අන්ධකාර බර්මියුඩාවේ කොළ පැහැති අද්භූතයෝ

ඉතාලි දේශගවේශක ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් 1492 ඔක්තෝම්බර් මස 12 වන දින නව‍ ලොව හෙවත් උතුරු ඇමරිකාව ගවේශනය කරගැනීම පිළිබඳ කතා පුවතත් සමග බද්ධ වූ තවත් කතා පුවතක් ඇත. කොලොම්බස් සහ ඔහුගේ නාවුක කණ්ඩායම සිය සමුද්‍ර ගවේශනයෙහි දී අපූරු අත්දැකීමකට මුහුණ දුන්හ. විවිධ වාර්තාවන්ට අනුව දැක්වෙන්නේ ඔවුන් දිදුලන මුහුදු පණු වර්ගයක් ඒකරාශී වී සිටි ආලෝකමත් පථයක් හා ඝට්ටනය වූ බව යි. එය සිදු වී තිබෙන්නේ හෝරා කිහිපයකි. ඒ ඔක්තෝම්බර් මස 11 වන දිනත් 12 වන දිනත් අතර පැය ගණනක දී බව වාර්තා වේ. සැන්ටා මරියාහි දී නැව් තට්ටුව මතට නැගගත් කොලොම්බස්, කිසියම් වූ බලාපොරොත්තු සහගත හැඟීමකින් යුතුව රාත්‍රී මුහුදු සුළඟ අත්විඳින්නට වූයේ ය. කැරිබියන් මුහුදෙහි අන්ධකාරය පීරමින් සිය නිරීක්ෂණාක්ෂිය ඈතටම යොමු කළ කොලොම්බස්ට දැකගත හැකි වූයේ අභූත වූත් දුර්වල වූත් එහෙත් සමීපව දර්ශනය වුවහොත් දීප්තිමත්යැ යි සිතෙන ආකාරයේ ආලෝක කදම්භයකි.

බර්මියුඩා පණුවන්ගේ සංසර්ග ආලෝක රටා (Fodors Travel Guide)

කොලොම්බස්ට පැන නැගුණු ගැටලුව වූයේ ඝනාන්ධකාරය මධ්‍යයෙන් පැන නගින මෙකී ආලෝක කදම්භය කුමක් විය හැකි ද යන්න යි. නව දේශයක් සොයමින් ඇදී යමින් සිටි ඔහුට මෙකී ආලෝක ධාරාව වඩා හොඳ උත්ප්‍රේරකයක් විය. කොලොම්බස් සිය දින පොතෙහි මෙකී දර්ශනය පිළිබඳව අපූරු සටහනක් ද තබා ඇත. ඔහු පවසන්නේ එකී ආලෝක ධාරාව, මී ඉටි පන්දමක ඉහළ පහළ අඩු වැඩි වෙමින් සලිත වන දැල්ලක ආලෝකයට සමාන වූ බව යි . ඔහුට එය දර්ශනය වී ඇත්තේ ඉතාම කුඩාවට වන අතර එක්වරම අතුරුදන් වී ඇත. මෙකී දර්ශනය බලා සිටි කොලොම්බස්ට හැඟී තිබෙන්නේ එය කිසියම් වූ ගොඩබිමක සලකුණක් විය යුතු බව ය. මෙකී අබිරහස විසඳා ගැනීමට ප්‍රමාණවත් කාලයක් කොලොම්බස්ට හිමි නොවූ අතර එකී සංඥාව දෙසට ගමන් කළ ඔහුට පැය කිහිපයකට පසු ගොඩබිමක් මුණ ගැසී ඇත. බහමාස්හි දූපතක් වන සැන් සැල්වදෝරයට ඒ අයුරින් ළඟා වූ කොලොම්බස් විශ්වාස කළේ, තමා ඒ පැමිණියේ දුරින් දර්ශනය වූ ස්ථානයට බව යි.

