Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘ශාක අන්ධභාවය’ පතුරුවන උද්භිද විද්‍යාඥ හිඟය

අද දවස ඇතුළත ඔබ දුටු නානාප්‍රකාර ශාක අතුරින් එකක් හෝ මතකයට නඟා ගත හැකි ද? ඒ ශාකය අලංකාර පුෂ්ප හෝ විචිත්‍රවත් පත්‍ර සහිත ශාකයක් නම් එහි නාමය කුමක්දැයි සෙවීමේ කුතුහලයක් ඔබට දැනුණා ද?

ඇත්ත වශයෙන් ම ශාකයක් යනු විශාල තොරතුරු ප්‍රමාණයක්. විචිත්‍රවත් ලක්ෂණයකින් හෝ අපට ප්‍රයෝජනවත් වන සාධකයකින් හැරෙන්න ශාකයක් මතක තබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක්. අපගේ මොළය, දකින ඕනෑම දෙයක් හඳුනා ගැනීම හෝ මතක තබා ගැනීම සඳහා වැඩසටහන්ගත වී නැහැ.

 යම්කිසි කාලයක් ශාක සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සහ පුහුණුවක් ලබන්නේ නම් ඔබ දකින ඕනෑම ශාකයක සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින නම හෝ විද්‍යාත්මක නාමය, ඔවුන් අයත් වන විශේෂය, අනෙකුත් ශාක සමඟ ඔබ දකින ශාකය වෙනස් වන අන්දම හෝ සමාන වන අන්දම, ඔවුන් ජීවත් වන පරිසරයේ ස්වභාවය සහ එම පරිසරයට ඔවුන් දක්වන අනුවර්තන, වැනි විශාල තොරතුරු ප්‍රමාණයක් බොහොම කෙටි කලකින් සිත තුළ ගොනුකර ගත හැකි යි. ඇතැම් විට දකින ශාකයේ පරිණාමික සබඳතා ගැන පවා අවබෝධයක් ලැබේවි.

මේ සියල්ල අවසානයේ දී ඔබ සොබාදහම පිළිබඳ යම් සාක්ෂරතාවයක් ඇති සෞන්දර්යවාදියෙක්!

ලෝකයේ උද්භිද විද්‍යා උපාධිධාරීන් ගේ බිහිවීම වේගයෙන් අඩු වෙමින් පවතිනවා – theconversation.com 

ශාක අන්ධභාවය

එක්සත් ජනපදයේ උද්භිද විද්‍යාඥයන් දෙපළක් වන එලිසබෙත් ෂුස්ලර් සහ ජේම්ස් වැන්ඩර්සි, ශාක පිළිබඳ පවත්නා නොදැනුවත්භාවයට අපූරු නමක් භාවිත කරනවා. එය හඳුන්වන්නේ “ශාක අන්ධභාවය (Plant Blindness)” යනුවෙන්. ශාක පිළිබඳ නිසි ඉගැන්වීමක් නොමැති නම් තමා වෙසෙන පරිසරයේ ශාක කොතරම් තිබුණත්, ඒවා දර්ශනය නොවන බව ෂුස්ලර් සහ වැන්ඩර්සි විශ්වාස කරනවා. ක්‍රම ක්‍රමයෙන් තරඟකාරී වන ලෝකය හමුවේ අවට පරිසරය පිළිබඳ ව ඇති සංවේදීතාව මිනිසුන් වෙතින් ගිලිහී යෑම අරුමයක් නොවෙයි. ඒ නිසා ම පාරිසරික කරුණු සම්බන්ධයෙන් විශේෂඥ දැනුමත් ඇති මිනිසුන් සමාජය සමඟ මුසු වී ජීවත් විය යුතු යි. එවිට අවශ්‍ය මොහොතේ දී දැනුම සමාජය වෙත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. මේ සඳහා කදිම උදාහරණයක් අපිට ශ්‍රී ලංකාවේ සිදුවීමක් හරහා ම තේරුම් ගත හැකි යි.

  ගම්පහ ප්‍රදේශයේ දාරළුව දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රදේශයක වන ලැහැබක් තුළින් හමු වූ “කෲඩියා සිලනිකා” ශාකය ඔබට මතක ද?

