මොනවද මේ ජෛව රසායනික අවි?

‍යුද්ධයක දී භාවිත කළ හැකි ඉතාමත්ම අමානුෂික හා භයානක ආයුධයක් ලෙස ජෛව රසායනික අවි හඳුන්වන්නට පිළිවන්. ලොව බොහෝ විද්වතුන් සදාචාර විරෝධී ක්‍රමයක් ලෙස හැඳින්වූවත් බලවත් ජාතීන් විසින් පවා සිය සතුරා මර්ධනය කිරීම සඳහා මේ ක්‍රම යොදාගෙන තිබෙන්නේ අද ඊයෙක නොවේ. ‘ජෛව රසායනික අවි’ පිළිබඳව බොහෝ දෙනෙක් අසා තිබුණත් එහි සම්භවය, ඉතිහාසය, හෝ ක්‍රමවේදයන් පිළිබඳව බොහෝ දෙනා තුල ඇත්තේ අසම්පූර්ණ දැනුමක්. ලොව පුරා විවිධ දේ පිළිබඳව දැනුම පිපාසයෙන් පෙළෙන ඔබ වෙත ජෛව රසායනික අවි පිළිබන්දව සවිස්තරාත්මක ලිපියක් ඉදිරිපත් කිරීමට අපි අදහස් කළේත් ඒ නිසාමයි.

ජෛව රසායනික අවි ලෙස හඳුන්වන්නේ මොනවා ද?

ජෛව රසායනික අවියක් භාවිතා කිරීම යනු රෝගකාරක ජීවියෙක් හෝ ද්‍රව්‍යයක් හෝ, එසේත් නැත්නම් ධූලකයක් හිතාමතාම මිනිසුන්, සතුන්, හෝ වගාවන් ඉලක්ක කරගෙන මුදා හැරීම යි. මේවා පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය විය හැකි හෝ, එසේ නොහැකි යනුවෙන් කොටස් දෙකකට වෙන් කොට දැක්විය හැකි යි.

ජෛව රසායනික අවියක් මුදාහළ හැකි ප්‍රධාන ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. ඒවා වාතයට මුසු කිරීම, මිනිස් වාහකයන් යොදාගැනීම, සතුන් මඟින්, ආහාර මඟින් මෙන්ම ජලය ඔස්සේ ද ව්‍යාප්ත කළ හැකි යි. ජෛව රසායනික අවි ලෙස බහුතරයක් අවස්ථා වල දී යොදා ගන්නේ බැක්ටීරියා, වෛරස, හෝ ධූලක යි. ඇන්ත්‍රැක්ස් ඇති කරන Bacillus anthracis බැක්ටීරියාව, මහාමාරිය ඇති කරන Yersinia pestis  බැක්ටීරියාව, හා බොටුලිසම ඇති කරන බොටුලිනම් ධූලකය ඉතිහාසය පුරා වැඩිපුරම යොදාගෙන තිබෙන ජෛව රසායනික අවි කිහිපයක් වෙනවා.

වර්ණ ගන්වන ලද ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව අන්වීක්ෂීයෙන් පෙනෙන අයුරු – vitalrecord.tamhsc.edu

මිනිස් වර්ගයාට අපහසුතා ඇති කිරීම සඳහා වගාවන් ඉලක්ක කොට ගෙන ජෛව රසායනික අවි යොදාගැනීමේ දී, බැක්ටීරියා හා වෛරස වලට අමතරව දිලීර මෙන්ම ප්‍රොටොසෝවාවන් ද යොදාගන්නවා. මිනිස් වර්ගයාගේ ප්‍රයෝජනය උදෙසා ජෛව රසායනික අවි යොදාගන්නා එක් අවස්ථාවක් ලෙස හානිදායක කෘමීන්ට එරෙහිව තවත් ජීවියෙක් ව්‍යාප්ත කොට, එම හානිදායක කෘමි ප්‍රජාව පාලනය කිරීම ගත හැකි යි. විසිවන සියවසේ අග භාගයේ ශ්‍රී ලංකාවේ පොල් වගාවට වින කැටූ පොල් පත්‍ර කණින්නා හෙවත් promecotheca cumingi මර්ධනය කිරීමට Dimmockia javanica නම් ජීවියා යොදා ගැනීම මීට හොඳම උදාහරණයක්.

