ලෝක ආහාර අර්බුදයට ඇල්ගීවලින් විසඳුම්?

 මිනිසුන් ලෙස අප, මේ වනවිට අර්බුද රාශියකට මුහුණ දෙමින් සිටිනවා. ඒ සඳහා විසඳුම් ද සොයමින් පවතිනවා. ආහාර අර්බුදයත් එවැන්නක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලෝකය පුරා මිලියන 800 ක මිනිසුන් මන්දපෝෂණයෙන් මේ වනවිට පෙළෙනවා. එම සංඛ්‍යාවට තවත් බිලියන 2-3 අතර සංඛ්‍යාවක් 2050 වර්ෂය එළඹෙන විට එකතු වේයැ යි අපේක්ෂා කරනවා. ලෝක ආහාර අර්බුදය හමුවේ විසඳුම් සෙවීම යනු සැමට ම ප්‍රමාණවත් ආහාර වේලක් ලැබීමට සැලැස්වීම පමණක් නොවේ. යහපත් සෞඛ්‍යයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු සමබර ආහාර වේලක් සියලු පුද්ගලයන්ට ලැබීමට සැලැස්වීමත්  මෙම අරමුණේම කොටසක්.

මළ කලාප බවට පත් වූ කෘෂි භූමි 400 ක් 

වර්තමානයේ කෘෂිකර්මාන්තය සඳහා විශාල ඉඩම්, ජලය සහ බලශක්තිය අවශ්‍ය වන අතර, පරිසර දූෂණය සහ දේශගුණික විපර්යාස කෙරෙහි කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් බලපා තිබෙනවා. දිනෙන් දින වැඩිවන ගෝලීය ජනගහනයට ආහාර සැපයීමේ දී අපගේ වර්තමාන ආහාර නිෂ්පාදන පද්ධතිය යම් යම් සීමාවලින් ඔබ්බට යෑම වැළැක්විය නොහැකි යි. එක් ගැටලුවක් විසඳන්නට ගොස් තවත් ගැටලු රාශියක් ඒ අනුව නිර්මාණය වෙනවා. උදාහරණයක් ලෙස කාලාන්තරයක් තිස්සේ රසායනික පොහොර යෙදීම නිසා ජීව විද්‍යාත්මකව මළ කලාප බවට පත් වූ කෘෂි භූමි 400 ක් පමණ ලොව පුරා විසිරී තිබෙනවා.

මෙම ගැටලුවට පිළියමක් ලෙස විකල්ප ආහාර නිෂ්පාදන පද්ධතියක් සහ විකල්ප ආහාර ප්‍රභව කෙරෙහි යොමු විය යුතු බව විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව ලෝක ආහාර අර්බුදය හමුවේ ඇල්ගී යොදා ගත හැකි අන්දම ගැන දැන් අධ්‍යයන සිදු වෙනවා.

ක්ලෝරෙල්ලා කියන්නේ ආහාර අතිරේක සඳහා බහුලව යොදා ගන්නා ක්ෂුද්‍ර ඇල්ගා කාණ්ඩයක් – unrexparis.com 

ක්ෂුද්‍ර ඇල්ගී

ඇල්ගී, ක්ෂුද්‍ර ඇල්ගී සහ මහා ඇල්ගී ලෙස වර්ග වෙනවා. මහා ඇල්ගී කියන්නේ සත්‍ය කඳ, මුල්, පත්‍ර ලෙස විභේදනය වී නොමැති පහත් ශාක කොට්ඨාශයක් ලෙස සැලකිය හැකි ජීවින්. ක්ෂුද්‍ර ඇල්ගී යනු අන්වීක්ෂීය, ඒක සෛලික, ඇල්ගී විශේෂයි. මේ ක්ෂුද්‍ර ඇල්ගී ස්වාධීන ව හෝ කොලණි ආකාරයෙන් ජීවත් වෙනවා. මහා ඇල්ගී කාණ්ඩයේ සාමාජිකයන් අතීතයේ පටන් ම ලෝකයේ විවිධ ආහාර සංස්කෘතිවල දක්නට ලැබුණත්, ක්ෂුද්‍ර ඇල්ගී, ආහාරය වෙනුවෙන් එක් කර ගන්නා අන්දම ගැන අදහසක් මිනිසාට පැමිණියේ ලෝකයේ වර්ධනය වෙමින් පවතින ආහාර අර්බුදයත් සමඟ යි. 

