Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර්ජාලයෙන් ආ අත්භූත ප්‍රහේලිකාව: සිකාඩා 3301

2019 දී තිරගතවුණු Escape Room ඉංග්‍රීසි චිත්‍රපටය ඇතැම්විට බොහෝ දෙනෙක් නරඹා ඇති. එහි කතාව ඇරඹෙන්නේ කුඩා ඝනකයක් වැනි වස්තුවක් පුද්ගලයින් කිහිපදෙනෙකුට ලැබීමත් සමග යි. එහි සඳහන් වන යම් පණිවිඩයක් අනුව සියලු දෙනා එක්තරා ස්ථානයකට පැමිණෙනවා. ඔවුන් හමුවීමට කෙනෙකු පැමිණෙන තෙක් කාමරයක රැඳී සිටින්නැ යි ඔවුන්ට උපදෙස් ලැබුණත්, පසුව එම කාමරයෙන් බේරීමට ක්‍රමයක් සොයාගත යුතු බව ඔවුන්ටම වැටහෙනවා. එතැනින් ගැලවුණත් ඔවුන්ට යාමට සිදුවන්නේ තවත් කාමරයකට යි. මේ ආකාරයට, ප්‍රහේලිකා විසඳමින් ඉදිරියට යා යුතු ත්‍රාසජනක චිත්‍රපටි තවත් බොහොමයක් හොලිවුඩ් සිනමාවේ දැකගන්න පුළුවන්. ඒත් මේ ලිපියෙන් කියන්න යන්නේ චිත්‍රපටියක් ගැන නොවෙයි; සැබෑ ලෝකයේ සිදුවූ චිත්‍රපටියක් වගේම ත්‍රාසජනක, අත්භූත ප්‍රහේලිකාවක් ගැන කතාවක්. 

අත්භූත ප්‍රහේලිකාවක් මතුවෙයි

අන්තර්ජාලයේ පෝරම (Forum) ආකාරයට ක්‍රියාත්මක වන වෙබ් අඩවි ගණනාවක් තිබෙනවා. ඒ අතරින්, නිර්නාමිකව කටයුතු කරන්න හැකි 4chan.com වෙබ් අඩවිය මිලියන 20ක පමණ මාසික භාවිතාකරන්නන් සංඛ්‍යවක් සහිත ප්‍රසිද්ධ වෙබ් අඩවියක්. 2012 වසරේ ජනවාරි මාසයේ 04 වනදා මෙම වෙබ් අඩවියේ නිර්නාමික ගිණුමකින්, කළු පසුබිමක වචන කිහිපයකින් සමන්විත කුඩා පණිවුඩයක් පින්තූරයක් ලෙස පළවුණා. එහි සඳහන් වුණේ ඔවුන් යම් කාර්යයක් සඳහා බුද්ධිමත් පුද්ගලයන් සොයනා බවත්, ඒ සඳහා පරීක්ෂණයක් සිදුකරන බවත්. එසේම එම පණිවුඩය සඳහන් වූ පින්තූරයේ සැඟවුණු තොරතුරක් ඇති බවත්, එය තමන් (පින්තූරය පලකරන්නා) සොයාගැනීමට පාර කියනු ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වුණා. එසේම එය “3301” නමැති අයෙක් විසින් ලියන ලද්දක් බව යි සඳහන්ව තිබුණේ.

first image
වම්පස – පළමුව පැමිණි පණිවිඩය ඇතුළත් වූ රූපය යි. දකුණුපස – ඒ ඔස්සේ සොයාගත් දෙවන රූපය යි/cicada fandom

