Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බද්ධ කළ ගර්භාෂවලින් මෙලොව එළිය දකින දරුවෝ

තක්ෂණයේ දියුණුවත් සමඟ, එම තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෛද්‍ය ක්ෂේත්‍රය දිනෙන් දින ඉදිරියට ගමන් කරනවා. මීට දශක කිහිපයකට පෙර, සිදු කළ හැකි යැයි සිහිනයකිනුදු නොසිතූ සමහර ‘වෛද්‍ය විශ්මකර්ම’  මේ වන විට යථාර්ථයක් බවට පත් කර ගන්නට හැකි වී තිබෙනවා.

මෙවැනි විශ්මකර්මයක් පිළිබඳ ව 2017 වසරේදී බ්‍රසීලයෙන් වාර්තා වුණා. ඒ මිය ගිය අයකුගෙන් ලබා ගත් ගර්භාෂයක් බද්ධ කිරීමෙන් පසු ඒ තුළින් මුල් ම වතාවට සාර්ථක දරු උපතක් සිදුවීමත් සමඟ යි.

2016 දී සිදු කළ ශල්‍යකර්මය

බ්‍රසීලයේ වෛද්‍යවරුන් පිරිසක් මීට වසර පහකට පමණ පෙර ඉතිහාසය ප්‍රතිනිර්මාණය කළේ ලොව ප්‍රථම වතාවට, මියගිය අයකුගේ ගර්භාෂයක් ගෙන, එය බද්ධ කිරීමෙන් පසු ඒ තුළීන් ගැහැනු දරුවකුට සාර්ථක ව උපත ලබා දෙන්නට ඔවුන් සමත් වීමත් සමඟ යි. එම ගර්භාෂය හදිසි අසනීපයක් නිසා මරණයට පත් වූ කාන්තාවකගෙන් ලබා ගෙන තිබුණා.

 මියගිය අයෙකුගෙන් ලබාගෙන බද්ධ කළ ගර්භාෂයකින් උපන් ලොව ප්‍රථම දරුවා- thelogicalindian.com

 

පැය 10 ක් ගත වූ මෙම සැත්කම සිදුකර තිබුණේ 2016 වසරේදී යි. ගර්භාෂය බද්ධ කිරීමෙන් පසු, එසේ බද්ධ කළ කාන්තාවට මාසික ඔසප් වීම ආරම්භ වූ අතර, එම ගර්භාෂය ඇගේ සිරුර මින් ප්‍රතික්ෂේප නොකළ බව වෛද්‍යවරුන්ට ප්‍රත්‍යක්ෂ වුණා. මේ අවස්ථාවේ දී ඔවුන් ගර්භාෂය වර්තමානයේ දරන කාන්තාව ගේ ම ඩිම්බ රැගෙන, ඉන් යුක්තානුවක් සාදා ගර්භාෂයේ තැන්පත් කළා. අවසානයේ දී සිසේරියන් සැත්කමක් මඟින් ගැහැනු දරුවකුට නිරුපද්‍රිත ව උත්පත්තිය ලබා දෙන්නට ඇය සමත් වුණා.

මේ අත්දැකීමට මුහුණ දුන් බ්‍රසීල ජාතික කාන්තාව දරු උපත නිසා කිසිදු සංකූලතාවකට මුහුණ නොදුන් නමුත්, දරු උපතත් සමඟ ගර්භාෂයත් ඉවත් කරන්නට වෛද්‍යවරුන් තීරණය කළා. ඒ හදිසියේ වත් අනාගතයේ සිදුවිය හැකි සංකූලතා වලක්වාලීම සඳහා යි. මෙම සංසිද්ධිය 2017 වසරේ දෙසැම්බර් මස දී වාර්තා වූවා. ඉන් පසුව දරුවාගේ සහ මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ව වෛද්‍යවරුන් නිරතුරු ව අවධානයෙන් පසු වුණා. දැන් එම දරුවා සිව් වන  වියේ පසු වන අතර, සාමාන්‍ය දරුවෙක් ලෙස වැඩෙනවා.

බද්ධ කළ ගර්භාෂවලින් වූ උපත්

මේ සැත්කමට සහ දරු උපතට ලක් වූ කාන්තාව ලැබූ දරුවාට අමතර ව 2018 වසර වන විට බද්ධ කළ ගර්භාෂවලින් දරු උපත් දුසිමක් පමණ ලොව සිදු වී තිබෙනවා. කෙසේ නමුත් ඒ සියල්ල සිදුකර තිබුණේ, ජීවත් ව සිටින කාන්තාවන්  ප්‍රදානය කළ ගර්භාෂ භාවිතයෙනු යි. ඒ වන විට වෛද්‍යවරුන් 50 වතාවක් සමඟ, මිය ගිය අයකුගේ ගර්භාෂයක් භාවිත කර, කළලයක් විකසනය කරන්නට සහ සාර්ථක දරු උපතක් ලබා ගන්නට උත්සාහ කර තිබූ අතර, මෙලෙස එය සාර්ථක වූයේ පළමු වතාවට යි.

 ක්‍රියාවලිය සිදුකළ වෛද්‍ය කණ්ඩායම- Dr. Wellington Andraus/AP

 

මෙම සාර්ථක ගර්භාෂ බද්ධ කිරීම සහ දරු උපත සිදුකීම  යතාර්ථයක් බවට පත් කර ගත් වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානත්වය දැරුවේ සාවො පවුලෝ විද්වවිද්‍යාලයේ වෛද්‍යවරයකු වන ඩැනී එජ්සන්බර්ග් යි.