 මිරිදිය සහ කරදිය පරිසර පද්ධති ද්විත්වයේ ම ජීවත් වෙන ක්ෂුද්‍ර ඇල්ගාවන් පෝෂණ සංඝටකවලිනුත් ඉතා පොහොසත්. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, අත්‍යවශ්‍ය මේද අම්ල, විටමින්, A , D සහ E වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් ක්ෂුද්‍ර ඇල්ගීවල දක්නට ලැබෙනවා. මේ වනවිටත් ක්ෂුද්‍ර ඇල්ගාවන් මිනිස් සහ සත්ත්ව පරිභෝජනය උදෙසා ලෝකයේ වාණිජ මට්ටමෙන් වගා කෙරෙනවා. ඒ අතරින් “ක්ලෝරෙල්ලා”සහ “ස්පිරුලිනා” කාණ්ඩයේ ක්ෂුද්‍ර ඇල්ගාවන් ප්‍රමුඛ වෙනවා. කෙසේ නමුත්, ලෝක ආහාර අවශ්‍යතාව හමුවේ ක්ෂුද්‍ර ඇල්ගී ප්‍රධාන ආහාර ප්‍රභවයක් බවට පත් කිරීම තවමත් තිබෙන්නේ ආරම්භක අවදියේ.

ජපානයේ ඇල්ගී විශේෂයක් භාවිත කොට තැනූ ආහාරයක් – asiancaucasian.com 

වගා කරන්නේ කොහොමද?

ඇහැටවත් නොපෙනෙන ජීවින් පිරිසක් මුළු ලොවක් ම පෝෂණය සඳහා යොදා ගන්නේ කොහොම ද? ඔවුන් ආහාරයක් බවට හරවා ගන්නේ කොහොම ද? මේ සඳහා දැන් තාක්ෂණික ක්‍රම කිහිපයක් ලෝකයේ භාවිතා වෙනවා. අධික වර්ධන වේගය නිසාත්, කුඩා ඉඩ ප්‍රමාණයකින් ලබා ගත හැකි වැඩි අස්වැන්න නිසාත්, ඇල්ගී ආහාර අර්බුදයට සාර්ථක විසඳුමක් වීමේ ලක්ෂණවලින් පොහොසත් ආහාර ප්‍රභවයක් වීමේ වැඩි හැකියාවක් තිබෙනවා. වර්ධනය සඳහා ඒවාට අවශ්‍ය සාධකත් අවම යි.

 ක්ෂුද්‍ර ඇල්ගාවන් වාණිජ වශයෙන් වගා කරන ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. කරදිය හෝ මිරිදිය භාවිත කරමින් විවෘත පොකුණු තුළ වගා කිරීම, මුහුදු ජලය හෝ කිවුල් දිය අඩංගු “ෆොටෝබයෝරියැක්ටර්” නම් සංවෘත, විනිවිද පෙනෙන නළවල ක්ෂුද්‍ර ඇල්ගාවන් වගා කිරීම සහ, සීනි ද්‍රාවණයක් බලශක්තිය ලෙස භාවිත කරමින් අඳුරු, මිශ්‍රණ කුටි තුළ ක්ෂුද්‍ර ඇල්ගී වගා කිරීම, යන ක්‍රමවේද වර්තමානයේ ප්‍රචලිත වී තිබෙනවා. උදාහරණ වශයෙන්, එක්සත් ජනපදයේ, ටෙක්සාස් ප්‍රාන්තය තුළ කාබන් ඩයොක්සයිඩ් එකතු කළ එළිමහන් පොකුණු තුළ වාණිජ පරිමාණයෙන් ක්ෂුද්‍ර ඇල්ගී වගා කිරීම සිදු වෙනවා. “ෆොටෝබයෝරියැක්ටර්” ක්‍රමවේදය මගින් ක්ෂුද්‍ර ඇල්ගී වගා කිරීම අයිස්ලන්තය තුළ ප්‍රචලිත යි. මෙහිදී අයිස්ලන්තය හිරු එළිය වෙනුවට ලාබදායී, නැවත භාවිත කළ හැකි බලශක්තියෙන් ක්‍රියාත්මක න LED ආලෝකය භාවිත කරනවා.