මෙවැනි ප්‍රහේලිකා විසඳීමටත් පරිගණක කේතනය පිළිබඳ දැනුමක් ඇති පිරිස් බොහොම දෙනෙකු සිටිනවා. එම නිසා වැඩි වෙලාවක් ගතවන්නට පෙර එක් තැනැත්තෙකු මෙම පින්තූරය notepad එකක් හරහා විවෘතකර බලා තිබෙනවා. එහි කියවිය හැකි අකුරු කොටසක් තිබී ඇති අතර, එය යම් කේත ක්‍රමයකින් සඳහන් වුණ, තවත් පින්තූරයක් සඳහා මඟ කියන ලින්ක් එකක් බව පැහැදිලි වී තිබෙනවා. එම ඡායාරූපයේ සඳහන් වුණු වචනවලින් ඉඟි කෙරෙන ආකාරයට, එම රූප ගොනුවේ සටහන් කෙරුණු නිහිත (embeded) පණිවිඩය Outguess නම් මෘදුකාංගය භාවිතාකර විකේතනය කිරීමෙන් reddit වෙබ් අඩවියේ ලින්කුවක් හමුවන සේ සකස්කොට තිබුණා. එම ලින්කුවට පිවිසීමෙන් හමුවූ රහස් කේතය ද විකේතනය කිරීමෙන් පොතක නමක් ද, ඔවුන් ඉදිරිපත් කළ ඛණ්ඩාංක රටාවක් අනුව පොත තුළ වූ විවිධ අකුරු ඔස්සේ සැඟවුණු පණිවිඩයක් ද, දුරකථන අංකයක් ද ලැබී තිබුණා. එය ඇමතූ විට කලින් පටිගත කළ පණිවිඩයක් වාදනය වී තිබෙනවා. එහි කියා ඇත්තේ මුල්ම පින්තූරයේ සැඟවී ඇති, ප්‍රථමක සංඛ්‍යා 3ක් එකට ගුණ කර ලැබෙන සංඛ්‍යාව අගට .com එකතු කිරීමෙන් ලැබෙන වෙබ් අඩවියට පිවිසෙන ලෙස යි. එම සංඛ්‍යා 3න් 1ක් වන්නේ 3301 බව ද හඬපටයේ සඳහන්.

book with phone number
The Mabinogion පොත සඳහා ලබාදී තිබූ අක්ෂර ඛණ්ඩාංක අනුව රවුම් කර ඇති අකුරුවලින් “Call us at..” පණිවිඩය මෙහි දැක්වේ/lemmino

මුල් පින්තූරයේ සැඟවුණු අනෙක් සංඛ්‍යා දෙක වන්නේ එම පින්තූරයේ resolution අගය දැක්වෙන සංඛ්‍යා ද්විත්වය යි. ඒවා 509 X 503 නිසා එම ගුණිතය 3301 සමග ද ගුණ කිරීමෙන් ලැබුණු සංඛ්‍යාවට අනුව  845145127.com වෙබ් අඩවිය ලැබී තිබුණා. එම වෙබ් අඩවියට පිවිසුණු අයට දැකගන්නට ලැබී ඇත්තේ අවරෝහණ ගණන් කිරීමක් සහ රැහැයියෙකුගේ (Cicada) පින්තූරයකි. ගණනය අවසන් වූ පසු වෙබ් අඩවිය යාවත්කාලීන වී ඛණ්ඩාංක කිහිපයක් පෙන්වා තිබෙනවා. මේවා ලෝකයේ රටවල් 5ක ස්ථාන 14ක් සඳහා වූ අක්ෂාංශ දේශාංශ සමූහයක් බව මේ සඳහා සහභාගී වන්නන් අවබෝධකර ගත්තා. ඇමෙරිකාවේ මයෑමි, ප්‍රංශයේ පැරිස්, පෝලන්තයේ වොර්සෝ, ඕස්ට්‍ර්ලියාවේ සිඩ්නි මෙම ස්ථාන 14 අතර පැවති නගර කිහිපයක්. පසුව, එම නගරවල ප්‍රසිද්ධියේ අලවා තිබූ එකිනෙකට සමාන පෝස්ටර කීපයක් දැකිය හැකිවුණා. ඒවායේ වූයේ රැහැයියාගේ පින්තූරයත්, ඊට පහළින් QR කේතයකුත්.

 

locations where cicada posters found
පෝස්ටර අලවා තිබූ ස්ථාන දැක්වෙන සිතියම, සහ පහතින් එවැනි පෝස්ටර් කීපයක්/cicada fandom