පොල් පත්‍ර කණින්නා -taxondiversity.fieldofscience.com

ජෛව රසයනික අවි වල ඉතිහාසය

යුධමය කටයුත්තක් සඳහා ජෛව රසායනික අවි යොදාගැනීමේ ඉතිහාසය අදින් වසර 700 ක් පමණ ඈතකට දිවයනවා. ක්‍රි.ව 1346 වසරේදී යුරෝපය අල්ලා ගැනීමේ සටන් වල නියුතුව සිටි මොංගෝලියානු හමුදාව විසින් කැටපෝල යොදාගෙන, මහාමාරිය රෝගයෙන් මියගිය අයවළුන්ගේ මළකඳන් ක්‍රිමියාවේ කැෆා නුවරට ජලය සැපයූ මූලාශ්‍ර වලට හා නගර මධ්‍යයට විදිනු ලැබුවා. මේ හේතුවෙන් වසංගතයක් මෙන් මහාමාරිය පැතිර ගිය අතර බොහෝ දෙනා රෝගය වැළඳී මිය ගියා. කෙසේ නමුත් අවසානයේ දී මහාමාරි වසංගතය මොංගෝලියානුවන්ට ද පාලනය කරගත නොහැකි වූ අතර, නුවරින් බේරී පැනගිය අයවළුන්ගෙන් අවට පෙදෙස් වලට ද රෝගය පැතිරී ගියා.

කැෆා නුවර වැටලීම -modernnotion.com

මහාමාරිය ඇති කරන රෝගකාරකය ජෛව රසායනික අවියක් ලෙස යොදා ගත් අවස්ථා එතෙකින් නිමා වන්නේ නැහැ. දෙවන ලෝක යුධ සමයේ ජපානය විසින් මහාමාරියවාහක මැක්කන් මිලියන 15ක් චීනය වෙත මුදා හැරි බව සඳහන් වෙනවා. මීට අමතරව ඇමෙරිකාව හා රුසියාව ද මෙය ජෛව රසායනික අවියක් ලෙස යොදාගැනීමේ සූදානමක සිට තිබෙනවා.

මහාමාරියට අමතරව වසූරිය රෝග කාරකයත් ජෛව රසායනික අවියක් ලෙස ඉතිහාසයේ බොහෝ කොටම යොදාගෙන තිබෙනවා.  18 වන සියවසේ මැද භාගයේ දී බ්‍රිතාන්‍ය හමුදා හා ඇමෙරිකානු ස්වදේශික කණ්ඩායම් අතර යුධ ගිණි ඇවිළුණු විට බ්‍රිතාන්‍යයන් උපක්‍රමශීලීව වසූරිය රෝගකාරකය සහිත කබා හා ලේන්සු ස්වදේශිකයින්ට ලැබෙන්නට සලස්වා තිබෙනවා. පසුකාලීනව වසූරිය රෝගය ලොවින් තුරන් කළ පසුත්, එහි සංරක්ෂණය කර තිබූ නියැදි කිහිපය විනාශ කළ යුතු යැයි ජගත් වශයෙන් මතයක් පැණ නැඟුණේ ISIS සටන්කාමීන් වැනි ත්‍රස්ත සංවිධානයන් ඒවා සොරකම් කොට ජෛව රසායනික අවි ලෙස යොදා ගනීවි යැයි අවදානමක් පැවතුණු නිසා යි.

ජෛව රසායනික අවි වලින් ඇති වන බලපෑම සමහර විටෙක පාලනය කිරීමට නොහැකි තරමේ ජගත් අර්බුධයක් පවා නිර්මාණය කළ හැකි මට්ටමට යාමේ අවදානමක් ඇති නිසාත්, එහි ප්‍රතිඵල ඉතා දීර්ඝ කාලීනව ද බලපෑ හැකි නිසාත්, මේවා සම්බන්ධ විවිධ සම්මුතීන් වලට ජගත් ප්‍රජාව අනුගත වී තිබෙනවා.