ෆොටෝබයෝරියැක්ටර තුළ පවත්වා ගෙන යන ක්ෂුද්‍ර ඇල්ගී වගාවක් – aquaculturealliance.org 

 ෆොටෝබයෝරියැක්ටර් ක්‍රමවේදය සඳහා අවශ්‍ය වන්නේ ඉතා අවම ජල ප්‍රමාණයක් සහ ඉඩ ප්‍රමාණයක්. මෙම ප්‍රතික්‍රියාකාරක සිරස් අතට තැබූ ලෙගෝ කුට්ටි හා සමාන වෙනවා. සංවෘත පද්ධතියක් නිසා ජලයේ වාෂ්පීකරණයත් අවම යි.

 සතුන්, ශාක සහ ඇල්ගීවලින් නිෂ්පාදනය වන ප්‍රෝටීන් ප්‍රමාණය සංසන්දනය කිරීම සඳහා යොදා ගත හැකි මිනුමක් වන්නේ, අත්‍යවශ්‍ය *ඇමයිනෝ අම්ල සමාන ප්‍රමාණයක් නිපදවීමට අවශ්‍ය ජලය හා ඉඩම් ප්‍රමාණය ගණනය කිරීම යි. ගව මාංශවලින් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීම සඳහා මිරිදිය ලීටර් 148,000 ක් සහ සාරවත් බිම් වර්ග මීටර් 125 ක් පමණ අවශ්‍ය වෙනවා. මේ ඇමයිනෝ අම්ල ප්‍රමාණය ම ක්ෂුද්‍ර ඇල්ගීවලින් නිපදවීම සඳහා අවශ්‍ය වන්නේ මිරිදිය ලීටර් 20 ක් සහ සාරවත් නොවන වර්ග මීටර් 1.6 ක් වූ බිම් කැබැල්ලක් පමණ යි. ක්ෂුද්‍ර ඇල්ගීවල තිබෙන මෙම වාසි සහගත තත්ත්වය, වර්තමානයේ කෘෂිබිම් ආශ්‍රිත ව පවතින පාරිසරික සහ සමාජීය ගැටලුවලට සාර්ථක පිළිතුරු සපයාවියැ යි අපේක්ෂා කරන්න පුළුවන්.

*(පැහැදිලි කිරීම : ඇමයිනෝ අම්ල යනු ප්රෝටීන වල තැනුම් ඒකකය යි.)

ක්ෂුද්‍ර ඇල්ගීවලින් නිපද වූ ආහාර අතිරේක ආකාර – naturzorganics.com 

 ක්ෂුද්‍ර ඇල්ගී ආහාරයකට හරවන්නේ කෙසේ ද?

 වර්තමානයේ දී මෙම ක්ෂුද්‍ර ඇල්ගී ආශ්‍රිත නිෂ්පාදන විවිධ ආකාරවලින් දැකිය හැකි යි. සමුද්‍ර ක්ෂුද්‍ර ඇල්ගීවලින් නිස්සාරණය කර ගන්නා තෙල්, මෘදු ජෙලි ආකාර කැප්සියුලයක් ලෙස වෙළෙඳපොළට පැමිණ තිබෙනවා. මෙම කැප්සියුල, මත්ස්‍ය ආහාරවල අඩංගු ඔමේගා -3 වැනි මේද අම්ල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වූ විකල්පයක් ලෙස භාවිත වෙනවා. කුඩු ආකාරයෙනුත් ක්ෂුද්‍ර ඇල්ගී දැන් ලෝක වෙළෙඳපොළට පැමිණෙනවා. ඇල්ගී කුඩු, සෞඛ්‍ය සම්පන්න ආහාරවලට යොදන අමුද්‍රව්‍යයක් ලෙස භාවිත වෙනවා. මීට අමතරව ඇල්ගා තේ, ඇල්ගා පිටි, වැනි ආකාරයෙනුත් ක්ෂුද්‍ර ඇල්ගී ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණ තිබෙනවා.

 ක්ෂුද්‍ර ඇල්ගීවල තිබෙන ඉහළ පෝෂණ ගුණය නිසා මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව සඳහා හොඳ පෝෂණ අතිරේකයක් ලෙස එය භාවිත කළ හැකි යි. දැනටමත් ඇල්ගී මත පදනම් වූ බොහෝ නිෂ්පාදන එක්සත් ජනපදයේ ආහාර අතිරේක ලෙස අලෙවි වෙනවා. ඇල්ගී නිෂ්පාදන ආහාර අතිරේකයක් බවට පමණක් සීමා නොවී ප්‍රධාන ආහාරයක් ලෙසටත් මිනිසුන්ගේ කෑම මේසයට පැමිණිය යුතු බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. එහෙත් විවිධත්වයක් සහිත ආහාර සංස්කෘති රාශියක් පැතිරී ඇති ලොවක මෙය කොතරම් ප්‍රායෝගිකදැ යි පැවසීම උගහට යි. ආහාර අර්බුදය ලෝකයේ සෑම දිශානතියකට ම සමාන ව දැනෙන කාලයක් පැමිණියහොත්, මිනිසුන් ඇල්ගී නිෂ්පාදන වැනි විකල්ප ආහාර ප්‍රභවවලට යොමු වේවි.