QR කේතයේ අඩංගු වුණේ තවත් පින්තූරයක් වෙත වූ ලින්කුවක්. එසේම එම පින්තූරයේත් අඩංගු වූයේ තවත් ප්‍රහේලිකාවක්. ප්‍රහේලිකාව විසඳූ විට තවත් පොතක් ද, පොතේ අකුරු ඔස්සේ තවත් වෙබ් අඩවියක් ද දැක්වුණා. වෙබ් අඩවියට පිවිසුණු පළමු පුද්ගලයන් කිහිපදෙනා වෙත පමණක් විශේෂ පණිවිඩයක් ලැබී තිබූ අතර, පසුව පිවිසුණු සියලු දෙනාහට දැකගන්නට හැකිවුණේ “අප සොයන්නේ විශිෂ්ටයන් පමණි, අනුගාමිකයින් නොවේ” යන පණිවුඩය පමණ යි. තෝරාගත් කිහිපදෙනාට ද එම අදියරය සම්බන්ධව කිසිවක් කිසිවෙකුට නොපවසන ලෙස දන්වා තිබුණා. නමුත් සමහර පුද්ගලයින් ඒ පිළිබඳව තොරතුරු ලෝකයාට දැනුම් දීම නිසා ඔවුන්ව එතැනින් ඔබ්බට සම්බන්ධ කරගෙන තිබුණේ නැහැ. 2012 පෙබරවාරි මාසයේ දී නැවත පණිවුඩයක් නිකුත් කරමින් “3301” නැමැත්තා දැනුම් දී තිබුණේ ඔවුන් සිය තෝරාගැනීම සිදුකළ බවත්, සුදුසුකම් ලැබීමට නොහැකි වූ අයට යළි අවස්ථාවක් අනාගතයේ දී ලැබෙන බවත්. 

මේ පණිවිඩයත් සමග බොහෝ දෙනා සැක කළේ මෙය කිසිදු තේරුමක් නැති දෙයක් හෝ විහිළුවක් බව යි. මේ පිළිබඳව දැනගත් සයිබර් අවකාශයේ බොහෝ දෙනා නැගූ ප්‍රශ්න කිහිපය වූයේ මෙම ප්‍රහේලිකාව විසඳීම කුමක් අරමුණු කරගත් එකක් ද? මේ පිටුපස සිටින්නේ කවුරුන් ද? අවසානය කරා ළඟා වුවහොත් සිදුවන්නේ කුමක් ද? ආදිය යි. නමුත් තවත් වසරක් ගතවන තුරු මේ සම්බන්ධව නැවත කිසිවක් පළවූයේ නැහැ. 

කෙසේ නමුත් විවිධ පිරිස් මෙය අනුගමනය කිරීමට පටන්ගත්තා. ඔවුන් “3301” ලෙස පෙනී සිටිමින් විවිධ පණිවිඩ පළකරන්නට යෙදුණා. නමුත් නියම 3301 විසින් අකුරු සහ සලකුණු 800ක් පමණ අඩංගු සහතික කිරීමේ කේතයක් (Pretty Good Privacy – PGP අත්සන) ඔහු එවන පණිවිඩවලට ඇතුළත්කර තිබුණා. මෙමඟින්, ප්‍රහේලිකා විසඳන්නන්ට එය සැබැවින්ම පළමු පණිවිඩය එවූ අයම සකස් කළ පණිවිඩයක්දැ යි තහවුරු කරගැනීමට හැකියි.

 

 

pgp signature
PGP අත්සනේ ස්වරූපය/hack2interesting

“Cicada 3301” තවත් ප්‍රහේලිකාවක් පළ කරයි

2013 ජනවාරි මස 05 වනදා, පළමු පණිවිඩය ලැබී වසරකුත් එක් දිනක් ගතවූ දිනයේ, PGP අත්සන නිවැරදිව සමාන වන තවත් පණිවිඩයක් 4chan අඩවියේම පළවී තිබුණා. මෙවර පණිවුඩය සහිත පින්තූරයේ ද ඔවුන් නිහිත පණිවිඩයක් ගැබ්කර තිබුණු අතර, පෙර පරිදිම එය outguess හරහා විකේතනය කිරීමෙන් පොතක නමක් ද, පොත ඔස්සේ ලින්කුවක් ද එළිදරව් කෙරුණා. ප්‍රහේලිකා මාලාවේ එක් අදියරයක “The Instar Emergence” නම් සංගීත ඛණ්ඩයක් ද තිබුණු අතර, තවත් එක් කෙළවරක ගුප්ත ට්විටර් ගිණුමක අඩංගු පින්තූරයක් වෙත සියල්ල යොමු වී තිබුණා. මෙය Rune (රූන්) නම් අක්ෂර මාලාවක් විස්තර කෙරෙන පින්තූරයක් වුණු නමුත්, එම හෝඩිය භාවිතයෙන් කියවිය යුත්තේ කුමක්දැ යි පළවී තිබුණේ නැහැ.

