Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබත් ඔන්ලයින් භාණ්ඩ මිලදීගන්නා කෙනෙක්ද?

අන්තර්ජාලය හරහා භාණ්ඩ සහ සේවාවන් මිලදී ගැනීම අද ලෝකයේ බොහෝදෙනෙක් විසින් නිරන්තරයෙන් සිදුකරන කටයුත්තක්. එකම භාණ්ඩය හෝ සේවාව ලබාදෙන බොහෝ දෙනෙක් අතරින් තමන්ට වඩාත්ම ගැලපෙන මිල, අළෙවියෙන් පසු සේවාව වගේ කරුණු පදනම් කරගෙන ඒකට ගැලපෙන සේවාදායකයාගෙන් ඒ භාණ්ඩය හෝ සේවාව මිලදීගන්න වැඩේ අන්තර්ජාලය හරහා සිදුකරන එක බොහොම පහසු කටයුත්තක් බව අපි හැමෝම දන්න දෙයක්.

ඒ වගේම අන්තර්ජාලය හරහා සිදුකරන මේ භාණ්ඩ මිලදීගැනීම්, මුදල් ගෙවීම් ආදියේ ක්ෂණික ඉහළයාම නිසාම විවිධ ජාවාරම්කාර පුද්ගලයින් විසින් ඒ ආශ්‍රිතව සිදුකරන වංචනික ක්‍රියාවන් ප්‍රමාණයත් දවසින් දවස ඉහළ යන බව ඒ පිළිබඳව හැදෑරීම් කරන විවිධ ආයතන මඟින් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒ නිසාම වඩාත් ආරක්ෂිතව අන්තර්ජාලය හරහා භාණ්ඩ හෝ සේවාවන් මිලදී ගන්නා ආකාරය පිළිබඳව පාඨක ඔබව දැනුවත් කරන්නයි අපේ මේ උත්සාහය.

1. ඉබ්බා ඉන්නවද කියලා බලන්න

(skillcrush.com)

(skillcrush.com)

තමන් පිවිසෙන වෙබ් අඩවියේ හෝ වෙබ් පිටුවේ ලිපිනය එහෙමත් නැතිනම් url එක ගැන ඔබ අවධානයෙන් ඉන්නවද? මෙච්චර දවසක් එහෙම අවධානයෙන් හිටියේ නැතිනම්, අද ඉඳලාවත් තමන් පිවිසෙන වෙබ් අඩවියේ url එක ගැන වදවෙන්න කියලා අපි නිර්දේශ කරනවා.

සමහරවිට ඔබ දැකලා ඇති url එකේ http:// සහ https:// විදියට තියෙනවා. හොඳට මතක තියාගන්න, ඔබ මුදල් ගෙවන්න පිවිසෙන වෙබ් පිටුවේ url එක https:// විදියට පටන් ගන්නේ නැතිනම්, මොනම හේතුවක් නිසාවත් ඒ වෙබ් පිටුව හරහා ඔබේ ක්‍රෙඩිට් කාඩ් එක මඟින් ගනුදෙනු සිදුකරන්න එපා. ඒ වගේම ඔබේ වෙබ් බ්‍රව්සර් එකේ address bar එකේ https:// එකට කළින් ලොක්කරපු ඉබ්බෙක්ගේ සළකුණක් තියෙනවද කියලා සැළකිළිමත් වෙන්න. එහෙම ලකුණක් තියෙනවා කියන්නේ ඒ වෙබ් පිටුව ගණුදෙණු සඳහා ආරක්ෂිතයි කියන එක. මේ ආකාරයේ https:// ආකාරයට තිබෙන වෙබ් පිටු හරහා ඔබ ලබාදෙන තොරතුරු (ඔබේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සහ පෞද්ගලික තොරතුරු) අනිත් පාර්ශවයට ලබාදෙන්නේ වෙන කෙනෙක්ට තේරුම් ගන්න බැරි විදියට වෙනස් කරලයි. මේ නිසා හැමවිටම https:// සහ ඉබ්බා ගැන සැළකිළිමත් වෙන්න.

