Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෘථිවියේ ජීවයට වඩාත් හිතකර බ්‍රහස්පති කක්ෂයේ වෙනස් වීම

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි රිවර්සයිඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහයන් ගමන් කරන කක්ෂය වෙනස්වීම්වලට ලක් කරමින් සිදු කළ පර්යේෂණයක් ඔස්සේ සොයා ගෙන ඇත්තේ, අප සෞරග්‍රහමණ්ඩලයේ විශාලත ම ග්‍රහලොව වන බ්‍රහස්පතිගේ කක්ෂය මද වෙනස්වීමකට ලක් වුවහොත්, පෘථිවිය දැනටත් වඩා ජීවීන්ට හිතකර ග්‍රහලොවක් වනු ඇති බව යි.

බ්‍රහස්පතිගේ ගමන පෘථිවියේ පරිභ්‍රමණයටත් බලපෑම් කරන අතර, මෙලෙස එහි කක්ෂයේ වනස්වීම නිසා පෘථිවි කක්ෂය ද මඳක් වෙනස් වන බැව් ඔවුන් සොයාගෙන තිබෙනවා.

පෘථිවිය (වමේ) සහ බ්‍රහස්පති- NASA

 

කුඩා වෙනසකින් තවත් හිතකර වන පෘථිවිය

“සෞරග්‍රහමණ්ඩලයේ බ්‍රහස්පති පවතින ස්ථානය එලෙස ම පවතිද්දී, එහි කක්ෂයේ පථය පමණක් මඳක් වෙනස් වුවහොත්, පෘථිවියේ ජීවයට හිතකර බව තවත් වැඩිදියුණු වනු ඇති.” පර්යේෂණ මෙහෙයවන විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානී පැම් වර්වුට් පවසනවා. “බොහෝ දෙනා සිතා සිටින්නේ පෘථිවිය ජීවයට හිතකර තත්ත්වය උපරිමයෙන් පිහිටි ග්‍රහලොවක් බව යි. එමෙන් ම බ්‍රහස්පති කක්ෂයේ සුළු හෝ වෙනස්වීමක් එහි ජීවයට හිතකර බවට අහිතකර ලෙස බලපාන බව යි. අප සිදුකළ පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ එම අනුමාන දෙකම වැරදි බව යි. 

වඩාත් වෘත්තාකාර කක්ෂ ඇති ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරන සියලු අවස්ථාවන්හී දී ආසන්න වශයෙන්, සූර්යයා සමඟ සමාන දුර පරාස පවත්වා ගන්නා අතර, වඩාත් ඉලිප්සාකාර කක්ෂ දරන ග්‍රහලෝක විටෙක සූර්යයාට ඉතා ආසන්න වන අතර, තවත් විටෙක ඉතා දුරස් වෙනවා. මේ දුර අනුව සූර්යාගෙන් එම ග්‍රහලොවට ලැබෙන විකිරණ ප්‍රමාණය සහ එනයින් කෙතරම් ප්‍රමාණයකින් එම ග්‍රහලොව උණුසුම් වෙනවාද යන්න තීරණය වෙනවා. සරලව ම කිවහොත්, සූර්යයගේ සිට ඇති දුර ප්‍රමාණය මත එම ග්‍රහලොවෙහි දේශගුණය තීරණය වෙනවා.

බ්‍රහස්පතිගේ කක්ෂය තව දුරටත් ඉලිප්සීය වීම

බ්‍රහස්පතිගේ කක්ෂය තව දුරටත් ඉලිප්සීය වුවහොත්, එහි බලපෑම නිසා පෘථිවි කක්ෂය ද වඩාත් ඉලිප්සීය වන බැව් ඉහත විද්‍යාඥයන් පිරිස සොයා ගෙන තිබෙනවා. මේ හේතුවෙන් පෘථිවිය වසරේ සමහර කාලවල දී, දැනට වඩා සූර්යයාට ළං වීම සිදු වන අතර, මේ හේතුවෙන්, ඇන්ටාක්ටිකාව වැනි වඩාත් ශීතල පැතිවල උෂ්ණත්වය වැඩි වී, එහි  සාමන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 සිට 100 අතර වූ පරාසයට හෙවත්, ජීවයට හිතකර පරාසයට පැමිණීම සිදු වෙනවා.