සංසර්ග ආලෝක රටා (Pinterest)

කෙසේ නමුත් යෙදෙන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵල සලකා බලමින් ජීව විද්‍යාඥයින් සැක පළ කරන්නේ කොලොම්බස්ට දර්ශනය වූ ආලෝක කදම්භය වූ කලී සොබාදහමේ අපූරු සහ ‍අතිශයින් ප්‍රේමාන්විත ක්‍රියාවලියක තවත් එක් කොටසක් බව යි. එනම් කොළ පැහැයෙන් දිස්නය දෙන විශාල පණු විශේෂයක සංසර්ග අවස්ථාවෙහි දී මෙකී විචිත්‍රවත් ආලෝකය විහිදෙන බව ජීව විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මෙකී ජීවී විශේෂය බර්මියුඩා ෆයර්වෝම් හෙවත් Odontosyllis Enopla නමින් හැඳින්වේ. මෙකී පණු විශේෂය සංසර්ගයෙහි යෙදෙන අවස්ථාවෙහි දී ඔවුන්ගේ ශරීරයෙන් මෙවන් ආලෝක රටාවක් විහිදෙන්නේ කෙසේද යන්න පිළිබඳව රසායන විද්‍යාත්මක ප්‍රවේශයක් සහිත වාර්තාවක් 2018 වර්ෂයේ දී නිකුත් වී ඇත. බර්මියුඩා ෆයර්වෝම් නමැති පණු විශේෂය අඟලකට වඩා කුඩා හෝ සෙන්ටිමීටර 2.5ක් පමණ දිග පණු විශේෂයක් වන අතර මුහුදු කණින්නන් විශේෂයක් ලෙසින් කැරිබියන් මුහුද පුරා පැතිරී ජීවත් වේ.

කෙසේ නමුත් ඔවුන්ව එක්වරම දර්ශන පථයට ග්‍රහණය කරගැනීම තරමක් දුෂ්කර වේ. මෙකී පණු විශේෂය දිනය පුරාම දර්ශනය වන ජීවී කොට්ඨාසයක් නොවේ. ගිම්හානයේ අවසාන භාගයෙහි දී පුර සඳ පායන දිනය ඉක්මයෑමෙන් අනතුරුව එළ‍ඹෙන තෙවන රාත්‍රියෙහි දී, එනම් ආසන්න වශයෙන් හිරු අවරට යෑමෙන් විනාඩි 22ක් පමණ ඉක්ම ගිය තැන්හි, මොවුන් එකිනෙකා සමඟ සංසර්ගයෙහි යෙදෙමින් ශරීරයෙන් ආලෝක ධාරාවන් නිකුත් කරන ආකාරය නිරීක්ෂකයන්ට සිය දර්ශන පථයට හසු කරගත හැක. මෙකී ජීවී විශේෂය පිළිබඳ නිකුත් කරන ලද පර්යේෂණාත්මක නිබන්ධනයෙහි සම කතෘවරයෙකු වන මාක් සිඩ්ල් මෙම ජීවීන්ගේ සංසර්ග ව්‍රතය පිළිබඳව දීර්ඝ විවරණයක් ඉදිරිපත් කරයි. මාක් සිඩ්ල් වූ කලී ස්වභාවික ඉතිහාසය පිළිබඳ අැමරිකානු කෞතුකාගාරය (AMNH) හි අපෘෂ්ඨවංශික සත්ව විද්යා අංශය (Division of Invertebrate Zoology) හි භාරකරුව‍ෙකු හා ආරක්ෂකයෙකි.

Odontosyllis Enopla (ScienceAlert)

ඔහු පවසන ආකාරයට මෙකී පණු වර්ගයෙහි ගැහැනු සතුන් සාගර පත්ලෙහි සිට දිය මතුපිටට පැමිණෙන අතර ඔවුන් එළිය විහිදුවමින් ඉතා වේගවත්ව කවාකාරව පිහිනා යයි. එවිට ඔවුන්ව දිස්වන්නේ අඳුරු පැහැති ජල තලය හරහා විසිරී යන නීල වර්ණ තරු යායක් පරිද්දෙනි. ඉන් අනතුරුව පිරිමි සතුන් වයිරම් ගසමින් රේඛීයව ගැහැනු සතුන්ගේ ආලෝක ධාරාව කරා පැමිණේ. එසේ පැමිණ ගැහැනු සහ පිරිමි සතුන් ඔවුන්ගේ ජන්මානු දියට දමන අවස්ථාවෙහි දී කුඩා එළියක් පුපුරා යයි. මෙම ජීවීන් විශාල සංඛ්‍යාවක් මෙසේ සිය ප්‍රජනන කාර්යයෙහි නිරත වන අවස්ථාවේ දී ජල තලය එකම කොළ පැහැයකින් දීප්තිමත් වීම ආරම්භ වේ. ජන්මානු මුසු කිරීමේ දී සිදුවන ආලෝක පුපුරායෑම හේතුවෙන් ජල තලය මත ඉස්මතු වන විචිත්‍රවත් ආලෝක රටාව සැබවින්ම විචිත්‍රවත් වූත්, සොඳුරු පාරිසරික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