2. හුරුපුරුදු වෙබ් අඩවිවලින්ම මිලදී ගන්න

(welivesecurity.com)

(welivesecurity.com)

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වෙබ් අඩවි මිලියන ගාණක් තියෙනවා. ඒ ප්‍රමාණය වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නම් නැහැ. නමුත් හැමවිටම වගේ ඔබට හුරුපුරුදු වෙබ් අඩවිවලින්ම ඒ භාණ්ඩ මිලදී ගැනීම් සිදුකරන එක සුදුසුයි කියලයි අපේ නම් අදහස.

Ebay, Amazon, aliexpress, Flipcart, Taobao, Walmart, SnapDeal වගේ අන්තර්ජාතික වෙබ් අඩවිවලින් වගේම kaymu.lk, mydeal.lk, takas.lk වගේ දේශීයව ක්‍රියාත්මක වෙන වෙබ් අඩවිත් ආරක්ෂාකාරීව ගණුදෙණු කරන්න පුළුවන් වෙබ් අඩවි විදියට හඳුන්වන්න පුළුවනි. නමුත් හැම වෙලාවෙම වෙබ් අඩවියේ නම ගැන සැළකිලිමත් වෙන්න. උදාහරණයක් විදියට ඉතාම ප්‍රසිද්ධ සහ ජනප්‍රිය වෙබ් අඩවියක නමේ අකුරු එහේ මෙහේ කරලා ඒ ආකාරයේම වෙනත් ව්‍යාජ වෙබ් අඩවි, ඊමේල් හදපු කාලයකුත් මේ ලෝකේ තිබ්බා. ඒ වගේම ඒ ව්‍යාජ වෙබ් අඩවිවලට ගිහින් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්, බැංකු විස්තර දීලා අතින් පාඩු කරගත්ත මිනිස්සුත් ලෝකේ ඕනේතරම් ඉන්නවා. ඒ නිසා හොඳ නමක් තියෙන වෙබ් අඩවිවලින්ම ගණුදෙනු කරන්න වගබලාගන්න.

3. හොඳ Anti-Virus Software එකක් පාවිච්චි කරන්න

(spotageek.com)

(spotageek.com)

මීට කළින් දවසකදී Anti-Virus Software නැතුව පරිගණකයක් පාවිච්චි කරන විදිය ගැන අපි roar.lk තුළින්ම සාකච්ඡා කළා ඔබට මතක ඇති. නමුත් ඔබ දැඩි ලෙස අන්තර්ජාලය හරහා භාණ්ඩ මිළදී ගැනීමට කටයුතු කරන කෙනෙක්නම්, ක්‍රැක් කරපු නැති නියම Anti-Virus Software එකක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

ඒ හරහා ඔබේ පෞද්ගලික තොරතුරු සොරාගන්න පැමිණෙන හානිකර මෘදුකාංගයන්ගෙන් ආරක්ෂාවෙන්න ඔබට පුළුවනි. ඒ වගේම ඔබ භාවිතා කරන Anti-Virus එක යාවත්කාලීනව තියාගන්න අලුතෙන් මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද?

4. ඩෙබිට් කාඩ් වෙනුවට ක්‍රෙඩිට් කාඩ්ම පාවිච්චි කරන්න

(unlimitvpn.com)

(unlimitvpn.com)

වර්ථමානයේදී බොහෝ දෙනෙක් ඔන්ලයින් ගණුදෙණු සඳහා ඩෙබිට් කාඩ් පාවිච්චි කරනවා. නමුත් ඔබ දන්නවාද, ඩෙබිට් කාඩ් එකකට වඩා ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් අන්තර්ජාලය හරහා ගණුදෙණු කිරීම වඩාත් ආරක්ෂිත බව. හේතුව බොහෝම සරළයි. ඔබේ ක්‍රෙඩිට් කාඩ් එකට සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවලා ඔබට මිලදීගැනීම් සිදුකරන්න බැහැ. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් එක ඔබේ බැංකු ගිණුම් සමඟ බද්ධ කරලත් නැහැ. මේ නිසා යම් කිසිවෙක් විසින් ඔබේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරකම් කරගත්තත්, යම්කිසි සීමාවකට යටත්ව තමයි ඒක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ.