rune alphabet
Rune හෝඩිය දැක්වුණු පින්තූරය/cicada fandom

පළමු ප්‍රහේලිකා මාලාවේ මෙන්ම දෙවන්නේ ද ලෝකයේ විවිධ ස්ථානවල අලවා තිබූ පෝස්ටර 8ක් පැවතියා. ඒවා ජපානය, එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, සහ රුසියාව යන රටවල ස්ථාන 8ක දී හමුවී තිබුණා. අවසානයේ දී පෙර පරිදිම තෝරාගත් කිහිපදෙනෙකු රහස්‍ය අදියරය සඳහා තෝරාගෙන තිබුණු නිසා, එතැනින් ඔබ්බට රැහයියා සම්බන්ධව තොරතුරු සෙවීම නැවතත් අසීරු වුණා. දෙවන ප්‍රහේලිකා මාලාවේ විශේෂත්වයක් වූයේ මාසයකට පසු දෙවන ප්‍රහේලිකාව අවසන් බවට හෝ පිරිසක් තෝරාගත් බවට හෝ පණිවුඩයක් පළ නොවීම යි.

තුන්වන ප්‍රහේලිකාවත් කරළියට

තවත් වසරකට පසුව, 2014 වසරේ මුල දීත්, තවත් ප්‍රහේලිකාවක් පළවුණා. එයත් සුපුරුදු ලෙසම විකේතනය කිරීමෙන් පොතක් වෙත ද, පොතේ අකුරු ඔස්සේ ලින්කුවක් වෙත ද යොමුවී තිබුණා. මෙවර වෙනසක් ලෙස පැවතියේ ගුප්ත පොතක් වටා ප්‍රහේලිකාවේ විසඳුම ගෙතී තිබීම යි. මෙම පොතේ නම “ලිබර් ප්‍රිමුස්” (Liber Primus) වූ අතර එහි ලතින් අර්ථය වන්නේ “පළමු පොත” යන්න යි. එය රචනා වී තිබුණේ කලින් ප්‍රහේලිකාවේ දී හමුවූ Rune අක්ෂරයෙන්. එය පරිවර්තනය කෙරුණත්, ගැඹුරු කේත ක්‍රමයකින් එය කේතනය කර තිබුණා. විකේතනයට ලක්වුණු පිටු ප්‍රමාණය අතරින් පැහැදිලි වුණේ මෙහි අඩංගු වන්නේ දාර්ශනික සහ සංකල්පාත්මක කරුණු බව යි. මෙය මෙම ප්‍රහේලිකා නිපදවන කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බවට යි සැක කෙරෙන්නේ. එසේම එය එක්තරා ආකාරයක ඇදහීමක ස්වරුපයක් ද ගන්නවා. 

 

liber primus
ලිබර් ප්‍රිමුස් පොතේ කවරය සහ එහි පළමු පිටුව – දකුණු පස කෙළවරේ ඇත්තේ පළමු පිටුවේ විකේතනය සහ පරිවර්තනය කිරීමෙන් පසු ඉංග්‍රීසි අර්ථය යි/cicada fandom

සාමාන්‍ය ලියවිලිවලට අමතරව විවිධ වර්ගයේ කේත, සංකේත, සහ හෝඩුවාවන් මෙම පොතේ අඩංගු වනවා. සමහර ඒවා ගැඹුරු සයිබර් අවකාශයේ (Deep Web) වෙබ් අඩවිවලට පිවිසුම් ලින්කුවන් සපයනවා. නමුත් එම වෙබ් පිටු සොයාගැනීමත් පහසු වී නැහැ. එක් ලින්කුවකින් “Interconnectedness” නම් තවත් සංගීත ඛණ්ඩයක් වෙතට ද යොමුකර තිබෙනවා. කෙසේ වෙතත් මෙම පොතෙහි ස්ථර කීපයක සංකේතනයකිරීම් (Encryption) පවතින නිසා, එහි ඇති සම්පුර්ණ පිටු 74න් පිටු 58ක් පමණක් 2020 වන විට විකේතනය සිදුකර තිබුණා (විකේතනය කළ පිටු 17ක අඩංගු කරුණු Cicada Fandom වෙබ් අඩවිය හරහා හරහා ඔබට ද දැකිය හැකියි).