සිඩ්ල් ඇතුළු කණ්ඩායම සිය පර්යේෂණ කටයුතුවලට යොදාගැනීම සඳහා බර්මියුඩාවෙන් මෙකී පණු විශේෂයෙහි සාමාජිකයන් කිහිපදෙනෙකු රැගෙන එන ලදී. රැගෙන පැමිණි ගැහැනු පණුවන් තිදෙනෙකු විෂයෙහි, සංසර්ගයෙහි යෙදීමටත් ජන්මානු මුසු කිරීමටත් පිරිමි සත්ත්වයන් රැළක් යොදාගන්නා ලද අතර සංසර්ග ක්‍රියාවලියෙහි දී ඔවුන් එකිනෙකා දක්වන ජානමය ප්‍රතිචාරයන් හා ප්‍රකාශනයන් මෙකී පර්යේෂණ කටයුතු හරහා අධ්‍යයනය කරමින් හඳුනාගෙන ඇත. පර්යේෂකයන් විසින් අනාවරණය කරගන්නා ලද්දේ බර්මියුඩා පණුවන් සංසර්ගයෙහි දී ආලෝකය විහිදුවාලන්නේ ඔවුන් සතු ලුසිෆෙරාස් නමැති සුවිශේෂී එන්සයිමය උපයෝගී කරගනිමින් බව යි. කණාමැදිරියන් ද ආලෝකය විහිදුවීම සඳහා මෙකී එන්සයිමය නිෂ්පාදනය කරයි. කෙසේ නමුත් බර්මියුඩා පණුවන්ගේ ශරීරයෙන් නිෂ්පාදනය වන ලුසිෆෙරාස් එන්සයිම වර්ගය මෙතක් ලොව වෙනත් කිසිදු ජීවියෙකු සතුව තිබී සොයාගෙන නැත. එහෙයින් ආලෝකය විහිදුවාලන බර්මියුඩා පණුවන් විශේෂිත ජීවී කොට්ඨාසයක් ලෙස හඳුනාගෙන ඇත.

බර්මියුඩා පණුවන්ගේ සංසර්ග ක්‍රියාකාරීත්වය හේතුවෙන් ජල තලයෙහි මැවෙන අලංකාර රටා (puertoricotourdesk.com)

සංසර්ග ක්‍රියාවලියෙහි දී ගැහැනු පණුවන්ගේ ශරීරයෙහි සිදුවන ජෛව විද්‍යාත්මක වෙනස්කම් පෙළක් ද මෙකී පර්යේෂණය හරහා පර්යේෂකයන් විසින් හඳුනාගෙන ඇත. නිශ්චිත එන්සයිම කිහිපයක ක්‍රියාකාරීත්වය විසින් සෑම පණුවෙකුම සතු අක්ෂි විවර සතර, කොළ-නිල් පැහැයට වඩාත් සංවේදී වන සේ විශාලනය කරවන බව ද අනාවරණය කරගෙන ඇත. සෙසු එන්සයිම මඟින් මෙකී ජීවීන් සතු ජන්මානු ගබඩාව සහ ජන්මානු නිකුත් කිරීමේ පද්ධතිය විවිධ විපර්යාසයන්ට භාජනය කරවන බව ද සොයාගෙන ඇත. තමාට මෙම දර්ශනය දිස් වූ ප්‍රථම අවස්ථාවෙහි දී කොලොම්බස් මේ කිසිවක් දැන සිටියේ නැත. මෙය විසිඑක්වන සියවසේ තවත් එක් අභිරහස් අනාවරණයකි. අවසාන වශයෙන් පැවසිය යුත්තේ මෙකී ජීවී විශේෂයෙහි ප්‍රජනන ක්‍රියාකාරීත්වය අනාවරණය කරගැනීම, ජෛව-වෛද්‍ය පර්යේෂණයන්හි ප්‍රගමනයට හේතු වන ජයග්‍රාහී සොයාගැනීමක් වන බව යි.

කවරයේ පින්තූරය (Fodors Travel Guide)

මූලාශ්‍රයයන්:

  • Sexy Sea Worms Light Up Bermuda in One-of-a-Kind Mating Ritual, livescience.com
  • The transcriptome of the Bermuda fireworm Odontosyllis enopla (Annelida: Syllidae): A unique luciferase gene family and putative epitoky-related genes, journals.plos.org

Related Articles