ලෝකයෙන් සම්පූර්ණයෙන් ම වඳවී ගිය බවට විශ්වාස කළ මෙම ශාකය, යළි සොයා ගැනීමත් සමඟ විශාල ආන්දෝලනයක් ඇති වුණා. ශාකය ජීවත් වන බිම්කඩ, අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හමුවේ තර්ජනයට ලක් වීමේ අවදානමක් තිබීම ඊට හේතුව යි. පසුකලෙක “කෲඩියා සිලනිකා” තවත් ප්‍රදේශවලින් හඳුනා ගැනීමේ පුවත් වාර්තා වුව ද “කෲඩියා සිලනිකා” දාරළුවෙන් හඳුනා ගන්නා තුරුම එය මිනිසුන් ගේ දෑස් වෙතින් සැඟවී තිබුණා. ඇතැම් විට මෙම වන ලැහැබ තුළට ගම්වාසීන් මීට පෙර පැමිණ තිබෙන්නටත් ඇති. සමාජය තුළ මුහු වී සිටින ශාක පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති මිනිසුන් හඬ අවදි කරන තෙක් ම කෲඩියා සිලනිකා, “ශාක අන්ධභාවය” හමුවේ සැඟ ව ජීවත් වුණා.

කෲඩියා සිලනිකා – www.bbc.com 

නවත ම අධ්‍යනයකට අනුව මිනිසුන්ට ශාක පිළිබඳ නිවැරදි දැනුමක් ලබාදිය හැකි විශේෂඥයන් ගණන ද අඩුවෙමින් තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයට ම බලපා ඇති ගැටලුවක්. වර්තමානයේ දී උද්භිද විද්‍යා අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම සහ එය හැදෑරීමට ඇති අවස්ථා අඩු වීමේ අවදානමක් තිබීම ඊට හේතුව යි. එවිට උද්භිද විද්‍යාඥයන් බිහිවීමේ ඌණතාව නිරායාසයෙන් ම මතු වෙනවා. මෙම තත්ත්වය නූතන උසස් අධ්‍යාපනයේ තිඹිරි ගෙයක් බඳු එක්සත් රාජධානිය තුළින් ම දක්නට ලැබීම එතරම් යහපත් දෙයක් නොවෙයි.

මඟ හරින විෂය පථය

උද්භිද විද්‍යාව යනු පුළුල් ව පැතිරුණු විෂය ක්ෂේත්‍රයක්. එය ප්‍රධාන ආකාර තුනකින්, පහත පරිදි අධ්‍යයනය කළ හැකි යි.

1. ශාක ජීවිතයේ මූලික ස්වභාවික සංසිද්ධි සහ ක්‍රියාවලි.

2. උද්‍යාන විද්‍යාව, කෘෂිකර්මය, ජාන තාක්ෂණය, වන විද්‍යාව වැනි ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන විෂය සඳහා ශාක භාවිතා කළ හැකි ආකාරය.

3. ශාක විවිධත්වය සහ වර්ගීකරණය

මේ ප්‍රධාන ආකාර තුන තවදුරටත් අනු විෂය පථ ලෙස බෙදී යනවා.

උද්භිද විද්‍යාව තරමක් අභියෝගාත්මක අධ්‍යයන ක්ෂේත්‍රයක් – theconversation.com 

බොහෝ ජීව විද්‍යා උපාධි සහ පාසල් වැඩසටහන්වල අංගයක් වූ “උද්භිද විද්‍යාව කෙරෙහි ඇති අවධානය” වේගයෙන් ගිලිහෙමින් පවතින අතර, එක්සත් රාජධානිය තුළ උද්භිද විද්‍යාව උපාධියක් මට්ටමින් හැදෑරීම සඳහා යොමුවන සිසුන් සංඛ්‍යාවේ අඩු වීමක් දක්නට ලැබෙන බව පැවසෙනවා. ජීව විද්‍යා උපාධිධාරීන් අතර පවා ශාක පිළිබඳ දැනුම අල්ප වීමට එය හේතු වී තිබෙනවා.

2007 සිට 2019 දක්වා විවිධ ජීව විද්‍යා වැඩසටහන් හරහා උපාධි ලබා ගත් එක්සත් රාජධානියේ සිසුන් සංඛ්‍යාව පිළිබඳ ව පර්යේෂණයක් පවත්වා තිබුණා. එහි දී ශාක කෙරෙහි පමණක් අවධානය යොමු වන පරිද්දෙන් පාඨමාලා තුළ මොඩියුල තෝරා ගෙන ඇත්තේ 14% ක් පමණ යි. එමෙන් ම, ජීව විද්‍යා වැඩසටහන්වල අන්තර්ගතයෙන් ශාක විශේෂ හඳුනා ගැනීම සඳහා ඕනෑම ආකාරයක පුහුණුවක් ලබා දෙන මොඩියුල ඇතුළත් කර තිබුණේ 1% ක් පමණ යි!