ජෛව රසායනික අවි පිළිබඳ නව ප්‍රවණතා

ජාන ඉංජිනේරු විද්‍යා තාක්ෂණය යොදාගෙන වඩා ප්‍රබල ජෛව රසායනික අවි නිපදවන්නට පිළිවන් – Shutterstock

තාක්ෂණයේ දියුණුවත් සමඟ ජෛව රසායනික අවි පිළිබඳව වූ අවදානම තවත් වැඩි වී තිබෙනවා. විශේෂයෙන් නිණිති තාක්ෂණය හා ජාන ඉංජිනේරු විද්‍යාව ඉතා දියුණු තත්ත්වයකට පත් වීමත් සමඟම ජෛව රසායනික අවියක ප්‍රබලත්වය ද ඒ ඔස්සේම වැඩි දියුණු කිරීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව පටක රෝපණ ක්‍රමවේද, ක්ලෝනකරණය, නවීන ඇසුරුම් ක්‍රම වැනි දෑ ද යොදාගෙන වඩා බලවත් ජෛව රසායනික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් පවතිනවා. ක්ලෝනකරණයෙන් හා පටක රෝපණයෙන් කාර්යයක්ෂ්ම ලෙස රෝග වාහක ගුණනය කර ගැනීම සිදු කළ හැකි අතර, නවීන ඇසුරුම් ක්‍රම නිසා වැඩි කලක් ඒවා නොනැසී පවත්වා ගැනීමේ හැකියාව ලැබෙනවා.

ජෛව රසායනික අවි වල යහපත් පැත්ත

ජෛව රසායනික අවි තැනීමේ හැකියාව වැඩි දියුණු වීමෙන් ලොවට සිදු වන්නේ අවැඩම පමණක් නොවේ. ජෛව රසායකින අවි මිනිසාට අවාසිදායක ජීවීන්ට එරෙහිවත් භාවිතා කරන්නට පිළිවන්. විශේෂයෙන් භෝග වගා කිරීමේදී පළිබෝධ විනාශ කිරීමට ජෛව රසායනික අවි යොදා ගන්නවා. ලිපියේ කලින් සඳහන් වූ පොල්පත්‍ර කණින්නා පාලනය කිරීමට යොදාගත් promecotheca cumingi මෙන්ම Bacillus thuringiensis ද ලොව වඩාත්ම කතාබහට ලක් වූ මානව වර්ගයාට යහපතක් කළ ජෛව රසායනික අවි වෙනවා. මීට අමතරව බැක්ටීරියා භක්ෂක වෛරස ද මිනිසාට හිතකර ජෛව රසායනික අවියක් සේ භාවිතා කරන්නට පුළුවන්.

Bacillus thuringiensis – Scimat/fineartamerica.com

ජෛව රසායනික අවියක බලපෑම

යම් පුද්ගලයෙකුට ජෛව රසායනික අවියක් මඟින් ඇති කරන බලපෑම සාධක කිහිපයක් හේතුවෙන් වෙනස් විය හැකියි. අවියට නිරාවරණය වූ කාලය, මාත්‍රාව, මුහුණ දෙන්නාගේ සෞඛ්‍ය තත්ත්වය, වෛද්‍යාධාර ලබා දීමට ගත වූ කාලය, හා පෙර සූදානම් වී සිටීම යන කරුණු අනුව ජෛව රසායනික අවියකට නිරාවරණය වූ පුද්ගලයාට වූ බලපෑම නිශ්චය කෙරෙනවා.

වඩා හිතකර ජෛව රසායනික අවි සහිත ලොවක් කරා…

nblaturalaze.com

තාක්ෂණයේ දියුණුවත් සමඟ අනාගතයේ දී වඩා ප්‍රබල ජෛව රසායනික අවි තැනීමේ හැකියාව ලොවට ලැබෙන බව නොරහසක්. කෙසේ නමුත් ඒවා සමස්ථයක් ලෙස මානව වර්ගයාට හිතකර හා වාසිදායක ලෙස යොදාගන්නවා ද, විනාශය සඳහා යොදාගන්නවා ද යන කරුණ මත මිනිස් ප්‍රජාවගේ අනාගතය තීරණය වනු ඇති.

කවරයේ පින්තූරය- YouTube

Related Articles