Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෘථිවි වාසීන්ගේ දෙබැම රැළි නංවන ‘බෙන්නු’

‘ලෝක විනාශය’ කෙසේ සිදුවන්නේදැ යි පෘථිවි වාසී ජනයාගෙන් සමහරෙක් අවධානයෙන් සිටින කරුණක්. අතීතයේ පටන් විවිධ ක්‍රමයන් වලට, යම් යම් දිනයන් වල ලෝක විනාශය සිදුවනු ඇතැයි අනාගත වක්තෘවරුන් මෙන්ම විද්‍යාඥයින් ද මත පළ කළත්, එය එසේ සිදු නොවුණු අතර තවමත් පෘථිවිය නිරුපද්‍රිතව පවතිනවා. කෙසේ නමුත් ලෝක විනාශ වීමේ පුරෝකථන අද වන විටත් විටින් විට ඉස්මතු වෙනවා. මේ මතයන් අතරින් ජනප්‍රියම මතයක් වන්නේ යම් ග්‍රහකයක් පෘථිවිය මත ගැටී එය විනාශ වීම යි. ඈත අතීතයේ ඩයිනෝසරයන් වඳ වී යෑමට හේතු වූ ග්‍රහකය මෙන්ම 1908 වසරේ මහත් විනාශයක් ඇති කරමින් රුසියාවේ ටුංගුස්කා ප්‍රදේශයට වැටුණු ග්‍රහකය නිසා පෘථිවිය කවදත් එවැන්නක අවදානමෙන් සම්පූර්ණයෙන් මිදී තිබෙන්නේ යැයි කිව නොහැකියි.

තාක්ෂණයේ දියුණුවත් සමග විවිධ ග්‍රහක වල ගමන් මඟ හා ඒවායේ හැසිරීම පිළිබඳව වඩාත් සවිස්තර තොරතුරු ලබාගෙන, ඒ ඔස්සේ ඒවා පිළිබඳව පුරෝකථනය කිරීමේ හැකියාව විද්‍යාඥයින්ට ලැබී තිබෙනවා. එනයින් පෘථිවියට කුඩා හෝ තර්ජනයක් ගෙන දිය හැකි මට්ටමේ ග්‍රහක පිළිබඳව තොරතුරු ලබාගෙන දැඩි අවදානයෙන් සිටින්නට ඔවුන් පියවර ගෙන තිබෙනවා. මේ වන විට එවැනි අන්තරාදායක ග්‍රහක් වාර්තා වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක්. ඉනුත් අතළොස්සක් පෘථිවියට සැළකිය යුතු මට්ටමේ හානි ගෙන දිය හැකි ඒවා ලෙස නම් කොට තිබෙනවා. ‘101955 බෙන්නු’ ඉන් ඉදිරියෙන්ම සිටින ග්‍රහකයක්.

මොකක්ද මේ 101955 බෙන්නු ?

බෙන්නු හි විශාලත්වය – NASA/ OSIRIS- REx

බෙන්නු ග්‍රහකය කිලෝමීටර භාගයක පමණ විෂ්කම්භයකින් යුතු එකක් වන අතර එය දළ වශයෙන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එම්පයර් ස්ටේට් ගොඩනැඟිල්ලේ උසට වඩා මඳක් වැඩි අගයක්. එය වසර 1.2කට වරක් හිරු වටා පරිභ්‍රමණය වන අතර, සාමාන්‍ය කක්ෂීය අරය කිලෝමීටර මිලියන 168ක් හෙවත් අභ්‍යාවකාශ ඒකක 1.12ක් පමණ වෙනවා. ඉතා වැඩි භ්‍රමණ වේගයකකට හිමිකම් කියන බෙන්නු සෑම පැය 4.3කට වරක්ම සිය අක්ෂය වටා එක් වරක් භ්‍රමණය වෙනවා. මෙය සෑම වසර 6කට වරක්ම පෘථිවිය ආසන්නයෙන් ඇදී යන අතර මෙහි කක්ෂය අංශක 5ක ආනතියක් සහිත එකක් නිසා වාරයෙන් වාරයට එලෙස සමීප වන දුර වෙනස් වෙනවා. මෙහි විශේෂත්වයක් වන්නේ එහි අක්ෂය අංශක 175ක් ඇලව පිහිටා තිබීම යි. එනම් එහි උත්තර ධ්‍රැවය පෘථිවි සමකයට සාපේක්ෂව ගත් කල්හි ඊට පහතින් පිහිටා තිබෙනවා.