 ලෝකයේ සමාගම් ගණනාවක් නවීන සංකල්ප අනුව ඇල්ගී ආශ්‍රයෙන් නිපද වූ මාංශ හඳුන්වා දී තිබෙනවා. ඒවායේ රසය සහ පෝෂණ අන්තර්ගතය සැබෑ මාංශ නිෂ්පාදනවලට බොහෝ සෙයින් සමාන වන නිසා අනාගතයේ දී එය මහා පරිමාණ‍යෙන් භාවිත වන ආහාර ප්‍රභවයක් වනු ඇතැයි විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ දී ඇල්ගීවලට හිමි තැන

 තවමත් ක්ෂුද්‍ර ඇල්ගී ආශ්‍රිත නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආගන්තුක යි. එපමණක් නොව සමුද්‍ර ආසන්න පරිසරයේ වැවෙන මහා ඇල්ගී විශේෂවලට පවා අපේ ආහාර සංස්කෘතිය තුළ සැලකිය යුතු වටිනාකමක් ලැබිලා නැහැ. අනාදිමත් කාලයක සිට කොරියාව, ජපානය, චීනය, වැනි රටවල මුහුදු ඇල්ගී ආහාර සහ දේශීය ඔසුවක්‌ ලෙස භාවිත වෙනවා. චීනය, ඉන්දුනීසියාව සහ පිලිපීනය ලෝකයේ මුහුදු ඇල්ගී වගාවේ දැවැන්තයන් වන අතර, එම නිෂ්පාදනවලින් ඔවුන් ප්‍රයෝජන රැසක් ලබා ගන්නවා. ආහාර කර්මාන්තය, ඖෂධ කර්මාන්තය, රූපලාවණ්‍ය කර්මාන්තය, සත්ත්වාහාර නිෂ්පාදනය සහ භෝගවලට යොදන පොහොර, වැනි විවිධ ක්ෂේත්‍ර සඳහා මුහුදු ඇල්ගී ප්‍රයෝජනයට ගන්නවා.

 ලෝකයේ මුහුදු ඇල්ගී වෙළෙඳපොළ එලෙසින් පුළුල් වෙද්දී, ආර්ථිකමය වශයෙන් වැදගත් විවිධ මුහුදු ඇල්ගීවලින් ගහණ, දළ වශයෙන් කිලෝ මීටර 1700ක පමණ මුහුදු වෙරළක් හිමි ශ්‍රී ලංකික අපි එම වාසිය නිසි අයුරින් ලබා ගන්නවාද යන්න නම් ගැටලු සහගත යි.  වසර කිහිපයක පටන් උතුරු මුහුදු තීරයේ යාපනය සහ පුනරීන් ආශ්‍රිතව Kappaphycus alvarezii නම් රතු ඇල්ගාව අපනයනය උදෙසා වගා කරන ප්‍රවණතාවක් තිබෙන බව සඳහන්. අයිස් ක්‍රීම් සහ ඇතැම් බේකරි නිෂ්පාදන සැකසීමේ දී ආහාරයේ ඝනකම වැඩි කිරීමේ ද්‍රව්‍යයක් වන “කැරගනීන්” නිස්සාරණය කිරීම සඳහා මෙම රතු ඇල්ගාව යොදා ගැනෙනවා. අපේ මුහුදු තීරයේ ආර්ථික වැදගත්කමක් සහිත තවත් මහා ඇල්ගී විශේෂ රාශියක් තිබෙනවා. ඒ අතරින් උදාහරණ කිහිපයක් සලකා බලමු.