පෘථිවිය දැනටත් ඉලිප්සාකාර පථයක සූර්යයා වටා ගමන් කරන අතර, එහි අක්ෂය ද අංශක 23.5ක් ඇල ව පවතිනවා. මේ නිසා ඍතු ඇතිවීම සිදුවෙනවා.

නව පරාමිති හඳුන්වා දුන් පර්යේෂණ

වර්තමානය වන විට විද්‍යාඥයන් බහුතරය විශ්වයේ ‘ජීවයට සුදුසු වෙනත් ග්‍රහලෝක’ තිබේ දැයි පිරික්සන්නට පරාමිති කිහිපයක් භාවිත කරනවා. ඒවා අනුව යම් තරුවක් වටා ඇති ‘ජීවයට සුදුසු’ කලාපයක් නම්කොට ඒ තුළ ඇති ග්‍රහලෝක පිරික්සීම සිදු කෙරෙනවා. මෙය බොහෝ විට සිදු කෙරෙන්නේ, තරුවෙහි උෂ්ණත්වය සහ විශාලත්වය අනුව, ඉන් ඈතට යන විට, සෛද්ධාන්තික ව එම ග්‍රහලොව මතුපිට ද්‍රව ජලය තිබිය හැකි උෂ්ණත්වය සහිත කලාපය ‘ජීවයට සුදුසු කලාපය’ ලෙස නම් කිරීමෙනු යි. කෙසේ නමුත් මෙම නවත ම පර්යේෂණයන්ට අනුව එම පරාමිති වෙනස් වීමකට භාජනය විය හැකි බැව් පැවසෙනවා.

බ්‍රහස්පතිගේ කක්ෂයේ සුළු වෙනසකින් පෘථිවියේ ඇන්ටාක්ටිකාව වැනි පෙදෙස් ජීවයට වඩාත් හිතහර වනු ඇත – umaine.edu

 

“බොහෝ දෙනා විශ්වයේ ජීවයට සුදුසු ග්‍රහලෝක සෙවීම සිදු කරන්නේ ඒවා ‘ජීවයට සුදුසු කලාපයේ’ පවතින ග්‍රහලෝක ද යන්න ගැන සොයා බැලීමෙන් අනතුරුව යි. මෙය සැකසෙන්නේ යම් තරුවක සිට, යම් ග්‍රහලෝකයකට ඇති දුර අනුව යි. ඒ අනුව එම ග්‍රහලොව මතුපිට ද්‍රව ජලය පැවතිය හැකි දැයි න්‍යායානුකූල ව ගණනය කිරීම සිදු කෙරෙනවා. එය එම පරාසයෙන් පිටත බැව් හැඟී ගියහොත්, වැඩිදුර අධ්‍යයනය කිරීම නවතනවා.” පර්යේෂණ කණ්ඩායමේ ස්ටීවන් කේන් පවසනවා.

“කෙසේ නමුත් මෙම පර්යේෂණ ක්‍රමවේදයේදී සැලකිල්ලට ගැනෙන්නේ යම් ග්‍රහලෝකයක් තමන් කක්ෂගත වී ඇති තරුවෙන් පිහිටා ඇති සාමාන්‍ය දුර යි. එහි දී එම ග්‍රහලෝකයේ කක්ෂය කෙතරම් ඉලිප්සීය ද යන්න සැලකිල්ලට ගන්නේ නැහැ. මේ නිසා පහසුවෙන් ඍතු වෙනස්වීම් සහිත, යම් ඍතුවලදී පමණක් හෝ ජීවයට හිතකර තත්ත්ව ඇතිවන ග්‍රහලෝක මඟහැරීම සිදුවිය හැකි යි”