බෙන්නුහි ව්‍යුහය

බෙන්නු මීට වසර මිලියන 700 සිට බිලියන 2 අතර කාලයක දී සම්භවය වී ඇතැයි සැලකෙනවා. මෙය අඟහරු හා බ්‍රහස්පති අතර පවතින ග්‍රාහක පටියේ සම්භවය වී, පසුකාලීනව වඩාත් හිරු දෙසට සමීප වී ඇත්තේ යැයි අනුමාන කෙරෙනවා. මෙහි ව්‍යුහය තවමත් විද්‍යාඥයින් විසින් අධ්‍යනය කරමින් පවතින අතර දැනට හෙළි වී ඇති කරුණු අනුව ඇස්ටරොයිඩ පටියේ අනෙකුත් ග්‍රහක මෙන්ම මෙය ද කාබන් වලින් පොහොසත් එකක් යැයි සැලකෙනවා. බෙන්නු කුඩා ග්‍රහක කැබලි රාශියක් ගුරුත්වාකර්ෂණ බල හේතුවෙන් එකට එක්වී සම්භවය වුණු බවට සැලකෙන අතර, එහි පරිමාවෙන් 20% -40% අතර ප්‍රමණයක හිස් අවකාශ ඇති බවට අනුමාන කෙරෙනවා.

බෙන්නු ගවේශනය කිරීම

මුල්ම වරට නිරීක්ෂණය වූ අවස්ථාවේදී- Nasa.gov

බෙන්නු ග්‍රහකය ක්‍රි.ව 1999 දී ලින්කන් පෘථිවි ආසන්න ඇස්ටරොයිඩ නිරීක්ෂණ මධ්‍යස්ථානයට (LINEAR) නිරීක්ෂණය වූ අතර, මුලින්ම එයට ලැබුණු නාමය 1999 RQ36 වෙනවා. පසු කාලීනව උතුරු කැරොලිනාවේ ශිෂ්‍යයෙකු වන මයිකල් පුසියෝ විසින් එයට බෙන්නු යන නාමය තබන්නේ ඇස්ටරොයිඩ නාමකරණය කිරීමේ තරගයක දී යි.

බෙන්නු පෘථිවිය සමග ඝට්ටනය වුවහොත්?

බෙන්නු යම් කිසි හෙයකින් පෘථිවියේ ගැටුණහොත් එමඟින් පෘථිවිය සම්පූර්ණයෙන් විනාශ වේ දැයි යන්න බොහෝ දෙනා නඟන ප්‍රශ්ණයක්. වැඩි විශාලත්වයක් සහිත වුව ද ග්‍රහක කැබලි රාශියකින් සෑදී තිබීම හා මධ්‍යයේ හිස් අවකාශ තිබීම යන කාරණා නිසා එහි ඝට්ටනය පෘථිවිය සම්පූර්ණයෙන් විනාශ කිරීමට සමත් වන්නේ නැති බව විද්‍යාඥයින් පවසනවා.

මෙම ග්‍රහකය තත්පරයට කිලෝමීටර 12.1ක වේගයෙන් පෘථිවි පෘෂ්ඨය හා ගැටෙනු ඇති අතර ඒ වන විට  කැබලි රාශියකට බිඳී තිබෙනු ඇති. මෙම ඝට්ටනය මෙගා ටොන් 1450ක ශක්තියක් ජනනය කරනු ඇති අතර එය ඉතිහාසය පුරා භාවිත කෙරුණු න්‍යෂ්ඨික අවි සියල්ලෙන්ම නිකුත් වුණු ශක්තිය මෙන් තුන් ගුණයක්. පෘථිවිය මත මේ තරම් බලවත් ග්‍රහක ඝට්ටනයක් සිදුවන්නේ  වසර 100,000කට පමණ වරකුයි.