ඊලඟ වැදගත්ම කාරණයක් තමයි, ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු යම්කෙනෙක් අවභාවිත කරලා මිලදී ගැනීම් සිදුකරපු අවස්ථාවකදී ඔබට යම් තරමකට හැකියාවක් තියෙනවා ක්‍රෙඩිට් කාඩ්පත නිකුත් කරපු බැංකුව සමඟ සාකච්ඡා කරලා ඒ ගෙවීම් සමතයකට පත්කරගන්න. ඩෙබිට් කාඩ් එකක් හරහා මේ දේවල් සිදුවූවෝතින් නම් තත්ත්වය ඉතා සෝචනීයයි. ඩෙබිට් කාඩ් එකේදි සියළු ගෙවීම් සිදුවන්නේ ඔබගේ බැංකු ගිණුම හරහායි. දැන් ඔබට තේරෙනවා ඇති ඩෙබිට් කාඩ් එකක තොරතුරු වෙනත් වැරදි පුද්ගලයෙක් අතට පත්වූවෝතින් සිද්ධ වෙන්න පුළුවන් අනතුරේ විශාලත්වය. ඒ නිසා හැමවිටම ඔන්ලයින් ගණුදෙණු සඳහා ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න.

ඒ වගේම අඩු ණය සීමාවක් තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් ඔන්ලයින් ගණුදෙණු සඳහාම වෙන්කරගෙන තියාගෙන ඉන්න එකත් හොඳ පුරුද්දක්. ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරාගැනීමක් නිසා සිදුවෙන හානිය එහිදීත් ඔබට වැඩි පාඩුවකින් තොරව පියවා ගැනීමට හැකිවෙනවා.

5. මාසික බැංකු වාර්ථා ගැන නිතරම කල්පනාවෙන් ඉන්න

ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතේ වියදම් පිළිබඳව මාසිකව වාර්ථාවක් ඔබට ලබාදීමට සෑම බැංකුවක්ම කටයුතු කරනවා. ඔබ අන්තර්ජාලය හරහා මිලදී ගත් භාණ්ඩවල වටිනාකම සහ බැංකු වාර්ථාවේ සඳහන් ගණන් සසඳා බැලීමට නිරන්තරයෙන් කටයුතු කරන්න. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබට ඊමේල් හරහා ලැබෙන බිල්පත් තොරතුරු ඔබේ පරිගණකයේ තැන්පත් කර තබාගෙන මාසික බැංකු විස්තරය සමඟ ඒ බිල්පත් සැසඳීම ඉතාම යහපත් පුරුද්දක් විදියට පෙන්වා දෙන්න පුළුවනි. ඒ මඟින් යම්කිසි සැක කටයුතු මිලදී ගැනීමක් සිදුවෙලානම් ඔබට දැනගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම යම්කිසි ගෙවීමක් සිදුකළාම ඒ විස්තර SMS එකක් මාර්ගයෙන් ඔබේ ජංගම දුරකතනයට ලබාගත හැකි සේවාවන් ගොඩක් බැංකු මඟින් ලබාදෙන්නෙත් මේ ගෙවීම්වල ආරක්ෂාව තහවුරු කරන්නමයි. ඔබ තවමත් ඒ සේවාවන් සක්‍රීය කරගෙන නැත්නම් ප්‍රමාද නොවී ඒවා එක්ක සම්බන්ධ වෙන්න.

ඒ වගේම ඔබ ගෙවීම් කටයුතු සිදුකරන්නේ ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම්, යූරෝ හෝ වෙනත් විදේශීය මුදල් ඒකකයකින් නම් ඒ මුදල ගෙවීමට පෙර ගෙවන මුදල ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්ථනය කිරීමත් සිදුකරලා ඒ පිළිබඳව අවබෝධයෙන් යුතුව අදාළ ගෙවීම සිදු කරන එක තමයි යහපත් ක්‍රමය. දිනපතා විනිමය අනුපාත පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහබැංකුවේ වෙබ් අඩවිය හරහා ඔබට ලබාගන්න පුළුවනි.

