යළි හිස ඔසවන චර්නොබිල් බලාගාරය

“චර්නොබිල්” යන නම ඔබට එතරම් හුරු පුරුදු නොවෙන්නට පිළිවන්. නමුත් එහි නම ඇසීම පවා යුරෝපය තුළ භීතියත්, ශෝකයත්, කම්පනයත් සිත් තුළට ගෙන එන අවාසනාවන්ත දෙයක් බවට පත් වී තිබුණා. මෙම ලිපියෙන් තොරතුරු ගෙන එන්නේ ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ චර්නොබිල් බලාගාරය පිළිබඳවයි.

forum.skyscraperpage.com (චර්නොබිල්හි න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරක හතර දැක්වෙන ඡායාරූපයක්)

චර්නොබිල් යනු?

චර්නොබිල් යනුවෙන් හඳුන්වන්නේ යුක්රේනයේ පිහිටා තිබෙන න්‍යෂ්ටික බලාගාරයක්. එය යුක්රේනයේ කිව් (Kiev) නගරයේ සිට කිලෝමීටර 130 පමණ උතුරින් ද බෙලරුස් (Belarus) සිට කිලෝමීටර 20ක් පමණ දකුණු දෙසට වන්නටද පිහිටා තිබෙනවා. එය න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරක හතරකින් සමන්විතයි. ඉන් පළමු හා දෙවන ප්‍රතික්‍රියා කාරකයන් 1970 හා 1977 වසර අතර කාලයේදී ගොඩනගා ඇති අතර තුන්වන හා හතරවන ඒවා 1983 වසරේදී ගොඩනංවා තිබෙනවා.

යුක්රේනයේ මෙම ප්‍රදේශය වන ලැහැබවල් වලින් සමන්විත අඩු ජනගහනයකින් සමන්විත ප්‍රදේශයක් ලෙසද හැඳින්වෙයි. එසේම එයට කිලෝමීටර තුනකට පමණ නුදුරෙන් ප්‍රිප්‍යත් (Pripyat) නමැති නගරයක්ද ඇති අතර එය 49,000 ක පමණ ජනගහනයකින් යුතු වුණා. එසේම චර්නොබිල්හි පැරණි නගරය එයට කිලෝමීටර 15ක් පමණ ඈතට වන්නට පිහිටා ඇති අතර එහි ජනගහනය 12 500 ක් පමණ වුණා. එලෙස මෙම බලාගාරයේ සිට කිලෝමීටර තිහක් ඇතුළත භූමි ප්‍රදේශයේ ජීවත් වූ මුළු ජනගහනය 115 000 සහ 135 000 ක් අතර වූ බව සැළකෙනවා.

චර්නොබිල් ආපදාව.

usnews.com (චර්නොබිල් ආපදාව දැක්වෙන ඡායාරූපයක්)

1986 වසරේ අප්‍රේල් මස 25 වනදා එහි ක්‍රියාකාරිත්වය නැවත්වීමට ප්‍රථම චර්නොබිල්හි හතරවන ප්‍රතික්‍රියා කාරකයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් ආරම්භ කරනු ලැබුවා. ඒ එහි බලය ලබා දීම සම්බන්ධ අත්හදා බැලීමක් සඳහා වන අතර එය පසුගිය වසරේ සිට පවත්වාගෙන පැමිණියද එහි ක්‍රියාකාරිත්වය වේගයෙන් අඩු වෙමින් පැවතුණා. එනිසා අලුතින් නිපදවන ලද වෝල්ටීයතා පාලකයක් අත්හදා බලනු ලැබුවා. එලෙස ක්‍රියා කාරක පෙළක ක්‍රියාකාරිත්වය, ස්වයංක්‍රීයව වසා දැමීමේ ක්‍රියාවලියක්ද ඇතුළුව අත්හදා බැලීමක් අප්‍රේල් 26 වනදා සිදු කරනු ලැබුවා. නමුත් එහිදී සිදු වූ යම්කිසි දෝෂයක් නිසාවෙන් මෙම චර්නොබිල් බලාගාරය 1986 වසරේ අප්‍රේල් 26 වනදා හදිසියේ පුපුරා යාමට ලක් වූවා. එම පිපිරීමෙන් සේවකයන් දෙදෙනෙකු මියගිය අතර එනිසා පරිසරයට විශාල ලෙස විකිරණශීලි ද්‍රව්‍ය ප්‍රමාණයක් මුදා හැර තිබෙනවා. එය එරට සාමාජීය හා ආර්ථික වශයෙන් විශාල බිඳ වැටීමකටද හේතු වූවා. මෙම න්‍යෂ්ටික ආපදාව නිසාවෙන් ඒ අවට ප්‍රදේශය මුළුමනින්ම අත්හැර දමනු ලැබූ ප්‍රදේශයක් බවට පත් වුණා. එසේම ඇතැම් සංඛ්‍යාලේඛන වලට අනුව සමස්ත යුරෝපයෙන්ම 75% පමණ අහිතකර විකිරණ වලට නිරාවරණය වීම කෙරෙහි මෙම චර්නොබිල් ආපදාව හේතු වූ බව කියැවෙනවා.