“හර්බේරියම් ශීට්” යනු සංවිධානාත්මක ලෙස සංරක්ෂණය කරමින් ලේබල් කරගත් ශාක නිදර්ශක එකතුවක් – www.dreamstime.com 

වාණිජ පදනම ගැන පමණක් සිතීම

එක්සත් රාජධානිය තුළ පමණක් උද්‍යාන විද්‍යාව ආශ්‍රිත ව බිහි වූ කර්මාන්තවල වටිනාකම පවුම් බිලියන 5 ඉක්මවන අතර, ඒවායේ පුද්ගලයන් 37,000කට වඩා සේවය කරනවා. එවැනි විෂය ක්ෂේත්‍රයක් හරහා ශාක පිළිබඳ දැනුම ලැබෙන්නේ යම් සීමාවක් තුළ පමණ යි. වර්තමානයේ ජීව විද්‍යාව හදාරන බොහෝ සිසුන් අණුක ජීව විද්‍යාව, ජෛව තාක්ෂණය, ක්ෂුද්‍ර ජීව විද්‍යාව වැනි ක්ෂේත්‍ර වලට යොමු වන බැවින්, ශාක පිළිබඳ අධ්‍යයනය පහත වැටී ඇති බවට සැකයක් නැහැ.

ඒ අනුව ඉහත සඳහන් කළ විෂය පථ තුන අතුරින් “ශාක විවිධත්වය සහ වර්ගීකරණය” යන විෂය පථය විශාල පසුබෑමකට ලක් වී තිබෙනවා. අවාසනාවකට උද්භිද විද්‍යාවේ මූලික හරය ඇත්තේත් මෙතැන යි. ආර්ථික ප්‍රතිලාභ හෝ රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් ජීව විද්‍යා විෂයන් හැදෑරීම ගැටලුවක් නොවුණත්, එහි ඇති ශාස්ත්‍රීය පදනම අතහැරීමෙන් පාරිසරික ව්‍යාපෘති පලදායී ලෙස කළමනාකරණය කිරීමේ හැකියාව සහ කුසලතාව වෘත්තිකයන් වෙතින් ඈත් වෙනවා. එය පාරිසරික හායනයටත් හේතු විය හැකි යි. මෙම කරුණ සත්ත්ව විද්‍යාවටත් අදාළ යි. 

වර්තමානයේ දී උද්භිද විද්‍යා අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම සහ එය හැදෑරීමට ඇති අවස්ථා අඩු වීමේ අවදානමක් තිබෙනවා – www.cassiarcannery.com 

 නිදසුනක් වශයෙන් වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් ග්‍රහණය කර ගැනීමේ අරමුණින් භූගත ජලය විශාල වශයෙන් පරිභෝජනය කරන ශාක විශේෂයක් සිටුවීම ගැන සිතමු. පාරිසරික ව්‍යාපෘතියක් වශයෙන් එය කාලෝචිතයැ යි පෙනෙන්නට තිබුණත්, යටි රෝපණයේ තිබෙන දුර්ලභ පැළෑටිවලට ජලය අහිමි වී යා හැකි යි. අවසානයේ දී ව්‍යාපෘතිය සිදු කරන පරිසර පද්ධතියේ ශාක විවිධත්වයටත් හානි පැමිණෙනවා. මෙවැනි කරුණු ඉක්මනින් ම සංවේදනය වන්නේ ශාක විවිධත්වය සහ වර්ගීකරණය පිළිබඳ අවබෝධයක් ඇති විද්වතුන්ට පමණ යි.

ස්කොට්ලන්ත රජයේ තර්කය

ශාක හඳුනා ගැනීම සහ ඒවා ආශ්‍රිත පාරිසරික කරුණු පිළිබඳ අධ්‍යාපනය දුර්වල වීම හරහා ස්වභාවික ලෝකයෙන් මිනිසුන් විසන්ධි වීම වැලැක්විය නොහැකි යි. ආපසු යහපත් තත්ත්වයට හැරවිය නොහැකි තරමට ම පරිසර පද්ධති විනාශ මුඛයට ළඟා වීමට මත්තෙන්, විශේෂඥ දැනුමැති උද්භිද විද්‍යාඥයන් ලොවෙන් තුරන් වීමේ අවදානම හඳුනා ගත යුත්තේ ඒ නිසා යි.