රැහැයියාගේ පණිවුඩයක් 2015 දී පැමිණුනේ නැහැ. බොහෝ අය පැවසුවේ ලිබර් ප්‍රිමුස් ග්‍රන්ථය පරිවර්ථනය කරන තුරු නැවත ප්‍රහේලිකාවක් නොඑවනු ඇති බව යි. එය යම් තරමකට සනාථ කරමින් 2016 වසර මුල දී නැවත පණිවිඩයක් පළවී තිබුණා. එහි සඳහන් වූයේ, ලිබර් ප්‍රිමුස් මාර්ගය බවත්, එහි වචන යනු සිතියමක් බවත්, ඒවායේ තේරුම් පාරවල් බවත්, එහි අංක දිශාව පෙන්වන බවත්. එසේම ”ඒවා සොයාගෙන ගියහොත් ඔබව සොයාගනු ඇති” බව ද එහි වැඩිදුරටත් සඳහන් වුණා. නැවත 2017 අප්‍රේල් මාසයේ දී රැහැයියාගෙන් තවත් පණිවිඩයක් ලැබී තිබුණා. එහි ප්‍රහේලිකාවක් වෙනුවට සඳහන්ව තිබුණේ වැරදි මාර්ගවලින් ප්‍රවේශම් වන ලෙසත්, සෑම විටම PGP අත්සන සහතික කරන ලෙසත් ය. එම පණිවිඩය ලැබී වසර 4ක් පමණ ගතවී ඇතත් වෙනත් කිසිදු පණිවිඩයක් මේ දක්වා ඔවුන්ගෙන් පැමිණ තිබුණේ නැහැ.

කවුද මේ Cicada 3301?

ඇතැමුන් විශ්වාස කළේ මෙය එක්තරා ආකාරයක වෙළඳ ව්‍යාපාරයක හෝ විශාල සමාගමක ප්‍රචාරණ වැඩපිළිවෙලක් බව යි. නමුත් එම තර්කය ඉවත දැමීමට සිදුවන්නේ මෙය ඉතාම කුඩා පිරිසක් ඉලක්කකර සිදු කළ එකක් වන බැවින්. වඩා පිළිගත හැකි කාරණය වන්නේ මෙය යම් කිසි රහස් සංවිධානයක බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියක් වියහැකි බව යි. දෙවන ලෝක යුධ සමයෙන් පසු, රහස් සංවිධාන වෙත බඳවාගැනීමේ දී  විවිධ ගැටලු විසඳීමට ලබා දීම වැඩි වශයෙන් සිදුවීම එයට සාක්ෂ්‍ය දරනවා. උදාහරණයක් වශයෙන්, 2013 දී බ්‍රිතාන්‍ය බුද්ධි අංශය ද (GCHQ) මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. “Can you find it?” ලෙස හැඳින්වූ මෙහිදී කේතනය කරන ලද වචනවලින් සැඟවුණු තොරතුරු සොයාගැනීමේ ප්‍රහේලිකාවක් භාවිතා කෙරුණු අතර, එය නිවැරදිව සිදුකළ අයට ත්‍යාග හෝ තම ආයතනයේ තනතුරක් ලබාදීමට ඔවුන් කටයුතුකර තිබුණා. ඇමෙරිකානු නාවික හමුදාවත් මෙවැනි රහස් කේත හඳුනාගැනීමට හැකියාව ඇති පුද්ගලයින් බඳවාගැනීමේ ක්‍රමවේදයක් 2014 දී අනුගමනයකර තිබෙනවා.

can you find it by gchq
බ්‍රිතාන්‍ය බුද්ධි අංශයට බඳවා ගැනීමට පළ කළ ප්‍රහේලිකාව/imgur

2012 දී “Cicada 3301” විසින් තෝරාගත් අයවලුන් අතරින් දෙදෙනෙකු 2015 දී සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිට තිබුණා. අවසන් අදියරයෙන් පසු රහස්‍ය ලෙස පැවති කටයුතු ගැන ඔවුන් එහිදී හෙළිකළා. ඔවුන් පැවසුවේ ඔවුන්ට පළමුව ඊමේල් පණිවිඩයක් ලැබුණු බවත්, එය ඔස්සේ ගැඹුරු සයිබර් අවකාශයේ තිබූ පෝරමයකට ඔවුන් සම්බන්ධ වූ බවත්. එහිදී ඔවුන් ඇතුළු තවත් නවකයින් 20 දෙනෙකු පමණ Cicada 3301හි ස්ථිරයැ යි සැලකිය හැකි සාමාජිකයින් කීපදෙනෙකු සමග අදහස් හුවමාරුකර ගත් බව පවසා සිටියා. එම සාමාජිකයින්ගේ අරමුණ වූයේ අද පවතින ඩිජිටල් යුගයේ දී පුද්ගලිකත්වය, ආරක්ෂාව රැකගනිමින් නිදහසේ තොරතුරු ලබාගත හැකි මෘදුකාංග සහ සේවා නිර්මාණය කිරීම යි. ඒ සඳහා එම සංවිධානය එවැනි අදහස් ඇති පිරිසක් පළමුව බඳවා ගෙන තිබූ බවත්, පසුව එය ජාත්‍යන්තරව පුළුල් කළ බවත් තමන් සමග සඳහන් කළබව ඔවුන් සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියා. අලුතින් බඳවාගත් අයට මෘදුකාංග සංවර්ධනය සඳහා විවිධ කාර්යයන් පැවරූ බවත් ඔවුන් සඳහන් කරනවා. නමුත් 2012 වසර අවසන් වන විට එම පෝරමය අතුරුදහන් වූ බව යි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. 