යුක්රේනයේ බලධාරීන්ට අනුව වර්ග කිලෝමීටර 2000ක් තරම් ආපදාවට දරුණු ලෙසම නිරාවරණය වූ ප්‍රදේශය යලි මිනිස් වාසයට හිතකර බවට පත්වීම සඳහා වසර 24 000 ක තරම් කාලයක් අවශ්‍ය වෙනවා. හානියට පත් වූ බලාගාරයේ අධි අහිතකර විකිරණ සහිත න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරකය ආවරණය වන ලෙස දැවැන්ත අර්ධ ගෝලාකාර ආවරණයක් 2016 වසරේදී ඉදිකර තිබෙන අතර එමගින් එම ප්‍රදේශයේ අහිතකර විකිරණ වලින් 10න් 1ක් පමණ සාර්ථකව ඉවත් කිරීමට සමත් වී තිබෙනවා.

flickr.com (හානියට පත් වූ බලාගාරයේ අධි අහිතකර විකිරණ සහිත න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරකය ආවරණය වන ලෙස ඉදි කර ඇති දැවැන්ත අර්ධ ගෝලාකාර ආවරණය)

යළි හිස ඔසවන චර්නොබිල්

මේ ආකාරයට මෙම ව්‍යසනය පිළිබඳව හඳුනා ගැනීමට හැකි වන අතර එම භූමියම නැවතත් යුක්රේනයට නව පණක් ගෙන එන්නට සුදානම් වෙනවා. එනම් අනාගත යුක්රේනයේ ප්‍රථම සූර්ය බලාගාරය ඉදි වන්නේ ද මේ චර්නොබිල් බලාගාර භූමියේම යි. ඒ සඳහා ආරම්භක පියවර ලෙස ආපදාවෙන් අකර්මණ්‍ය වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරකයට මීටර 100 කට නුදුරෙන් 2016 වසරේදී සූර්ය පැනල 3,800ක් සවිකර තිබෙනවා. ඒවා මෙගාවොට් එකක බලශක්තියක් ජනනය කිරීමට සමත්. ආපදාව හේතුවෙන් මෙම ප්‍රදේශයේ භූමිය දූෂිත තත්ත්වයක පැවතීම හේතුවෙන් එම සූර්ය පැනල සවි කර තිබෙන්නේ කොන්ක්‍රීට් පදනමක් මතයි. මෙම ව්‍යාපෘතිය සඳහා යුක්රේන-ජර්මානු හවුල් සමාගමක් වන සොලර් චර්නොබිල් සමාගම පෙරමුණ ගෙන තිබෙනවා. ඒ අනුව නිම කෙරෙන පළමුවන අදියරයෙන් නිවාස 2000කට බලශක්තිය සැපයීමටද හැකි වෙනවා.

චර්නොබිල් ව්‍යසනයට ලක් වූ භූමිය තවමත් කෘෂිකාර්මික කටයුතු සදහා සුදුසු නොවෙන අතර එහි වෙනත් ව්‍යාපෘති ඇති කිරීම සඳහා එය මුළුමනින්ම අහිතකර වන්නේ නැහැ. සොලර් චර්නොබිල් යනු එලෙස අමිහිරි මතකයන් මත සුන්දර හෙටක් වෙනුවෙන් බලාපොරොත්තු රෝපණය කරන එක ව්‍යාපෘතියක්. මේ වන විටත් එලෙස සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා විදේශීය සමාගම් 60ක් පමණ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එහිදී භූමිය ඉතාමත් ලාභදායී මිලට ලබා ගැනීමට හැකි වීම හා විදුලිබල පද්ධතියක් ඉතාමත් සමීපව පිහිටා තිබීම එලෙස උනන්දුව වැඩි වීම සඳහා හේතු වී තිබෙනවා.

wionews.com (චර්නොබිල් භුමියේ ඉදි කර ඇති සූර්ය පැනල)

සුබදායී තත්වය එසේ වුවද එම ප්‍රදේශය යළි කිසිදා පෙර පැවති ආකාරයෙන් ජීවයෙන් පිරුණු ප්‍රදේශයක් බවට නම් පත්වන එකක් නැහැ. මන්ද න්‍යෂ්ටික ව්‍යසනයක් යනු එතරම් බරපතල ආපදාවක් වීමයි. එහෙත් එම ප්‍රදේශයම යොදා ගනිමින් අහිතකර නොවන ලෙස සූර්ය බලශක්තිය නිපදවීම නම් ඉතාමත් වැදගත් දෙයක් වෙනවා.

කවරයේ ඡායාරූපය: usnews.com

මූලාශ්‍ර:

www.world-nuclear.org

chernobylgallery.com

www.independent.co.uk

www.nrc.gov

Related Articles