Getty images/express.co.uk

බෙන්නු හි ඝට්ටනය පෘථිවියේ භ්‍රමණය, පරිභ්‍රමණය වැනි දී වෙනස් නොකළත් එමඟින් ඇතිවන දේශගුණික විපර්යාස ඉතා දැඩි ලෙස බලපැවැත්වෙනු ඇති. එමෙන්ම නගරබද පෙදෙසකට මෙය ඇදවැටුණහොත් ඇතිවන ජීවිත හා දේපළ හානිය ගණනය කල නොහැකි තරම් වෙනු ඇති.

පෘථිවි වාසීන් බෙන්නුට බිය විය යුතුද?

බෙන්නු වර්තමානය වන විටත් නම් කර ඇත්තේ ‘අන්තරාදායක විය හැකි’ වර්ගයේ ඇස්ටරොයිඩයක් ලෙසට යි. කෙසේ නමුත් හේතු කිහිපයක් නිසා වර්තමාන පෘථිවි වාසීන් ඒ සම්බන්ධයෙන් ඒ තරම් බිය විය යුතු නැහැ. ඒ 21 වන සියවස තුළ එය පෘථිවිය හා ගැටීමට සැලකිය යුතු තරමේ සම්භාවිතාවයක් නිර්මාණය කරන අවස්ථාවක් ඇති නොකිරීමත්, මේ වන විට ගණනය කර ඇති පරිදි එය පෘථිවිය හා ගැටීමට ඇති උපරිම සම්භාවිතාවය 1/2700ක් වීමත්, යන කාරණා ද්විත්වය නිසායි. මේ ‘අවදානම් අවස්ථාවට පෘථිවිය මුහුණ දෙන්නේ 22 වන ශතවර්ෂයේ අග භාගයේ තරම් ඈත අනාගතයේ දී යි.

අනාගතය සඳහා වූ සැලසුම්

වර්තමානය වන විට බෙන්නු මෑත අනාගතයේ දී මාරක ග්‍රහ වස්තුවක් වීමේ ඉඩකඩ අල්ප බැව් පෙනී ගියත් කිසිදු අවදානමක් ගැනීමට විද්‍යාඥයින් සූදානම් නැහැ. මේ ග්‍රහ වස්තුව පිළිබඳ වැඩිදුර තොරතුරු ගවේෂණය කිරීමෙහි ලා ඔවුන් විසින් OSIRIS-ReX  නම් තොරතුරු ලබා ගන්නා යානයක් මේ වන විට බෙන්නු වෙත පිටත් කර යවා තිබෙනවා. එය 2019 වසරේ දී බෙන්නු වෙත ළඟා වී 2023 වසර වන විට නැවත පෘථිවියට පැමිණීමට නියමිත යි. මෙය මඟින් ලබා ගන්නා තොරතුරු ඔස්සේ බෙන්නු පිළිබඳව තවත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති.

OSIRIS-ReX මෙහෙයුම – Canadian Space Agency

පෘථිවිය ආසන්නයෙන් ඇදී යන ග්‍රහක අතරින් සුළු හෝ හානියක් පෘථිවිය කෙරෙහි සිදු කිරීමට හැකියාවක් දරන්නේ බෙන්නු පමණක් නොවේ. මේ නිසා යම් හෙයකින් එවැනි ග්‍රහකයක් අන්තරායකාරී යැයි නිශ්චිතවම දැනගතහොත් එය පෘථිවියෙන් ඉවතට තල්ලු කර දැමීමට විද්‍යාඥයින් යානාවක් සැලසුම් කරමින් සිටිනවා. HAMMER නම් මෙට්‍රික් ටොන් 8 ක පමණ බරකින් යුතු මෙය ග්‍රහකය වෙත යැවීමෙන් එය සිය පථයෙන් එහෙ මෙහෙ කිරීමට ඔවුන් අදහස් කරනවා. මෙය මෑත අනාගතයට ඒ තරම් අවශ්‍ය නොවූවත් යම් දිනෙක අත්‍යවශ්‍ය සැලසුමක් නොවන්නේ යැයි කිව හැක්කේ කාට ද?

කවරයේ පින්තූරය – westernjournal.com

Related Articles