සැබෑවක් නොවෙනු ඇතැයි සිතූ දේ

මීට දශකයකට දෙකකට ඉහත දී ලොව වෛද්‍යවරුන් අති බහුතරය, මෙලෙස මිය ගිය අයකුගේ ගර්භාෂයක් වෙනත් අයකුට බද්ධ කර, එය භාවිතයෙන් දරුවෙක් ඉපැද්දවීම කිසි ලෙසකින් සිදු කළ නොහැකි දෙයක් බවට අර්ථ ගන්වා, එය සම්පූර්ණයෙන් බැහැර කර තිබුණා. කෙසේ නමුත් ඩැනී වැනි ලොව ජීවත් වූ, මෙය යථාර්ථයක් කරගත හැකි යැයි ඉඳුරා ම විශ්වාස කළ වෛද්‍යවරුන් අතළොස්සක් මේ පිළිබඳ උත්සාහය අත් හැරියේ නැහැ.

මෙලෙස මිය ගිය අයකුගේ ගර්භාෂයක් බද්ධ කිරීම මඟින් දරු උපතක් සිදු කරන්නට ප්‍රථම වතාවට උත්සාහ කළේ 2011 වසරේ දී යි. කෙසේ නමුත් එය සාර්ථක වූයේ නැහැ. තුර්කියේ දැරූ එම උත්සාහයෙන් අනතුරු ව, කිහිප වාරයක් තුර්කිය, අමෙරිකා එක්සත් ජනපදය සහ චෙක් ජනරජය වැනි රටවල මේ සම්බන්ධ පර්යේෂණ සහ උත්සාහ කිරීම සිදු වූ අතර, බ්‍රසීලයේ සිදු කළ උක්ත සාර්ථක ප්‍රයත්නය, දකුණු අමෙරිකාව තුළ එවැන්නක් උත්සාහ කළ පළමු වතාව වීම ද සුවිශේෂී යි.

එජ්සන්බර්ග් පවසන ආකරයට මේ සඳහා ඔහු දිරි ගැන්වූයේ තුර්කියේ, 2011 වසරේ දී දැරූ උත්සාහය යි. ඔහු තම පර්යේෂණය සඳහා ද උපයෝගී කරගත්තේ එම ක්‍රමවේදය ම වන අතර, වාසනාවට එය අති සාර්ථක වුණා.

ලොව පුරා විද්වතුන්ගේ අවධානය ලැබීම

2017 වසර අවසානයේ සිදු වූ මේ සිද්ධියේ වටිනාකම පිළිබඳ ව ලොව බොහෝ වෛද්‍ය විද්වතුන්ගේ අවධානය යොමු වුණා. 

“අප මේ වන තුරු කතා කළේ ජීවිත බේරා ගැනීමේ බද්ධ කිරීම් පිළිබඳව යි. දැන් අපට අලුත් මානයක දෙයක් කතා කිරීමට තිබෙනවා. ඒ නව ජීවිත ඇති කිරීමේ බද්ධ කිරීම් ගැන යි ” ඩියුක් විශ්වවිද්‍යාලයේ ප්‍රධානී වෛද්‍ය ඇලන් ඩී. කර්ක් පවසා තිබුණා. 

” මියගියවන ම හා ජීවත් ව සිටින අයගේ අවයවවල එතරම් වෙනසක් නැහැ. මෙලෙස මිය ගිය අයකුගේ ගර්භාෂයක් බද්ධ කර සාර්ථක ප්‍රතිඵල ගැනීමට හැකි වීම නිසා ලොව වැඩි රෝගීන් ගණනකට ගර්භාෂ ලබා ගැනීමට හැකිවීමේ සම්භාවිතාවක් ඇති වෙනවා” යි ඔහු තව දුරටත් පවසා තිබුණා.

 මිනිස් ගර්භාෂයක්- webpath.med.utah.edu

බද්ධ කළ ගර්භාෂ ඔස්සේ සිදුවන දරු උපත්වල අනාගතය

මේ දරු උපතට අවයව සපයා තිබුණේ හදිසි හෘද අකර්මණ්‍යතාවක් නිසා මිය ගිය 45 වියැති කාන්තාවක යි. ඇය සිය හෘදය, අක්මාව හා වකුගඩු පරිත්‍යාග කර තිබුණා. 

බද්ධ කළ ගර්භාෂ ඔස්සේ සිදුවූ මෙම සාර්ථක දරු උපතෙන් පසු අද වන විට අමෙරිකාව ඇතුළු රටවක් කිහිපයක සාර්ථක ගර්භාෂ බද්ධ හා දරු උපත් කිහිපයක් ම සිදු වී තිබෙන අතර, එම දරුවන් සමස්තයක් ලෙස ලොව සාමාන්‍ය ලෙස උපදින අනෙක් දරුවන් මෙන් ම නිරෝගී ව සිටින බවට පෙනී ගොස් තිබෙනවා. මේ අනුව අනාගතයේ දී මෙම ක්‍රමවේදය ලොව වැඩි වැඩියෙන් භාවිත කරනු ඇති බවට අපේක්ෂිත යි. 

 

ලොව කාන්තාවන් දස දෙනකුගෙන් අයෙක් ම මද සරු භාවයෙන් හෝ නිසරු භාවයෙන් මෙන් ම ගර්භාෂය සම්බන්ධ වෙනත් සංකූලතා නිසා ප්‍රායෝගික ව දරුවන් ලබා ගැනීමේ නොහැකියාවෙන් පෙළෙනවා. මෙම ක්‍රමවේදයේ සාර්ථකත්වය, තමන්ගේ ම කියා දරුවෙක් ලබා ගැනීමේ ඔවුන්ගේ බලාපොරොත්තු යළි දල්වන්නට සමත්.

කවරයේ ඡායාරූපය - medibulletin.com 

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Bswhealth.com

Health.clevelandclinic.org

Related Articles