6. ඉන්ටර්නෙට් කැෆේ/Free Wi-Fi පාවිච්චි කරන්න එපා

(gettyimages.in)

(gettyimages.in)

ගෙවල් ලඟ ඉන්ටර්නෙට් කැෆේ එක, කැම්පස් එකේ කම්පියුටර් ලැබ් එක, පුස්තකාලයේ තිබෙන පරණ කම්පියුටර් එක, ඔෆිස් එකේ හැමෝම පාවිච්චි කරන කම්පියුටරේ වගේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන පරිගණක හරහා අන්තර්ජාල මුදල් ගණුදෙණු සිදුකරන එකෙන් ඔබට සිදුවෙන්නේ පාඩුවක් විතරමයි. ඒ නිසා අන්තර්ජාලය හරහා ගණුදෙණු කිරීමේදී හැකිතරම් පෞද්ගලික පරිගණකයක් හරහාම ඒ කටයුතු සිදුකරන්න වගබලාගන්න. අදාළ ගණුදෙණු සිදුකරලා අවසන් කරපු ගමන් වෙබ් බ්‍රව්සර් එකේ history එක cache එක clear කරන එකත් ඉතාම හොඳ පුරුද්දක්. ඔබ පාවිච්චි කරන වෙබ්බ්‍රව්සර් එකේ settings මෙනුවට ගිහින් බොහොම පහසුවෙන් මේ කටයුතු සිදුකරන්න පුළුවනි.

ඒ වගේම Free Wi-Fi එකක් හරහා මේ කටයුතු සිදු කරන එක නුවණට හුරු ක්‍රියාවක් නෙමේ කියන එකයි අපේ අදහස. Free Wi-Fi එකට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්ට සාමාන්‍ය tools කීපයක් පාවිච්චි කරලා ඒ Wi-Fi එකට සම්බන්ධවෙලා ඉන්න අනිත් අයගේ විස්තර හොරෙන් අරගන්න එක තව දුරටත් මහා අමාරු වැඩක් නෙමේ. මේ නිසා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේම පරිගණකයක් සහ ජංගම හෝ ADSL අන්තර්ජාල සම්බන්ධතාවයක් පාවිච්චි කරලා ඔන්ලයින් ගණුදෙණු සිදුකරන එක හොඳයි කියන එකයි අපේ අදහස. ගෙදර Wi-Fi එකක් තියෙනවානම් ඒක පරිස්සම් කරගන්න හැටිත් මෙතනින් බලාගන්න පුළුවනි.

7. විශ්වාසවන්ත සේවාවන් පාවිච්චි කරන්න

(estoreadvanced.com)

(estoreadvanced.com)

අන්තර්ජාලය හරහා සිදුකරන ගණුදෙණු සඳහා ඔබේ බැංකු විස්තර දීමට විශ්වාසවන්ත සේවාවන් භාවිතා කරන්න පුළුවන්. අපි හැමෝම දන්න Paypal කියන්නේ ඒ ආකාරයේ අන්තර්ජාල ගණුදෙණු සඳහාම භාවිතා කරන විශ්වාසවන්ත තෙවන පාර්ශවීය සේවාවක්. මේ ආකාරයේ සේවාවක් භාවිතයෙන් වඩාත් ආරක්ෂාකාරීව අපේ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු සහ බැංකු ගිණුම් විස්තර අනිත් පාර්ෂවයට ලබාදෙන්න අපිට පුළුවනි. Paypal හා සමානව මේ සේවාවන් ලබාදෙන ආයතන විශාල ගණනක් අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වෙනවා.

මීට අමතරව ඔබ භාණ්ඩ මිලදී ගන්නා වෙබ් අඩවියේ Terms & Conditions සහ Privacy Policy පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීමත් වැදගත්. ඔබගේ තොරතුරු ඔවුන් කොපමණ දුරකට ආරක්ෂා කරනවාද, ඒවා වෙනත් පාර්ශයන්ට ලබාදෙනවාද, ඔබගේ තොරතුරු සඳහා ඔවුන් වගකියනවාද වගේ වැදගත් කරුණු ඒ හරහා ඔබට දැනගත හැකියි. හැබැයි ඉතින් මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් මේ වැඩේනම් කරන එකක් නැතිබව අපිට විශ්වාසයි.

මීට අමතරව තවත් වැදගත් කියලා හිතෙන ක්‍රියාමාර්ග තිබෙනවානම් ඒ ගැන අපිව දැනුවත් කරන්න ඔබටත් පුළුවනි. ඊලඟ වතාවේ අන්තර්ජාලයෙන් භාණ්ඩ හෝ සේවාවක් මිලදී ගනිද්දි මේ ලිපියේ සඳහන් කරුණුත් මතක තියාගෙනම කටයුතු කරන්න කියලා අවසාන වශයෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

කවරයේ පින්තුරය: techinasia.com

Related Articles