පළමු ප්‍රහේලිකාවේ අවසානයට ගිය ඉහත දෙදෙනා අතරින් එක් අයෙකුගේ නම Marcus Wanner වන අතර ඔහු Nox Populi නැමැත්තාගේ යූටියුබ් චැනලය හරහා ද මෙම අත්භූත ප්‍රහේලිකා සිදුවීම සම්බන්ධව තොරතුරු සපයා තිබෙනවා. Nox Populi දෙවන ප්‍රහේලිකාවේ අවසානය දක්වා ගිය අයෙක්. ඔහුගේ අත්දැකීමට අනුව ඔහු ඇතුළු 2013 ප්‍රහේලිකාව අවසන් කළ පුද්ගලයින් පස්දෙනාටම ඊමේල් පණිවිඩ එවා “ඉවසීමෙන් රැඳී සිටින” ලෙස පමණක් පවසා තිබුණා. 2013 මැයි මාසයේ සිට Cicada 3301 කණ්ඩායමෙන් කිසිදු තොරතුරක් ලැබී නැහැ. කෙසේ වෙතත් ඔහුගේ යූටියුබ් චැනලය හරහා ඔහු ප්‍රහේලිකා විසඳූ අයුරු පැහැදිලි කෙරෙන වීඩියෝ ඕනෑම අයෙකුට නැරඹිය හැකියි.

marcus wanner
පළමු ප්‍රහේලිකාව විසඳූ අය අතරින් කෙනෙක් වන පරිගණක ක්‍රමලේඛක Marcus Wanner/Virginia Tech Magazine

මෙය ඇතැම්විට යම් අයෙකුගේ හෝ පිරිසකගේ උවමනාවකට සිදුවූ දුරදිග ගිය විහිළුවක් පමණක් විය හැකි බව යමෙකුට සිතිය හැකියි. මෙය තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවක් වන්නට ද ඉඩකඩ තිබෙනවා. ඒ, යම්කිසි හෝ ශ්‍රමයක් අවශ්‍ය වන්නේ ලෝකයේ විවිධ ස්ථානවල පෝස්ටර් ඇලවීම සඳහා පමණක් වීම හේතුවෙන්. විශේෂ කාරණයක් වන්නේ ඉහත මුල් ප්‍රහේලිකා දෙකේ දීම පෝස්ටර් ඇලවීම සිදුව තිබූ සෑම තැනකම සිට අන්තර්ජාතික ගුවන් තොටුපළකට පැයකට වඩා අඩු කාලයකින්, ඇතැම්විට පයින් ද ගමන් කළ හැකි වීම යි. එසේ නම්, අධික ධනයක් හිමි, කේතනය හා ප්‍රහේලිකා සම්බන්ධ විශේෂ ඇල්මක් දක්වන හෝ, ඇතැම්විට එය තමන්ගේ ජීවිතය කරගත් යම් අයෙකුට තරමක් මහන්සි වී මෙම සම්පූර්ණ ක්‍රියාවලියම තනිවම සිදුකළ හැකියි. එසේත් නැති නම් යම් සංවිධානයකට මුදල් ගෙවා අදාල කාර්යය පහසුවෙන් සිදුකළ හැකියි. ඇතැම් විට මේ සියල්ලම නොව, තවත් නොවිසඳුණු අභිරහසක් වන්නටත් ඉඩ තිබෙනවා.

 

කවරයේ පින්තූරය - blockchain.com

තොරතුරු theguardian.com, telegraph.co.uk, wnycstudios.org, hack2interesting.com, සහ uncovering-cicada.fandom.com ඇසුරෙන්

Related Articles