උද්භිද විද්‍යා අධ්‍යාපනය පුනර්ජීවනය කළ යුතු යි. එය අනාගත පරපුර වෙනුවෙන් සිදු කරන ආයෝජනයක් – www.istockphoto.com 

ස්කොට්ලන්ත රජය ඉහත සාකච්ඡා කළ කරුණු සියල්ල ම පාහේ සැලකිල්ලට ගත් ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා. ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් ක්‍රියාවට නැංවීම සඳහා නිපුණ ශ්‍රම බළකායක් නොමැතිකම අර්බුදයක් බව ඔවුන් තර්ක කරනවා. සැලසුම් ශිල්පීන්, ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, අධ්‍යාපනඥයන්, ගොවීන්, ධීවරයන් වැනි බොහෝ වෘත්තිකයන්ට “සොබාදහම පිළිබඳ සාක්ෂරතාව” කුසලතාවක් ලෙස වර්ධනය කරගත යුතු බව ස්කොට්ලන්ත රජයේ අදහස යි. ඒ සඳහා උද්භිද විද්‍යාඥයන් සම්පත් දායකයන් ලෙස එකතු කරගත හැකි යි.

 එක්සත් රාජධානියේ පමණක් නොව, වෙනත් අධ්‍යයන හරහා ලොව පුරා ශාක පිළිබඳ සාක්ෂරතාව වේගයෙන් පහත වැටෙන බව හඳුනා ගෙන තිබෙනවා. දිනෙන් දින “ශාක අන්ධභාවයෙන්” පෙළෙන මිනිසුන් ගණනත් ඉන් වැඩි වෙනවා.

පුනර්ජීවනය ලැබිය යුතු ක්ෂේත්‍රයක්

උද්භිද විද්‍යාව කිසිවිටෙක පහසු ක්ෂේත්‍රයක් වශයෙන් ප්‍රචලිත ව තිබුණේ නැහැ. විශේෂයෙන් ම එහි එක් විෂය පථයක් වූ ශාක විවිධත්වය සහ වර්ගීකරණය අඩුම ජනප්‍රියත්වයක් ලැබූ පාඨමාලාව වූ අතර, ශාකයක් හඳුනා ගැනීමේ දී භාවිත කරන සංකීර්ණ ක්‍රියාදාමය නිසා ඒ දැනුම් පද්ධතිය වඩාත් කැපී පෙනුණා. පෘථිවියේ ජීවය පවත්ව ගැනීම සඳහා මෙම කුසලතා කොතරම් වැදගත්දැ යි අමුතුවෙන් කිව යුතු නැහැ. ශාක විශේෂ සහ ඒවායේ අන්තර් සම්බන්ධතා පිළිබඳ මනා දැනුමක් ඇති මෙවැනි උද්භිද විද්‍යාඥයන් තුරන් නොවිය යුත්තේ ඒ නිසා යි.   

උද්භිද විද්‍යාඥයන් යනු සැබෑ සෞන්දර්යවාදීන් – www.conservation-careers.com 

පාරිසරික ප්‍රතිපත්ති සහ ආරක්ෂණ ක්‍රියාදාම පිළිබඳ දැනුමැති ජනතාවක් බිහි කිරීමෙන් උද්භිද විද්‍යා අධ්‍යාපනය පුනර්ජීවනය කළ හැකි යි. ඒ සඳහා උද්භිද විද්‍යාඥයන් පෙරට පැමිණීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ශ්‍රී ලාංකික පරිසරවේදීන් මෙම කාරණයේ දී තරමක් ක්‍රියාශීලි ව කටයුතු කරනවා. “කෲඩියා සිලනිකා” ගැටලුවේ දී ඔවුන් සිදු කළ දැනුම්වත් කිරීම් නිසා සමාජය තුළ ඒ දුර්ලභ ශාකය කෙසේ හෝ ආරක්ෂා කරගත යුතුයැ යි හැඟීමක් ඇති වුණා. දේශපාලකයන් මෙම කරුණ ඉදිරියේ අනුගමනය කළේ තරමක දියාරු පිළිවෙතක්. එසේ නම්, උද්භිද විද්‍යාඥයන්ට සහ සමාජයට පමණක් මේ පුනර්ජීවනය ඇති කළ නොහැකි යි. ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු තීරණ ගන්නා අය ද ඒ සඳහා පෙරමුණ ගත යුතු යි.  

කවරයේ ඡායාරූපය: වර්තමානයේ ජීව විද්‍යාව හදාරන බොහෝ සිසුන් අණුක ජීව විද්‍යාව, ජෛව තාක්ෂණය, ක්ෂුද්‍ර ජීව විද්‍යාව වැනි ක්ෂේත්‍ර වලට යොමු වන බැවින්, ශාක පිළිබඳ අධ්‍යයනය පහත වැටී ඇති බවට සැකයක් නැහැ - www.seedyourfuture.org/botanist

මූලාශ්‍ර:

www.bbc.com/sinhala

www.bbc.com

theconversation.com

lordslibrary.parliament.uk 

Related Articles