ඇතැම් රටවල ආහරයට ගන්නා මුහුදු සලාද, ශ්‍රී ලංකාවේත් දක්නට ලැබෙනවා – alchetron.com 

මුහුදු සලාද (Ulva lactuca)

ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදු තීරයේ ගාල්ල සිට මාතර දක්වා වූ ප්‍රදේශය තුළ බහුල ව හමුවෙන විශේෂයක්. දේශීය ව අවම වැදගත්කමක් ලැබුණු ආහාරයක් වුණත්, අන් රටවල සලාද ලෙස පරිභෝජනය වෙනවා. අත්‍යවශ්‍ය විටමින් සහ ඉහළ තන්තු ප්‍රමාණයක් සහිත ආහාරයක් නිසා සෞඛ්‍යසම්පන්න ආහාර වේලක දී වැදගත් භූමිකාවක් ඉටු කළ හැකි ඇල්ගාවක්.

මුහුදු මිදි, විද්‍යාත්මක නාමය Caulerpa racemosa

මුහුදු මිදි (Caulerpa racemosa)

 බාහිර හැඩය මිදි පොකුරකට සමාන නිසා ‘මුහුදු මිදි’ ලෙස හඳුන්වන මෙම ඇල්ගාව මාතර සහ උතුරු මුහුද ආශ්‍රිත ව බහුල ව දක්නට ලැබෙනවා. අග්නිදිග ආසියා කලාපයේ රසවත් ආහාරයක් ලෙස ප්‍රචලිත අතර, ශ්‍රී ලංකාවේ වගා කිරීමෙන් අපනයන වටිනාකමක් ලබා ගත හැකි ඇල්ගාවක් බව පැවසෙනවා.

Sargassum spp.

ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් ම හමු වන දුඹුරු ඇල්ගාව වන්නේ මෙය යි. සමහර දුඹුරු ඇල්ගී විශේෂ කොරියාව සහ චීනය වැනි රටවල ආහාරයට උදෙසා භාවිත වෙනවා. ආහාර කර්මාන්තයේ ස්‌ථායීකාරක ලෙස යොදාගන්නා “ඇල්ජිනේට්” හා “ෆුකොයිඩාන්” සංයෝග උකහා ගන්නට මේ මුහුදු ඇල්ගාව භාවිත වෙනවා. මෙහි අඩංගු දුඹුරු පැහැයට හේතුවන “ෆුකොසැන්තීන්” සංයෝගය ස්‌වාභාවික ආහාර වර්ණකයක්‌ ලෙස යොදා ගැනෙන නිසා ආකාර කිහිපයකින් ම ආර්ථික වැදගත්කමක් සහිත ඇල්ගාවක් ලෙස හැඳින්විය හැකි යි.

Gracilaria spp.

ශ්‍රී ලංකාවේ රතු ඇල්ගී අතරින් බහුල ව හමු වන රතු ඇල්ගාව යි. ආහාර කර්මාන්තයේ සහ ක්‌ෂුද්‍ර ජීවීන් වගා කිරීමේ දී යොදාගන්නා ජල්ලිමය සංඝටකයක්‌ වන “ඒගාර් ඒගාර්” මෙම ඇල්ගී විශේෂයෙන් නිස්සාරණය කරනවා. සත්ත්වමය මූලාශ්‍රයකින් නිස්‌සාරණය කරගන්නා ජෙලටීන් වෙනුවට “ඒගාර් ඒගාර්” ආහාර කර්මාන්තය තුළ භාවිත කළ හැකි නිසා ලෝකය තුළ ප්‍රචලිත වෙමින් පවතින ඇල්ගාවක් වෙනවා. මීට අමතරව, රතු ඇල්ගීවල පවතින “ෆයිකොඑරිත්‍රීන්” සංයෝගය ආහාර වර්ණකයක් ලෙස භාවිත කිරීමේ හැකියාව නිසා මෙම විශේෂයේ ආර්ථික වටිනාකම තවත් ඉහළ යි.

 ආහාර අර්බුදය සහ අනෙකුත් කර්මාන්ත ආශ්‍රිත ගැටලුවලට සාර්ථක ව පිළිතුරු සැපයිමේ හැකියාවක් මේ ඇල්ගීවලට තිබෙනවා. මුහුදු වෙරළ ආශ්‍රිත ගල්පරවල එක එක හැඩයෙන් වැවෙන මහා ඇල්ගාවන් මෙන් ම, ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ඇල්ගාවන් තුළ තවත් කුමනාකාරයේ හැකියා පවතී ද යන්න වග ලෝකය සොයමින් සිටිනවා.

කවරයේ ඡායාරූපය: ආහාර අතිරේකයක් ලෙස නිපද වූ ඇල්ගී නිෂ්පාදනයක් - vitalhealthandwellbeing.co.uk

මූලාශ්‍ර:

weforum.org

bbc.com

vidusara.com 

Related Articles