ඉඩ ප්‍රස්ථාව කලින් සිතා සිටියාට වඩා ඉතා අල්ප බවයි. කෙසේ නමුත් ඉන් පසුව තවත් දෙබැම රැළි ගන්වන සොයා ගැනීමක් කිරීමට විද්‍යාඥයින් සමත් වන්නේ මේ අතරයි. එනම් 2029 දී Apophis ග්‍රාහකය පෘථිවිය හා ඝට්ටනය වීමේ සම්භාවිතාවය ඉතා අවම වූවත් එය යම් හෙයකින් පෘථිවි ගුරුත්වයට හසු වී සිය දිශානතිය වෙනස් කරගතහොත් ඊට හරියටම වසර 7 කට පසු හෙවත් 2036 වසරේ අප්‍රේල් මස 13 වනදා පෘථිවිය හා ගැටෙන බවයි. මේ සඳහා ග්‍රාහකය අවකාශයේ යම් විශේෂිත ස්ථානයකින් ගමන් කළ යුතු වෙනවා. මුලදී මෙලෙස ග්‍රාහකය 2036 දී පෘථිවියේ ගැටීමට නම් 2029 දී ගමන් කළ යුතු පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය බලපවත්වන ‘ගුරුත්වාකර්ෂණ යතුරු සිදුරෙහි‘ (Gravitational Keyhole) ප්‍රමාණය සැලකිය යුතු මට්ටමක පළලකින් යුතු යැයි අනුමාන කර තිබුණත් වඩා සියුම් ගණනය කිරීම් කිහිපයකින් අනතුරුව පසුකාලීනව එහි පළල කිලෝමීටරයකටත් වඩා අඩු බව ප්‍රකාශ කෙරුණා. තවදුරටත් තාරකා විද්‍යාඥයින් මේ ‘අහසින් එන මාරයා’ සම්බන්ධව පර්යේෂණ සිදු කළ අතර ඔවුනට අනාවරණය කර ගැනීමට හැකි වුණේ 2036 දී මෙය සිතූ තරම් පෘථිවියට ළඟා වීමට ඇති සම්භාවිතාවය ඉතාමත් අල්ප බවයි.

අනාගතයේදී ඇති විය හැකි තත්ත්වයන්

ලිපියෙහි පෙර සඳහන් කළ පරිදි 99942 Apophis  ග්‍රාහකය එළැඹෙන සිය වසර තුළ පමණක් පෘථිවියට ආසන්නයෙන් කිහිප විටක්ම ගමන් කිරීමට නියමිතයි. තාරකා විද්‍යාඥයින් පවසන අන්දමට ඒ කිසිදු වතාවක එය පෘථිවිය හා ගැටීමේ සැලකිය යුතු සම්භාවිතාවයක් මේ වන විට සිදු කර ඇති ගණනය කිරීම අනුව නොපෙන්වන බවයි. කෙසේ නමුත් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ 2029 හා 2036 වසර ගැන වැඩි නිවැරදිතාවයකින් යුතුව තමන්ට අනාවැකි පැවසිය හැකි මුත් ඈත අනාගතය සම්බන්ධයෙන් ඒ තරම් නිවැරදි අනුමාන ඉදිරිපත් කළ නොහැකි බවයි. කාලයාගේ ඇවෑමෙන් මේ ග්‍රහ වස්තු වල චලිතයෙහි යම් කුඩා හෝ වෙනසක් සිදුවීමේ සම්භාවිතාවය බැහැර කළ නොහැකි බවත් ඒ අනුව ග්‍රාහකය තව දුරටත් පෘථිවියට ආසන්න විය හැකි බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

wikileaksnews.co

Apophis ග්‍රාහකය වර්තමානය වන විට ටොරිනෝ පරිමාණයට අනුව වර්ගීකරණය කර තිබෙන්නේ එතරම් අනතුරුදායක නොවන එකක් හැටියටයි.  කෙසේ නමුත් තව වසර ගණනාවකට පසුව එහි තත්ත්වය කෙසේ වේ දැයි වර්තමාන තාක්ෂණයට අනුව කිසිවෙකුටත් නිශ්චිතවම කිව නොහැකියි.

කවරයේ පින්තූරය -inverse.com

Related Articles