ග්‍රහලෝකයක ජීවයට හිතකර බව මැනීම

මේ සාධකයට අමතර ව යම් ග්‍රහලෝකයක ජීවයට හිතකර බව මැනීම සඳහා සැලකිල්ලට ගත යුතු තවත් පරාමිතීන් කිහිපයක් මෙම විද්‍යාඥ කණ්ඩායම යෝජනා කොට තිබෙනවා. ඉන් ප්‍රධානත ම එකක් වන්නේ යම් ග්‍රහලොවක අක්ෂ‍ය කෙතරම් ඇලව පිහිට ඇති ද යන්න යි. මේ නිසා තමන් කක්ෂගත වී ඇති තාරකාවෙන් කෙතරම් විකිරණ ප්‍රමාණයක් එහි තැන් තැන්වලට ලැබේ දැයි යන්න තීරණය වෙනවා.

උදාහරණ ලෙස මෙම විද්‍යාඥයන් කණ්ඩායම, බ්‍රහස්පති දැනට පිහිටා අති දුරට වඩා සූර්යයාට ළං වුවහොත් පෘථිවි අක්ෂය තවත් ඇල වන බැව් සොයා ගෙන තිබෙනවා. මේ නිසා පෘථිවියේ සමහර ස්ථානවලට ලැබෙන සූර්යය විකිරණ ප්‍රමාණය අඩු වී, වඩාත් වැඩි පෙදෙසක් අයිස් වලින් වැසී යනු ඇති. එමෙන් ම බ්‍රහස්පති තවත් සූර්යයාගෙන ඈත් වුවහොත් පෘථිවි කක්ෂයේ ඇලය අඩු වී ධ්‍රැවාසන්න පෙදෙස්වල ජීවයට වඩා හිතකර පරිසර තත්ත්ව ඇතිවනු දැකිය හැකි වනු ඇති.

 සෞරග්‍රහමණ්ඩලය-  CactiStaccingCrane – Own work CC BY-SA 4.0

 

වර්තමානයේ පවතින දුරේක්ෂවල ප්‍රබලත්වය අනුව බ්‍රහස්පති සහ ඉන් පිටතින් පිහිටි ග්‍රහලෝකවල කක්ෂයේ ඉලිප්සීය බව අධ්‍යයනය කළ හැකි මුත්, තවමත් ඒවායේ අක්ෂවල ඇලය හරියාකාර ව අධ්‍යයන කිරීමට තරම් ඒවා දියුණු වී නැහැ. මේ අනුව අනාගතයේ තාක්ෂණික දියුණුව අනුව, වඩා නිරවද්‍ය ලෙස ඒවායේ අක්ෂවල ඇලය අධ්‍යයනය කළ හැකි වූ විටෙක මෙම පර්යේෂණ තවත් සාර්ථක ව සිදුවනු ඇති

‘වායු යෝධයන්’ ගේ කක්ෂය

මෑතකදි සිදු කළ, ඉහත සඳහන් පර්යේෂණයට අනුව, අප සෞරග්‍රහ මණ්ඩලයේ පිටතින් පිහිටා ඇති ‘වායු යෝධයන්’ ගේ කක්ෂයේ ඉලිප්සීය බව සහ අක්ෂයේ ඇලය අනුව යම් ග්‍රහලෝකයක ජීවයට හිතකර බව අධ්‍යයනය කිරීමට නව පරාමිති නිල වශයෙන් හඳුන්වා දිය හැකි වනු ඇති.

“බ්‍රහස්පති හේතුවෙන් පෘථිවියේ දේශගුණයේ සිදුවන විපර්යාස අධ්‍යයනය කිරීම ඉතා වැදගත්. අතීතයේ එහි කක්ෂයේ සිදු වූ සුළු හෝ වෙනස්වීම් නිසා පෘථිවි දේශගුණයේ සිදු ව ඇති වෙනස් වීම් ඉතා ප්‍රවේශමෙන් සොයා ගත යුතු වන්නේ, අනාගතයේදී ද එවැන්නක් සිදු වන්නට විශාල ඉඩක් පවතින නිසා යි” කේන් පවසනවා.

කවරයේ ඡායාරූපය - Tanya Oleksuik © CC NC SA 

මූලාශ්‍ර:

Space.com

Canadiantrends.ca

essentials.news

Related Articles